දික්කසාදයකින් ඔබට හිමි - අහිමි දේවල් තීරණය වන්නේ මෙහෙමයි.


කාන්තාවන් සමාජය, සංස්කෘතිය තුළ නොයෙක් භූමිකාවන් නිරූපණය කරන අතර, ඒ තුළ ඇයට පැවරෙන වැඩ ප්‍රමාණයද එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. එමෙන්ම ඇය නීතියෙන් වුවද පුරුෂයා හා සමානව සැලකුවද, ඇතැම් සමාජීය, ජීව විද්‍යාත්මක හා ආර්ථික කාරණා මත නීතියෙන් සමාන ආරක්ෂණයක් ලැබුණද ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඇයට අසාධාරණයක් සිදුවේ. ඒ අනුව දික්කසාදය තුළ වුවත් ඇය මුහුණපාන ප්‍රශ්න රාශියකි. පුරුෂයා හා ස්ත්‍රිය දික්කසාදයකදී නීතියෙන් එක හා සමාන ලෙස සලකා නඩුවක් තීන්දු කළද තවත් බොහෝ කාරණා මත ඇය මහත් අසරණබවකට පත්වේ. මේ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පුද්ගල හා තුලනාත්මක නීති අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය රෝස් විජේසේකර මහත්මිය  සම්බන්ධ කර ගැනීමට අපි සිතුවෙමු.  

පෙරට වඩා වර්තමානයේ දික්කසාද වන ප්‍රමාණය වැඩියි. දික්කසාදයකට යෑම කියන තැනදී සාමන්‍යයෙන් කාන්තාව පොදු සිංහල සමාජය තුළ නීතිමය අංශයෙන් ඒ තරම් ප්‍රශ්නයකට භාජනය වෙන්නේ නැහැ. නමුත් මුස්ලිම් නීතියේදී එය කාන්තාවන්ට බලපාන්නේ පිරිමි පුද්ගලයෙකු දික්කසාද වීමේදී බලපාන නීති තත්ත්වය අනුව නෙමෙයි. ඒ නිසා ඒ දෙකෙහි ලොකු වෙනසක් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශයේදී නීතිමය අංශයෙන් සාමාන්‍ය සිංහල හා ද්‍රවිඩ දෙපිරිසටම ගත්විට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් පොදුවේ සිංහල හා ද්‍රවිඩ යන කාන්තාවන් දෙපාර්ශ්වයටම සමාජීය වශයෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදුවෙනවා. 

සාමාජීය හා ආර්ථික වශයෙන් මුහුණපාන ප්‍රශ්න වැඩියි

සිංහල හා ද්‍රවිඩ කාන්තාවන් දික්කසාද වීමේදී නීතිමය වශයෙන් ඔවුන්ට වෙනස්කමක් කිසිවක් සිදුනොවුණත් සමාජීය හා ආර්ථික වශයෙන් මේ අය මුහුණපාන ප්‍රශ්න විශාලයි. සාමාන්‍යයෙන් රැකියාවල නියුතු වන කාන්තාවන් විවාහ වන අවස්ථාවේදී ඇතැම් විට රැකියාවෙන් ඉවත් වීමට පෙළෙඹෙනවා. එමෙන්ම විවාහය තුළින් ඔවුන්ට දරුවන් සිටින්නට වුණත් පුළුවන්. ඒ නිසා ඇය දික්කසාද වන අවස්ථාවේදී බොහෝ විට ආර්ථිකමය වශයෙන් ස්වාමිපුරුෂයා තරම් ප්‍රබල අවස්ථාවේ ඒ වන විට නැහැ. එසේ වන විට නීතිය සමානව සැලකුවත් සමාජීය වශයෙන් ඇය දෙවැනි තැනක සිටින්නේ. ඇය නීතියට ප්‍රවේශ වීම කියන තැනදී පළමුව ලොකු ප්‍රශ්නයකට මුහුණපානවා.

නීතියේ සහාය ලබාගැනීමේදී මුදල් කියන දෙය ප්‍රබල දෙයක් කියලා අපි දන්නවා. නඩු ගාස්තු, නීතිඥ ගාස්තු වගේ දේවල්වලට ඇයට මුදල් යොදවන්න සිදුවෙනවා. නීතිඥ සහාය ලබාගැනීමේදී පිරිමි පාර්ශ්වයට මෙන් ප්‍රබල තත්ත්වයක් නොමැති නිසා බොහෝ වේලාවට නීතිඥ සේවයේත් ඇයට යම් යම් අඩු පාඩුකම් සිදුවෙන්නට පුළුවන්. 

පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ 

දික්කසාද නඩුවකදී නීතිමය ප්‍රශ්නවලට වඩා සිද්ධිමය ප්‍රශ්න ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් වෛවාහික වරදක් කර තිබෙනවා නම් පමණයි නීතියෙන් දික්කසාදයක් ඉල්ලන්න පුළුවන්. වෛවාහික වරදක් යනුවෙන් අදහස් කරන්නේ එක්කෝ විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබෙන්න ඕන. නැතිනම් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය අතහැර දමා තිබෙන්න ඕන. එසේත් නොමැති අවස්ථාවල එක් පාර්ශ්වයක් ලිංගික බෙලහීනතාවකට පත්වෙලා තිබෙන්න ඕන. මේ කියන කාරණා ත්‍රිත්වය මත පදනම් වෙමින් දික්කසාදයක් ඉල්ලීමේ හැකියාවක් තිබෙනවා. 

එවිට අනෙක් පාර්ශ්වයේ මෙවැනි වැරදි තිබෙන බව කියන කාන්තාව හෝ පුරුෂයා එනම් දික්කසාද නඩුවක් පවරන ඔහු හෝ ඇය ඒ කාරණාව ඔප්පු කර පෙන්වීමට අවශ්‍යයි. එය ඔප්පු කළ යුත්තේ මෙහෙමයි කියා නීතියේ පැහැදිලි කිරීමක් තිබෙනවා. නමුත් මේ යටතේ  හාරලා අවුස්සලා ගන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල්. බොහෝ අවස්ථාවන්වලදී පෞද්ගලික කාරණා හාරලා අවුස්සලා ගන්න ගියහම පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ. 

විවාහය කියන සංස්ථාව තුළ සමාජය කාන්තාවකගෙන් බලාපොරොත්තු වන දේවල් වැඩියි 

ද්වේෂ සහගතව සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමා යන තත්ත්වයකදී වුණත් සමාජයක් විවාහය තුළ පිරිමින්ගේන් අපේක්ෂා කරන දෙය හා කාන්තාවකගෙන් අපේක්ෂා කරන දෙය වෙනස් නිසා පිරිමි කෙනෙක් අත්හැර දමා ගියවිට සාධාරණ හේතුවක් නොමැතිව එක වෛවාහික වරදක්ය කියලා පෙනෙන දෙයට වඩා කාන්තාවක් අතහැරලා ගිය අවස්ථාවකදී ඒක වෛවාහික වරදක්ය කියා කියන දෙය ඔප්පු කරන්න පහසුයි. මොකද කාන්තාවකගෙන් විවාහය කියන සංස්ථාව තුළ සමාජය බලාපොරොත්තු වන දේවල් පිරිමි කෙනෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වන දේවලට වඩා ගොඩක් වැඩියි. එම නිසා නීතිය එසේ වුවත් සමාජයට  භාවිතයත් සමග එය අදාළ වීමේදී පිරිමි කෙනෙකුට අදාළ වෙන්නේ එක විදිහකට, ගැහැනු කෙනෙකුට අදාළ වෙන්නේ තවත් විදිහකට. 

විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබීම

අපි අනාචාරය කියන දෙය ගත්තත් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක් ඒක්ක රාත්‍රී කාලයේ කුමක් හෝ අවශ්‍යතාවකට ගියවිට තිබෙන වෙනසයි, විවාහක ගැහැනු කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන පිරිමි කෙනෙක් සමග රාත්‍රී කාලයේ අවශ්‍යතාවකට ගියවිට බලන ආකාරයයි දෙයාකාර ස්වරූපයක් ගන්නවා. ඇත්තෙන්ම එහිදී වැරැද්දක් යැයි හඳුන්වන දෙයක් නොතිබෙනවා විය හැකියි. විවාහක ගැහැනිය හා විවාහක පුරුෂයා කර තිබෙන්නේ එකම දේ වූ නමුත් මේ දිහා බලන ආකාරය වෙනස්. නීතියේ තිබෙන්නේ එකම කරුණ වුවත්, උසාවියක් තුළ සාක්ෂි විමසන අවස්ථාවේ  විනිශ්චකාරවරයාගේ සිටම නීතිඥවරයා මෙය උලුප්පා දක්වන ආකාරයෙන් කාන්තාව බරපතළ ලෙස වෙනස් තත්ත්වයකටයි මුහුණපාන්නේ. 

ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හි කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතියේ පූර්වේක්ෂණය 

දික්කසාදයක් වීම සඳහා බලපාන තවත් කාරණාවක් ලෙස ලිංගික බෙලහීනතාව හඳුනාගන්න පුළුවන්. අපේ නීතිය තුළින් විවාහයක් ඇතුළත සිදුවන ස්ත්‍රී දූෂණයක් කියා දෙයක් පිළිගන්නේ නැහැ. විවාහ වුණාට පසුව කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හිදී කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතිය පූර්වේක්ෂණය (උපකල්පනයක්) කරනවා. එනිසා තමයි කාන්තාවකගේ අකැමැත්ත මත සිදුවන ලිංගික සංසර්ගය විවාහයක් තුළ සිද්ධ වෙනවිට එය ස්ත්‍රී දූෂණයක් ලෙසින් පිළිගන්නේ නැත්තේ. 

විවාහක කාන්තාවක තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන අයෙකු සමග තමන්ගේ කැමැත්ත නැතිව ලිංගික සංසර්ගයක යෙදුෙණාතින් නීතිය අනුව එය ස්ත්‍රී දූෂණයක් වූවත්, ස්වාමිපුරුෂයා තමන්ගේ භාර්යාවගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙසින් සලකන්නේ නැහැ. එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ මැරිටල් රේප් (marital rape) යන නමින්. යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් දියුණු රටවල්, සිංගප්පූරුව වැනි රටවල් මෙම වෛවාහික දූෂණය පිළිගන්නවා. නමුත් ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල තවමත් ඒ තත්ත්වය පිළිගන්නේ නැහැ. 

ඒ නිසා කොන්දේසි විරහිතව ලිංගික අවශ්‍යතාවන් ඉටුකළ යුතු යැයි පිළිගන්නා තත්ත්වයක් තුළ කාන්තාවගේ යම් යම් ශාරීරික නොහැකියාවන් ලිංගික බෙලහීනතාව කියා අර්ථකථනය කිරීමේ අවදානමක් තිබෙනවා. ඇත්තෙන්ම නීතියේ ලිංගික බෙලහීනතාව කියා පදනමක් කර ගන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ යුතු තත්ත්වයක්. 

නමුත් ශාරීරික වශයෙන් කාන්තාවන් මුහුණදෙන ලිංගික චර්යා චක්‍රයයි, පිරිමි ලිංගික චක්‍රයයි වෙනස්. කාන්තාවන්ට දරුවන් ලැබෙනවා. ඒ වගේම ඔසප් වීම් සිද්ධ වෙනවා, ආර්ථභාවය සිදුවෙනවා. එවැනි ශාරීරික ක්‍රියාවන් නිසා ලිංගික වශයෙන් යම් යම් නොහැකියාවන්වලට වැඩි වශයෙන් භාජනය වන්නේ කාන්තාව. නමුත් නීතියේ බෙලහීනතාව කියා ලියා තිබෙන්නේ කාන්තාව හා පිරිමියාට එක හා සමානවයි. නමුත් මේ භෞතික කාරණා නිසා මෙය කාන්තාවන්ට වෙනස් ආකාරයකට බලපානවා. උසාවියකදී දික්කසාද නඩු ඔප්පු කිරීමේදී මේ වගේ දේවල් එළියට ගන්නවා. එහිදී සිදුවන්නේ ඇත්තෙන්ම කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා වගේ වැඩක්. 

ඔය කියන කාරණා තුනට හා සම්බන්ධ සිද්ධිමය දේවල් ප්‍රසිද්ධියේ උසාවියේ කියැවෙන අවස්ථාවේදී කාන්තාවක් අසීරුතාවකට පත්වෙන ආකාරයයි, පුරුෂයෙකු පත්වන අසීරුතාවයි අපිට සමාන කරන්න පුළුවන්ද? ඒ නිසා එතැනදීත් කාන්තාව අපහසුතාවට වෙනස්කමකට ලක් වෙනවා. 

පවුල් උපදේශනය තුළ කාන්තාව පත්වන අපහසුතාව
දික්කසාදයක් ගැනීමේදී පළමුවෙන්ම පවුල් උපදේශනය සඳහා යොමු කරනවා. මේ පවුල් උපදේශනයට යොමු කිරීම පිළිබඳවත් නොයෙකුත් ගැටලු මතු වී තිබෙනවා. මෙහිදී පිරිමි අය වැඩි වශයෙන් උපදේශකයන් ලෙස කටයුතු කරනවා. ඒ අය පුහුණු උපදේශකවරු තමයි. නමුත් පවුලේ ප්‍රශ්නයක් නිසා උපදේශනයට ගියාම කන්තාවන්ට බලපෑම් ඇතිවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

දික්කසාද වූ කාන්තාවකට සමාජයේ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න.

තීන්දුව ගත් පසු නැවතත් ඒ කාන්තාව තනි කෙනෙකු බවට පත් වෙනවා. මේ වන විට කාන්තාව හොඳ මූල්‍යමය තත්ත්වයක් දරන කෙනෙකු නම් මූල්‍යමය පැත්තෙන් ඉදිරි කාලය තුළ ජීවිතය ගෙවා දැමීම ඇයට එතරම් අපහසු කටයුත්තක් වෙන්නේ නැහැ. පිරිමි කෙනෙක් රැකියාවක නිරත වීම සුලභ දෙයක්. ඒ නිසා දික්කසාද වූ නිසා පුරුෂයාට එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දික්කසාද කාන්තාවකට සාමාන්‍යයෙන් අවිවාහක කාන්තාවකට වඩා සමාජයෙන් එන වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදුවිය හැකියි. 

නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථාවේ මූල්‍යමය අතින් අසරණ වන කාන්තාව

දික්කසාද වන විට දරුවන් සිටියා නම් ඒ දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ප්‍රශ්නත් මතුවෙනවා. එහිදී භාරකාරත්වය මවට හෝ පියාට නඩු තීන්දුවේදී ලැබෙන්න පුළුවන්. මව දික්කසාදයේදී නිර්දෝෂී පාර්ශ්වය වී ඒ මවට භාරකාරත්වය හිමිවුණෝතින් පියාටද තම දරුවන්ගේ නඩත්තුව ගෙවන වගකීම ගැනීමට සිදුවෙනවා. නමුත් ඇතැම්විට පියා දික්කසාදයෙන් පසු නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථා තිබෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඒ කාන්තාවට තමන්ගේ දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් නඩත්තු නඩු දමා උසාවි යන්නට සිදුවෙනවා. එසේ වූ විට ඇයට උසාවියේ නීතිඥ සේවය ලබාගන්න නැවතත් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට මාස්පතා උසාවිය ඉදිරියේ පෙනී සිටිමින් නඩත්තුව ඉල්ලා සිටින්නට සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී කාන්තාව අසරණ තත්ත්වයකට පත්වෙනවා. 

දික්කසාදයෙන් පසු දේපොළ හිමිකාරීත්වය

දික්කසාදයට පෙර භාර්යාවගේ නමින් යම් දේපොළක් තිබුණානම් එය අයිති වන්නේ ඇයටයි. නැතහොත් ස්වාමිපුරුෂයාගේ නමින් යම් දේපොළක් තිබුණා නම් එය ස්වාමිපුරුෂයාට අයිති වෙනවා. නමුත් භූමිය භාර්යාවගේ වී සෑදූ නිවසේ වියදම ස්වාමිපුරුෂයා දරා ඇති විටෙක ඔවුන් දික්කසාද වීමේදී ඉඩමේ අයිතියට ප්‍රමුඛතාව ලබාදෙනවා. නමුත් අසාධාරණයක් සිදු නොවන්න හානි පූරණයක් සිදුකොට සිදුවුණ අලාභයට යම්කිසි මුදලක් ගෙවා නිවසේ අයිතියද භාර්යාවට ගැනීමේ හැකියාව තිබෙනවා. 

දික්කසාදයේදී නිර්දෝෂි ඇයට හෝ ඔහුට ඇලිමලි දීමනා (එක්වර ගෙවීම)

ස්වාමිපුරුෂයා හා දික්කසාද වීමේදී ඇය නිර්දෝෂී නම් ස්වාමිපුරුෂයාගේ හැකියාව, ඇයගේ අවශ්‍යතාවය, නැතිවුණ දේවල්, වැරැද්ද යන කරුණු කාරණා පදනම්ව එකවර වන්දි මුදලක් පුරුෂයා විසින් ඇයට ගෙවන ලෙස උසාවිය තීරණය කරන්න පුළුවන්. එමෙන්ම ස්වාමිපුරුෂයා නිර්දෝෂී පාර්ශ්වය නම් ඇයට සිදුවෙනවා යම් කිසි මුදලක් ස්වාමිපුරුෂයාට ගෙවන්නට. එනිසා එතැනදී ලොකු අසාධාරණයක් කාන්තාවකට සිදුවෙන්නේ නැහැ. 
එක් පාර්ශ්වයක කැමැත්තකින් තොරව තම දරුවන් විදෙස් රටවලට ගෙන යා නොහැකියි

දරුවන් වෙනත් රටකට ගෙන යෑමේ අවශ්‍යතාවක් ඇති වූ විට උසාවිය ඉදිරිපත් වී අනෙක් පාර්ශ්වයෙන් අවසර ලබාදෙන බවට ලිඛිතව කැමැත්ත ලබාදෙන්න ඕන.

දික්කසාදයේ අවසන් තීන්දුවට ප්‍රථම තවත් විවාහයක් සිදුකරගත් විට බහු විවාහයකට වරදකරු වේ

දික්කසාද නඩුවකදී තීන්දුව ලබාදෙන්නේ පියවර දෙකකින්. පළමුව ලබාදෙන්නේ 'නෛයිසයි 'නඩු තීන්දුව. එම තීන්දුව ලබාදී අවම වශයෙන් මාස තුනක් පමණ ගිය විටදී අවසාන තීන්දුව ලබාදෙනවා. ඇතැම් අය මේ තත්ත්වය වරදවා වටහා ගනිමින් ඇතැම් විට 'නෛයිසයි' තීන්දුවෙන් පසුව විවාහ වෙනවා. එවැනි විවාහයන් නීත්‍යනුකූල වන්නේ නැහැ. එහිදී බහු විවාහයකට ඔහු හෝ ඇය වරදකරු වෙන්න පුළුවන්. 

ගබ්සාව

අපේ රටේ තවමත් තිබෙන්නේ මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවකදී හැර ගබ්සාවක් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් යනුවෙනුයි. යම්කිසි අවස්ථාවක ස්ත්‍රී දූෂණයකට ලක්වී ගැහැනු දරුවෙකු හෝ කාන්තාවක් ගැබ්ගෙන ඇති අවස්ථාවක සහ ශාරීරිකව හා මානසිකව කලලය මත සිටින දරුවා රෝගී තත්ත්වයකින්  පෙළෙන අවස්ථාවකදී යන සීමා සහිත අවස්ථාවන්වලදී ගබ්සාව සඳහා ඉඩ දෙන ලෙස ඉල්ලා නීති සංශෝධනයන් ඉදිරිපත් වුණා. තවමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් පවතිනවා. 

මුස්ලිම් නොවන වෙනත් අෙයකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ 

සිංහල කෙනෙකු ද්‍රවිඩ කෙනෙකු හා විවාහ වීමේදී එය සිදුකළ යුත්තේ සාමාන්‍ය නීතිය යටතේ. ඒ නිසා එම විවාහය දික්කසාද කළ යුත්තේද සාමාන්‍ය නීතිය යටතේයි. නමුත් මුස්ලිම් අයෙකු සිංහල හෝ ද්‍රවිඩ අයෙකු විවාහ කරගත් විට එවැනි නීතියක් සාමාන්‍ය නීතියක් යටතේ සිදුකරන්න පුළුවන්. නමුත් මුස්ලිම් නොවන වෙනත් අයෙකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ. මුස්ලිම් තරුණියක් එසේ වෙනත් ජාතියක කෙනෙක් සමග සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුවහොත් මුස්ලිම් නීතියෙන් ඇය තවදුරටත් පාලනය නොවේ. 

