Showing posts with label Activities. Show all posts

ඔයාලගෙම වෙන්න හදන ගායන තරුවක්.


නීති ශිෂ්‍යයෙක් කියන්නේ ව්‍යවස්ථා,නඩු තීරණ,රෙගුලාසි,අණ පනත් කට පාඩම් කිරීම හමුවේ හිරවුණ ජීවිතයක් ගෙවන්නා වූ අයෙක් ලෙස සමාජයේ බොහෝ දෙනෙක් අතර මතයක් පවතිනවා.නමුත්,අද 'shii magazine' අප සමග සුහද කතා බහට එක් වන 'ප්‍රමිත් ගනේආරච්චි' වෙනස්ම සෞන්දර්යාත්මක ජීවිතයක් ගත කරන නීති ශිෂ්‍යයෙක්.


  • ආයුබෝවන්,ප්‍රමිත් ඔබගේ සම්පූර්ණ නම කියමින්ම කතා බහට එකතු වෙමු?

ගීතක සෞම්‍ය ප්‍රමිත් ගනේආරච්චි.

  • "ගීතක සෞම්‍ය" යම් ආකාරයකින් ඔබගේ නිපුණතාවයක් නමින්ම සදහන් කරන පුදුමාකාර ප්‍රවේෂයක් නේද?
මට මේ නම දාලා තියෙන්නේ අම්මයි අප්පච්චියි.ඉපදුණ වෙලාවේ වෙලාව බැලුවාම කියලා තිබුණා සංගීතය පිළිබදව දක්ෂතාවයක් දක්වන කෙනෙක් වෙයි කියලා...සමහරවිට නම දාද්දි අම්මා අප්පච්චිගේ ඔළුවේ ඒකත් තියෙන්න ඇති.

  • ඔබ පාසල් කාලයේදී සංගීතය පිළිබදව දක්ෂතාවයන් දක්වා තිබේද?
ඔව්,මම 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ආපු එක මගේ ජීවිතයේ ලොකු සංධිස්ථානයක්,මං හිතන්නේ එතනින් තමයි ජීවිතය වෙනස් වුණේ. 

  • 'සිරස සුපර් ස්ටාර්' තරගාවලියෙන් ඔබ අනපේක්ෂිත ලෙස ඉවත් වෙනවා.ඒ දවස් වල ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා ඒ සිදුවීමට...මේ අවස්ථාවේදී ඔබ ඒ අත්දැකීම ගැන මතකය අවදි කරන්නේ කොහොමද?
ඇත්තටම ඒ සිදුවීම වුණේ අපි කවුරුත් බලාපොරොත්තු වුණ විදියට නෙවෙයි.එදා විනිශ්චය මණ්ඩලය විසින් ලබා දුන් ප්‍රතිචාරත් එක්ක මම හිතුවා මම ඊළග වටයට යන්න හොද අවස්ථාවක් තිබුණා කියලා...කොහොම වුණත් හිතුවෙ නැති විදියට මට තරගයෙන් ඉවත්වෙන්න සිදු වුණා.

  • ඔබව ටික කාලයකින් අපිට දකින්න ලැබුණේ නෑ.ඇයි ඒ?
මම මගේ නීති අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ ගැන තමයි වැඩි අවධානයක් දීලා තිබුණේ.ඒ නිසා සංගීත කටයුතු වලින් පොඩ්ඩක් දුරට ඉවත්වෙලා හිටියා.


  • ඔබ මේ දවස් වල කරන 'කවර්ස්' ජනප්‍රිය වෙලා තියෙනවා.'කවර්ස්' ම කරමින් ඉන්නද බලාපොරොත්තුව?

"කවර්ස්" ගැන කතා කරනවානම් ලංකාවේ අයට ඒ ගැන ලොකු අවබෝධයක් නැති වුණාට ලෝකයේ "කවර්ස්" කියන්නෙත් වෙනමම කලාවක් ..ලෝකයේ ගොඩක් ගායකයෝ ඉන්නවා කවර්ස් වලින්ම වාණිජ වටිනාකමක් හදා ගත්තු...අනිත් අතට ඒ වාණිජ වටිනාකමටත් වඩා මම දකින විශේෂත්වය තමයි ඔරිජිනල් සින්දුවටත් වඩා "කවර්" එකක් කරනකොට හිතන්න දේවල් ගොඩක් තියෙනවා.මොකද දැනට පවතින ගීතයේ මුල් කෘතියට හානියක් නොවන විදියට ඒ වැඩේ කරන්න ඕන."කවර්ස්" ගැන කතා කරනකොට මම හැමවෙලාවෙම උත්සාහ කරන්නේ ලයිව් සින්ගින් පැත්තට විශේෂත්වයක් දෙන්න ඒකේ වෙනම හැඩයක් තියෙනවා.

  • ඔබ මේ සිදු කරන්නේ බුද්ධිමය දේපළ කොල්ලයක් නේද?
සාධාරණ ප්‍රශ්නයක්...ඇත්තටම ඒ චෝදනාව සාධාරණ වෙන්නේ කවර්ස් වාණිජමය වටිනාකමකින් මම භාවිතා කරනවා නම් පමණයි.මම මෙතනදි උත්සාහ කරලා තියෙන්නේ අපි හැමෝම ආදරය කරන ගීත අලුත් හැඩයකින් සජීවීව ගායනා කිරීමට පමණයි.සමහර අවස්ථාවල කවර්ස් නිසා මුල් ගීත නිර්මාණය පවා නැවත මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න හේතු වෙලා තියෙනවා.

  • ඔබේ කුළුදුල් මියුසික් වීඩියෝව අන්තර්ජාලයේ ජනප්‍රිය වුණා...ඒ ගැනත් යම් සදහනක් කළොත් මේ වෙලාවේ?
ඒක මගේ මුල්ම නිර්මාණය.ඒ ගීතය මගේ අදහසකට අනූව නිර්මාණය වූ දෙයක් නොවෙයි.මගේ මිතුරෝ කණ්ඩායමක් තමයි ඒ ගීතය නිර්මාණය කරේ.ඒක යම් මට්ටමකට ජනප්‍රිය වුණා.මගේ අලුත් නිර්මාණ කීපයක් ඉදිරියට එන්න තියෙනවා.

  • ලංකාවේ දැන් පවතින්නේ ඒකාකාරීම මියුසික් වීඩියෝ රැල්ලක්.ප්‍රමිත් ගනේආරච්චිගේ නිර්මාණත් එහිම දිගුවක්ද?
ගොඩක් වෙලාවට ඕනම කෙනෙක් සින්දුවක් එළියට දාද්දි ඇහෙන කතාව තමයි මේ ගීතයෙන් මම වෙනසක් කරනවා කියන එක.ඒත් අන්තිමට අහලා බලද්දි ඒකත් ඒ ක්‍රමයේම දිගුවක් විතරයි.ඒ නිසා මම කියන්නේ නැහැ මම වෙනසක් කරනවා කියලා...ඒක තීරණය කරන්න ඕන මගේ ගීත අහන රසිකයෝ.කොහොමත් සංගීතය කියන්නේ හදවතේ භාෂාව,ඒ නිසා මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ මගේ ගීතයෙන් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න.

  • අනාගත බලාපොරොත්තුව සංගීත ලෝකයේ තරුවක් වෙන්නද?
මෙහෙමයි,මට ඕන තරුවක් වෙන්න නෙවෙයි...මට ඕන මිනිස්සුන්ගේ හදවතට ලං වුණ හැමදාම මිනිස්සු ආදරය කරන හැමදාම මිනිස්සුන්ගේ මතකයේ ඉන්න ගායකයෙක් වෙන්න.


සාකච්ඡාව මෙහෙයවීම - ඉෂාර ලක්මිණ. 


අලුත් ටී.වී. වැඩසටහනකින් එළියට ආපු අලුත් මූණක්!

සුපුන් ක්‍රිෂ්මාල් තරුණ වැඩසටහන් නිශ්පාදකවරයාගේ අදහසක් අනූව සිරස ටී.වී. නාළිකාවේ අලුත් වැඩසටහනක් ලෙස 'අංගර ඉගර' වැඩසටහනේ ප්‍රථම වැඩසටහන ප්‍රචාරය විය.ඒ සදහා නවක මුහුණක් ලෙස සහභාගි වූ 'බිනුර' Shii Magazine අපගේ සොදුරු කතා බහ සමග එකතු කරගන්නවා...

බිනුර කොහොමද ජීවිතේ?අපි අලුත් වැඩසටහනකින් ඔබගේ හැකියා වගයකුත් දැක්කා...
ආ...හොදයි අයියේ වරදක් නෑ.විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මේ වෙලාවේ 'සුපුන් ක්‍රිෂ්මාල්' අයියා ඇතුළු සිරස ටී.වී.රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ කාර්යය මණ්ඩලයට මට මුල්ම ටී.වී.වැඩසටහනට අවස්ථාව ලබා දුන්නාට.ඒ වගේම 'Shii Magazine ' ඔබලාටත් ගොඩක් ස්තුතියි මේ තමයි මගේ මුල්ම සම්මුඛ සාකච්ඡාව...


අපි ඔබව දන්නේ බිනුර මල්ලි කියලා...ඔබගේ සම්පූර්ණ නම මොකක්ද?
බිනුර අශින්ත.

ඔබ ඉපදුණ ගම් ප්‍රදේශය සදහන් කළොත් මේ වෙලාවේ?
හොරණ.

අධ්‍යාපනය ලබපු පාසල් මොනවාද?
හොරණ තක්ෂිලා මහා විද්‍යාලය,හොරණ රාජකීය ජාතික පාසල.


උසස් පෙළ අධ්‍යාපනය හදාරපු විෂයන් මොනවාද?කලා විෂයන්ගෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ.


ඔබව නිරූපණ ශිල්පියෙක් විදියට හදුන්වා දෙන්නද?නැත්නම් රංගන ශිල්පියෙක් විදියට හදුන්වා දෙන්නද?කොහොමද හොද?මම නිරූපණ ශිල්පියෙක් විදියට තමයි කලාවට ආවේ...දැනටත් නිරූපණ ශිල්පියෙක් විදියට තමයි වැඩ කරන්නේ.හොද නිර්මාණ වලට ආරාධනා ආවොත් අනිවාර්යෙන්ම රංගන ශිල්පයටත් යොමු වෙන්න කැමත්තක් තියනවා.

ඔබට කුඩා කාලයේ සිට තිබුණ සිහිනයක්ද මේ නිරූපණ ශිල්පය?කුඩා කාලයේදී මම කලාවට ගොඩක්ම යොමු වුණේ නෑ.පාසල් කාලය අවසන් වීමත් සමග නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න මට ලොකු කැමැත්තක් ඇති වුණා.මේ එක්කම මම නිරූපණ ශිල්පය හදාරන්න පටන් ගත්තා.ඒ ආපු ගමනේදී ගොඩාක් මහන්සි වෙලා කැප කිරීම් කරලා අද ඉන්න සාර්ථකත්වයට ආවා.

ඔබට නිරූපණ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව හිමි කර දුන්නේ කවුද?
ඒක විශේෂයෙන් සදහන් කරන්න ඕන දෙයක්.මට නිරූපණ ශිල්පය හදාරන්න ගුරුහරුකම් ලබා දුන්නේ 'බ්‍රයන් ක්‍රැකෝවන්' මහත්මයාව විශේෂයෙන් සදහන් කරන්න ඕන මේ වෙලාවේ...


හොදයි.ඔබට අද මේ ඉන්න තත්වයට ළගා වෙන්න උදවු කරපු අය කවුද?මේ වෙලාවේ කෘතවේදීව ඒ උදවියවත් මතක් කළොත්...මට මේ තත්වයට හරි එන්න උදවු කරපු උදවිය හුගක් දෙනෙක් ඉන්නවා මගේ අම්මා/තත්තා/නංගි මගේ යාළුවෝ විශේෂයෙන්ම 'ඉරුදින - පවන' සගරාවේ අශාන්ති වර්ණසූරිය අක්කාව මේ වෙලාවේ ස්තුතිවන්ත වෙමින් සිහිපත් කරන්න කැමතියි.


ඔබ පොත් කියවන්න හරිම කැමතියි කියලා ආරංචියක් ආවා...මොකක්ද අවසානයට කියවපු පොත?'දුවකගේ කදුළු පොත' ඒක ලියලා තියෙන්නේ උත්තමපුරුෂ දෘෂ්ටි කෝණයකින් ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයෙකු වුණ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ දියනිය විසින් මට කාලයකට පස්සේ හම්බුණ හොදම සංවේදීම පොතක්...
ඔබ අවසානයටම නරඹපු චිත්‍රපටය මොකක්ද?
ආදරණීය කතාවක් චිත්‍රපටය.පුදුමාකාර සංවේදී චිත්‍රපටයක්.

ඔබ ප්‍රියකරන රංගන ශිල්පියා කවුද?හේමාල් රණසිංහ.

ඔබ ප්‍රියකරන රංගන ශිල්පිනිය කවුද?
මාලනී ෆොන්සේකා මහත්මිය.ඒ වගේ විශිෂ්ට නිළියක අපේ සිනමාවට ආයිත් කවදා පහළ වෙයිද කියන්නත් අමාරුයි...


ඔබ ප්‍රියකරනම ගායකයා?
ගුණදාස කපුගේ මහත්මයා.

ඔබ ප්‍රියකරන ගායිකාව?
උමාරියා සිංහවංශ.

ඔබ ප්‍රියකරන ක්‍රීඩකයා?කුමාර් සංගක්කාර.ක්‍රීඩාවේ විනය මා දැක්කේ ඔහුගෙන්...

පාසල් කාලයේ ගතකරපු ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
පාසල් කාලයේ අපි යාළුවොත් එක්ක හරිම විනෝදයෙන් දග වැඩ කරමින් කාලය ගෙව්වා...ඒ වගේම විශිෂ්ට ගුරුවරු අපිට ලැබුණා.අපි පුලුවන් උපරිම ඉගෙනත්ගත්තා...ආයිත් පාසල් කාලය ලැබෙනවානම් කියලා හිතෙනවා...

ෆැෂන් ගැන මොකක්ද ඔබගේ අදහස?
මම නිතරම අලුත් ෆැෂන් කරනවා.මොඩ්ලර් කෙනෙක් වුණාම අපි අලුත් ෆැෂන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන.හැබැයි තමන්ට ගැළපෙන පාරේ බැහැලා යන්න පුළුවන් ෆැෂන් විතරක් කරන්න අපි දැන ගන්න ඕන.

ලංකාවේ කලා ක්ෂේත්‍රය වර්ධනය වෙන්න කරන්න ඕන වෙනස්කම් විදියට ඔබ දකින්නේ මොනවාද?ගොඩක් දෙනෙක් කලාව කියපු ගමන් වැරදි ආකල්ප වල ඉන්නේ...ඒත් කලාවේ ඉදිරියට යන්න ගැළපෙන හැකියාව තියන තරුණ තරුණියන්ට උදවු කරොත් අනිවාර්යෙන්ම කලාව හොද තත්වයකට පත් කරගන්න පුළුවන්.


අවසාන වශයෙන් ඔබ හිටපු නිරූපණ තරගාවලිය ගැනත් සදහනක් කළොත්?
Bmich sportex 2016 ෆැෂන් ෂෝ එක cats mini pageant .


ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ඔබ ලබා දෙන පණිවිඩය මොකක්ද?උතසාහයයි/කැපකිරීමයි/හිතේ ශක්තියයි තියනවානම් කළ නොහැක්කක් නොමැත.





 








සම්මුඛ සාකච්ඡාව මෙහෙයවීම සහ අදහස - ඉෂාර ලක්මිණ.






ශ්‍රී ලාංකේය තරුණියක් රැජින හමුවේ නායිකාවක් වෙයි.(උපුටා නැවත පළ කිරීමකි.)


පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් තෝරාගන්නාලද තරුණ නායක නායිකාවන් අතරින් දෙවැනි එළිසබෙත් රැජිනගේ තරුණ නායිකාවක වීමට ශ්‍රී ලාංකේය තරුණියක සමත්ව සිටී.

එහිදී, එම රටවල තරුණ නායක නායිකාවන් 60 දෙනෙක් ලන්ඩනයේදී එළිසබෙත් රැජින අතින් සම්මාන ලබා තිබුණේ පසුගිය සතියේදීය.
'රැජිනගේ තරුණ නායක, නායිකාවන්' (Queens Young Leaders) ලෙස නම් කර තිබූ මෙම සම්මානයට පත් ශ්‍රී ලාංකේය තරුණිය නමින් නුෂෙල් ද සිල්වා ය.

යුද ගැටුම්වලින් අනතුරුව, විශේෂයෙන්ම උතුරු පළාතේ දරු පරපුර අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දියත්කළ Building Bridges ව්‍යාපෘතිය වෙනුවෙන් ඇය මෙසේ රැජිනගෙන් සම්මානයට පාත්‍ර වී ඇත.





- නරේන් විශ්වජිත් 


('අද පුවත්පත' සිංහල වෙබ් පිටුවෙන් උපුටා ගන්නා ලදි.)

මෙතුවක් කල් හද ගැස්මේ සුසුමක් පාසා හිතවත්කම් රඳවා සඟවා හැඟුමන් ආශා - කසුන් මහේන්ද්‍ර හීනටිගල ලියයි...


කසුන් මහේන්ද්‍ර හීනටිගල යනු,කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයෙන් උපාධි වරම් බලාපොරොත්තුවෙන් සිටින තමන්ටම ආවේනික චින්තයකින් හෙබි තරුණයෙක්.ඔහු විටක තිර පිටපත් රචකයෙක්/කවියෙක්/ප්‍රබන්ධකරුවෙක්/ජනමාධ්‍යවේදියෙක් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන සමාජ ක්‍රියාධරයෙක් ලෙස හදුන්වන්නටද හැකියි.


මේ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් ලියන ලද අලුත්ම ගීත රචනයයි.

මෙතුවක් කල් හද ගැස්මේ සුසුමක් පාසා
හිතවත්කම් රඳවා සඟවා හැඟුමන් ආශා
සැනසීම ඉවසීමයි කියා සැඟවුණා
මාගේ හදවත දවා...

නුඹෙ වුවනතේ මුදු ළවනතේ
ඇස බැඳුණා මත් වෙලා
මගෙ හදවතේ සං ප්‍රේමයේ
බස හඳුනාගත් සිනා

බස හඳුනාගත් සිනා
ඇස බැඳුණා මත් වෙලා...

යාවීද පාවී සුසුම්
බාධාම තැවරූ හැඬුම්
ආ ඉතින් සිප නොගත් මල්සරා
නිරාමිස කැල්මන් සෙවූ
දිලි දිලී තරු නෙතු නිවූ
මේ සා පෙමක් ගොළුයි බස් වහා...

නුඹෙ වුවනතේ මුදු ළවනතේ
ඇස බැඳුණා මත් වෙලා
මගෙ හදවතේ සං ප්‍රේමයේ
බස හඳුනාගත් සිනා

බස හඳුනාගත් සිනා
ඇස බැඳුණා මත් වෙලා...//


Lyrics | Kasun Mahendra Heenatigala
Vocals | Charith Abeysinghe


සටහන - ඉෂාර ලක්මිණ


එකමත් එක රටක...(කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි.)


උදෑසන ඇරඹෙයි. ටීවී චැනල ඔන් වෙයි. පුවත්පත් කියවන්නන් ඔළු තුළ ඇති ජාතිවාදී ගූ සියල්ල ජනතාවට ගසයි. ජනතාව ඒවා කැච් එකක් මෙන් අල්ලා රසවිඳියි. පත්තර නොකියවයි.

උදෑසන ගතවෙයි. රසමසවුළු සියල්ල රූපවාහිනියේ ඉදෙයි. රස නහර පෙරළි කරණම් ගසයි. කිසි රසක් නැති කුස්සි පාළුයි.


දහවල එළඹෙයි. ‘තෙරුවන් සරණ අයදින බෝධි පූජා ගී , ‘ලොකු මිල මුදල්’ නෑ නෑ කියා නාහෙන් අඬන හැඬුම් ගී’ ගුවනේ මුසුවෙයි. එක හා සමාන තේරුම් ඇති - සමාන විෂුවල් ඇති - අපහසුවෙන් දඟලන ගායන විලාස ඇති මේවා දැක නංගිලා ජවයෙන් මත් වෙයි. අයියලා මොන සෙල්ලං දැම්මත් ඉජු ඉජු කී ඉක්මනට ළඟට කැන්දන විෂුවල් ලෝකය හැබෑ පොළොවට වඩා මොන තරං ෂෝයිදැයි සිතයි.

දහවල ගෙවෙයි. සුන්දරත්වය හිමි ජීවිත විකාශය කෙරෙන ෆිල්ම් වල පමණක් සිටියි. සැබෑ ජීවිත මහ පාරේ ගිනි අව්වේ කරවෙයි.

හැන්දෑව පැමිණෙයි - ගෙවෙයි. හුස්ම ගන්නා වීරයන් නොමැති හේතුවෙන් කාටුන් ජීවිත දරුවන්ගෙ ලොව රජවෙයි. දරුවෙක් පාසලේදී තමන්ගෙ වීරයා ගැන ලියන්නැයි කී විට මෙසේ ලියා තිබෙයි. මගේ වීරයා සෝනික්. එයා හැමදාම දිනයි. පරාජය නොවෙයි. ඒ කොණ්ඩය තියෙන විදිහට මං ආසයි. මගේ වීරයාට බුදු සරණයි.

රාත්‍රිය සැරසෙයි. සුටු සුටු ගා සියලු වැඩ හමාර කොට මව්වරු දූවරු හා පුතුන් සාලයට රැස්වෙයි. ‘ඊයෙ අරකිට මොකෙයි වුණේ පැනල ගියැයි ?’ මිත්තණිය අසයි. ‘පිස්සුද පැනල යන්න ඔන්න මෙන්න තියෙද්දි බඩු මාට්ටු’ චූටි නංගී උත්තර දෙයි. හඬා දොඩා හඬ කැවූ ඉෂිතාගේ සුදු මූණ ඉඹ ඉඹ මෙහෙ මූණු බුකවගෙන නින්දට යයි.

උදෑසන එළඹෙයි. අලුත් දවසක පරණ සිද්ධි සියල්ල නැවත නැවත - නැවත නැවත සිදුවෙයි !


සටහන - කසුන් මහේන්ද්‍ර හීනටිගල












සමලිංගික සේවනය කාමයෙහි වරදවා හැසිරීමක්ද?.......


නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්‍රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත් සටහනකි.එය ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!

ඉෂාර ලක්මිණ


ථෙරවාදී බුදු දහමෙහි කිසිදු කාම සේවනයක් වර්ණනා කෙරෙන්නේ නැත. ඇස, කන,දිව,නාසය,කය,මනස යන ආයතන වලින් ගන්නා අරමුණු වල සැප ඇති ස්වභාවයන්(කාම) තණ්හාවෙන් උපාදානය කිරීම, එනම් "මගේ කර ගනුවස්" දැඩිව සිතින් අල්ලා ගැනීම පෘතග්ජනයන්ගේ ස්වභාවයයි. පෘතග්ජනයෙකු ලෙස කාමයන් උපාදානය කොට, වැඩි වැඩියෙන් කාම සේවනයට හිත යොමු කිරීම දුක් සහිත සසරට බැදී යාමට හේතුවකි. මාරයාගේ තොණ්ඩුව ගෙල පැලදීමකි. ප්‍රධාන පෙළේ අමුම අමු මෝඩකමකි. දැලි පිහියෙන් කිරි කෑමකි. ගිලී වැනසෙන බව දැන දැන කුහුබුවෙකු ලෙස පැණි හැලියට පැනීමකි.
මේ ගැටලුවට විසඳුම සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීමයි. එවිට සතර අපායෙන් නිදහස් වන නිසා කාමයන් සේවනය කලද කමක් නැත. දැලි පිහියෙන් කිරි කෑවද දිව කැපෙන්නේ නැත. පැණි බොන්නේ නලපාන ජාතකයේ නුවණැති වදුරා මෙන්, බටයකින් මිස, දිය රකුරා ඉන්නා දියට පැන නොවේ. සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීම සමහරුන්ට ලේසිය. සමහරුනට අමාරුය. අමාරු අය වීරියෙන් සීල,සමාධි,ප්‍රඥා දියුණු කළ යුතුය. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම ඒ අරමුණ උදෙසා වන, ගිහි පංච සීලයේ කොටසකි. කාමයේ වරදවා හැසිරීම යනු කුමක්දැයි සාලෙය්යක සූත්‍රයේ විග්‍රහ කොට තිබේ. ඒ විග්‍රහය කෙටියෙන් කිවහොත්, පිරිමියෙකුට නම්,
1.දෙමව්පියන් විසින් හෝ වෙනත් අයෙකු විසින් රකින දැරිවියක, 2.විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක, 3.සදාචාර ධර්මයන් උල්ලංගනය කරමින් යමෙකු සමග (උදා; ස්ත්‍රී දූෂණය) , කාම සේවනයේ යෙදුන හොත් කාමයෙහි වරදවා හැසිරීමේ අකුසලය සිදු වේ. මෙහි සදාචාර ධර්මයන් උල්ලංගනය යන්නට සමලිංගික සේවනද ඇතුලත් විය හැක. අනිත් අතින් සමාජය පිරිහවන කරුණක් ලෙස බුදුන් සඳහන් කරන "විෂම රාගය" යන්නට, සමලිංගික සේවනය, ළඟම ඥාතීන් අතර කාම සේවනය(ව්‍යභිචාරය/incest ) , හා තිරිසන් සතුන් හා කාම සේවනය අන්තර්ගත බැවු ඇතැම් බෞද්ධ විශාරදයන්ගේ මතයයි. එම මතයට මම පෞද්ගලිකව එකඟ වෙමි. එනමුත් යමෙකු සමලින්ගිකයෙකු වූ පමණින් ඔහු තැලීම,පෑගීම, හෝ සමච්චලයට ලක් කිරීම, බුදු දහමෙහි මූලික සදාචාර අවවාදය වන "කරුණාව ඇති කර ගැනීම"ට ප්‍රතිවිරුද්ධ බවද මෙහිලා සඳහන් කරමි.
සටහන - නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර