Recent Articles

කාන්තා කෝච්චි පෙට්ටියේ නෑසුණු කතන්දර...


ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් උදෙසා විශේෂ වැඩ සටහන් රැසක් ශ්‍රී ලංකාව පුරා ද ක්‍රියාත්මක විය. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කාගේත් අවධානය යොමුවූයේ ප්‍රධාන කාර්යාල දුම්රිය හතක කාන්තාවන් වෙනුවෙන් එක් කාන්තා මැදිරියක් බැගින් වෙන් කිරීමයි.

කාන්තා දුම්රිය මැදිරි වෙන් කිරීම ඇරැඹීමේ ඉතිහාසය අදින් වසර ගණනක් ඈතට දිව ගිය ද කල් යත්ම එය ක්‍රමයෙන් අභාවයට ගොස් ඇත. එහෙත් අදටත් සමුද්‍රදේවී දුම්රියේ එක් මැදිරියක් වසර ගණනක සිටම කාන්තාවන් වෙනුවෙන් වෙන්ව පවතී. එහෙත් අනෙක් ප්‍රධාන කාර්යාල දුම්රියන් හි එලෙස වෙන් කොට නැත.‍ පොදු ප්‍රවාහන සේවයේ යෝධයා ‍වන දුම්රිය සේවය එලෙස නව මුහුණුවරකින් කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කිරීමේ සද්කාර්යය පිළිබඳ සමාජයේ පැසසුම් මෙන්ම ගැරහුම් ද ලැබෙන මොහොතක කාන්තා දුම්රිය මැදිරියක ගොස් ඒ ගැන අදහස් විමසා බලන්නට අපි කටයුතු කළෙමු.

විශ්‍රාමික විදුහල්පතිනියක වන නාගේන්ද්‍රන් මහත්මිය මාතලේ සිට නිතර කොළඹ පැමිණෙයි.

“ප්‍රධාන කාර්යාල දුම්රියවල කාන්තා මැදිරියක් වෙන් කිරීම ගැන මම සතුටු වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේ කර තිබෙන්නේ කාලෝචිත වැඩක්. අද අපි මාධ්‍ය මඟින් නිතර දෙවේලේ කාන්තාවන්ට සිදු වන හිංසා පීඩා අහනවා. දකිනවා. විශේෂයෙන්ම මඟතොටේදී තමයි මේ දේවල් සිදු වෙන්නේ. දුම්රියේ ගමන් කරන්නේ හුඟක් වෙලාවට දුර සිට සේවයට වාර්තා කරන කාන්තාවන්. ඔවුන්ට ආරක්ෂාකාරීව වගේම පහසුවෙන් යුතුව කාන්තා මැදිරියක ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. කාර්යාල කෝච්චිවල වගේම සෑම කෝච්චියකමත් කාන්තා මැදිරියක් වෙන් කරනවා නම් එය සතුටක්. “ නාගේන්ද්‍රන් මහත්මිය පවසන්නේ එලෙසිනි.

සිරියලතා මදනායක මහත්මිය බත්තරමුල්ල සෙත්සිරිපායේ සේවයේ නියුතු වෙයි. ඇය වසර ගණනාවක සිටම දිනපතා මීරිගම සිට කොළඹට පැමිණෙන්නේ ද කොළඹ සිට මීරිගම බලා යන්නේ ද දුම්රියෙනි.

“කාන්තාවන් වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තා මැදිරි වෙන් කිරීම ගැන සතුටුයි. ඒත් යම්යම් දුර්වලතා තිබෙනවා කියා පෙනෙනවා. එකක් තමයි කාන්තා මැදිරිය බැලූ බැල්මට හඳුනා ගන්න අපහසුයි. එනිසා පිරිමි අය මේ මැදිරියට නොදැනුවත්ව ගොඩ වෙන අවස්ථා තිබෙනවා. එය කාටත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වන විදිහට පාටකින් හෝ යම් සලකුණකින් හෝ දක්වා තිබෙනවා නම් එය පහසුවක් වෙනවා. දෙවැනි සෙට් එකේ තමයි කාන්තා මැදිරිය තිබෙන්නේ.

දුර යන කාන්තාවන්ට නම් සාමාන්‍ය මැදිරිවල ගමන් කරන විට පිරිමියෙක් හෝ මඟදි නැගිටල ඉඩ දෙනවා. ඒ විදිහට මඟදි සීට් එක ෂෙයාර් කර ගන්නවා. එත් කාන්තා මැදිරියේදී එහෙම තියා දරුවෙක් කුසේ දරාගෙන ඉන්න ගැබිනි මවකටවත් සීට් එකක් දෙන්නේ නැහැ. මේ ළඟ දි දවසක ගැබිනි මවක් කාන්තා මැදිරියට ගොඩ වුණා. ඇයට කවුරුත්ම සීට් එක දුන්නේ නැහැ. කාන්තාවන් පිරිසක් ඒ අම්මට කියලා තියෙනවා ‘බබා ලැබෙන්න ඉන්න හින්දා එක්සසයිස් එකටත් එක්ක හිටගෙන යන්න‘ කියලා. එවිට එතැන සිටි තවත් කාන්තාවන් පිරිසක් ඔවුන්ට දොස් කියලා.“

කාෆ්රා අපට කොටුව දුම්රිය ස්ථානයේදී හමු වූ කාන්තාවක්. ඇයගේ පදිංචිය දෙහිවල. කාර්යාල සේවය නිමවා නිවෙසට යෑමට දුම්රියට නැඟීමට සිටිද්දියි ඇයව අපට හමුවුණේ.

“කාන්තාවන් වෙනුවෙන් මැදිරි වෙන් කිරීම ඉතා හොඳ පියවරක්. කාන්තාවන්ට කරදරයකින් තොරව ආරක්ෂිතව තමන්ගේ ගමන පාඩුවේ යන්න පුළුවන්. තවම මේ මැදිරි දාලා ලොකු කාලයක් ගත වෙලා නැහැ. මමත් කැමැති කාන්තා මැදිරිවල ගමන් කරන්න තමයි. තවම මේ මැදිරිවල විශාල තදබදයක් නැති වුණත් සැලකිය යුතු කාන්තාවන් පිරිසක් එනවා. යනවා. ඉදිරියේදී මේ මැදිරි කාන්තාවන්ගෙන් පිරී යාවි කියා හිතෙනවා.“

ඇය අපෙන් සුමගනිද්දී මහව බලා පිටත්ව යාමට නියමිත දුම්රිය දෙවන වේදිකාවට පැමිණියේය. බොහෝ කාන්තාවන් තමාගේ ජායාරූප ලබා ගන්නවාට අකමැත්ත ප්‍රකාශ කළ බැවින් ඔවුන්ගේ නම් පමණක් යෙදීමට අදහස් කළෙමු.

වසර තිහකට ආසන්න කාලයක සිට දුම්රියේ ගමන්කරන කොළඹ කොටුවේ ප්‍රධාන කාර්යාලයක සේවිකාවක වන ඉන්දු පෙරේරා ප්‍රකාශ කළේ, දුම්රියේ සේවයට පැමිණෙන ඇයට අත්දැකීම් රැසක් ඇති බවයි.

“කාන්තාවන්ට තරුණ ගැහැනු ළමයෙකුට තියා වැඩිහිටි කාන්තාවකට වුවත් දුම්රියේ දි සිදුවන හිරිහැර වැඩියි. ඒ නිසා මේ විදිහට කාන්තා මැදිරි ලබාදීම පිළිබඳව සතුටු වෙනවා.“

නම සඳහන් කිරීමට අකමැති වූ තවත් කාන්තාවක් කියා සිටියේ තමන් වසර පහළොවකට ආසන්න කාලයක් දුම්රියේ ගමන්කරන බවත් එම කාලය තුළ අවස්ථා කිහිපයක දී දුම්රියේ දී හිංසාවන්ට ලක්ව ඇති බවය. “හැමදාමත් වගේ එදත් කෝච්චියේ සෙනඟ පිරිලා ඉතිරිලා. මමත් තවත් බොහෝ කාන්තාවනුත් කිටි කිටියේ සෙනඟ අතර තෙරපෙමින් හිර වුණා. මේ අතර පාසල් දැරියකුත් සිටියා. මම දැක්කා ඒ හිරවීම අතර එක මිනිහෙක් මේ දැරියගේ පසුපස පෙදෙස අතගානවා. මම ඒ දෙස බලා සිටිනවා දැක ඒ මිනිසා ඔරවා බැලුවා. පසුව ඔහු ඉන්නොනැවතී මගේ ඇඟත් අත ගාන්න එනවා. එක විටම මම පැත්තකට ඇල වුණා. ඔහු වහාම අත ඉවතට ගත්තා. මිනිස්සු මේක දැක්කා. ඒත් සමඟ මරදාන නැවතුමේ දී ඒ මිනිහා බැස ගියේ මාත් එක්ක තිබුණු තරහට මගේ ඇගේ පැත්තක්ම අතගාගෙන. මේ වගේ කියන්න බැරි අනන්ත සිදුවීම් ප්‍රමාණයකට අපි මුහුණ පානවා. ඇත්තටම කාන්තා මැදිරියක් නෙමේ දෙක තුනක්ම කෝච්චියකට යොදනවා නම් ඒක ලොකු සතුටක්.

තවත් දවසක් කෝච්චියේ යද්දී මනුස්සයෙක් කාන්තාවකගේ ඇඟට හේත්තු වෙලා. ඒ කාන්තාව ඔහුට කිව්වා ටිකක් අයින් වෙන්න කියලා. ඒ මනුස්සය කෝච්චි පෙට්ටියටම ඇහෙන්න කිව්වා ප්ලේන් එකක යන්න කියලා. මේක ඒ මනුස්සයා කිව්වා විතරයි හැමෝම බක, බක ගාලා හිනා වුණා. ඒ කාන්තාව ලොකු ලැජ්ජාවකට පත් වුණා. කිසිම කෙනෙක් ඇය වෙනුවෙන් කතා කළේ නැහැ. අන්තිමට ඇය ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා ගියා“

මීළඟට අපට හමු වූ ඇය තස්මිලා. ඇය වෘත්තියෙන් හෙදියක්. නිතර දුම්රියෙන් ඇය කොළඹ පැමිණෙන්නේ ඇගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහාය. මේ ඇගේ අදහස්ය.

“කාන්තාවන්ට හිමි විය යුතු දෙයක් තමයි මේ සිදු කළේ. මෙය මීට පෙර තමයි ස්ථාපිත කරන්නට තිබුණේ. දුම්රියේ ගමන් කරන කාන්තාවන්ට ලැබුණු ලොකු නිදහසක් ලෙස මෙය මම දකිනවා. ඒත් කාන්තා මැදිරියක් තිබෙන නිසා අනෙකුත් මැදිරිවල යන කාන්තාවන්ට කාන්තා මැදිරියටම නඟින්න කියා බලපෑම් හිරිහැර එල්ල වෙයි ද දන්නෙ නැහැ. ඒ ගැනත් වගකිව යුත්තන් සිතා බලන්න ඕන.” සිනා මුසු මුහුණින් ඇය පවසයි.

අපත් සමඟ කතාබහ කළ බොහෝ කාන්තාවන්ගේ අදහස වූයේ කාන්තා මැදිරි ඇති කිරීම සතුටට කරුණක් වන බවය. එය නොකඩවා ක්‍රියාත්මක වියයුත්තක් බවයි.

එලෙස කාන්තා මැදිරි වෙන් කිරීම පිළිබඳ දුම්රිය පාලනාධිකාරියෙන් ද අපි විමසා සිටියෙමු. එහි දී දුම්රිය සාමාන්‍යාධිකාරී ඒම්. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, 'කාන්තාවන් හට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදි සිදු වන අසීරුතාවන්ගෙන් හිංසනයන්ගෙන් බේරාගැනීම සඳහා ප්‍රවාහන අමැතිවරයා ප්‍රථම අදියර වශයෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

මෙහි ඇති සාර්ථකත්වය මත ඉදිරියේදි අනික් දුම්රියන් හිද කාන්තා මැදිරි යෙදවීමට අපි තීරණය කරනවා. කාර්යාලයට යෑමට ඒමට ලංකාවේ දුම්රිය සේවාව භාවිත කරන මගීන්ගෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් කාන්තාවන් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී මේ වන විට හෙළි වෙලා තිබෙනවා. ඒ සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. දුම්රිය මැදිරි තුළදී වයස් සීමාවන් නොතකා සියලුම කාන්තාවන් විවිධාකාරයේ මානසික සහ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන බව. එම තත්ත්වය සහ කාන්තාවන් හා කාන්තා සංවිධාන, කාන්තා කටයුතු ඇමතිනිය කළ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යතුමා ගත් සාධනීය පියවරක් ලෙස මම මෙය දකිනවා.”

“පිරිමි පාර්ශ්වයෙන් ‍යම් යම් චෝදනා මෙයට එල්ලවෙනවා නේද?” අප ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ “ඔව්. පැසසුම් වගේම චෝදනාත් එල්ල වෙනවා තමයි. ඒක ඉතින් ස්වභාවය. කොහොම වුණත් කාන්තාවන්ගේ විශාල කැමැත්තක් මෙයට තිබෙනවා. ඒ වගේම මවු පියන්ටත් මෙතැනදී වගකීමක් තිබෙනවා තමන්ගේ දියණිය ආරක්ෂා සහිතව කාන්තා දුම්රිය මැදිරියක ගමන් කරවීමට.”යැයි අදහස් දක්වමින් ඔහු පවසයි.

“මීට කලකට ඉහත දුම්රියේ ගමන් ගත් තරුණියකට වූ අනුවේදනීය සිදුවීමක් මට මතක් වෙනවා. ඇය සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගි වෙන්නට දුම්රියේ පැමිණ තිබෙනවා. දුම්රියේ මඟීන් අතර ගමන් කරන අතරවාරයේ එක්තරා පුද්ගලයෙක් ඇ‍ගේ ඇගට හේත්තු වෙන්න ඇවිත්. ඇය ඔහුගෙන් මිදිලා පැත්තකට වෙලා. කොහොම හරි ඇය මරදානෙන් බහින කොට ඇගේ කකුලින් ලේ ගලනවා. බලන කොට අර පුද්ගලයා ඇගේ කකුල දැලි පිහියකින් කපලා. ඇයට යන්නට සිදු වුණේ සම්මුඛ පරීක්ෂණයට නෙවෙයි අන්තිමේදි රෝහලටයි. එනිසා කාන්තාවන්ට ආරක්ෂිතව පීඩාවකින් තොරව ගමන්පහසුව සලසන්න මෙවැනි දෙයක් අරඹපු එක ගැන හැමදෙනාම සතුටු විය යුතුයි.” අප සමඟ අදහස් දක්වමින් දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න එලෙස ප්‍රකාශ ක‍ර සිටියා.

කාන්තා දුම්රිය මැදිරි යෙදවීම පිළිබඳ පුරුෂ පාර්ශ්වයෙන් ද විවිධ අදහස් යෝජනා චෝදනා එල්ල වෙන බැවින් ඔවුන්ගේ අදහස් ද විමසීමට අපි අමතක නොකළෙමු.

වේයන්ගොඩ බලා පිටත්ව යාමට සිටි මනීෂ ජයතිලක පවසා සිටියේ, කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇති දුම්රිය මැදිරියේ කොතරම් ඉඩ තිබුණ ද සමහර කාන්තාවන් අනෙක් මැදිරිවල ට ඇතුළු වන බවයි. එනිසා තදබදය වැඩි වී අනෙක් මැදිරිවල පිරිස් තෙරපෙමින් යන විට කාන්තා මැදිරිය හිස්ව තිබීම කනගාටුවට කරුණක් බවය.

“අප‍ රටේ ගොඩක් දේවල් කිරිබත් කාලා බැලුන් පුම්බලා පටන් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ බොහො ටික කාලයයි. මේ ආරම්භ කරපු වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් හොඳයි.“ ඒ කාන්තා මැදිරි පිළිබඳ පිරිමින්ගේ හඬයි.

[ තුෂාරි නේරංජා වික්‍රමසිංහ]

අන්සතු දුරකතනයක් භාවිත කළහොත් අනිවාර්යයෙන් නීතියේ රැහැනට : සහකාර පොලිස් අධිකාරි දමයන්ත.



[අමිල මලවිසූරිය]

වර්තමානයේ ජංගම දුරකථනය බොහෝ දෙනකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ම මෙවලමකි. ඇතැම්හු සිය ජංගම දුරකථනයේ දුර්ලභ දුරකථන අංක පමණක් නොව ජීවිතයේ වටිනා මො‍හොත සිහි කැඳවන ඡායාරූප ද තැන්පත් කොට තබා ගනිති. එවැනි ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය කෙතරම් පාඩුවක්ද දන්නෙ ඔවුන් ම පමණි.

එලෙස අස්ථානගත වන ජංගම දුරකථන අපරාධකාරයන් බොහෝ අපරාධවලට ද යොදාගන්නා බව මෑත කාලයේ ඇතැම් අපරාධ සිදුවීම්වලදී වාර්තා විය. ඒ අනුව අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට යාමේදී සිදුකරන දුරකථන විශ්ලේෂණවලදී බොහෝ විට ප්‍රථමයෙන්ම අත්අඩංගුවට පත්වන්නෙ දුරකථනයේ නියම අයිතිකරුවන් වූ නිරපරාද පුද්ගලයන් ය.

එ් නිසා තම ජංගම දුරකථනය අස්ථානගත වුවහොත් ළඟ ම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සිදුවිය යුත්තක් ම ය. එහෙත් ඇතැම් දෙනා පොලිසියට ගොස් රස්තියාදු වීමට තිබෙන මැළිකම නිසාවෙන් එලෙස පැමිණිලි කිරීමට ද අදිමදි කරයි. එහෙත් වර්තමානයේ ඒ සියලු දෙනාට ම කාර්යක්ෂම ව, කාලය, ශ්‍රමය ඉතිරි කරගනිමින් දවසේ ඕනෑම වෙලාවක ජංගම දුරකථනය අස්ථානගත වූ බවට පැමිණිල්ලක් කිරීමට අවැසි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අජිත් දමයන්ත මහතා උත්සුක වී තිබේ.

2012 වර්ෂය වන තෙක් මෙරට තුළ ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය සොයා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබිණි. පසුව 2012 වර්ෂයේ සිට පැවැති ක්‍රමය වූයේ ජංගම දුරකථන අස්ථානගත වීම ගැන පොලිසියට ලැබෙන පැමිණිල්ල විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කිරීමෙන්, එම ආයතනය විසින් මෙරට ක්‍රියාත්මක වන සියලු ජංගම දුරකථන සමාගම් හරහා සොයා බැලීමයි.

එහෙත් 2014 වර්ෂයේදී පමණ ලැබෙන පැමිණිලි ඉහළ යෑම නිසා විදුලි සන්දේශ නියාමන කොමිසමේ කාර්ය මණ්ඩලයේ හිඟතාව හේතුවෙන් එම කටයුත්ත ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු බව පවසමින් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාට ලිපියක් මඟින් දැන්වූයේ එම සේවය නතර කරන බව සඳහන් කරමිනි.

එහෙත් මහජනයාට අත්‍යවශ්‍ය කටයුත්තක් වන එ් ක්‍රමවේදය නතර නොකරන ලෙස පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරි අජිත් දමයන්ත හෙට්ටිආරච්චි මහතා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිල් අංශයෙන් ඉල්ලීමක් කෙරිණි. අවසානයේ ඒ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 90ක් පමණ වැය වන බව සඳහන් විය. එසේම තවත් සමාගමක් විසින් කරනු ලබන එක් පැමිණිල්ලක් වෙනුවෙන් අවම රුපියල් දහයක මුදලක් අවැසි බව සඳහන් කර තිබිණි. ඒ අනුව විශාල මුදලක් වැය වන හෙයින් මහජනයාට අත්‍යවශ්‍ය සේවාවක් නතර කිරීමට ඉඩ නොතබා තිබූ ප්‍රායෝගික ක්‍රමවේදයට වඩා පහසු සහ කාර්යක්ෂමව ජංගම දුරකථන අස්ථානගත වූ විට අදාළ පුද්ගලයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට තනිවම ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි දමයන්ත මහතායි.

ඕනෑම මොහොතක ජංගම දුරකථන අස්ථානගත වූ විට පැමිණිලි කළ හැකි එම වෙබ් අඩවිය www.ineed.police.lk ය. එහි ක්‍රියාත්මක වීම නිල වශයෙන් පසුගියදා පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රැන්ක් ප්‍රනාන්දු, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන ඇතුළු විදුලි සන්දේශ නියාමන කොමිසමේ සහ මෙරට සියලු ජංගම දුරකථන සමාගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විණි.

රට තුළ සැරිසරන මිලියන 24ක් පමණ වන ජංගම දුරකථන අතුරෙන් දිනකට අස්ථානගත වීම් පිළිබඳව මහජන පැමිණිලි 800ත් 1000ත් අතර ප්‍රමාණයක් පොලිසියට ලැබෙමින් පවතී. 'මට පොලීසිය අවශ්‍යයි' යන තේමාවෙන් යුත් වෙබ් අඩවියෙන් මහජනයා සේවය ලබාගත යුත්තේ කෙසේද යන්න එහි නිර්මාණකරු සහකාර පොලිස් අධිකාරි දමයන්ත පවසන්නෙ මෙවැන්නකි.

"අන්තර්ජාලය තිබෙන දුරකථනයකින් වුවද මේ වෙබ් අඩවියට පිවිසිය හැකියි. මුලින්ම වෙබ් අඩවියට තම පෞද්ගලික නිවැරැදි දත්ත ඇතුළත්කොට ලියාපදිංචි විය යුතුයි. එහිදී දුරකථන අංකයක් සහ ඊමේල් ලිපිනයක් අත්‍යවශ්‍යයි. ඉන්පසු ලියාපදිංචි වන තැනැත්තාට නමක් (යූසර් නේම්) සහ මුරපදයක් (පාස් වර්ඩ්) ලබා දෙනවා. පසුව අස්ථානගත වූ ජංගම දුරකථනය හා සබැඳි පැමිණිල්ල යොමු කළ හැකියි. පැමිණිල්ල යුනිකෝඩ් මඟින් භාෂා තුනෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. එසේ නොමැතිනම් පැමිණිල්ල කොළයක ලියා ස්කෑන්කොට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊමේල් ලිපිනයක් නොමැති අයකුට හිතවතකු මඟින් ලියාපදිංචි වී පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. පැමිණිල්ල ලියද්දී සවිස්තරාත්මකව ලිවීම අත්‍යවශ්‍යයි. වෙබ් අඩවියේ ඒ පිළිබඳව සාම්පලයක් දී තිබෙනවා. විශේෂයෙන් ම දුරකථනයේ එමි අංකය ලිවිය යුතුමයි. ඒ නිසා ජංගම දුරකථන භාවිත කරන අය එමි අංකය ගැන සැලැකිලිමත් විය යුතුයි. එමි අංකය සොයා ගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. එක, දුරකථනය බහාලු පෙට්ටිය, දෙක, දුරකථනයේ බැටරියට පසුපස; තුන, *#06# යන බොත්තම් ඔබා එමි අංකය ලබාගත හැකියි. එම අංකය සටහන්කොට තබා ගැනීම දුරකථනයක් අස්ථානගත වූ විට සොයා ගැනීමට මනා පිටිවහලක්.

පසුව පැමිණිල්ල එසැණින් අදාළ පොලිසියට යොමු කෙරෙනවා. ඔවුන් පරීක්ෂාකොට එය විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කරනවා. ඔවුන්ගේද පරීක්ෂාවෙන් අනතුරුව මෙරට ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සමාගම්වලට යොමු වෙනවා. මේ සියලු දේ පරිගණක ආධාරයෙන් ක්ෂණිකව සිදු වෙන්නෙ රටේ පවතින නීති රාමුව ඇතුළතයි. ඔබට සියලු දේ ගැන දැනුවත් කරමින් ලිපියක් එවීමටත් කටයුතු කරනවා. ඒ වගේම නුදුරේදීම එස් එම් එස් මාර්ගයෙන් විටෙන් විට දැනුම්වත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එක්වරක් ලියාපදිංචි වූ විට ඔබට ඕනෑ තරම් පැමිණිලි කළ හැකියි. එහෙත් අපි ඒ ගැන සොයා බැලීමක් කරනවා. මොකද නැතිනම් මෙමඟින් ඇතැම් දෙනා මුදල් ගැරීමක් කරන්නත් ඉඩ තිබෙන නිසා."

මෙමඟින් ජනයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් කාලය, ශ්‍රමය ඉතිරිකොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ක්ෂණිකව සපුරාගත හැකිය.

මේ ක්‍රමවේදයට පෙර පැවැතියේ පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් කොට අනතුරුව නැවත දිනෙක පොලිසියට ගොස් එහි කොපියක් ගෙන විදුලි සන්දේශ නියාමන කොමිසමට යෑමයි. ඔවුන්ද පරීක්ෂා කොට දුරකථන සමාගම්වලට යොමු කෙරේ. එහිදී දුරකථන සමාගම් සියල්ලටම වෙන් වෙන්ව ලිපි මඟින් දැනුවත් කිරීමට සිදු වේ. එහෙත් වර්තමාන ක්‍රමවේදය අනුව ක්ෂණයෙන් සියලුම දුරකථන සමාගම්වලට එකවර යොමු කෙරේ. එසේම පෙර පැවැති ක්‍රමවේදය අනුව දුරකථන සමාගම් විසින් අස්ථානගත වූ දුරකථනය ගැන සොයා බලන්නේ එක්වරක් පමණි. ඒ සොයා බලන මොහොතේ දුරකථනය සිම්පතක් යොදා භාවිත කළහොත් පමණක් දුරකථන සමාගම්වලට හසු වේ. එසේ නොමැති වුවහොත් ජංගම දුරකථනය සදාකල් අන් සතු ය.

එහෙත් මේ වෙබ් අඩවිය මඟින් පැමිණිලිකරුට විටෙන් විට කලින් කලට පැමිණිල්ල යාවත්කාලීන කළ හැකිය. ඒ සෑම මොහොතකදීම දුරකථන සමාගම් සොයා බැලීම සිදු කරයි.

ඉදිරියේදී මේ වෙබ් අඩවිය මඟින් හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර අස්ථානගත වීම් පිළිබඳව පැමිණිලි පමණක් නොව තම දුරකථනවලට ලැබෙන අනවශ්‍ය කරදර පීඩා දෙන ඇමැතුම් අංක ගැනද පැමිණිලි කළ හැකි වේ. තවද උසාවි නියෝග මත පොලිස් නිලධාරීන් විසින් දුරකථන විස්තර වාර්තා (Detail Bill) ලබා ගැනීමට කොළඹට පැමිණ දින ගණන් රස්තියාදුව ද නතර වේ. ඔවුනට උසාවි නියෝගය අප්ලොඩ් කොට අදාළ පොලීසියේ සිටම එම කාර්යය සිදුකරගත හැකිය. එසේම මේ වෙබ් අඩවිය මඟින් හඳුන්වා දී තිබෙන තවත් අමතර වාසියකි; ඔන්ලයින් වෙළෙඳාම හෝ කිසිදු වගකීමක් නොමැති ලෙස වෙළෙඳාම් කරන දුරකථන පිළිබඳව සොයා බැලීම. එහිදී මිලදී ගන්නා අදාළ දුරකථනයේ එමි අංකය එසැණින් වෙබ් අඩවියට ඇතුළුකොට එය හොරකම් කරන ලද්දක්දැයි සොයාගත හැකිය.

මෙවන් විශාල සේවාවක් සැලැසිය හැකි වෙබ් අඩවියක් පමණක් නොව මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 140ක් පමණ වැය වෙතැයි සඳහන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් පරිපාලනය වෙනුවෙන්ද වෙබ් අඩවියක් නිර්මාණය කර දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා දිවා රෑ නොබලා පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටේ සමස්ත ජනයා වෙනුවෙන් ම විශිෂ්ට සේවාවක් සිදු කොට තිබේ.

ඉදිරියේදී කෙනකු අන් සතු දුරකථනයක් ලබාගෙන භාවිත කළහොත් අනිවාර්යයෙන්ම නීතියේ රැහැනට කොටු වන බව සියලු ජනයා මතක තබාගත යුතු ම ය. එම නිසා පොලිසිය ජනයාගෙන් ඉල්ලා සිටිනුයේ තම දුරකථනය අස්ථානගත වුවහොත් වෙබ් අඩවිය හරහා අනිවාර්යයෙන්ම පැමිණිලි කරන ලෙසයි. එය අන් සතු දුරකථන භාවිත කොට අපරාධ සිදු කරන අපරාධකාරයන් පහසුවෙන් ම නීතියේ රැහැනට කොටුකරගැනීමට මනා පිටිවහලක් වන බවයි.

සුදු වෙන්න හදන අයට “කළු” ආරංචියක්.


වර්තමානයේ බොහෝදෙනා උත්සාහ දරන්නේ තමන්ගේ සම පැහැපත් කරගන්නවාටත් වඩා සම සුදු කරගැනීමටය. නවීන විද්‍යාව දියුණුවීමත් සමඟම ලෝකයේ බොහෝ රටවල් සම සුදු කර ගැනීමට විවිධ ක්‍රම අත්හදා බලමින් සිටී. ඒවායින් ඇතැම් අත්හදා බැලීම් සාර්ථක වුවද ඇතැම් විට මිනිසාගේ සිරුරට අහිතකර, විවිධ අසාත්මිකතා ඇතිකරවන අවස්ථා මතු වේ. 

සුදුවීමට වැඩිපුරම උත්සාහ දරන්නේ පිරිමි පාර්ශ්වයටත් වඩා කාන්තා පාර්ශ්වය වීම සාමාන්‍ය දෙයකි. එය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටත් පොදු වූ කරුණකි. කෙනෙක් සුදුවීමට උත්සාහ දැරීම වැරැද්දක් ලෙස සැලකීමට නොහැක. විශේෂයෙන්ම ඕනෑම කාන්තාවක් උත්සාහ දරන්නේ තමන්ගේ ස්වභාවික රූප සම්පත්තියට වඩා සුන්දරත්වයත් මෙන්ම සුදක් එක්කර ගැනීමටය. ඒ සඳහා කෙනෙකුට හානියක් නොවී තම නිරෝගීභාවය ආරක්ෂා කරගනිමින්ම සුදුවන්නට ක්‍රමයක් ඇත්නම් එය අත්හදා බලා ක්‍රියා කිරීමෙහි වරදක් දැකිය නොහැක. ඕනෑම කෙනෙක් අන් අයට ආකර්ෂණය වන ලෙස ජීවත් වෙන්නට කැමතිය. එය කුඩා කල සිට මහල්ලා දක්වා පොදු වූ කරැණකි. නමුත් ඒ සඳහා මීට වඩා සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය.

“අපි උත්සාහ කරගත යුත්තේ අපේ පැහැය නිරෝගිමත් වන ලෙස, නිවැරදි ලෙස වර්ණවත් කර ගැනීමටයි. එය අපි පැහැපත්කම ලෙස හඳුන්වනවා. අපේ සිරුරේ ඇති පැහැය එමඟින් වැඩිදියුණු කරගන්නවා. නමුත් අපිට මුණගැහෙන්න එන කවුරුවත් “අනේ මට නිරෝගිමත් පැහැපත් භාවයක් ලබාදෙන්න” කියල කියන්නේ නම් නැහැ. ඒ අය ඇවිත් අපිට කියන්නේ “අනේ අපිව සුදු කරන්න” කියලායි යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මහත්මිය දේශයට පැවැසුවාය.

ආසියාතික මිනිසුන් ලෙස අපට පිහිටා ඇත්තේ දුඹුරු රන්වන් පැහැය මිශ්‍ර සමකි. ඇතැමුන් ලා දුඹුරු පැහැති සමකට හිමිකම් කියති. ඕනෑම කෙනෙකුගේ පැහැය ජානවලින් පවතින දෙයකි.

“කෙනෙකු සුදු හෝ කළු පැහැය ඇතිවන්නේ ඒ තැනැත්තාගේ ජානවල හේතූන් නිසයි. යුරෝපා රටවල සියල්ලන්ම සුදු පැහැයෙන් යුක්ත වුවත් ආසියාතික රටවල බොහෝ මිනිසුන් දුඹුරු හෝ ලා දුඹුරු වර්ණවලින් යුක්ත වෙනවා. රටවල්වල දේශගුණික බලපෑම් අනුවද මිනිසුන්ගේ වර්ණය වෙනස් වෙනවා. කාලාන්තරයක් තිස්සේ ඒ ප්‍රදේශවල ජීවත්වීමෙන් ඒවාත් ඒ ජානවලට එකතු වෙනවා. මේ නිසා කෙනෙක්ට බලහත්කාරයෙන් තම වර්ණය වෙනස් කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ. මීට අමතරව තවත් සමහරුන්ගේ ජානවල එම විකෘතිතා හේතුවෙන් සිරුර සුදු පැහැයක් ගන්නවා. ඇතැමුන්ගේ මෙම ජානවල විකෘතිතා හේතුවෙන් සිරුරේ තැනින් තැන සුදු පැහැයක් ගන්නවා. සුදු කළු භේදයට ප්‍රබලව බලපාන්නේ සමේ ඇති මෙළනින් වර්ණකය හේතුවෙනි. මෙම මෙලනින් වර්ණකය අඩු වූ විට සුදු පැහැයත් එය වැඩි වූ විට කළු පැහැයත් සිදුවෙනවා.” යැයි ආයුර්වේද විශේෂඥ වෛද්‍ය රූපලාවණ්‍ය උපදේශක ඒ.එච්. තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

සුදුවීම වර්තමානයේදී කාලීන උමතුවක් වී හමාරය. බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ විවිධ හේතුන් නිසාවෙනි. ඒ අතරින් කාන්තාවන් වැඩිවශයෙන් සුදුවීමට උත්සාහ දරන්නේ පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටය. විශේෂයෙන් විවාහ වීමට සූදානම් වන වයසේ පසුවන තරුණියෝ තම ආදරවන්තයාගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා සුදුවීමට විවිධ ක්‍රම අත්හදා බලති.

මීට අමතරව බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ තමන් කැමැති පුද්ගලයන්ගේ සමට සමාන වීමටය. විශේෂයෙන් තමන් වඩාත් ප්‍රියකරන නළු නිළියන්ගේ වර්ණයට සමාන වර්ණයක් ලබාගැනීමට උත්සාහ ගනිති. මේ නිසා මෙවැනි අය රූපලාවණ්‍යාගාරයට ගොස් “මට මේ නිළිය වගේ සුදු වෙන්න ඕනේ” යැයි රූපලාවණ්‍ය ශිල්පිණියට ඇවිටිලි කරනා අවස්ථාද නැතිවා නොවේ. පාසලේදී හෝ රැකියා ස්ථානයේදී අන් අය ඉදිරියේදී තම සිරුරේ වරණය නිස කොන්වන බව සිතට දැනීම නිසාත් තව සමහරු තම වර්ණය වෙනස් කරලීමටත් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තම සුන්දරත්වය පෙන්වීමටත් හැකිවන ලෙස සුදුවීමට උත්සාහ ගනිති.

මේ නිසා බොහෝ කාන්තාවන් තුළ සුදුවීමට ඇත්තේ දැඩි කැමැත්තකි. මේ බොහෝදෙනා සුදුවීම සඳහා විවිධාකාර ආලේපන වර්ග භාවිත කරති. ඇතැම්හු බ්ලිචින් ක්‍රීම් ආලේප කරති. සමහරු දැන හෝ නොදැන ඉක්මනින් සුදුවීමට රසදිය වැනි බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු ක්‍රීම්වර්ග පාවිච්චි කිරීමට උත්සාහ ගනිති. එමගින් සිදුවන්නේ මිනිස් සිරුරේ ඇති උඩු ස්ථරය යම් පිළිස්සීමකට ලක්වීමය. මෙම පැහැය පිළිස්සීම හේතුවෙන් සිරුරේ පවතින රෝම කූප ඇතුළු සියල්ල යම් සුදු පැහැයකින් දිස්වේ. ඇතැම්විට එය රත්රන් වර්ණකයකින්ද පෙනී යා හැක. මේ අවස්ථාවේදී බැලූ බැල්මට සුදු පැහැය දිස්වුවද පැහැපත් වුවද කාලයක් ගතවෙද්දී තිබෙන පැහැයද නැතිවී, ආසාත්මිකතා හටගැනීම හේතුවෙන් ඇතැම්විට රෝහල් ගතවීමට ද පුළුවනි. මේ තත්ත්වයන් හේතුවෙන් සමහරුන්ට ජීවිතය අහිමි වූ අවස්ථාද නැතිවාම නොවේ.

“බොහෝ කාන්තාවන් වර්තමානයේදී සුදුවන්නට උත්සාහ දරන්නේ එන්නත් ක්‍රම මගින්. එසේත් නැත්නම් ලේසර් ක්‍රම මගින්. මෙම එන්නත් මඟින් ග්ලුටෝ පයෝන් ශරීරයට එන්නත් කරගන්නවා. ග්ලුටෝ පයෝන් අප ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයක පවතින දෙයක්. මෙය අප ශරීරයේ වැඩිපුර පවතින දෙයක් නොවේ. ශරීරයට පිටතින් එන්නත් ක්‍රම මඟින් ග්ලුටෝ පයෝන් ඇතුළු කරගැනීමටත් වැඩිවන මෙළනින් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ග්ලුටෝ පයෝන් පාලනය කරගන්නවා. එවිට ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකයන් සමඟ පාලනය වීමත් සමඟ යම්කිසි පැහැයක් ඇතිවෙනවා. නමුත් මෙම එන්නත් ක්‍රමය හිතුමතේට පාවිච්චි කරන්න බැහැ. එයටම සුවිශේෂී වූ විශේෂඥ වෛද්‍යවරැන්ට පමණයි මෙම එන්නත් ලබාදිය හැකි වන්නේ.” යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

සුදුවීමට පමණක් නොව වර්තමානයේදී බොහෝ කාන්තාවෝ තම රූපය සුන්දර කර ගැනීමට විවිධ නවීන ක්‍රම අත්හදා බලති. විශේෂයෙන් මුහුණේ රැලි වැටීම තාවකාලිකව හෝ වළක්වා ගැනීමට, පපු ප්‍රදේශය විශාල කර ගැනීමට, දෙතොල විශාල කර ගැනීමට උත්සාහ ගනිති. නමුත් මේ සියල්ලම කළ යුත්තේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් හා අනුමැතිය ඇතිව පමණි. අද බොහෝ රූපලාවණ්‍යාගාර තුළදීද මෙවැනි එන්නත් ක්‍රම සිදුකරයි. හතු පිපෙන්නා සේ රූපලාවණ්‍යාගාර බිහිවන්නා සේ ඒ හා සමානවම එවැනි ආයතනවලින් රූපයට යම් හානියක් සිදුවීමෙන් රෝගී වූ අවස්ථාද නැතිවාම නොවේ. ඇතැමුන් මෙම එන්නත් තමන් විසින්ම එන්නත් කරගනී. එය ඉතා භයානක තත්ත්වයකි. එන්නත් කිරීම යනු ඉතා වේදනාකාරී අවස්ථාවකි. සුදුවීමට ඇති බලවත් ඕනෑකම නිසාම මෙම අධික වේදනාව වුවද විඳදරා ගැනීමට මොවුහු පෙළඹෙති.

වර්තමානයේ කතුන් සුදු කරන විශාලම මාෆියාව වන්නේ ආලේපන වර්ගයි. මේ වනවිට නොයෙකුත් වර්ගයේ ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඇත. ඇතැම් ක්‍රීම් රූපලාවණ්‍යාගාරවලම නිෂ්පාදනය කෙරේ. වෙළෙඳපොළට ගොස් ආලේපන වර්ගයක් ආලේපනය කරද්දී සොයා බැලිය යුතු කරුණු කාරණා රාශියකි. “හිතුමතේට ආලේපන වර්ග මිලදී ගන්න එපා. තව කෙනෙකු පාවිච්චි කරන, ක්‍රීම් ආලේපන වර්ගයක් තමන් හිතුමතේට ආලේප කරන්න එපා. වෙළඳපොළේ ඉතා සාර්ථක, ඉතා උසස් ආලේප වර්ගද පවතී. ඒවා මිලදී ගන්න. යම් ආලේපන වර්ගයක් මිලදී ගනිද්දී එහි වෙළෙඳ නාමය, නිෂ්පාදිත රට, එහි අන්තර්ගතව ඇති ද්‍රව්‍යයත්, ආනයනය කරන සමාගම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය හා ඒ සම්බන්ධව ඇති තත්ත්ව සහතිකය පිළිබඳව අවධානය යොමුකරන්න.” යැයි මේ පිළිබඳ බොහෝ විශේෂඥයෝ අවවාද කරති.

වෙළෙඳ පොළ විවෘතය. නමුත් පාරිභෝගිකයා බුද්ධිමත් විය යුතුය. ජීවත්වීමට විශාල කාලයක් නොමැත. ඒ කාලය තුළ සුන්දරව ජීවත්වන්නට ඕනෑම කෙනෙකු කැමැතිය. එහි කිසිදු වැරැද්දක් නැත. නමුත් හිතුමතේට වෙළෙඳ පොළේ ඇති ආලේපන මුහුණේ ආලේප කිරීමත් අඩු මුදලට වෙළෙඳ පොළේ ඇති ආලේපනවලට රැවටීමත් හානිකර ප්‍රතිඵල උදාකරයි. ඇතැම් ආලේපනවල අලුතින් ස්ටිකරයක් අලවා තිබීම දක්නට ලැබේ. ඒ කල් ඉකුත් වූ දිනය වෙනුවට නව දිනයක් ආදේශ කරමින්ය. මෙවැනි ආලේපන භාවිතයෙන් අසාත්මිකතා ඇතිවේ. ඇතැම්හු මේ පිළිබඳව තව කෙනෙකුට කීමට පවා මැලිවෙති. මේ තත්ත්වයට වැඩිපුරම මුහුණ දෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවය. මුදල් හදල් ඇති අය වැඩිපුර මුදලක් වියදම් කොට විදෙස් රටකට ගොස් ඉහළ ප්‍රමිතියකින් යුත් එන්නත්, ආලේපන, මඟින් සුදුවීමට උත්සාහ ගනිති. නමුත් මාසේ වැටුපෙන් යම්තමින් ජීවත්වෙන කුඩා සැෂේ පැකට්ටුවක් ගෙන ලස්සන වෙන්නට උත්සාහ ගන්නා අප රටේ තරුණ තරුණියන් බහුතරයකට සුදුවන්නට ගොස් තිබෙන ලස්සනත් නැති කරගෙන ඇතැම් විට ජීවිතෙන්ම වන්දි ගෙවන්නට සිදුවීම කොයිතරම් නම් අවාසනාවන්තද...?

►දිශානි ජයමාලි කරුණාරත්න

'මගේ හීනය වුණේ නිළියක් වෙන්න' : ගීත්මා බණ්ඩාර

මේ වසරේ පැවති ‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනූ ගීත්මා බණ්ඩාර සමගින් අද තරු කතා බහ අපි මෙළෙස දිග හැරියේමු. රංගන ශිල්පිණියක් ලෙස දිගු ගමනක් යන්නට උත්සාහ කරන ගීත්මා මේ වනවිටද කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබා දී තිබේ.

ක්ෂේත්‍රයට ඔබ පිවිසෙන්න ‘හිරු’ අවුරුදු කුමරිය හරහා?

ඔව්, මේ වසරේ තිබුණ ‘හිරු’ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එහි දෙවැනි තැනට මාව තේරුණා. ඒ හරහා තමයි මට කලාවට එකතු වෙන්න වාසනාව ලැබුණේ.

ඔබ දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

‘හිරු’ අවුරුදු කුමරිය වෙන්න කළින් ඉඳලම මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ‘හිරු’ අවුරුදු කුමරිය තරගයෙන් පසුව ‘හිරු’ රූපවාහිනි නාළිකාවෙ මේ වනවිට විකාශනය වෙන ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදි ප්‍රදර්ශනය වෙන්න නියමිත සිනමා නිර්මාණ කිහිපයකටත් මම දායකත්වය ලබා දෙන්න දැනට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිළියක් වෙන්න පුංචි කාලේ හීනයක් ඔබට තිබුණද?

මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. පුංචි කාලෙ ඉඳලා මගේ හීනය වුණේ නිළියක් වෙන්න. ඒත්, ඒ වෘත්තියට මාව ගැළපෙයිද කියලා බයකුත් මට තිබුණා. මොකද, කොච්චර ආස වුණත් වැඩක් නැහැ ඒ කලාවේ රැඳිල ඉන්න තරම් දක්ෂතාවයක් නැතිනම්. ඒත්, අද වනවිට මට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ ආදරණිය චරිතයක් වන්නත් මට අද වෙන කොට හැකි වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි මට ඒ ගැන.

කලාව පැත්තෙන් ඔබට තියෙන ඉලක්ක මොනවද?

මේ ආපු ගමන හරීම කෙටියි. මට තව ඉගෙනගන්න දේවල් හුගාක් තියෙනව. ඒකට මට ප්‍රවීණයන්ගේ නොමද සහයෝගය ලැබෙනවා. ක්ෂේත්‍රය තුළ තමාගේ ප්‍රතිරූපය ගොඩනගා ගත යුත්තේ තමාමයි. මේ ක්ෂේත්‍රයට මම ගොඩක් ආසයි. ඒ හින්දා දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න තමයි අදහස.

සිනමාවට ඔබෙන් ලැබෙන දායකත්වය?

දැනට චිත්‍රපට කිහිපයක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. සමහරක් ඒවා තවමත් සාකච්ඡා මට්ටමින් තියෙනවා. හොඳයි කියලා හිතෙන නිර්මාණවලට මම දායක වෙනවා. මම හිතනවා පුංචි තිරේට වඩා සිනමා නිර්මාණ හරහා විශාල රසික පිරිසක් මට එකතු වේවි කියලා.

උදව් කරපු අය ගැන කිව්වොත්?

මේ ගමනේ මට උදව් කරපු අය බොහෝමයි මගේ අම්මා තමයි මගේ හැම දේකම ශක්තිය වුණේ. ඒ වගේම ‘හිරු’ රූපවාහිනි නාළිකාවේ මට උදව් කරපු වචනෙකින් පවා මාව දිරිමත් කරපු මට ශක්තියක් වුණ හැම දෙනාටම මගේ ස්තුතිය පිරිනැමෙන්න ඕනා.










අනවශ්‍ය රෝම සදහටම ඉවතට...


කාන්තා ඔබට අනවශ්‍ය රෝම කියන්නේ සිතට අසහනයක් එක්කරන කරුණක් බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවේ. නමුත් වෙළෙඳ පොළේ දැනට පවතින රෝම ඉවත් කරන්නට නිපදවා ඇති ආලේපන සම්බන්ධයෙන් ඇතැමුන් දරන්නේ තරමක නොකැමැත්තකි. ඒ මෙවැනි ආලේපන ඇතැම් සංවේදී සමක් සහිත කාන්තාවන්ට අසාත්මික වීමෙන් විවිධ ගැටලු පැන නගින අවස්ථා කොතෙකුත් පැවතීම හේතුවෙනි. 

රෝම ඉවත් කරගැනීමට පවතින තාවකාලික විසඳුම්වලින් හෙම්බත්ව සිටින ඔබට දැන් නවීන විද්‍යාවේ පිහිටෙන් නැවත කිසිදු දිනයක මතුනොවන ආකාරයට සදහටම රෝම ඉවත් කරගැනීමට පුළුවන. මේ අප ඒ සම්බන්ධව සිදුකළ විමසුමකි. 

කාන්තාවන් බොහෝ දෙනෙකු පිරිමින් මෙන් මුහුණේ රෝම ඇතිවීම පිළිබඳ නොසතුටෙන් පසුවන්නන් බව පැවසුවහොත් ඒ මතය සමග කාන්තාවන් බොහෝ දෙනෙකු තම එකඟතාව පළකරනු ඇත. එපමණක් නොව කාන්තාවන්ගේ දෑත්, දෙපා, උදරය, පපුව, පිට යන ස්ථානවල සාමාන්‍යයෙන් රෝම වැවෙන්නේ ඉතා සිනිඳු ලෙසය. වැඩි කාලවර්ණයකින් යුතුව නොවුණත් ඇතැම් කාන්තාවන්ගේ දෑත්, දෙපාවල, පිට සහ බඩ, පපුව යන ස්ථානවල පිරිමි අයෙකුගේ මෙන් රෝම වැවෙන අවස්ථා කොතෙකුත් පවතී. එය ලැජ්ජාවට හෝ අපහසුතාවට පත්විය යුතු ශාරීරික වශයෙන් ආබාධමය තත්ත්වයක් සේ සැලකිය යුතු දෙයක් නොවුණද මෙම තත්ත්වය එයට මුහුණදෙන කාන්තාවන්ගේ සිරුරේ හොර්මෝන ක්‍රියාවලියේ යම් වෙනසක් පවතිනවිට හා ඩිම්භ කෝෂවල ගැටලු පවතිනවිට ඇතිවීමට හැක. මෙයින් සිදුවන්නේ කාන්තාවගේ සිරුරේ සමේ පවතින සියුමැලි බව හා අලංකාරය යම්තාක් අඩාළ වීමක් නිසා අනවශ්‍ය රෝම පිළිබඳ සෑම කාන්තාවක්ම කනස්සල්ලට පත්විය හැකිය.

විශේෂයෙන්ම කාන්තාවකගේ රූපකාය පෞරුෂත්වයට මේ අනවශ්‍ය රෝම පිළිබඳ ගැටලුව වඩාත් බලපාන්නේ ඇගේ විලාසිතාවන්ට එයින් බරපතළ ලෙස ගැටලු මතුකරන්නට ඇති ඉඩ කඩ හේතුවෙන් බව සුලභ කාරණයකි. එසේ කියන්නේ ඇගේ වෘත්තීය මට්ටමට එයින් යම් බලපෑමක් ඇතිවීම නිසා වෙන්නටත් පුළුවන. යම් කාන්තාවක් නිරූපිකාවක්, නිළියක් හෝ කිසියම් නියත දිගක් තීරණය කිරීම නිසා මදක් කෙටියට පෙනෙනා,( පොලිස් හා හමුදා වැනි නිල ඇඳුම් ඇඳීම වැනි දෙපා මදක් නිරාවරණයව පෙනෙන) ඇඳුම් අඳිනා විට අධික ලෙස රෝම වැවී  තිබීම ඇය අසහනයට පත්කරනා කාරණයක් වන්නට ඉඩ ඇත්තේ එයින් ඇගේ දෙපාවල සුන්දරත්වයට යම් අසුන්දර බලපෑමක් ඇතිවෙන්නට තිබෙන ඉඩ හසර හේතුවෙනි. නමුත් සුන්දරත්වයට ඇති එම බාධාව මිස එම රෝම ඇගේ සාමාන්‍ය ජීවිතයට බලපෑමක් එල්ල නොකරනා බවත්, එයින් යම් ශාරීරික බලපෑමක් ඇති නොකරන බවත් කිව යුතුය. එහෙත් එසේ රෝම වැඩිපුර වැවීමට හේතු සොයා බැලීම නම් වරදක් නොවන්නේ හෝර්මෝන අසමතුලිතතා මෙන්ම ඩිම්භ කෝෂවල පිළිකාමය තත්ත්වයන් පවතින විටත් මෙවන් ලක්ෂණ දැකිය හැකි නිසාය. නමුත් එවන් විශේෂ හේතුවක් රෝම වැවීමට බලනොපාන අවස්ථා තිබෙන බවත් අමතක නොකළ යුතු කරුණකි. කෙසේ නමුත් අනවශ්‍ය තරම් රෝම වැවීමේ සීග්‍රතාවක් පවතී නම් ඔබේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය පරීක්ෂණ හරහා එයට හේතුව කුමක්ද යන්න තීරණය කරගැනීම වරදක් නොවේ.

දැන් අප අනවශ්‍ය රෝම ගැටලුව කාන්තා ඔබට ඇතිවෙන ආකාරය මුහුණ හා කඳ යන කොටස් දෙක වෙන වෙනම ගෙන විවරණය කර බලමු. කාන්තා මුහුණේ අනවශ්‍ය රෝම කම්මුල්, නිකට, සහ තොළ උඩ ඇති විය හැකි අතර මැද්දෙන් එකට හා වූ ඇහි බැමද කාන්තා මුහුණේ සුන්දරත්වයට බාධා කරයි. බොහෝ දෙනෙක් මේ සඳහා ත්‍රෙඩින් ක්‍රමය මෙන්ම වැක්ස් කිරීම , ට්වීසරයක ආධාරයෙන් ගැලවීම වැනි තාවකාලික ක්‍රම යොදාගන්නා අතර, එයද හරියාකාරව සිදු නොකළහොත් වෙනත් රූපලාවණ්‍ය ගැටලු ඇතිකරගන්නට මග පෑදිය හැක. 

එසේ රෝම කූපයෙන් රෝම ඇද ඉවත් කරන විට  එහි කේශ මූලය ආසාදනය වීම නිසා කළු පැහැති තිතක් ආකාරයේ පැල්ලමක් මතුවීමට ඉඩ තිබේ. එම අවස්ථාවේ එහි මෙලනින් තැන්පතුවක් ඇතිවීම හේතුවෙන් ඇතිවන මේ තිත් ආකාරයේ පැල්ලම් P I H ලෙස වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වනු ලබයි. මේ නිසා රෝම ඉවත්කිරීම නිසියාකාර දැනුවත් බවකින් සිදු නොකළහොත් එයින් අතුරුඵල රාශියක් ඇතිවීමට ඉඩ තිබේ. විශේෂයෙන් රෝම ඉවත්කිරීම සඳහා කිසියම් ආලේපනයක් තවරන්නේ නම් සමේ සීරීම් වැනි තත්ත්වයන් පවතින විට ඒවා ගැල්වීම එතරම් හිතකර නොවේ. මන්ද ඒවායේ අඩංගු රසායනිකයන් එවන් ස්ථානවලින් ශරීරය තුළට එක්විය හැකි බැවිනි. කුමන ක්‍රමයෙන් ඒවා ඉවත් කළත් එය නැවත වැඩෙන බැවින් වඩා සුදුසු වන්නේ ඒවා නැවත නොවැඩෙන අන්දමේ පිළියමකට යොමුවීම යැයි ඔබට සිතෙනවා ඇත. මෙසේ රෝම ඉවත්කළ හැකි ක්‍රම හතරක් පවතින බව ඔබ දන්නවාද? 

  1. ලේසර් හෙයා රිමුවර්
  2. කිවු ස්විච් ප්ලස්
  3. අයි පී එල්
  4. ඩයෝඩ් ලේසර් 808 නැනෝ මීටර් 

යනු ඒ ක්‍රම හතරයි. මෙහිදී රෝම ඉවත්කිරීම එක් දවසින්ම සිදු නොකෙරෙන බවත්, ඒ සඳහා වාර 4- 5ක් එම ප්‍රතිකාරයන්ට ලක්විය යුතු බවත් ඔබ දැන සිටිය යුතුය. නමුත් ඉතා දිගු කාලයක් මේ සඳහා බලාසිටිය යුතු නොවේ. මුහුණේ හැරුණු විට කිහිළි, බිකිනි ඒරියා, සහ පිට, පපුව, දෙපා, අත්  ආදී ස්ථානවලත් කාන්තාවන්ට අනවශ්‍ය යැයි සිතෙන පරිදි රෝම පැවතිය හැකිය. ඒවාද සදහටම ඉවත් කරන්නට අප මේ කියූ පර්මනන්ට් හෙයා රිමුවර් ක්‍රම තුළ අවශ්‍ය තරම් විසඳුම් තිබේ. මේවායේ අතුරු ආබාධ රහිත වන අතර අධික වියදමක්ද නොවේ. රුපියල් දස දහසත්, දොළොස් දහසත් අතර මුදලක් මෙම ප්‍රතිකාරයන්  සඳහා දල වශයෙන් වැය විය හැකි අතර, නැවත වතාවක් කිසිදු දිනයක රේසර්, වැක්ස්, රිමුවර් ක්‍රීම්. ත්‍රෙඩින් හෝ අනවශ්‍ය රෝම තාවකාලිකව ඉවත් කරන්නට දහස් ගණනින් මුදල් වැයකරන්නට ඔබට සිදු නොවනු ඇත. 

ඔබේ සිරුරේ හොර්මෝන තත්ත්වය කුමක් වුවත්, ආරය කුමක් වුවත් මේ ක්‍රමයෙන් සදහටම ඔබේ රෝම ඉවත්ව ගිය පසු නැවත ඇතිවීමක් සිදුනොවේ. එමෙන්ම මේ රෝම ඉවත් කළ පසු එය ඉවත් කර ඇති බවට කිසිදු සලකුණක් පිටතින් නොපෙනෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු දැනගැනීමට අවැසි නම් 0716412427 යන දුරකථන අංකය මගින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව ඇමතිය හැක. 

සටහන - නාලිකා රාජපක්ෂ

පත්තරේක කවරයක් දැකලා එයා මට කතා කළා : ඕෂධී


ඕෂධී... මේ දවස්වල වැඩ වැඩියි වගේ...?

ඔව්... මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. මගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දවස්වල සිද්ධ වෙනවා. මම මුලින්ම රඟපෑවේ උදය කාන්ත වර්ණකුලසූරිය මහතාගේ “වස්සානයේ සඳ” චිත්‍රපටයේ. ඒක මේ දිනවල තිරගත වෙනවා. දෙවැනියට මම රඟපෑවේ “Face To Face” චිත්‍රපටයේ. තුන්වෙනියට රඟපාන්නේ “මම Miss ජෙනිස්” චිත්‍රපටයේ. ඒක සුසිරන් ද සිල්වා මහතාගේ අධ්‍යක්ෂණයක් “මම Miss ජෙනිස්” සුසිරන් අයියගේ පළවෙනි චිත්‍රපටය. ඉතින් මේ වෙනකොට ඒ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. ඇත්තටම ඒක හරි අපූරු අත්දැකීමක්. 

මේ දිනවල ඕෂධී රඟපෑ මුල්ම චිත්‍රපටය “වස්සානයේ සඳ” තිරගත වෙනවනේ මොකද හිතෙන්නේ?

ඔව්... උදය කාන්ත වර්ණසූරිය අයියාගේ “වස්සානයේ සඳ” චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒකේ මම රඟපාන්නේ නතාශා කියන චරිතයයි. ඉතින් ලැබෙන ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මගේ පළවෙනි චිත්‍රපටය මේ කාලයේ තිරගතවීම ගැන ඇත්තටම තියෙන්නේ ලොකු සතුටක්. 

“වස්සානයේ සඳ” සිනමා නිර්මාණයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද...?

මේ අවස්ථාව මට ලැබුණේ මම හිටපු පුවත්පත් කවරයක් දැකලා. ඒක දැකපු උදය කාන්ත අයියා කතා කරද්දී මට පුදුම හිතුණා. මම ගොඩාක් සතුටු වුණා. එදා මම මුලදී හිතුවෙම නැහැ ඒ කතා කරන්නේ උදය කාන්ත අයියා කියලා. ඒ තරමටම මම පුදුම වුණා. මම හිතුවෙම මගේ යාළුවෙක් බොරුවට මට කතා කරනවා කියලයි. කොහොම හරි උදය කාන්ත අයියා කියලා දැනගත්තාම මම ඉතා සතුටින් ඒ අවස්ථාව බාරගත්තා. “වස්සානයේ සඳ” චිත්‍රපටය කරද්දී කැමරා අධ්‍යක්ෂණය කළ අයේෂ්මන්ත අයියා සහාය අධ්‍යක්ෂණය කළ ඩෝනල්ඩ් අයියාට ඇතුළු මුලු කණ්ඩායමම මට ලොකු සහයෝගයක් ලබලා දුන්නා. 

පුංචි කාලේ ඉඳන් ඕෂධී ආසාවෙන් හිටියේ කලාවට සම්බන්ධ වෙන්නද...?

නැහැ... එහෙම කැමැත්තන්නම් තිබුණේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මගේ හීනය වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වීමයි. මගේ පෙනුමත් එක්කම අපේ ගෙදරින් නිතරම මම “ලොකු වුණාම ගුවන් සේවිකාවක් වෙන්න” කියන හීනය දාලයි තිබුණේ. ඉතින් ඒක තමයි නිතැතින්ම මගේ හීනයක් වුණේ. 

ඒ හීනේ වෙනස් වුණේ කොතනින් ද...?

මගේ පුංචිට ඒ දවස්වල සැලෝන් එකක් තිබුණා. ඉතින් මනමාලියන් දැක්මවලට තරගවලට පුංචි මාව තමයි ඒ දවස්වල ඇන්දවූවේ. ඉතින්... ඒ හරහා තමයි මාව මේ නිරූපණ ක්ෂේත්‍රයට මුලින්ම යොමුවුණේ. මගේ ගම හික්කඩුවේ. මම හැදුණේ වැඩුණේ හික්කඩුවේ. මේ ක්ෂේත්‍රයට මම ගමකින් ආපු කෙනෙක්. මම ඉගෙන ගත්තේ අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකාවේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගීයි, මල්ලියි. මම පවුලේ වැඩිමලා. මගේ තාත්ති ව්‍යාපාරිකයෙක්... අම්මා ගෘහණියක්.



ඕෂධී කලාවට සම්බන්ධ වීම ගැන දෙමව්පියන්ගෙන් කැමැත්තක් තිබුණා ද...?

ඔව්... අම්මයි තාත්තයි අද වෙද්දී මම ඉන්න තැන ගැන ගොඩාක් සතුටු වෙනවා. මුලින් වුණත් ඒ දෙන්නාගෙන් ලොකු අකමැත්තක් තිබුණේ නැහැ. කවදාවක් “මේක කරන්න මේක කරන්න එපා” කියලා තහංචි දාලා නැහැ. ඒ නිසා එහෙම අකමැත්තක් එදා තිබුණෙත් නැහැ. අදටත් එහෙම අකමැත්තක් නැහැ. 

ඕෂධී අද රංගනයට එකතුවෙලා හිටියට ඕෂධී මුල් කාලයේදී ජනප්‍රිය වුණේ නිරූපණ ශිල්පිනියක් විදිහට... ඇතැමුන් නිරූපණ ශිල්පිනියක් දිහා බලන විදිහ වෙනස්...?

ඔව්... ඒක ඇත්ත. නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් දෙනා කරන කියන දේවල් නිසා සමහරු හැමෝම එකම මිම්මෙන් මනිනවා. ඒක නිරූපණ ක්ෂේත්‍රයේ දී විතරක් නෙමේ බොහෝ ක්ෂේත්‍රවලට පොදු දෙයක්. මම මියුසික් වීඩියෝ බොහෝමයකට දායක වුණා. ඒ අතරින් කිහිපයක් ගැන වරින් වර ඇතැමුන් කතාබහ කළා. හැබැයි ඉතින් ඒ තවත් එක් නිර්මාණයක් විතරයි. මම කවදාවත් මගේ හිතට එකඟ නැති කිසිදේකට සම්බන්ධ වෙන්නේ නැහැ. නිරූපණ ක්ෂේත්‍රයේ උස සහ ඇගේ හැඩය අත්‍යවශ්‍යයි. මම 5”5” උසයි. ඉතින් මම මගේ උස සහ ඇගේ හැඩය ගැන සතුටු වෙනවා. 

ඕෂදී දැන් මොකද හිතන්නේ.. නිරූපණ ක්ෂේත්‍රයද...? රංගනයද...? ඉදිරියේදී තෝරා ගන්නේ...?

මම මේ ක්ෂේත්‍රයට එකතුවෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහායි. අද වෙද්දී මම සිනමාවටත් එකතු වෙලයි ඉන්නේ. ඉතින් සිනමාවෙන් තව ඉස්සරහට යන්න ආසයි. ටෙලිනාට්‍යයවලටත් ආරාධනා කිහිපයක්ම ලැබුණා. හැබැයි තවමත් ඉදිරියට යන්න කැමැති නිරූපණ ශිල්පිනියක් විදිහටයි. ඉතින් ඒ දේවලුත් එක්ක ටෙලිනාට්‍යයකට දායකත්වය ලබලා දෙන්න කාලවේලාව මදිකමක් තියෙනවා. ඒ නිසා නිරූපණ ක්ෂේත්‍රයෙන් සහ සිනමාවෙන් පමණක් ඉදිරියට යන්න මම කැමතියි. 

“වස්සානේ සඳ” ඔබේ රූගත කිරීම් කළේ ඕස්ට්‍රේලියාවේයි...?

ඔව්... මම හිතන විදිහට “වස්සානේ සඳ” කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. ඒකේ රූගත කිරීම් කළේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි. ඒ දවස් ටිකනම් මගේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ. ඊට කලින් මම පොඩි පොඩි රටවල් කිහිපයක සංචාරය කරලා තිබුණට ඕස්ට්‍රේලියාව වැනි ලොකු රටකට මම ගිහින් තිබුණේ නැහැ. ඉතින්... ඒ ලබපු අත්දැකීම් හරි අපූරුයි. අපි සති තුනක් විතර ඕස්ට්‍රේලියාවේ නැවතිලා හිටියා. ඒ කාලය මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. 

“වස්සානේ සඳ” නතාෂාගේ චරිතය සිනමා නිර්මාණය ඔස්සේ දකිද්දී ඕෂධීට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද...?

ඔව්... ඇත්තටම නිර්මාණය දකිද්දී මට මම ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්. “වස්සානේ සඳ” චිත්‍රපටයේ දී මම ලොකුවට රඟපාන්න තිබුණේ නැහැ. නතාෂා කියන්නේ දඟකාර සාමාන්‍ය යුවතියක්. ඉතින් මගේ ජීවිතයට ගැලපෙන චරිතයක් තමයි නතාෂා කියන්නේ. ඉතින් මගේ පළමු රංගනය පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා. උදය කාන්ත අයියා වගේම බොහෝ දෙනා ඒ පිළිබඳව හොඳ ප්‍රතිචාර දැක්වූවා. ඉතින්... මම හිතන්නේ නතාෂාව මම මට පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරලා තියෙනවා.

[Text – Dishani / Sarawita]

Harini Kawyanjani Perera

Talent - Harini Kawyanjani Perera
Photography by - Eresh Jayanga Dias Photography
MUA: Sumudu Dias 
Location: Wasana Nature Resort 
Special Thanks: Lahiru De Zoysa




Lakshika Jayawardena

Talent : Lakshika Jayawardena
Photo Credits: Susantha K. Thennakoon Photography













Dananji Tharuka Kaluarachchi

Talent - Dananji Tharuka Kaluarachchi
Photography by - Dayan Pradeep Photographer - STUDIO A




Gamya Wijayadasa

Talent - Gamya Wijayadasa
Photography by - Nuwan Ranaweera - X IRIS Portraiture
HAIR AND MAKE UP- Priyantha Kumara at Chagall




Yureni Noshika Gunasekara

Talent - Yureni Noshika Gunasekara
Photography by - Ash Gamage Photography





Raini de Silva

Talent - Raini de Silva
Photography by - Ruchira Edirisinghe Photography
Retouched by: ReTouch.LK