ප්‍රදේශයක කාතිවරයාට අවුරුදු 12ට අඩු ගැහැනු ළමයෙක් වුණත් වැඩිවියට පැමිණ තිබෙනවා නම් විවාහ කර දීමට අවසර ලබාදීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙය තවමත් නීතියේ තිබෙන තත්ත්වයක්. එය ඇත්තෙන්ම ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. මෙය බරපතළ ලෙස නරක ප්‍රතිඵල ඇති කරන තත්ත්වයක්.

මුස්ලිම් කාන්තාවක් හෝ පිරිමියෙකුගේ විවාහය, දික්කසාදය, දරුවන් හදාගැනීම, දරුවන්ගේ භාරකාරත්වය, වගේ දේවල් සියල්ල නිරූපණය වන්නේ ඔවුන්ගේ මුස්ලිම් නීතිය හරහා. ඒ සඳහා සකස් වුණු වෙනම මුස්ලිම් නීති හා එහි තීන්දු ලබාදීම සඳහා කාති උසාවි පිහිටුවලා තිබෙනවා. 

මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ සීමිතයි

මේ කාති උසාවිවල සිටින කාතිවරුන් සම්පූර්ණයෙන් පිරිමි පුද්ගලයන්. ඒ නිසා මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ අඩුයි. මුස්ලිම් සමාජය අතිශයින් පුරුෂ මූලික සමාජයක්. ඒ අය ගැහැනු අය දෙස බලන්නේ එක්තරා විදිහකට. මුස්ලිම් නීතියේදී සාක්ෂිකරුවෙකු ලෙසින් මුස්ලිම් පිරිමි කෙනෙක් කියන දෙයක් පිළිගන්නා නමුත් කාන්තාවක් සාක්ෂිකයක් ලබාදුන්විට එය තහවුරු කිරීමට තවත් කාන්තාවක් සාක්ෂි ලබාදිය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ අපි කොහොමද කාන්තාවන්ට සමානාත්මතාවක් අපේක්ෂා කරන්නේ. 

විදෙස් රටවලදී බලපාන පෞද්ගලික ජාත්‍යන්තර නීතිය
අපේ රටේ අයෙකු වෙන රටකට ගිය පසුව එතැනදී අපේ රටේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැනදී ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතිය. අපේ රටේ අෙයකු වෙනත් රටක අපරාධයක් කළ විට එහිදී බලපාන්නේ ඒ අදාළ රටේ අපරාධ නීතිය. ලංකාවේ කාන්තාවක් ජපානයේ පුරුෂයෙකු විවාහ කරගත් විට කුමන රටක නීතියක් අනුවද විවාහ විය යුත්තේ කියා ප්‍රශ්නයක් මතුවෙනවා. ජපන් නීතිය යටතේ විවාහවී ශ්‍රී ලංකාවේද ලියාපදිංචි වුවහොත් එම විවාහය රටවල් දෙකම පිළිගත් විවාහයක් වෙනවා. නමුත් මේ දෙපළටම දරුවෙක් සිටින අවස්ථාවක වෙන් වී මව තම දරුවා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියහොත් ජපානයේ සිටින ස්වාමිපුරුෂයා කුමක්ද කළ යුත්තේ. එහිදී බලපාන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතියයි. 

පුරුෂයාගේ අවසරය නොමැතිව එසේ ලංකාවට දරුවා ගෙන ඒමේදී ලංකාවේ මහාධිකරණයේ මේ සම්බන්ධ විශේෂ නීතියක් තිබෙනවා. මහාධිකරණය, විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ දරුවගේ ප්‍රශ්නේ ඒ අධිකරණයේ විභාග කරන්නේ ලංකාවේ නීතියට අනුව නොව ඒ තිබෙන විශේෂ නීතියට අනුවයි. මෙවැනි ගැටලු ඇතිවන නිසා හැම රටකටම පොදු යම්කිසි නීතියක් තිබෙන්න ඕන. ඒ නිසයි එවැනි අවස්ථාවල පෞද්ගලික ජාත්‍යන්තර නීතිය වැදගත් වෙන්නේ. 

 ( ෂෙහානි දිල්රුක්ෂිකා )

0 comments: