කැළණි දියඹේදී මරු හමුවූ නිළිය.

තුෂානි ද සිල්වා මේ වෙන විට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක ලෙස ප්‍රසිද්ධියක්‌ ලබමින් එම ක්‍ෂේත්‍රයේ නැගී එන නිළියක ලෙස නම්දරමින් සිටි අයෙකි. නොසිතු මොහොතක සුළඟක ගසා ගෙන ගියා සේ ඇය වසත් සමයේ, සියල්ල අතහැර ගොස්‌ ඇත්තේය. 

කිසිදු හේතුවක්‌ නැතිවම සොබා දහම ඇයගේ හුස්‌ම පොද දිය යට සඟවා ගත්තේ ඉකුත් 16 වැනිදාය. තුෂානි සිය පවුලේ උදවිය සමග විනෝද චාරිකාවක්‌ ගියාය. ඒ කිතුල්ගලටය. 

 තාත්තේ අපි ෂූටින්වලට මෙහ ගඟකට ගියා. එතන හරිම ලස්‌සනයි. නාලා යමුකෝ. ඇය ඇවිටිලි කර තාත්තා කැමති කරගෙනය. අම්මාත් තාත්තාත් තුෂානිත් සිය දියණියත් සහෝදරිය සහ ඇයගේ පවුලේ උදවියත් කිතුල්ගලින් පහළට ඇද හැලෙන කැලණි ගඟෙහි ඇරඹුමේ වන දිය කඳෙහි ගිලී නෑවෝය. පැයක්‌ පමණ නා විනෝද වී ගොඩට විත් යළි තානායමට යන්නට පිටත්ව කකුලේ වැලි ගෑවි ඇති හෙයින් එය සෝදා ගෙන එන්නම් කී තුෂානි යළි ගලන දියපාර වෙතට ගියාය. ඇය යන අන්දම සියල්ලෝම නැවති බලා සිටියේ මේ අපගේ දියණිය අප හැර දමා යන්නටම යන්නේය යන හැගිමෙන් නොවුණද මවට කිසියම් කුකුසක්‌ දැනීදෝ දුව එහාට යන්න එපා මේ ළඟින් සෝදා ගන්න යෑයිද කීවාය. එහෙත් තුෂානි පෙර සසරේ පතා ආ පරිද්දෙන් මරුවා සොයා ගියාය. වියළි කොළ ගොඩක්‌ මත පා තැබූ ඇය හදිසියේම ගැඹුරට ගිලුනාය. විනාඩියක්‌ දෙකක්‌ ඇතුළත සියල්ල සිදුවී හමාර විය. 

 තුෂානිගේ පියා ලෙස්‌ලි ද සිල්වා ව්‍යාපාරිකයෙකි. මව රේණුකා උයන්වත්තය. වැඩිමහල් සහෝදරිය එරන්තිකා ද සිල්වාය. තුෂානි මහනුවර සීතාදේවි බාලිකාවේ ඉගෙනුම ලබා රඟපෑමට යොමු වූවාය. ඇය ගැන සිය පියා මෙසේ කියා සිටියේය.


අපේ පොඩි දුව පවුලට හරි ලැදීයි. හැම අවුරුද්දේම අපි විනෝද ගමනක්‌ යනවා අවුරුදු දවස්‌වල මෙදා ගියේ කිතුල්ගල. ලෙෂර්වල්ඩ් ගිහින් සිංදු කිව්වා. පරණ කතා කිය කිය හිනා වුණා. දුව හරිම ආසයි නටන්න සිංදු කියන්න. එයා හැම වෙලාවෙම සතුටින් ඉන්න කැමතියි. අපි මොනවා හරි කල්පනා කර කර හිටියත් එයා අපිට කල්පනා කරන්න දෙන්නේ නැහැ. ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනි කියලා එයා කියන්නේ. අපිත් හැමදේම අමතක කරලා සතුටින් ඉන්නවා පොඩි දුවත් එක්‌ක. එදා උදේ මාත් එක්‌ක එක පිගානෙන් කෑවා. දවල්ට කොහෙන් හරි රසට කමු කිව්වා. ඒත් උදේ මගේ පිඟානෙන් කාපු ඉදිආප්ප ටික විතරයි මයේ කෙල්ල යන්න ගියා"

"කවදාවත් නැති තරම් නංගි මා එක්‌ක එදා රෑ කතා කර කර හිටියා. අපි දෙන්න යාළුවො වගේ. නංගි විනෝදෙන් ඉන්න කැමති... දැන් මට සහෝදර සෙනෙහසක්‌ නෑ" තුෂානිගේ සහෝදරිය කියා සිටියාය. 

"මට ඉවෙන් වගේ පහුගිය ටිකේ දැනුනා කරදරයක්‌ අත ළඟ කියලා... පොද්දිව නිතරම මං හීනෙන් දැක්‌කා. දැන් කෙල්ල හීනයක්‌ වගේ අපිව දාල ගියා. පොද්දී ගිලෙද්දී තාත්තා එයා ළඟට පනින්න හැදුවා. පොද්දීගේ දුව යන්න දුන්නේ නෑ. එපා සීයා ගහගෙන යයි කියලා ඇඬුවා. අනේ ඒ පුංචි ඒකිට තාම අවුරුදු දහයයි. දැන් අම්මා නැති දරුවෙක්‌.."

දුක්‌ අඳෝනා විලාප සියල්ල මද නැගී ආ සඳ රහසේම බැස ගියේ සෙන්කඩගල පුරවරයටද දුකක්‌ ඉතිරි කරමිනි.

0 comments: