Showing posts with label Health. Show all posts

හණමිටියක් උඩ තැබූ ගබ්සාව.


ගබ්සාව, මේ දිනවල සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ මාතෘකාවකි. එය ලොව සෑම රටකම පාහේ පවතින සමාජ ගැටලුවක් ලෙස පෙන්වාදීමෙහි වරදක් නැත. මන්ද ගබ්සාව නීතිගත වුවත් නැතත් එය ලොව පුරා පුළුල් වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන හෙයිනි. 

ගබ්සාව පිළිබඳ මෙරට කතාබහ අලුත් වූයේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවීමත් සමඟ ය. එනම් ලිංගික අතවරයක් නිසා සිදුවන ගැබ් ගැනීමකදී හෝ උපදින්නට සිටින දරුවා බරපතළ ආබාධ තත්ත්වයක් ඇතුව උපදින බව තහවුරු වීමකදී ගබ්සා කිරීමට නීතිමය ඉඩහසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිගත් වෛද්‍යරු දෙදෙනකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහලකදී පමණක් යනුවෙන් යැයි යම් සංවරණ තත්ත්වයක් ද සමඟිනි. එහෙත් එම තීරණය හමුවේ මේ වනවිට ශ්‍රී ලාංකික සමාජය තුළ සැලකිය යුතු ආන්දෝලනයක් හටගෙන ඇත.  

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව යනු නීති විරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් දරු උපතක් අතරතුර දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරට ලක්වන්නේ නම් පමණක් ගබ්සාවට අවසර දී තිබුණද ප්‍රතිපත්තියක් ලෙස ගබ්සාවට මෙරට නීතියෙන් අවසරයක් නැත. එවන් පසුබිමක වුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පර් යේෂණවලදී තහවුරු වී තිබේ.

මේ අතර දැඩි සාම්ප්‍රදායික සමාජ පරිසරයක් පවතින අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ඇත්තේ අපට වඩා ලිහිල් තැනක ය. එනම් දරු ගැබට සති 20ක් ඉකුත් වීමට පෙර එරටදී ගබ්සාවක් සිදුකළ හැක. බංග්ලාදේශයේ දරු ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර ගබ්සාවක් සිදුකරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් අපේ රට තුළ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක්වේ නම් පමණි. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ එසේ කියවෙන්නේ වසර  එකසිය තිස් හතරක් පැරැණි නීතියක් වන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ වීමය. 

ගබ්සා නීතිය ලිහිල් කිරීම ගැන නිර්දය විවේචනයක් එල්ල වන්නේ අගරදගුරුහිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවෙනි. කැබිනට් තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි. 

කතෝලික සභාව විශ්වාස කරන්නේ, කළලය පිළිසිඳගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත් ය. 

මේ අතර පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියේ සෑම මිනිස් ජීවිතයක්ම දේව කැමැත්ත අනුව සිදුවන්නක් වන බවත් දෙවියන් වහන්සේගේ ඇතැම් සැලසුම් මිනිස් අපට තේරුම් ගැනීමට අපහසු වන බවත් ය. උන්වහන්සේ එහිදී මෙසේ පවසා සිටියහ. 

ගබ්සා නීතිය ලිහිල් කරන්න, ඉස්සෙල්ලා හිටපු රජයත් උත්සාහ කෙරැවා. මේ ළඟදි ඉඳලා ඇහෙනවා මේ දැන් ඉන්න රජයත් ගබ්සා නීතිය ලිහිල් කරන්න හදනවා කියලා. ඊයෙ පෙරේදාත් පුවත්පත්වල තිබුණා ඒක. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට විරුද්ධව ප්‍රකාශ පවා ඉදිරිපත් වෙනවා. කතෝලික අපිට ජීවිතය වැදගත්. ජීවිතය උතුම්. ඒ නිසා දරුවෙක් අංග විකලව ඉපදුණා කියලා, බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා දරුවො ලැබුණා කියලා ඒ දරුවා නැති කරදැමීම වරදක්!

කතෝලික සභාව එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ බයිබලයේ දස පනත අනුව යමිනි. එනම් දරු ගැබක් වුවද මිනිස් ජීවිතයක් ලෙස සැලකිය හැකි නිසා ගබ්සාව යනු මිනිස් ජීවිතයක් උදුරා ගැනීම බව කතෝලික සභාවේ ස්ථාවරය වී තිබේ. එම අර්ථයෙන් ගත් කළ කතෝලික සභාවේ අදහසෙහි කිසිදු වැරුද්දක් නැත. 

නමුත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉකුත් වසරේදී වතිකානුව තුළ ගබ්සාව සම්බන්ධයෙන් යම් ලිහිල් ප්‍රතිපත්තියකට ගමන්කොට තිබීම ද අමතක කළ නොහැක. එනම් ගබ්සා සිදුකළ කාන්තාවන්ට සමාව ලබාදෙන ලෙස සියලු කතෝලික පූජකයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර සිටියහ. 

ගබ්සාව දෙයාකාරය. එනම් ස්වභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙන් කොටස් දෙකකි. මින් ස්වභාවික ගබ්සාව ලෙස හැඳින්වෙන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට යම් හානියක් සිදුවේය යන පදනමින් නිත්‍යනුකූල වෛද්‍යවරු විසින් සිදුකරන ගබ්සාවකි. එමෙන්ම එහි තවත් පැත්තක් තිබේ. මවගේ ශරීරය තුළ හටගන්නා යම් රෝගී තත්ත්වයක් නිසා හෝ දරු ගැබේ ශක්තිමත් භාවය නොමැතිවීම ආදී ස්වභාවික හේතුවක් මත දරු ගැබක් කුස තුළදී ඉබේටම විනාශ වී යාම ද ස්වභාවික ගබ්සා තත්ත්වයක් ලෙස හඳුනා ගැනේ. 

සාපරාධී ගබ්සාව ලෙස සලකනු ලබන්නේ හිතාමතාම දරු ගැබ විනාශ කිරීමේ පරමාර්ථයෙන්ම සිදුකරන ගබ්සාවකි. එය සාපරාධී ලෙස හඳුන්වන්නේ ද එනිසා ම ය. නීති විරෝධී ගබ්සා කිරීම් ලෙස හඳුන්වන්නේත් එම තත්ත්වය ය. 

එහෙත් වර්තමාන සමාජ වටපිටාව විසින් නීතිවිරෝධී ගබ්සාවන්ට යොමුවීම සඳහා කාන්තාවන්ට බල කෙරෙමින් තිබේ. ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් සඳහා පිළියමක් ලෙස ගබ්සාව ජනප්‍රිය වී තිබෙන්නේ සෑහෙන කලක පටන් ය. ලිංගිකත්වය යන විෂයේදී කාන්තාව බොහෝවිට තැලෙන පොඩිවන මෙරට සමාජ පරිසරයේදී නීති විරෝධී ගබ්සාව දිනෙන් දින වර්ධනය වන්නේ එනිසා ය. ගබ්සාව නීතිගත කළ යුතු නැතැයි පුරුෂ පක්ෂයේ ඇතැමුන් පවසන්නේ එවැනි අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් වුවහොත් එම බර දැනෙන්නේ ස්ත්‍රියට පමණක් නිසා විය හැක. ස්ත්‍රිය පමණක් බඩදරු වීම නිසා මේ ඊනියා සුචරිතවාදීහු ගබ්සාවට විරෝධය පළකරති. 

