Showing posts with label Careers. Show all posts

රැඟුම් පාලක මණ්ඩලය ඉල්ලන කැපුම් නිසා ගොඩනගපු නිර්මාණය විනාශ වෙනවා


බොර දිය පොකුණ සිනමා පටයේ වාරණය පසුගිය දා ඉවත් කෙරිණි. එය වාරණ මණ්ඩල කිහිපයක ම කතුරට හසුව ඉතා අසීරුවෙන් සිය පණ නල රැක ගත් නිර්මාණයකි. ඒ ගැන අප හා සංවාදයට එක් වන්නේ එම චිත‍්‍රපටයේ සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ ය.



කාලයකට පෙර ඔබ සංස්කරණය කළ ‘බොරදිය පොකුණ’ අද දවසේ බලන කොට ඔබට මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?

මං බොරදිය පොකුණ සංස්කරණය කළේ අවුරුදු දොළහකට විතර කලින්. ගිය සිකුරාදා එහි මංගල දර්ශනය බලන කොට මට හිතුණේ ඒතරම් කාලයක් ගියත් චිත‍්‍රපටියේ නැවුම් ගතිය ඒ විදිහට ම තියනවා කියල. සමහර චිත‍්‍රපටි කාලයත් එක්ක පරණ වෙනවා. නමුත් මේ චිත‍්‍රපටියේ නැවුම් ගතිය එදා වගේම අදත් ඒ විදිහටම තියනවා.

එදා සංස්කරණය ගැන?

සංස්කරණ ශිල්පීන් විදිහට අපිත් දවසින් දවස අලුත් වෙමින් යන්නේ. ඒ නිසා මේ විදිහට කාලයකට පස්සේ බලන කොට හැම ශිල්පියෙකුටම වගේ මුලින් කළ දේ යම් යම් අඩුපාඩු අහුවෙනවා. මං චිත‍්‍රපටිය බලන්න ගියෙත් මගේ අතින් ගොඩක් අඩුපාඩු වෙලා ඇති කියලා හිතාගෙන. නමුත් එහෙම දෙයක් දකින්න තිබුණේ නෑ. චිත‍්‍රපටියට අවශ්‍ය රිද්මය ගොඩනගා ගන්න මට පුලූවන් වෙලා තියනවා.
අධ්‍යක්ෂවරයා කතාවට ප‍්‍රවේශ වීම, රූපගත කිරීම ආදී සියලූම දේවල් හොඳින් සිදුකර තිබුණු නිසා මගේ අතිනුත් සංස්කරණයේදී වෙන්න ඕනේ දායකත්වය සෑහෙන දුරට ලැබිලා තියනවා කියලා මට හිතුණා. පේ‍්‍රක්ෂකයන්ගේ හැගීම් උද්දීපනයට ඕනෑම චිත‍්‍රපටියක සංස්කරණය දායක වෙනවා. ඒ සඳහා මගෙන් ලැබිය යුතු දායකත්වය ලැබිලා තියනවා කියලා මං සතුටු වෙනවා.

ඔබ කලින් සංස්කරණය කළ චිත‍්‍රපටියක් පසු අවස්ථාවක බලන කොට එහි දුර්වලතා දැක්ක අවස්ථා තිබෙනවාද?

සාමාන්‍යයෙන් මා සංස්කරණය කළ චිත‍්‍රපටියක් අවුරුදු ගාණකට පස්සේ බලන කොට ‘අයියෝ මේක මෙහෙම වෙන්න තිබුණ නේද? අතන මෙහෙම වෙන්න තිබුණා නේද? මේ රූපය තව චූටි කාලයක් තියා ගත්තා නම් හොඳයි නේද?’ කියලා මටම හිතෙන අවස්ථා අනන්තවත් ඇතිවෙලා තියනවා. එහෙම වෙන්නේ අපි සංස්කරණ ශිල්පීන් විදිහට හැමදාමත් අලූත් වෙන නිසා. මෙතනදි එහෙම නොවුණ එක විශේෂ දෙයක් විදිහට මං දකිනවා.

රැඟුම් පාලක මණ්ඩලයේ නියමය නිසා කරන්න වුණු සංස්කරණය මොන වගේද?

2002 මේ චිත‍්‍රපටිය අවසන් කරන කොට ධාවන කාලය පැය දෙකකුත් විනාඩි 32ක් වගේ කාලයක් වුණා. නමුත් දැන් ප‍්‍රදර්ශනය වෙන චිත‍්‍රපටියේ ඒ කාලය පැය දෙකයි විනාඩි 12කට කෙටි කරන්නට අපිට සිදුවුණා. ඇත්තටම ඒක සංස්කරණයක් නෙවෙයි. සංස්කරණ ශිල්පියෙකුගේ කාර්යභාරයෙන් පිටස්තර කටයුත්තක්. රැඟුම් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවටයි එය සිදුවුණේ. ඊට පස්සේ අලූතෙන් චිත‍්‍රපටිය ගත්ත නිෂ්පාදකවරයා කිව්වා ධාවන කාලය පැය දෙකකට වැඩි කරන්න එපා. එහෙම වුණාම පේ‍්‍රක්ෂකයන්ට ගෙනියන්න අමාරුයි කියලා. ඒ වගේ සීමාවන් යටතේ තමයි දැන් ප‍්‍රදර්ශනය වෙන චිත‍්‍රපටිය අවසන් කරන්න වුණේ.

ඒක සංස්කරණයක් නෙවෙයි කියන්නේ ඇයි?

මං ඒකට සංස්කරණය කියලා කියන්නේ නෑ. පරණ රූප, දර්ශන සොයා ගෙන ඒවා ක‍්‍රමානුකූලව ගොඩනගමින් කරන දෙයකටයි සංස්කරණය කියලා කියන්නේ. මේකේ එහෙම කරන්න ලැබුණේ නෑ. මොකද අවුරුදු දොළහකට පෙර රූපගත කළ චිත‍්‍රපටියක් නිසා ඒ දර්ශන එකක්වත් සොයාගන්න පුලුවන්කමක් තිබුණේ නෑ. මේක රූපගත කරලා තිබුණෙත් මිලිමීටර් 35 පටල පටියෙන්. දැන් ඒක නැතිවෙලාම ගිහිල්ලා. ඒ නිසා අවසාන පිටපත හදාගන්න අපිට දුෂ්කර ක‍්‍රියාවක් කරන්න වුණා. ඒ නිසාම කැපුම්වල යම් කිසි ගැටලූ තැන් තිබුණත් මට හිතෙන්නේ පේ‍්‍රක්ෂකයාට ඒක එච්චර ලොකු බාධාවක් විදිහට දැනෙන එකක් නෑ. ඇත්තෙන්ම ඒක සංස්කරණයේ ප‍්‍රශ්නයකටත් වඩා අවසානයේ කොට කරන්න සිදුවීමෙන් ඇතිවුණු ප‍්‍රශ්නයක්.

ඔබ සංස්කරණය කළ කීවෙනි චිත‍්‍රපටියද මේ?

ලංකාවේ ඩිජිටල් තාක්ෂණය යොදාගෙන සංස්කරණය කළ තුන්වෙනි චිත‍්‍රපටිය මේක. ඊට කලින් කෙරුණු චිත‍්‍රපටි දෙක වුණේ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අග්නි දාහය’ සහ ඉනෝකා සත්‍යාංගනීගේ ‘සුළං කිරිල්ලී’. නමුත් මේකට අඩුපාඩුවක් වුණේ නෑ. තාක්ෂණික මට්ටමින් උපරිම තැන තියාගත්තා. නමුත් අද තාක්ෂණය ඊටත් වඩා දියුණුයි. මීට වැඩිය ගුණාත්මක දේවල් එක් කිරීමේ හැකියාව තියනවා. එසේ වුණත් මේ චිත‍්‍රපටියේ සිනමාත්මක ප‍්‍රකාශනයට ඒ කාරණය බලපාලා නෑ කියලයි මට හිතෙන්නේ.

අද වන විට ඔබ චිත‍්‍රපටිය කීයක් සංස්කරණය කරලා තියනවාද?

මේ වෙනකොට මං චිත‍්‍රපටි 83ක් විතර සංස්කරණය කරලා තියනවා. බොර දිය පොකුණ කරන කාලේ වගේ නෙවෙයි අද නැවත නැවත රූගත කිරීම් කරන්න පුලූවන්. ඇත්තෙන්ම අද චිත‍්‍රපටියක සියලූම දේවල් ලංකාව තුළ කරන්න පුලූවන්. අපේ සිනමා ශාලාවල තවමත් ඩිජිටල් පෙන්නන්න බැරි හින්දා තමයි දැන් අපිට ඉන්දියාවට යන්න වෙන්නේ ප‍්‍රින්ට් එකට. ඒ හැර අනෙක් සියලූම දේවල් ලංකාවේ කළ හැකියි. නමුත් බොරදිය පොකුණ කරන කාලේ මෙහෙ කරන්න පුලූවන්කම තිබුණේ ශබ්ද ටික හදන එකත් එක්ක 10%ක විතර ප‍්‍රමාණයක් විතරයි.

සංස්කරණයේදී මතුවුණු තාක්ෂණික ගැටලූ බැහැර කළ විට රැු`ගුම් පාලක මණ්ඩලය ඉල්ලන කැපුම් කරන්න යන විට සංස්කරණ ශිල්පියෙක් මුහුණ දෙන තත්ත්වය මොකක්ද?

ඒක ඛේදවාචකයක්. චිත‍්‍රපටියක් අවසන් කරන්නේ තවත් කෙනෙකුට බලලා කැපුම් කරන්න ඉතුරු කරලා නෙවෙයිනේ. අධ්‍යක්ෂවරයත් එක්ක සාකච්ඡුා කරලා චරිත ගොඩනැගෙන විදිහ, ඒ තුළ ප‍්‍රකාශ වන හැගීම් මතු කිරීම වැනි කාරණා සඳහා සංස්කරණ ශිල්පියා ඒ රූපත් එක්ක ගණුදෙනුවක් කරනවා. ඒ හරහා තමයි චිත‍්‍රපටියක් අවසන් කෙරෙන්නේ. ඊට පස්සේ ඒක සෙන්සර් කරන්න කිව්වාම ඒක වෙනත් කටයුත්තක්. එතනදි අපි ගොඩනගපු නිර්මාණය සෑහෙන දුරට විනාශ වෙන තත්ත්වයක් තියනවා. කියන තරම් ලේසි නෑ මිලි මීටර් 35 රූපගත කරලා හඬ යොදලා සංස්කරණය අවසන් කළ චිත‍්‍රපටියක් නැවත අද ඒ විදිහට කැපීම. ඒක තාක්ෂණික වශයෙන් හරිම අමාරු වැඩක්.

රැඟුම් පාලක මණ්ඩලය මගින් චිත‍්‍රපටිවල කැපුම් ඉල්ලීම ඔබ කොහොමද දකින්නේ?

මං කිසිසේත් එකඟවෙන්නේ නෑ මේ සෙන්සර් කිරිල්ලට. ලෝකයේ දැන් එහෙම එකක් නෑ. වයස් සීමා අනුව වර්ග කර ප‍්‍රදර්ශනයට අනුමත කිරීමකුයි ලෝකයේ සිදුවෙන්නේ. මේක සෙන්සර් බෝර්ඞ් දෙකක පරීක්ෂාවට ලක්වුණා. පළවෙනි එක කිව්වා සමහර දෙබස් තියන හඬ පට අයින් කරන්න කියලා. ලිංගික දර්ශන ඉවත් කරන්න කියලා. අපි ඒකට එකඟ වුණේ නෑ. ඒකට විරුද්ධව අපි අභියාචනා ඉදිරිපත් කළා. ඊට පස්සේ දෙවෙනි එකේදි ආව සභාපතිවරයා ඊට වඩා සාධාරණ මතයක හිටියා. ඔහු කිව්වා තැන් දෙකක් සෙන්සර් කරන්න කියලා. එක් දර්ශනයක ලිංගික ප‍්‍රකාශනය ඉතාම තීව්ර විදිහට එනවා. ඒක තව අඩුකරන්න කිව්වා. චිත‍්‍රපටිය පෙන්වන්නම ඕනේ නිසා එයට හානි නොවන ආකාරයට මං ඒක සෙන්සර් කළා. ඊට පස්සේ හඬ පටයේ තියන ඇතැම් දෙබස් කුණුහරුප කියලා ඒවා අයින් කරන්න කිව්වා. මුලින් කිව්වේ ඒ දර්ශන පිටින්ම අයින් කරන්න කියලා. නමුත් පසුව දර්ශනය තියෙන්න ඇරලා දෙබස් නිහඬ කරන්න කිව්වා. එයත් කරන්න සිදුවුණා.
වැඬේ තියෙන්නේ ඉංග‍්‍රීසියෙන් ෆක් කියලා කිව්වා නම් එක වාරණය වෙන්නේ නෑ. ඉංග‍්‍රීසි චිත‍්‍රපටිවලට ඒවා කුණුහරුප වෙන්නේ නෑ. මොකද ඒවා සාමාන්‍ය ජීවිතයේදී මිනිස්සු කතා කරන වචන. නමුත් මේක සිංහලෙන් කියන කොට කුණුහරුපයක් බවට පත්වෙනවා. ඒ නිසා ඒ වචන කියවෙන තැන්වලදී හඬ පමණක් හෝ ඉවත් කරන්න අපිට සිදුවුණා.

විකල්ප ක‍්‍රමයක් භාවිත කරන්න හැකියාවක් තිබුණෙම නැත්ද?

අවශ්‍ය නම් මට තිබුණා කැළැවේ ශබ්ද ඉස්මතු කරලා අර කුණුහරුප කියන දෙබස් යටපත් කරලා දාන්නත්. එහෙම කළා නම් ඒක අපේ වරදක් වෙනවා. ඒ නිසා මං කළේ ඒ දෙබස් තියන තැන්වල හඬ ඉවත් කිරීම. හැබැයි මේකෙන් පස්සේ දෙබස් කියනවාට වැඩිය ඒ තැන පේ‍්‍රක්ෂකයාට මතුවෙලා පෙනෙන්න ගත්තා. දැන් ඒ විදිහට තමයි චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය වෙන්නේ.

රූප රාමුවලදි?

මේකේ තියන ලිංගික අවස්ථාව රළු වැඩියි. ඒක ඊට වඩා සෞන්දර්යාත්මකව සහ හැගීම් උද්දීපනය වෙන විදිහට මුලදි තිබුණා. සෙන්සර් බෝර්ඞ් එක කිව්වා ඒ දර්ශනයේ කාලය විනාඩියකින් හෝ දෙකකින් අඩුකරන්න කියලා. එයින් පසුව තමයි රළු ගතිය මතුවුණේ. නමුත් මුල් අවස්ථාවේදී ඒක ඊට වඩා හොදින් තිබුණා. එහි රංගනය වගේම රූපගත කිරීමත් ඉතාම හොඳින් සිදුවෙලා තිබුණා. මං හිතන්නේ අපේ සිනමාවේ මේක හැරුණු කොට එහෙම දර්ශනයක් තිබිලා නෑ. ඒ තරමින් බය නැතිව ඉදිරිපත් වුණු නලු නිළියෝ හිටියේ නෑ. ඒ ආකාරයෙන් රූපගත කරලා තිබුණේ නෑ. ඒකම තමයි මං හිතන්නේ බෝර්ඞ් එකට ප‍්‍රශ්නය වුණෙත්.

වාරණය ඉවත් කර ගැනීමට දර්ශන කීයක් සම්පූර්ණයෙන් අයින් කරන්න වුණාද?

කපන්න කියලා කිව්වේ දර්ශන දෙකයි. කැළේ දර්ශනය සහ ගේ ඇතුළේ දර්ශනය. පළවෙනි වතාවේ බෝර්ඞ් එක කිව්වේ ඔය දර්ශන පූර්ණ වශයෙන් ඉවත් කරන්න කියලා. දෙවෙනි වතාවේ තමයි යම් කිසි සීමාවන් ඇතුළේ ඒ දර්ශන තිබෙන්නට හරින්න ඔවුන් ඉදිරිපත් වුණේ. කැළේ දර්ශනයෙත් සෑහෙන ප‍්‍රමාණයක් අඩු කළා. ඔයිට වඩා හොඳින් හැගීම් මතුවෙන ආකාරයට ඒ දර්ශනය සංස්කරණය වෙලා තිබුණා. මුල් පිටපත බැලූවොත් තමයි කෙනෙකුට තේරෙන්නේ සෙන්සර් කරපු දර්ශන දෙක කොයිතරම් හොඳට රූපගතවෙලා, සංස්කරණය වෙලා තිබුණද කියලා.

විදෙස් රටවල ප‍්‍රදර්ශනය කළ අවස්ථාවල මේ ගැටලූ මතුවුණේ නැත්ද?

විදේශ රටවල ප‍්‍රදර්ශනයේදී ඔය කිසිම ප‍්‍රශ්ණයක් මතුවුණේ නෑ. මුල් චිත‍්‍රපටිය ඒ විදිහටම තමයි ප‍්‍රදර්ශනය කළේ. අඩුම තරමින් වයස් සීමා යටතේ වර්ග කිරීමක්වත් නැතිව පොදු මහජන ප‍්‍රදර්ශනයක් විදිහටයි ගියේ. ප‍්‍රමිති ගත කිරීමක් හැරුණම අරව කපන්න, මේවා කපන්න කියලා විදේශ රටවල කියන්නේ නෑනේ. චිත‍්‍රපටි උළෙලවලදී නම් කිසිසේත් එවැන්නක් කියන්නේ නෑ. එහෙම කියන එක නිර්මාණකරුවාට කරන අ‍ෙගෟරවයක් හැටියටයි ඒ අය සළකන්නේ. සිනමා නිර්මාණයකට එහෙම අත තියන්නේ නැහැ.

සංවාදය – ශ‍්‍රීලාල් සෙනෙවිරත්න


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

මිෂෙල් ඔබාමාගේ කේශලාවණ්‍ය ශිල්පියා.


විලාසිතා වගේ දේවල් ආවට ගියාට කරන්න බැහැනේ. තමන්ට ගැළපෙනවද, ප්‍රයෝජනයක් තියෙනවද, ආරක්‍ෂාකාරී බව මොනවගේද වැනි ප්‍රශ්න රැසක්ම තිබෙනවනේ. ඒ වගේම ජනාධිපති ආර්යාවක් වුණාම තමන්ගේ ප්‍රතිරූපය ගැන හුඟක් හිතන්න වුවමනායි. එක පුංචි වරදක් විශාල ගැටලුවකට හේතු වෙන්න පුළුවන්.

ඉතිං මේ නිසාම වෙන්න ඇති මිෂෙල් ඔබාමාත් හිතෙන හිතෙන, හැම තැනකින්ම තමන්ගේ රූපලාවණ්‍ය කටයුතු කරගන්නෙ නැත්තේ. වරක් කොණ්ඩා සැලසුම් ශිල්පියකු ලෙස ඇමෙරිකාවේ නමක් දරා සිටින බෙරි ෆ්ලෙඩර්ට මිෂෙල්ගේ කොණ්ඩා සැලසුම් ශිල්පියා වෙන්න අවශ්‍ය වුණා. ඒත් මිෂෙල් එකපාරම ඉඩ දුන්නේ නැහැ. ඒ නිසාම බෙරිට සිදුවුණා තමන්ගේ දක්‍ෂතා ඇතුළත් ඩී.වී.ඩී. පටයක් මිෂෙල් ඔබාමාට දෙන්න.
මිෂෙල් වගේම බැරැක් ඔබාමාත් තමන්ගේ බිරියගේ ලස්සන ටිකක් හරි අඩුවෙයි කියල හිතලා වෙන්න ඇති, රූපලාවණ්‍ය ශිල්පීන් තෝරාගන්නේ හොඳට හොයලා බලලයි. මේ නිසාම, කෙයිත් හර්ලී තමන්ගේ දක්‍ෂතා ගැන සාරාංශයක් ඔබාමාගේ වෙබ් අඩවියටත් එකතු කරල තිබුණා. නිකොලේ කොබර්ට සිද්ධ වුණා බාත් ජෙල්, හෙයාර් ප්‍රොඩක්ට් පිරුණු බාස්කට් එකක් එවන්න.

කොහොම වුණත් ඉතාම කලාතුරකින්, මිෂෙල් මේ අය හැරුණාම වෙනත් රූපලාවණ්‍ය ශිල්පීන් කිහිප දෙනකුත් ධවල මන්දිරයට ගෙන්වනවා. ඒ අය අප්‍රිකානු, ඇමෙරිකානු කොණ්ඩා විලාසිතා සම්බන්ධ ප්‍රවීණයන්. මේ අය හිටපු ජනපති බිරින්දෑවරු වන හිලරි ක්ලින්ටන්, ලාරා බුෂ් සහ ප්‍රවීණ රංගන ශිල්පිනියන්ගේ ගායිකාවන්ගේ කොණ්ඩා මෝස්තර සැකසූ අය ලෙසත් ජයප්‍රියයි. කොහොම වුණත් අවසානයේදී 52 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පියකු වූ ෆ්ලෙඩර්ට මිෂෙල්ගේ කොණ්ඩය සැකසීමේ අවස්ථාව හිමි වුණා.
'මට වුවමනා වුණා ඇයට හොඳ කොණ්ඩා විලාසිතාවක් කරන්න. ඇගේ කදිම පෙනුම තවත් ඔපවත් කරමින්, ඇය බලවත් කාන්තාවක් සේ පෙනෙන්ට ඒ කොණ්ඩා මෝස්තරයට පුළුවන් වේවි කියලා මම විශ්වාස කළා.'
දැන් තිබෙන තාක්‍ෂණයත් එක්ක ඒ කටයුත්ත මට පහසුවක් වුණා. නමුත් 1993 දී හිලරිගේ කොණ්ඩ විලාසිතාවට නම් සරල කාමරයක්, ෂැම්පු බේසමක් සහ පුටු දෙකක් විතරයි තිබුණේ'යි යනුවෙන් ඔහු අදහස් දක්වා තිබුණා.

මිෂෙල්ගේ කොණ්ඩා මෝස්තරය, එසේ මෙසේ නොසැලකිල්ලෙන් සකසන්න බැහැ. මූලිකම අවශ්‍යතාව වන්නේ ඒ විලාසිතාව කෙතරම් දුරට ඇගේ මුහුණට ගැළපෙනවාද කියන එකයි. ඒ නිසාම කොණ්ඩා මෝස්තර දැමීමේදී මිෂෙල්ගේ නිර්මාණ ශිල්පියා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මොකද මිෂෙල්ට දිගු කෙස් කලඹක් නැහැ. ඇයට තිබෙන්නෙ පළල් නළලක්. ඒ නිසා රූපලාවණ්‍ය ශිල්පීන් ඒ ගැන හුඟක් සැලකිලිමත් වෙනවා.
අනෙක් අතට මිෂෙල්ට තිබෙන්නේ, පළල් කම්මුල් යුගලක්. ඉතිං ඒ හැඩයට ගැළපෙන විදියට ඇගේ කැරලි කොණ්ඩය සැකසිය යුතුයි. ඒ වගේම ඇගේ අභිමානයත්, පෞරුෂයත් ජනපති බිරියකගේ රුව ගේන්න පුළුවන් විදියට කොණ්ඩය සැකසීමත් වැදගත්.
කොහොම වුණත් මිෂෙල් කියන්නෙත් බොහෝමයක් විලාසිතාවලට ප්‍රියකරන කෙනෙක්. ඒ නිසාම ඇය එකම විදියට තමන්ගේ කොණ්ඩය සකස් කරන්නෙත් නැහැ. ඒ වගේම ඔබාමාත් තමන්ගේ බිරිය හැමදාම එකම විදියට දකින්න කැමැතිත් නැහැ. අන්න ඒ නිසාම තමයි මිෂෙල් ඔබාමා හැමදාම ලස්සනට ඉන්නේ.


හංසි ආටිගල

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

නව වසරට නව ඇරඹුමක්


අලුත් අවුරුද්දට අලුත් ඇරඹුමක් ගන්න පරණ  අවුරුද්දෙ ඔබ අතින්  සිදුවූ වැරදි අමතක  කරන්න .මේ අවුරුද්දේ අලුත් දේ හමුවන, අලුත් දේ දැනගන්නට ලැබෙන් ඔබ මෙතෙක් ආශාවෙන් පසු වූ අරමුණක්  කරා  හඹායන අවුරුද්දක් බවට පත්ව්වේවි .ඔබ මේ නව වසරේ ඉටු ක‍රගන්න  බලපොරෝතුවන ඕනෑම දෙයක් සාර්ථක  කරගන මෙන්න  ඔබ‍ට අපෙන් අත්වැලක්.

1.උත්සව කාලයේ යොදාගත් සැරසිලි නැවත පිලිවෙලට අසුරා තබන්න

නිවාඩු කාලය අවසන් වනවාත්  සමග සැරසිලි ඔබේ නිවසේ එක් එක් තැන්වල අපිළිවෙලට තිබිය හැකිය .ඔබ මේවා බොහෝ කාලයක් තබා ගතහොත් එය ඔබේ සාමාන්‍ය ගේදොර වැඩ කිරීමටද අපහසුවක් වේවි. ඒ නිසා ඉක්මනින් ඒවා නැවත පිළිවෙලට තබන්න.

පවුලේ උදවිය හා මිතුරන්ගෙන්ද මේ සදහා උදව්  ලබාගන්න.



2.නව වසරට ඔබේ අරමුණු ලේඛනයක් සකස් කරන්න

වසරේ ඔබට ඉටු කරගත යුතු අරමුණු දින පිළිවෙලට සකසා ගන්න.මෙය ඔබට නිතර පෙනෙන තැනක තබා ගන්න.මේ මගින්  ඔබ‍ට ඔබේ අරමුණු ඉටු කරගැනීම පිළිබද විශ්වාශයක් ගොඩනැගේ.



3.සැලසුම්කරණය පිළිබද අවධානය යොමු කරන්න

ඔබ දැනටමත් හොදින් සැලසුම් කර ඇත්නම් මේ පියවර නොසලකා හරින්න.නමුත් බොහෝ පිරිසක් මනා සැලසුම්කරණයක් නොකරන නිසා මේ පුංචි පියවර කිහිපය අනුගමනය කරන්න.

ඔබේ මේසය නොයෙක් කඩදාසි,පොත් හා පෑන් වලින් පිරිලද?
ඉක්මනින් ඒවා සියල්ල වෙන වෙනම තබන්න.(පසුව මේවා ඊට අයිති ස්ථානයෙන් තැබිය හැක.)

ඔබ ඔබේ බඩු බාහිර ආදිය තිබු තැන් සොයාගැනීමට අපහසු ද?
පහසු විසදුම් කරා යොමුවන්න.නිදසුනක් ලෙස යතුරු එක් එක් තැන්වල දැමීමෙන් වැලකී ඒ සදහා යතුරු රදවනයක් බාවිතා කරන්න.පිළිවෙලට තබා ගැනීම පුරුද්දක් කර ගන්න.

පියවරෙන් පියවර පටන් ගන්න.සතියේ දින හතෙන් දින කිහිපයක් වෙන් කරගෙන මේ කටයුතු සදහා යොදාගන්න.එම වෙන් කරගත් දින වලදී අනිවාර්යෙන් එය සිදු කරන්න.එම කාර්යය හෙටට කල් දමන්න එපා.



4.නිස්කලංකව සිටීමට වෙලාවක් වෙන් කරගන්න 

ඔබ නිස්කලංකව සිටීම පුරුද්දක් කර නොගත් අයෙක් නම් දැන්ම ඒ වැදගත් කාර්යය සදහා වෙලාවක් වෙන් කරගන්න.

පොත් කියවමින්,අන්තර්ජාලයේ සැරිසරමින් හෝ ඔබ කැමති විනෝදාංශයක් කරමින් නිදහස් කාලය ගත කරන්න.

මිතුරන් හමුවීමට හා සමාජ ඇසුර වැඩි කරගැනීමේ කාර්යයන් සදහාද මේ වෙලාව  යොදා ගන්න.



5.පසුගිය වසර පිළිබද නැවත හැරී බලන්න

ඔබට මේ වසරේ හොදින් කිරීමට හැකි දේ ගැන සිතන්න.පසුගිය වසරේ ඔබ අතින් සිදුවූ වැරදි අඩුපාඩු හදුනාගන්න.පසුගිය වසරේ ඔබ ඔබේ අරමුණු කරා ලගා වුවා ද?ඔබට ඔබේ ජිවිතයේ වෙනස් කිරීමට ඇති දේවල් මොනව ද?මේ ආකාරයෙන් ඔබ ඔබවම ප්‍රශ්න කිරීම මගින් මේ වසර සාර්ථක කර ගැනීම සදහා පෙලඹවිමක් ලැබෙනු ඇත.


ඔබ පසුතැවිලි වන යමක් තිබෙනවා ද?පසුගිය වසරේ ඔබ අතින් සිදුවූ වැරද්දක් නිසා ඔබට සමහර පුද්ගලයින්ට මුහුණ දීමට නොහැකි ද?වහාම ඔවුන්ව අමතන්න.ඔබ අතින් සිදුවූ දෙයට සමාව ඉල්ලන්න.නව වසර පරණ තරහමරහ විසදගෙන ඉදිරියට යන්න.

පසුගිය වසර  ඔබට ඉතා සාර්ථක වසරක් වුයේ ද?විශිෂ්ටයි,ඒ වසර පිළිබද මතක සටහන් එකතු කරගන්න.එලඹෙන වසර ඊටත් වඩා සාර්ථක කර ගැනීමට කටයුතු කරන්න.මතක තබා ගන්න ''සාර්ථකත්වය යනු නැවතුමක් නොවේ''.

පසුගිය වසර ඔබට ඉතා අමිහිරි වසරක් ද?මේ වසරත් ඒ ආකාරයෙන්ම  වෙතැයි සිතා පසුතැවිලි වෙනවාද? මතක තබාගන්න ඔබට අනාගතය ගැන අනාවැකි පල කල නොහැක.නමුත් ඔබට අනාගතයට මුහුණ දිය හැක.ඒ වර්තමානයට එඩිතරව මුහුණ දීම මගින් නව වසරට නව බලපොරෝතුවක් ඇති කර ගන්න.



ඔබට සුබ නව වසරක් වේවා !!!


ටිශාන් වික්‍රමසිංහ
(මුලාශ්‍රය : wikihow වෙබ් අඩවිය)

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

ලොවම වෙනස්කළ 'පිස්සු' අදහස් 15ක්.


ව්‍යාපාරයක්, එහෙමත් නැත්නම් අලුත් නිර්මාණයක්, නිපැයුමක්, මේ වගේ දේවල් වලදී බොහෝ දෙනෙක් හිතන්නේ හොඳම අදහස (idea) තියෙන කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ කියලා. ඒත් හොඳම අදහස තිබුණ පමණින් ඒ ව්‍යාපාරය හෝ නව නිර්මාණය සාර්ථක වේවි ද? ඉතින් අපි අද කියන්න යන්නේ මුලදී පිස්සු අදහසක් කියලා හැමෝම අහකදාපු, ඒත් කාලයත් එක්ක සීග්‍ර දියුණුවක් ලබපු අදහස් කිහිපයක් ගැනයි.


Facebook: ෆේස්බුක් කරළියට එන කාලයේ MySpace, Friendster වගේ වෙබ් අඩවි රජකරපු කාලයක්. ඒ නිසා බොහෝ දෙනෙක් සිතුවේ ෆේස්බුක් තවත් එක් Friendster එකක්, MySpace එකක් වෙයි කියලයි.

Dropbox: ඩ්‍රොප්බොක්ස් කියන සේවාව එලියට එන කාලයේ ඔබේ ලිපි ගොනු sync කරන්න, share කරන්න පුළුවන් සේවා ගණනාවක්ම තිබුනා. ඒ වගේම මයික්‍රාසොෆ්ට් වගේ දැවැන්ත සමාගම් වලින් ලබා දෙන file sharing සේවාවන් පවා තිබුනා. ඒත් ඒ වෙනකොට තිබුනු අනෙක්ත් සේවාවන් වලට වඩා Dropbox හි වෙනස වුනේ සාමාන්‍යෙයන් අවශ්‍ය files පමණක් upload කරනවා වෙනුවට ඔබේ සියළුම files වුනත් upload කිරීමේ හැකියාව ලබාදීමයි. උදාහරණයක් විදියට ඔබේ ජංගම දුරකථනයෙන් ලබාගන්න සියළුම ඡායාරූප dropbox වෙතට ස්වයංක්‍රීයව එක් කල හැකියි.

Amazon: ඇමසන් සමාගම ආරම්භ කලේ අන්තර්ජාලය හරහා පොත් විකුණන්නටයි. ඒත් ඒ කාලයේ කිසි කෙනෙක් තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් දත්ත අන්තර්ජාල ගණුදෙනු සඳහා යොදාගන්නට ඒ තරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේම Shipping Cost ලෙස අමතර මුදලක් ගෙවන්නටත්, පොත් ලැබෙනකම් සතියක් විතර බලාගෙන ඉන්නටත් පාරිභෝගිකයින්ට සිදු වුනා. හැබැයි එසේ වුනත් පොත් සාප්පු වල රස්තියාදු නොවී අන්තර්ජාලය හරහා පොත් මිලදී ගන්නට ක්‍රමක්‍රමයෙන් බොහෝ දෙනෙක් පුරුදු වුනා.

Virgin Atlantic: වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවාව ආරම්භ කල සමයේ එයත් දහස් ගණනක් ගුවන් සේවාවන් අතරින් එකක් විතරයි. ඒත් සාමාන්‍ය ගුවන් සේවාවකදී ලබාදෙන ආරක්ෂණ උපදෙස් මාලාව වෙනුවට, හාස්‍යජනක වීඩියෝවකින් ආරක්ෂණ උපදෙස් ලබාදෙන්නට වර්ජන් සමාගම තීරණය කලා. ඒ පුංචි වෙනස අනෙකුත් ගුවන් සේවා අභිබවමින් ඉහළටම පියඹා යන්නට වර්ජින්ට පියාපත් දුන්නා. ඒ වගේම සමාගමේ නමත් ඒ සඳහා ලොකු දායකත්වයක් ලබා දුන්නා. :)

Mint: මින්ට් කියන්නේ බැංකු තොරතුරු, මූල්‍යමය තොරතුරු එක්කාසු කර විශ්ලේෂණයට යොදාගන්න සේවාවන් සියගණනක් අතරින් එක් සේවාවක්. ඒත් කොළ පැහැ අක්ෂර රටා වලින් බැංකු ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය වැඩි ආකාරයකින් පෙන්වූ නිසා එය අනික් ඒවා අතරින් කැපී පෙනෙන වෙනසක් සිදුකලා.

iOS: iOS මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදීමේදී බොහෝ දෙනෙක් ඒ ගැන අප්‍රසාදය පළකලා. ඒ වෙනකොට තිබුණු මිලියන ගණනක් Mac OS, Windows හෝ Linux භාවිත කල හැකි උපකරණ කිසිවකට මේ නව මෙහෙයුම් පද්ධතිය සහාය දැක්වූයේ නැහැ. ඒත් ඉතාමත් ටික කාලයකින් ලොව වැඩිම දෙනෙක් භාවිත කරන මෙහෙයුම් පද්ධති අතරට එන්නට මේ මෙහෙයුම් පද්ධතියට හැකි වුනේ iPhone ජංගම දුරකථන සඳහාම වෙන්වූ මෙහෙයුම් පද්ධතියක් නිසාමයි.

Google: ගූගල් කියන්නේ ලොව මුල්ම සෙවුම් යන්ත්‍රය නෙවෙයි. දෙවෙැනි සෙවුම් යන්ත්‍රයත් නෙවයි. 20 වැනියට නිකුත් කල සෙවුම් යන්ත්‍රය තමයි Google කියන්නේ. ඒත් ඒ වෙනකොට තිබුනු සෑම සෙවුම් යන්ත්‍රයකට වෙබ් පිටුව වෙළඳ දැන්වීම්, විවිධ අනවශ්‍ය අංගම වලින් පිරී තිබුනත් Google හි තිබුනේ කුඩා Text Box එකක් විතරයි. අන්න ඒ වෙනස තමයි Google ගේ සාර්ථකත්වයට හේතු වුනේ.

GitHub: නොමිලයේ ලබාදෙන මෘදුකාංග යොදාගෙන නොමිලයේ ලබාදෙන මෘදුකාංග නිර්මාණය කරන්නට සල්ලි වියදම් කරලා ගිණුමක් පවත්වාගෙන යන්නේ කවුද? ඒත් GitHub භාවිත කරන අය ඒ දේ කරනවා.

PayPal: වැඩි ආරක්ෂාවක් නැති AOL හෝ Yahoo ඊමේල් ලිපින යොදාගෙන මුදල් හුවමාරු කරන්නට අන්තර්ජාලය යොදාගනීවි කියන එක ඒ දවස් වල කවුරුත් විශ්වාස කලේ නැහැ. ඒත් අද වෙනකොට ලොව අංක එකේ මුදල් හුවමාරු වෙබ් අඩවිය බවට PayPal පත්වී හමාරයි.

Instagram: ෆිල්ටර්ස් ! ඔව් ෆිල්ටර්ස් විතරයි. ජංගම දුරකථන ඡායාරූපකරණය වෙනස්ම දිශාවකට යොමුකල මේ ඉන්ස්ටර්ග්‍රෑම් වල සාර්ථකත්වයට හේතු වුනේ මේ ෆිල්ටර්ස් ටික විතරයි.

LinkedIn: වෘත්තීය මට්ටමේ සමාජ ජාලයක්. මුලදී වැඩිදෙනෙක් කිව්වේ මේ අදහස කිසි වැදගැම්මකට නැති අදහසක් ලෙසයි. ඒත් අවුදුරු ගාණකට සැරයක් හරි රස්සාවක් හොයගන්න ඕන වුනාම LinkedIn භාවිත කරන පිරිස එන්න එන්න ඉහළගියේ සැවොම පුදුමයට පත්කරමිනුයි.

Tesla: බැටරි හදලා විකුණනවා වෙනුවට ටෙස්ලා සමාගම කලේ බැටරි වලින් සුපිරි කාර් එකක් හදලා විකුණන එකයි. ඊට අමතරව ටෙස්ලා බෙදාහැරීමේ ජාලයක් වගේම බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ජාලයකුත් මේ සඳහාම නිර්ාණය කරන්නට ටෙස්ලා සමාගමට සිදුවුනා.

SpaceX: නාසා සමාගමට හැකි නම් අපිට බැරි ඇයි. SpaceX හි නිර්මාතෘන් සිතුවේ එහෙමයි. ඒ අනුව ලොව ප්‍රථම අභ්‍යාවකාශ සංචාරක ව්‍යාපාරයේ ආරම්භකයා වුනේ SpaceX සමාගමයි. ඉතින් දැන් ඩොලර් මිලියන ගණනක් දීල අභ්‍යාකාශයට විනෝද චාරිකා යන්න පෝලිමේ ඉන්නත් වෙලා.

Firefox: පරිගණක අතරින් 90% පරිගණක වල මෙහෙයුම් පද්ධතිය සමඟම වෙබ් බ්‍රව්සරය පැමිණියත් Mozilla සමාගම අලුතෙන්ම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කලා. විශේෂත්වය වුනේ පහසුව සහ වේගය යි.

Twitter: ට්ව්ටර් වෙලාවකට Email වගේ, SMS වගේ, නැතිනම් RSS වගේ. හැබැයි ඒ හැමදෙයකටම වඩා සරල දෙයක් ට්විටර් සිදුකරන්නේ. කවුරුහරි කෙනෙක් කරන දේවල් දැනගන්න මේතරම් පිරිසක් කැමති වේ යැයි කිසි කෙනෙක් හිතන්න නැතුව ඇති නේද?



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....