නමුත් මේ කාරණය අප සැලකිය යුත්තේ වඩා විවෘත සංවේදී මනසකිනි. ස්ත්‍රී දූෂණයකට බඳුන් වූ කාන්තාවකට අපේ සමාජය තුළ උරුම වන්නේ යුක්තිය නොව සමාජ හුදෙකලාකරණය බව කීමට පැකිළිය යුතු නැත. අධිකරණය ඉදිරියේ පිරිමියා වරදකරු වුවද සමාජ අධිකරණය හමුවේ දඬුවමට බඳුන් වන්නේ පීඩාවට පත් කාන්තාවම ය. අවසානයේ දරු ගැබක් නිසා එකී පීඩාව තම ජීවිත කාලය පුරාවම ලැබුණු දඬුවමක් සේ සලකා ජීවත් වීමට ඇයට සිදුවීම ඇගේ අවාසනාවක් සේ සලකා ඉවත බැලීමට නොහැකිය. මන්ද ඈට එසේ සිදුවන්නේ අප ජීවත්වන අපුල සහගත සමාජ වටපිටාව නිසාවෙන් වීමය. 

මෙනිසා ගබ්සා නීතිය ගැන ඝෝෂා කිරීමට පෙර කාන්තාවන්ට අදාළව ගබ්සා නීතියේ ඇති සංවේදී පැතිකඩ විවර කරගත යුතුය. ගබ්සාව නීතිගත කළ යුතුද යන්න ගැන සමාජයේ විසංවාද පවතින විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුය. නමුත් අපේ රටේ විවෘත හා සාධාරණ ප්‍රවේශයක් තුළ නොකෙරෙන්නේත් ඒ සංවාදයමය. අපේ සමහරුන්ට අනුව ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම පවා සදාචාරයට පටහැනි ය.

එහෙත් අද තරුණ පරම්පරාව ලාංකික සමාජය ඒ විවෘත භාවය දෙසට කැඳවාගෙන යමින් තිබේ. මෙහිදී තරුණ පරම්පරාව ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු විස්සේ තිහේ පසුවන සියලුදෙනා නොව නූතන ලෝකය හා බද්ධ වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා සිදුවන දෑ පිළිබඳ විමසිලිමත් පරම්පරාවයි. ඔවුන් ගබ්සාව ගැන කතාකරන්නේ තම ආගමික වාර්ගික විශ්වාසයන් පසෙක ලා විවෘත මනසකිනි. එය සුභවාදී ලක්ෂණයක් බව නොකියා බැරිය. 

කෙසේ වෙතත් ගබ්සාව නීතිගත කිරීමට පෙර හෝ අඩුම තරමේ එවැන්නකට සමගාමීව කළ යුතු කාර්යයන් රැසක් තිබේ. ගබ්සාවක් කිරීමට කාන්තාවන් යොමුවන සමාජ හේතු සාධක අවම කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  ස්ත්‍රී දූෂණ අවම කිරීම සඳහා අපේ රට තුළ ලිංගික නිදහස මීට වඩා පුළුල් කළ යුතුව ඇතැයි යන්න එක් අදහසකි. ඉන් අදහස් කරන්නේ, මහපාරේ එකිනෙකා සිප වැළඳ ගැනීම නොවුණත් නිදන කාමරයේ අඩ අඳුරට පමණක් අපේ රටේ ලිංගිකත්වය සීමා කළ යුතු නැති බවය. ලිංගිකත්වය හා බැඳුණු කාරණා තවදුරටත් ගූඪ ධර්මතා ලෙස දොර මුල්ලේ නොතියා විවෘතව ඒ ගැන කතාබහ කළ යුතුය. 

එමෙන්ම උපත් පාලන ක්‍රමවේද සහ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ජනතාවට ලබාදීම තවත් පියවරකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් පවුල් සැලසුම් ක්‍රමවේද ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති බව තමන්ගේ පවුල් ආර්ථිකයට දැරිය නොහැකි තරමින් දරුවන් හදනා ගැමි පවුල් දෙස බැලූ විට පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකයේ දුබලතාවට ද එය එක් හේතුවකි. 

අනෙක් අතට නීති විරෝධී ගබ්සාව නිසා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ද සලකා බැලීම වටී. නීතිවිරෝධී ගබ්සා කිරීම් වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින්නේ හොර වෙද්දු ය. කම්බි කූරු ගර්භාෂයට රිංගවීම වැනි අතිශය අනතුරුදායක හා ප්‍රතික්ෂේපිත ක්‍රමවේද භාවිතාව හේතුවෙන් අදාළ කාන්තාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැක. විශේෂයෙන්ම ගර්භාෂයේ තුවාල, ප්‍රජනන පද්ධතියට සිදුවන හානි මෙන්ම නීතිවිරෝධී ගබ්සාව නිසා ඇතිවන මානසික පීඩාව ආදිය එම කාන්තාවන්ගේ අනාගතයට ඍජුව බලපෑම් එල්ල කරන බව තහවුරු වී තිබේ. 

එනිසා අප කළ යුත්තේ සමාජ සංවේදී බව මත පිහිටා ගබ්සාවට යම් ලිහිල් බවක් ලබාදෙන අතරේදීම ගබ්සාවට තුඩු දෙන සමාජ හේතු එකිනෙක සමාජයෙන් පලවා හැරීම ය. එවන් දියුණු සමාජයක් තුළදී ගබ්සාව තවදුරටත් සමාජ මාතෘකාවක් ද නොවනු ඇත. 

 රජිත ජාගොඩ ආරච්චි

Stress අඩු කරන්න ලේසි ක්‍රම.


මානසික ආතතිය අද සමාජයේ බහුලම දෙයකි. ආතතියට හේතුවන සිද්ධියකට මුහුණ දීමෙන් පසු මිනිස් මොළය වසර හතරකින් වයසට යන බව දැන් සොයාගන තිබේ. ආතතිය පසුකාලීන අමතක වීමේ රෝග හෙවත් ඩිමෙන්ෂියාවන්ටද හේතුවකි. ඒ නිසා ආතතිය දුරලන පහසු ක්‍රම කිහිපයක් ගැන කියවමු.

01. ඔබේ දෑත් තදින් මිට මොළවාගෙන ඉන්පසු අත්ල තුළට මිට මෙළවූ දෑත් තෙරපවා පසුව අත හරින්න. ආතති බලය ඉවත් වී අතේ මස්පිඬු ලිහිල්වන ආකාරය ඔබටම දැනේවි.

02. නළල රුළිගන්වාගෙන මුහුණ හැකිතරම් හකුළුවා ගන්න. ඔබට තවදුරටත් එසේ සිටිය නොහැකි බව දැනෙන තෙක්ම එම ඉරියව්වේ හිඳ, ඉන්පසු එක්වරම මුහුණේ මස්පිඬු ලිහිල් කරන්න.

03. ලොකු ආ අකුරක් සෑදෙන පරිදි මුව හැකිතරම් විවර කරන්න. ඉන්පසු මුව වසාගන්න. මුහුණේ මාංශ පේශීන් රිලැක්ස් වන ආකාරය හෙවත් ලිහිල්වන ආකාරය අත්විඳින්න.

04. බිත්තියක් මත ඔබේ අත්ල තබන්න. ඉන්පසු අත්ලෙන් බිත්තිය තල්ලු කරන්න. කළ නොහැකි මේ දෙය තේරුමක් නැති දෙයක් මෙන් පෙනුණත්. දෑත් වේදනා දෙන විට තමන් රිලැක්ස් වී තිබෙන බව ඔබටම දැනේවි.

05. බිම වැතිරී දෙපා ඉහළට ඔසවා, හිසට ලැබෙන ලේ සැපයුම ක්‍රමයෙන් වැඩිවන අයුරු දැනෙනවාදැයි බලන්න.

06. බිම හොඳින් වැතිරී ශරීරයේ හැම කොටසක්ම සිතා මතාම ලිහිල් කරගන්න. ඔබේ ශරීරයේ මස්පිඬු කෙතරම් ආතතියකින් යුක්තද යන්නත්, ඒවා ලිහිල් කර ගැනීමෙන් කොතරම් සුවයක් ලැබේද යන්නත් ඔබට අත්දැකීමට හැකිවනු ඇත.

07. පෙර පරිදිම බිම වැතිරී සෙමෙන් සහ ගැඹුරැ ලෙස නාස් පුඩුවලින් හොඳින් හුස්ම ඉහළට ගන්න. උදරය බැලුමක් මෙන් එයට අනුගාමී ලෙස රිද්මයානුකූලව පිම්බෙන ආකාරයත් දැනෙන්නට හරින්න. ඉන්පසු ඉහළට ගත් හුස්ම මුවෙන් පිට කරන්න. ඒ සමඟම බැලුනයකින් වාතය හිස්වන්නාක් මෙන් උදරය පැතලි වන ආකාරයක් දැනෙන්නට හරින්න. නැවුම් ජීවයෙන් පිරි ශක්තියක් ඔබේ ශරීරය තුළට ඇතුළුවන බව හුස්ම ඉහළට ගන්නා විට සිතන්න.

08. බිම වැතිර සිටින අතරතුර, ජීවිතයේ ඔබ දකින්නට වඩාත්ම කැමති ධනාත්මක සිහිනයක් සිතෙන් මවාගන්න. ඔබ සමගම සතුටෙන් සිනාසෙන්න.

09. ඔබේ දෑත් මුලින් තිරස් ලෙසත්, ඉන්පසුව සිරස් ලෙසත් දිග හරින්න. මේ සෑම අවස්ථාවකදීම හැකිතරම් වේලා එසේ දිග හැරෙගෙන සිටීමෙන් පසු, දෑත් පහළට දමා ශරීරයට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරන්න.

30න් පස්සෙ නොසලකාහරින සෞඛ්‍ය ගැටලු.


කාන්තාවන් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන කොච්චර දුරට සැලකිලිමත් වෙන්න ඕනද කියන එක ගැන ඉන්දියානු වෛද්‍යවරියක වුණු අපර්ණා ජාස්වාල් සඳහන් කරලා තියෙනවා. වෛද්‍ය අපර්ණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාන්තා සෞඛ්‍ය පිළිබඳ තානාපතිනියක්. ඇය මේ ගැන කියලා තියෙන කරුණුවලින් කීපයක් තමයි මේ.

1. පාදවල අපහසුතා නොසලකා හරින්න එපා
සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් අවුරුදු 30 ඉක්මවන විට පාදවල, කොන්ද ප්‍රදේශයේ පුංචි අපහසුතා ඇති වෙන්න පටන් ගන්නවා. මේ අපහසුතා ගැන සලකා බලා අවශ්‍ය ප්‍රතිකාර කරන්නේ අවුරුදු 30 සීමාවේ ඉන්න තරුණියන්ගෙන් සියයට හතක් විතරයි. මේ නිසා අවුරුදු 35-40 විතර වෙද්දි පාද, කොන්ද, සන්ධි ප්‍රදේශවල දීර්ඝකාලීන අපහසුතා පවා ඇති වෙන්න පුළුවන්.

2. ආර්තව වේදනාවලට ප්‍රතිකාර ගන්න.
වර්තමානයේ තරුණියන් සාමාන්‍යයෙන් ආර්තව වේදනාවට කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. දවසකින් දෙකකින් අඩු වෙනවා කියලා හිතාගෙන වේදනාව ඉවසගෙන ඉන්නවා. නමුත් ඒක ශරීර සෞඛ්‍යයට යහපත් දෙයක් නෙවෙයි. ආර්තව වේදනාව අතිශයින් වැඩි වීම වෙනත් අතුරු ආබාධවලට හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා ආර්තව වේදනාවලට ප්‍රතිකාර කිරීම වැදගත්.

3. දත් ගැන සැලකිලිමත් වෙන්න
සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් දත් ගැන හිතන්න පටන් ගන්නේ දත් කැක්කුමක්, වේදනාවක් දැනෙන්න ගත්තොත් විතරයි. නමුත් මාස 6කට වතාවක් හෝ දත් ගැන හිතන්න ඕනෙ. ඒ කියන්නේ දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා දත් පරීක්ෂා කර ගන්න ඕනෙ. එහෙම නොවුණොත් අවුරුදු 35ක් විතර යද්දි දත් නරක් වෙන්න හෝ විදුරුමස් රෝග ඇති වෙන්න ඉඩ තිබෙනවා.

4. හැමතිස්සෙම හිනාවෙන්න
දවස තිස්සේම හිනා වෙන එක ශරීර සෞඛ්‍යයට ඉතාම වැදගත්. ඒ කියන්නේ පිස්සු හැදිලා වගේ හිනා වෙවී ඉන්න එක නෙවෙයි. තරහා නොගෙන ඉන්න එක. අනිත් අයත් එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් මානසික සෞඛ්‍යය සුවපත් වෙනවා. තරහා ගැනීමෙන් ශරීරයට සිදු වෙන්න පුළුවන් ලොකුම හානිය තමයි අසාමාන්‍ය ආතතිය සහ රුධිර පීඩනය වැඩි වීම. ඒ නිසා හැම තිස්සේම හිනා වෙලා ඉන්න උත්සාහ කරන්න.

5. ගර්භණී කාලයේදී ව්‍යායාම කරන්න
ගර්භණී කාලය කියන්නේ ටිකක් අමාරු කාලයක්. නමුත් ඒ අමාරුව ගැන හිතන්නෙ නැතිව ව්‍යායාම කරනවා නම්, ඇවිදිනවා නම් දරු ප්‍රසූතිය ඉතාම පහසු කර ගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍යසම්පන්න දරුවෙක් බිහි කරන්නත් පුළුවන්. ව්‍යායාම කරනවා වගේම හොඳ සමබල ආහාර වේලක් ලබා ගැනීමත් ඉතාම වැදගත්.

6. අවුරුදු 35න් පසු රුධිර පීඩනය ගැන සැලකිලිමත් වන්න
සාමාන්‍යයෙන් අවුරුදු 35 ඉක්මවනවා කියන්නේ පොඩි පොඩි අසනීප ඇති වෙන්න පටන් ගන්නවා කියන එකයි. ඒ නිසා ඒ වගේ අසනීප ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙ. රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව වගේ අසනීප තත්ත්වයන් පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත්.

7. වතුර වැඩිපුර බොන්න
වතුර කියලා කියන්නේ අසනීප තත්ත්වයන් කීපයකටම හොඳ ඔසුවක්. ඒ වගේම ඕනෑම කෙනකුට කිසිම ආකාරයක අතුරු ආබාධයක් ඇති නොවන එකම දියරය තමයි ජලය. ඉතිං මේ නිසා වතුර බොන එක ශරීරයට ඉතාම හිතකරයි. වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දවසකට වතුර ලීටර් දෙකක්වත් අවම වශයෙන් බොන්න කියලයි.

8. උදෑසන ආහාරය වෙලාවට ගන්න
ඔබට උදෑසන ආහාරය ඕනෑ තරම් මඟ හැරෙනවා ඇති. උදෑසන ආහාරය ගන්න ඕනෙ ඔබ අවදි වෙලා පැය බාගයක් හෝ විනාඩි 45ක් ඉක්ම යන්න කලිනුයි. රාත්‍රිය පුරා පැය 10කට අධික කාලයක් ඔබ ඉන්නෙ කුසගින්නෙන්. ඒ නිසා උදෑසන අවදි වූ ගමන්ම උදෑසන ආහාරය ගැනීම ඉතාම වැදගත් වෙනවා. එය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ලොකු රුකුලක්.


- දුලංජලී මුතුවාඩිගේ 

ඔසප් දිනයට රාජකාරි නිවාඩු.


ඔසප් වීමේ වේදනාව අත්නොවිඳි කාන්තාවක් මේ ලොව සිටිය නොහැකිය. මල්වරය වූ දා සිට ආර්තවහරණය වනතුරුම සෑම මසකම ඔසප් වීමේ අමිහිරියාව සෑම කාන්තාවකටම උරුම වූ වේදනාවක් වැනිය. වේදනාව දෝතින් ගෙන එන්නාක් මෙන් ගැහැනු ජීවිතය උපතේ සිට මරණය දක්වා විවිධාකාර වේදනාවන්ට ගොදුරු වන්නීය. ප්‍රසූත වේදනාව එහි ප්‍රමුඛ වන අතර තම ලෙයින් උපන් දරුවාගේ මුහුණ දකින මොහොතේදී ඒ සියලු වේදනා අතුරුන් වන බව සියලු මවුවරු දනිති.

ප්‍රසූත නිවාඩු වශයෙන් වැඩ කරන සෑම කාන්තාවකටම නිවාඩු අනුමත කිරීම ලොව සෑම රටකම සිදුවන දෙයකි.

නමුත් කොතැනකවත් ඔසප් නිවාඩු ලබාදෙන බවක් සඳහන් වන්නේවත් නැත. නමුත් පසුගිය සතියේ කාන්තා දිනය සැමරීමත් සමඟ එය නිමිති කරගෙන ඛ්ධඥයඪඵබ නමැති පදනමක් මඟින් ඔසප් දිනය නිවාඩු දිනයක් ලෙස කාන්තාවන්ට ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන්ගේ එම යෝජනාව ඉදිරිපත් වීමත් සමඟ කාන්තාවන් ඒ පිළිබඳ විවිධ මත දක්වා තිබෙනවා. ඒ අතර කතාබහට ලක්වූයේ ලොව 90%ක්ම කාන්තාවන් ඔසප් වේදනාවෙන් පීඩා විඳින බවයි. එමෙන්ම 14%ක් පමණ කාන්තාවන් එදින කිසිදු වැඩක් කරගැනීමට නොහැකි තත්ත්වයට පත්වන බවත් අනාවරණය වුණා. ඒ අනුව ඔසප් නිවාඩු දිනයක අවශ්‍යතාව වැඩි පිරිසක් පිළිගත් නමුත් ඊට විරුද්ධ වූ පිරිසක්ද මෙහිදී හමුවුණා.

ඔවුන් පවසන්නේ රැකියා කරන කාන්තාවන්ට ඔසප් නිවාඩු දිනයක් ලබාදුන්නාට ගෘහණියක් ලෙස නිවෙසේ රැඳී සිටිමින් දරුවන්ගේත් සැමියාගේත් පවුලේත් කටයුතු සිදුකරන කාන්තාවන්ට එවැනි නිවාඩු දිනයක් ලබාදීමට නොහැකි නිසා මේ යෝජනාව සම්මත කළ නොහැකි බවයි. එසේම රැකියාවක් කරන ගැබිනි මවක් ප්‍රසූතිය ආසන්න වන අටවැනි නවවැනි මාසයේත් රැකියාවට එන අවස්ථා තිබෙන බැවින් ඔසප් දිනයට අමුතුවෙන් නිවාඩු අවශ්‍ය නොවන බවටත් තවත් අදහසක් ඉදිරිපත් වුණා.

කාන්තාව යනු සියලු වේදනාව දැරීමේ ශක්තියෙන් ඉවසීමේ ශක්තියෙන් පිරිමියාට වඩා ඉදිරියෙන් සිටින්නියකි. ඔසප් වේදනාව නොතකා රැකියාවේත් පවුලේත් සියලු රාජකාරි ඉටුකිරීමට ඇය ධෛර්යවන්තය. ඉතින් සැබැවින්ම කාන්තාවන්ට ඔසප් නිවාඩු දිනයක් අවශ්‍ය වෙනවාද? ඒ ප්‍රශ්නය ඔබ ඔබගෙන් අසා දැනගන්න.

හංසි ආටිගල

ඔසප් කාලයේ ඇතිවන ප්‍රශ්න හයකට විසඳුම්...


1. ඔසප් වූ පසු අපහසුතා නිසා පාසල් හා රැකියාවට යෑමට ඇතැමුන් අතපසු කරයි. මෙය සුදුසුද?
ගර්භාෂය තුළ රුධිර ගලනයක් සිදුවීම මේ කාලයේදී සාමාන්‍ය සිදුවීමක්. එහිදී උදරය සංකෝචනය වෙමින් වේදනාවක් ඇතිවෙයි. නමුත් මෙම වේදනාව සරල වේදනා නාශකයකින් සුව වෙයි. එලෙස වේදනාව අඩු නොවේ නම් රැකියාවට යෑමට අපහසු නම් වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

2. ඔසප් සමයේ ස්නානය කිරීම සුදුසුද?
ඔසප් කාලය තුළ ස්නානය කිරීම නුසුදුසුය යන මතය අතීතයේ පැවැති දෙයක්. එයට හේතු වන්නේ එකල කාන්තාවන් ගංගාවල ස්නානය කරන විට රුධිරය පහළට ගලා යෑම සුදුසු නොවන නිසා ළිඳ අසල ස්නානය කරන විට රුධිරය අන් අයට පෙනෙන නිසා එකල එය පිළිගත් මතයකි. නමුත් අද නාන කාමරවල ස්නානය කරන විට එම ගැටලුව ඇති නොවේ. හැම විටම පිරිසුදුව සිටීමයි වැදගත්.

3. ඔසප් චක්‍රය අක්‍රමවත් වන අවස්ථා ඇත. මෙයට හේතුව කුමක්ද?
ගර්භණී කාන්තාවන්ට ඔසප් වීම නැවතීම සාමාන්‍ය ක්‍රියාවලියකි. මීට අමතරව
• තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග
• ආසාදන නොවන දියවැඩියාව වැනි රෝග
• ඇදුම, අපස්මාර, මානසික රෝග, අම්ලපිත්ත රෝග හා හෝමෝන ගැටලුවලට ගන්න ඔෟෂධ හේතුවෙන්.
• ස්ථුලභාවය
• කාන්තාවන්ගේ හෝමෝනවල අසමතුලිතතා

4. ඔසප් කාලයේ පිරිසුදුකම අඩුවීමත් රෝගවලට හේතු වන්නේද?
ඔව්. ඔසප් කාලයේ යෝනි ප්‍රදේශය අවට නිතරම තෙත් ස්වභාවයක් පවතින නිසා බැක්ටීරියා ආසාදන ඇතිවිය හැකිය. පුස් වර්ග ඇතිවීම ඒ ආශ්‍රිත සම දිරාපත්වීම, සම තුනීවීම නිසා බැක්ටීරියා රෝග ඇතිවීමේ අවදානම පවතියි.

5. සනීපාරක්‍ෂක තුවා වැඩි වෙලා පැලඳ සිටීමත් ගැටලුවක්ද?
සනීපාරක්‍ෂක තුවාය නිතරම රුධිරයෙන් තෙත්ව පවතියි. බැක්ටීරියාවල වර්ධනයට අවශ්‍ය තෙතමනය, උණුසුම හා ප්‍රෝටීන සියල්ල මෙහි ඇත. මුත්‍රා හා රුධිරය මෙහි නිතර ගැටෙන නිසා බැක්ටීරියා ඉක්මනින් වර්ධනය වන නිසා ඒවා ඉක්මනින් මාරු කළ යුතුයි. පැය 4ක් හෝ 6ක් ඇතුළත එය මාරු කිරීම වඩාත් සුදුසුයි.


6. සනීපාරක්‍ෂක තුවායක ප්‍රමිතිය කෙසේ විය යුතුද?
සනීපාරක්‍ෂක තුවායකට රුධිර තරල අවශෝෂණ කර ගැනීමේ හැකියාව පැවැතිය යුතුයි.
• ඇසුරුම් කිරීමේදී ද සුළං නොවදින සේ පිටත වාතය බැක්ටීරියා පුස් වර්ග නොයන ලෙස තැබිය යුතුයි.
• තුවායේ ප්‍රමිතිය හා එය ඇඳ සිටින කාලයත් මෙයට බලපායි. පැය 4 - 6 අතර කාලයක් තුළ සනීපාරක්‍ෂක තුවා මාරු කළ යුතු නමුත් රුධිරය පිටවන ප්‍රමාණය මත එය ර¼දා පවතියි.

ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : වෛද්‍ය සාරධා හේමප්‍රිය ප්‍රසව හා නාරිවේද විශේෂඥ


ගැස්ට්‍රික් අඩු කරගන්නේ කොහොම ද?







  • ගැස්ට්‍රික් අඩු කරගන්නේ කොහොම ද?

ගැස්ට්‍රික් එහෙමත් නැත්නම් සිංහල භාෂාවේ මෙම රෝගය හදුන්වන්නේ අම්ලපිත්ත රෝගය කියලා. ඒ කියන්නේ අම්ල සහ පිත එකතු වීමෙන් තමයි හැදෙන්නේ. එහෙම තමයි අපේ සිංහල වෙදකමෙහි අම්ලපිත්ත රෝගය කෙටියෙන් ම හැඳින්වෙන්නේ. මේ ගැස්ට්‍රික් කියන එක අද ලංකාවේ මිනිස්සුන්ට භාගෙට භාගයක් ම තියනවා. ඒක හරියට ම කිව්වොත් වයිරස් එකක් වගේ.

මේ ලෙඩේ ඔයාලාමයි හදාගන්නේ. කොයිවෙලෙත් වැඩ. කාර්යබහුලයි. අනේ මට වෙලාවක් නෑ. කොටින් ම කිව්වොත් කන්නවත් වෙලාවක් නෑ. මේක එක හේතුවක්. වෙලාවට කෑම කන්නේ නැති එක. හරි වෙලාවට බඩට කෑමක්  නැති වුණා ම එයා ඔයාගේ ඇගේ තියන ශක්තිය උරා ගන්නවා. ඉතින් ඇඟට පණක් නෑ. එතකොට තව බඩගින්න වැඩිවෙනවා. ඇඟට පණ නැති වෙනවා. දාඩිය දානවා. කලන්තේ හැදෙනවා. ඉතින් බෙහෙත් ගන්නවා. ඊට පස්සේ බෙහෙත් බොන්න බෑ කියනවා. ඊට වඩා හොඳ නැද්ද ඔය ගැස්ට්‍රික් එක අඩු කරගන්න එක? හරි. ඔයා කාර්යබහුලයි කියමු. ඔයාට පුළුවන් බඩගින්න හැදුන ගමන් මොනවා හරි පළතුරක් කන්න. එහෙමත් නැත්නම් වතුර බෝතලයක් ළගින් තියාගෙන බොන්න. පොඩ්ඩක් බීලා නම් මදි. අඩුම තරමේ 500 ml බෝතලයකින් භාගයක්වත් බොන්න ඕනෙ. සමහර අය කියනවා biscuit එකක් ළඟ තියාගෙන බඩගිනි හැදුන ගමන් කන්න කියලා. Doctorsලත් කියනවා. එත් සමහර අයට එක හරියන්නේ නෑ. මොකද හැමෝට ම එක වගේ ශරීරයක් පිහිටලා නෑනේ. එක එක අයගේ ශරීරයන් එකිනෙකට වෙනස්. 

තව හේතුවක් තමයි Chinese ආහාර වර්ග කන එක. ඒකට මොනව ද දාන්නේ කියලා ඔයාලා දැන දැන කනවා. Ajinomoto, Soya sauce, Oyster sauce, tomato paste මේ හැමදේම එකතු කරනවා. මේවා ගැස්ට්‍රික් අයට හොඳ නෑ. අනික අපි කන්න ආසම දෙයක් තමයි Chilli paste. මේවත් හොඳ දෙයක් නෙමෙයි. 

තව දෙයක් තමයි burger සහ chips වර්ග. අපි ආසයි මේ දේවල් ආහාරයට ගන්න. ඒත් අපි මේ කනවයි කියලා කන්නේ වස නෙමෙයි ද? ටිකක් හිතන්න. මේවා කන්න එපා කියන්නේ නෑ. එත් කිසියම් සීමාවක් තියාගන්න. යමක් ආහාරයට ගන්න කලින් ඒ ගැන ටිකක් හිතන්න. ඔයාගේ ඇඟට හොඳ ද නැද්ද කියලා. 

තව දෙයක් තමයි, සැර කෑම වර්ග, කහට ගතිය තියන කෑම වර්ග. ඒ විතරක් නෙමෙයි තේ, කෝපි, දෙහි, විශේෂයෙන් කියන්න ඕනෙ green tea.


Green tea ගැන කිව්වොත් ගැස්ට්‍රික් තියන අයට හොඳම නැති බීමක් තමයි green tea කියන්නේ. කෙට්ටු වෙන්නයි කියලා green tea බොනවා. ඒකෙන් කෙට්ටු නම් වෙයි. ඒත් ගැස්ට්‍රික් වැඩි වුණාම මහත හොඳයි කියලා හිතෙයි. තව සමහර අය green tea එකට දෙහි දාලා බොනවා. ඒකෙන් තවත් ගැස්ට්‍රික් වැඩි වෙන එකයි වෙන්නේ. 

තවත් සමහර අය හිස් බඩට සුදු කිරි බොනවා උදේට. ඒක ගැස්ට්‍රික්වලට හොඳයි කියලා. නෑ. ඔබ දන්නවා ද? සමහර අයට සුදු කිරිවලට තවත් ගැස්ට්‍රික් වැඩි වෙනවා. පුරුදු වෙන්න හිස් බඩට උදේ පාන්දර ම වතුර වීදුරුවක් බීලා දවස පටන් ගන්න. ඒක ඔයාගේ ඇඟට ගුණයි. වතුර වීදුරුවක් බීලා උදේට හීල් බත් ටිකක් එහෙමත් නැත්නම් රතු බත් ටිකක් කන්න පුරුදු වෙන්න. ඔබට ඔබේ වෙනස පෙනෙයි. ඔබ ඔබ ගැන සතුටු වෙයි.

අනිත් කාරණාව තමයි, පිරිසිදු ජලය පානය කිරීම. සාමාන්‍යයෙන් හොඳ සෞක්‍යයක් ඇති මිනිසෙකු දවසකට ලීටර් 3ක්වත් පිරිසිදු ජලය පානය කල යුතු අතර හොඳ සෞක්‍යයකින් හෙබි කාන්තාවක් දවසකට ලීටර් 2.5ක්වත් පානය කල යුතුයි. පුලුවන් නම් නැගිට්ට ගමන් වතුර වීදුරු දෙකක් බොන්න පුරුදු කරගන්න. මේකෙන් ගැස්ට්‍රික් විතරක් නෙමෙයි, ඔබේ අඟ පිරිසිදු වෙනවා. ඒ වගේම ඔයා ඊයේ ආහාරයට ගත්ත ආහාර දිරවිමෙන් පස්සේ ඉතුරු වෙන Uric acid අයින් කරනවා.

සමහර අයට රෑට ඇහැරිලා ඉන්නකොටත් බඩගිනි හැදෙනවා. එතකොට වතුර බීලා නම් මදි. ඔයාගේ මොළය වෙහෙසෙන නිසා බඩගිනි ගතිය වැඩි වෙනවා, ශක්තිය වැය වෙනවා. එතකොට නොකා හිටියහම ගැස්ට්‍රික් හැදෙනවා. එතකොට ඒ වෙලාවට ඇපල් ගෙඩියක් කන්න. රතු ඇපල් නම් වඩාත් හොඳ යි. එහෙමත් නැත්නම් almond වගේ දෙයක් කන්න තියනවා නම් ගොඩක් හොඳයි. හැබැයි ඊට වඩා හොඳයි රෑට නිදාගෙන උදේට ඇහැරුණා නම්. මොක ද රෑට ඇහැරගෙන ඉන්නකොටත් ගැස්ට්‍රික් හැදෙන ප්‍රමාණය වැඩි.

රෑට නින්ද නො යන එක තවත් එකක්. මේකත් එක අතකින් ගැස්ට්‍රික්වල ලක්ෂණයක් වෙනවා. සාමාන්‍යයෙන් මැදි වයසෙන් ඉහල අය. ගැහැණු සහ පිරිමි දෙපාර්ශවය ම දවසකට එකදිගට පැය 7ක් නිදියනවා. එහෙම නින්ද යන්නේ නැත්නම් ඔබට පුළුවන් මද රස්නයෙන් තියෙන සුදු කිරි ටිකකට සීනි ටිකක් එකතු කරලා නිදාගන්න කලින් බොන්න. (Fresh milk නම් ගොඩක් හොඳ යි.) හැබැයි මේක පුරුද්දට ගන්න එපා.

අනිත් එක තමයි මානසික ආතතිය. ඔබ සතුටින් නැත්නම්, ඔබ ඔබව සතුටින් තියන්නේ නැත්නම් ඔබට මේ ගැස්ට්‍රික් රෝගය හැදෙන්න තියන අවධානම වැඩි. හැමකෙනෙක්ට ම මේ දේ නෑ. එත් සමහර අයට තියනවා. ඒ මානසික ආතතිය නැති කරගන්න ඔබ කුමක් හෝ ක්‍රමයක් හදාගන්න. ඔබ කැමති ම දේවල් කරන්න. සින්දු අහන්න. ඔබ පුංචි විනෝදාංශයක් පටන් ගන්න. ඔබ කැමති පුද්ගලයෙකු සමඟ කතාබහක යෙදෙන්න. එහෙමත්නැත්නම් ඔබේ ගෙදරදොරේ වැඩක යෙදෙන්න. එවිට ඔබේ මානසික ආතතිය නැති කරගන්න පුළුවන්. 

මේ හේතුවලින් මිදිලා, නිසි ප්‍රතිකාර කලොත් ඔබට පුළුවන් ගැස්ට්‍රික් හෙවත් අම්ලපිත්ත රෝගය සුව කරගන්න. 













සාරා දිසානායක.


  

දින 5කින් බර කිලෝග‍්‍රෑම් 3ක් අඩුකරගන්නට පුළුවන් විදිහක්.


ඔබ වඩාත් ප‍්‍රිය කරන යෝගට් අනුභව කරන ගමන්, ශරීරයේ අනවශ්‍ය බරද අඩුකරගන්නට පුළුවන් නම් එය කොපමණ අගනේද ? අද ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ යෝගට් කන ගමන් බර අඩුකරගන්නා ආකාරය පිළිබඳවයි. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ අපි ලබාදෙන උපදෙස් වලට අනුව යෝගට් අනුභව කිරීම පමණයි.

උදෑසන අවදි වූ විගස ලොකු වතුර වීදුරුවක් හිස් බඩ පානය කිරීමද ඉතාමත් වැදගත් බව පළමුව ඔබට මතක් කරන්නට ඕනේ.

  • පළමු දවස
උදෑසන ආහාරය / සීනි එකතු නොකර සාදාගත් තේ කෝප්පයක් සහ යෝගට් මිලිලීටර් 300ක්.

දහවල් ආහාරයට / එළවලූ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්.

පස්වරු 5 / යෝගට් මිලිලීටර් 300ක් සහ ඔබ කැමති පළතුරක් (රාත‍්‍රී ආහාරය / එළවලූ සුප් බඳුනක් සහ යෝගට් මිලිලීටර් 300ක්

නින්දට යෑමට ප‍්‍රථමව සීනි එකතු නොකර සාදාගත් තේ එකක් සමග වියලි මිදී ගෙඩි 3ක් පරිභෝජනය කරන්න (පළමු දවසට පමණක් නොවෙයි දින 5 ටම අදාළ වේ

  • දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි සහ පස්වෙනි දවස
උදෑසන ආහාරය / සීනි නොමැතිව සකසාගත් තේ එකක් සහ යෝගට් මිලිලීටර් 300ක්. යෝගට් එකට "wholegrain cereals" මේසහැඳි 3ක්ද එකතු කරනවානම් වඩාත් හොඳයි. එවැනි නිෂ්පාදනයක් සුපිරි වෙළඳ සලකින් ඔබට ලබාගන්නට පුළුවන්. 

දහවල් ආහාරය / එළවලූ සුප් බඳුනක්, යෝගට් මිලිලීටර් 300ක්, සහ කැමති පලතුරක්.

පස්වරු 5 / සීනි නොමැතිව සකසා ගත් තේ කෝප්පයක්, යෝගට් මිලිලීටර් 300ක් සහ පලතුරක්. ල සෙඑබැිි එර්සබසබට
රාත‍්‍රී ආහාරය / තම්බාගත් මාළු පෙති කිහිපයක්, බටර් මේසහැන්දක් එකතු කොට සකසාගත් සලාදයක් සහ සීනි එකතු නොකර සකසාගත් පලතුරු යුෂ එකක්.

මේදය රහිත (නන් ෆැට්) යෝගට් නිෂ්පාදනයක්ම තොරාගන්නවානම් ඔබට වඩාත් හොඳ ප‍්‍රතිපල ලබාගන්නට පුළුවන් වේවි.

මේ විදියට දවස් 5ක් ඔබ ආහාර පාලනය කරන විට ඔබේ ශරීරයේ අනවශ්‍ය බරින් කිලෝග‍්‍රෑම් 3ක් පමණ අඩුවෙනවා.


උපුටා ගැනීම - කීර්ති ගේ නුදුටුලෝකයෙන්

පියයුරු පිළිකාවේ මූලික ලක්‍ෂණ.


කාන්තාවන් අතර බහුලවම පවතින්නේ පියයුරු පිළිකාවයි. මේ නිසා සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්‍ෂාව සිදු කරමින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.

පියයුරු පිළිකාව ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ කිහිපයක් මෙසේයි.

  • පියයුරුවල හැඩයේ වෙනසක් සිදුවීම.
  • පියයුරුවල පැහැදිලි අසමමිතික බවක් දක්නට ලැබීම.
  • පියයුරුවල සමේ ‍ෙදාඩම් ලෙල්ලක මතුපිට වැනි වෙනස්වීමක්.
  • පියයුරුවල ගැටිත්තක්
  • සම මතුපිට තුවාලයක්
  • සමේ ඉදිමීමක්
  • තන පුඩුවේ ගිලී යෑමක් වැනි වෙනසක්.


මෙවැනි රෝග ලක්‍ෂණ ඔබටත් ඇති බවට හැඟෙයි නම් වහාම සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි.


උපදෙස් : සුරාජ් පෙරේරා ප්‍රජා විශේෂඥ වෛද්‍ය
(ශාලිකා රංගනී සමරදිවාකර)

ඔසප්ළං වන විට දැනෙන අපහසුතා.


මාසිකව සිදුවන ආර්තවය නිසා බොහෝ කාන්තාවන් අපහසුතාවට පත්වෙයි. නමුත් මෙම වේදනාවන් රෝග ලක්‍ෂණ නොවන බව ඔබ වටහා ගත යුත්තකි. මේ ඉන් කිහිපයකි.


  • පියයුරුවල වේදනාව

ඔසප් සමයේ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්වීම හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන වෑස්සීම නිසා පියයුරුවල සුළු වේදනාවක් ඇතිවිය හැකියි. මෙය රෝග ලක්‍ෂණයක් නොව හෝමෝන වෙනස්වීමක් නිසා සිදුවන්නකි. නමුත් ආර්තවයෙන් පසුවත් වේදනාව ඇත්නම් වහාම වෛද්‍යවරයකු වෙත යන්න.


  • ශරීර උෂ්ණත්වය ඉහළ යෑම

ඔසප් සමයේ සිදුවන වෙනස සමඟ ඔබේ ශරීර උෂ්ණත්වයද ඉහළ යයි. ඩිම්බ පිටවන විට ශරීර උණුසුම ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි.


  • වතුර වැඩිපුර අවශ්‍ය වීම

ඔසප් සමයේදී ඊස්ට්‍රජන් හෝමෝන ශ්‍රාවය වැඩිකර හෝමෝන අසමතුලිතතාවක් ඇති කරවයි. මේ නිසා ශරීරයට මේ කාලය තුළ ජලයේ අවශ්‍යතාව වැඩිවෙයි. ඔසප් සමයෙන් පසුව නැවත එය යථා තත්ත්වයට පත් වෙයි.


  • දුඹුරු පැහැති රුධිර පිටවීම

සැබවින්ම මෙයද ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. ඔසප් සමයේදී යෝනි මාර්ගයෙන් තද රතු දුඹුරු පැහැති රුධිරය පිටවීම නම් රෝගයක් නොවේ.


  • උදරයේ වේදනාව

ඔසප් ඇතිවූ මුල් දින කිහිපයේ උදරයේ අධික වේදනාවක් ඇතිවිය හැකියි. මෙයද සිදුවන්නේ හෝමෝන ක්‍රියාවලියේ වෙනස් වීමෙනි. නමුත් මෙම වේදනාව දිගටම පවතියි. නම් වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්‍ෂා කර ගැනීම සුදුසුයි.


  • බඩ දැඟලීම හා ඔක්කාර ඇතිවීම

මේ කාලයේදී උදරයේ ඇතිවන දැඟලීම හෝ වමනය යෑම වැනි තත්ත්ව නම් රෝග ලක්‍ෂණ නොවේ. ගර්භාෂ බිත්තිවල සිදුවන වෙනස නිසා උදරයේ ක්‍රියාකාරිත්වයට වන බාධාව නිසා මෙවැනි අවස්ථා ඇති විය හැකියි.


ශාලිකා රංගනී සමරදිවාකර

පියයුරු පිළිකා සෛල නසන තිසරපටක්.


කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් පළමු තැන ගන්නා පියයුරු පිළිකා සෛල නසන ඖෂධ   කවන ලද අධි තාක්ෂණික තිසරපටක් නිපදවන්නට ලන්ඩනයේ සාන්ත මාර්ටින්ස් සරසවියේ  සාරා ද කොස්තා නම් සිසුවියක සමත්ව තිබෙනවා. පිළිකා සෛල නසන Tamoxifen නමැති ඖෂධය ඉතා සියුම් අණු ලෙස ඇතුළත් කර නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති මෙම තිසරපට හැඳගෙන සිටින විට ඖෂධ සමට ඇතුළු වී පියයුරු පිළිකා සෛල වර්ධනය අඩාල කිරීමට ඊස්ට්‍රජන් හෝමෝනය පාලනය කරන බව සඳහන් වෙනවා.       

පියයුරු පිළිකා නැසීමට Tamoxifen  ඖෂධය ලබාගන්නා කාන්තාවන් දහස් ගණනක් විවිධ අතුරු ආබාධවලට ලක්වන බවත්, සාරාගේ මෙම නව නිෂ්පාදනය සමග එම අතුරු ආබාධ මඟහරවා ගනිමින් ඖෂධ ලබාදීමට හැකිවනු ඇති බවටත් සුබදායී මත පළ වෙයි. කෙසේවෙතත් මෙම නව සංකල්පය මත ඉදිරියේදී වෙනත් රෝග සඳහා වන ඖෂධ මෙම ක්‍රමය හරහා රෝගීන්ට ලබාදීමට හැකියාවක් පවතීද යන්න පිළිබද ඉදිරියේදී සොයා බැලීමට  විද්‍යාඥයින් තීරණය කර ඇති බවද අන්තර්ජාතික මාධ්‍ය සටහන් තබනවා. විශේෂයෙන් සාරාගේ මීළඟ අභිප්‍රාය වී ඇත්තේද කාන්තාවන් බහුලව ගොදුරුවන මානසික රෝගයක් වන ඩිමෙන්ෂියා රෝගයට ලබාදෙන ඖෂධ රාත්‍රී ඇදුමට කාවද්දා මේ අයුරින් සම මගින් ශරීරයට උරාගැනීමට සැලැස්වීම බවයි වාර්තා වන්නේ.




මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

නිරෝගීව ඉන්න යහපත් සෞඛ්‍ය පුරුදු 8 ක්.


විවිධ දේශගුණික වෙනස්වීම්වලදී අපේ සිරුර පවා එයට ප්‍රතිචාර දක්වන්නේ වෙනස් ආකාරයටයි. මින් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට වැදගත් වෙනවා. මේ සරල පුරුදු කිහිපයෙන් පමණක් ඔබටත් නිරෝගී ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමිකර ගන්න පුළුවන්.

1. කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම
කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදියෙන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඔෟෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්‍රබෝධයක් ගෙන දෙයි.


2. වතුර වැඩිපුර පානය කිරීම
වතුර නිතර පානය කිරීමෙන් සම හා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විස හරණය කරමින් පිරිසුදු කරවයි. ව්‍යායාම් කිරීමේදී දහදිය පිට කරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.


3. කෘත්‍රිම රසකාරක ඉවත් කරන්න
හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍යවල ඇති සීනි මඟින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වාභාවික රසකාරකම තෝරා ගන්න.


4. ඇසුරුම්ගත ආහාර පාලනය
ඇසුරුම් කළ ආහාර කල් තබා ගැනීමට විවිධ රසායන ද්‍රවය එක් කරන නිසා එය එතරම් හිතකර නොවෙයි. මේ නිසා එවැනි ආහාරවලින් හැකිතාක් අෑත් වන්න.


5. කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න
කෙඳි සහිත කොළ පැහැති ආහාර ඔබේ වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න.


6. දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම කරන්න.
ශරීරය හොඳින් ක්‍රියාකාරි වෙමින් දහදිය දැමීමෙන්ද විස බීජ පිට වෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.


7. ඔෟෂධීය ශාකසාරවලින් සත්කාර
සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කර ගන්න පුළුවන්. මෙය ඔෟෂධීය සත්කාරයකි.


8. දිනපතා සුළු වේලාවක් හෝ සන්සුන්ව සිටින්න
නිහඬව ඉඳගෙන මඳ වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් සිටින්න. සිත සැහැල්ලු කර ගනිමින් නව ප්‍රබෝධජනක අදහස් මතුකර ගන්න මෙය කදිම අවස්ථාවක්.


ශාලිකා රංගනී සමරදිවාකර

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

ගැබිණි කාලයේ ඔබ මුහුණ දෙන අපහසුතා ගැන කතා කරමු.


ඔයා දැනටමත් ගැබිණි කාන්තාවක් නම්, ඔයා දන්නවා ඇති කොච්චර අපහසුතා වලට මුහුණ දෙනවද කියල. නමුත් ගොඩක් අය මේ අපහසුතා මඟ හරවා ගන්න දන්නේ නෑ. සමහරු හිතනවා මේවා තවත් රෝගයක් කියලා.ඇත්තටම, මේ අපහසුතා රෝග නෙමේ. මේවා, ස්වභාවික විදියට අඩු කර ගන්න පුළුවන්. අපි බලමු, කොහොමද මේ අපහසුතා මඟ හරවා ගන්නේ කියලා. 

01. ගැබිණි කාලයේ ක්ලාන්ත ගතිය, ඔක්කාරය, අප්‍රාණික බව, වමනය දැනෙනවානම් 

මෙසේ වන්නේ, ඔයාගේ ඇඟේ හෝමෝන ක්ෂණිකව වෙනස් වී තිබෙන නිසයි. ඔයා දෙහි, දොඩම්, නාරං වගේ juice වර්ග පානය කරනවානම්, උදේට ඇඳෙන් බැසීමට පෙර තැඹිලි වතුර වරින් වර (වරකට අවුන්සයක ප්‍රමාණයක්) පානය කරන්නේ නම්, ඉඟුරු දැමු තේ බොනවානම්, නෙල්ලි, වෙරළු වගේ පලතුරු වර්ග කනවානම් ඔයාට මේ තත්ත්වය මඟහරවා ගන්න පුළුවන්. ඒ වගේම එකවර ආහාර වැඩි ප්‍රමාණයක් නොගෙන ආහාර වේල් ගණන වැඩි කර, විටින් විට ආහාර ගැනීම තුලින්ද මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. 

02. කොන්දේ වේදනාව ඇතිවෙනවානම් 

මෙය ඇත්තටම සුලබ තත්වයක්. ඔයා වම ඇලයට නිදා ගන්නවානම්, සුදුසු තෙල් වර්ගයක් අලේප කරලා උණු වතුරෙන් තවනවානම්, පැතලි අඩි සහිත පාවහන් පලදිනවානම් ඔයාට මේ තත්ත්වය අවම කර ගන්න පුළුවන්. 

03. මළ බද්ධයට මුහුණ දී තිබෙනවානම් 

ගැබිණි කාලයේ ඔයාගේ ඇඟේ ඇතිවන හෝමන වෙනස්කම් නිසාත්, ගන්නා බෙහෙත් වර්ග නිසාත් (විශේෂයෙන් යකඩ පෙත්ත නිසා),මල බද්ධ තත්ත්වය ඇතිවිය හැක. නමුත් මතක තියා ගන්න ඕනි, මල බද්ධය නිසා, යකඩ පෙත්ත කොයිම අවස්ථාවකවත් නවත්වන්න එපා. ඒ වගේම මල පිටකිරීමේ අවශ්‍යතාවක් නැතිව බලෙන් මළ පිට කරන්න උත්සහ ගන්නත් එපා. වැඩිපුර දියර වර්ග පානය කරනවානම්, කෙසෙල්, පැපොල්, බෙලි වගේ පලතුරු නිතර කනවනම්, කෙඳි සහිත එළවළු, පළා වර්ග සෑම කෑම වේලකටම එක් කර ගන්නවානම් මේ තත්ත්වය ඔයාට මඟ හරවා ගන්න පුළුවන්. 

yeheliya.lk

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



කුරුලෑ නැති කරන සරල ක්‍රම


අයිස්
අයිස් තැබීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ පහසුවෙන්ම ඉවත්කර ගත හැකි බව ඔබ දන්නවාද? රුධිර ගමනාගමනය ක්‍රමවත් කරමින් මුහුණේ සිදුරුවල රැදුණු කුණු ඉවත් වීමද මින් සිදුවෙයි. අයිස් කැටයක් රෙදි කැබැල්ලක ඔතා තත්පර කිහිපයක් මුහුණේ ලප කැලැල් ඇති ස්ථානවල තබන්න. සමේ ඉදිමුම් පවා මින් සමනය කළ හැකියි.


ලෙමන්
කුරුලෑවලට ප්‍රතිකාර කළ හැකි තවත් ආදේශකයක් වන්නේ දෙහිය. විටමින් B අඩංගු දෙහි යුෂ කුරුලෑ ලප වියළීමට සමත් වෙයි. කපු රෙදි කැබැල්ලක් දෙහි යුෂවල පොඟවා කුරුලෑ මත තෙත මාත්තු කර නින්දට යන්න. දෙහි යුෂ මේස හැන්දකට කුරුඳු කුඩු තේ හැන්දක් එක්කර සාදා ගන්නා පැක් එකක් කුරුලෑ ලප කැලැල් මත රැයක් තබා සෝදා හරින්න. මෙය කුරුලෑවලට මනා ප්‍රතිකාරයකි.


පැණි
මී පැණි ස්වාභාවික විසබීජ නාශකයක් ලෙසද ක්‍රියාකරයි. කපු රෙදි කැබැල්ලක් පැණිවල පොඟවා ආසාදන වූ සම මත ගල්වා පැය 1/2ක් පමණ තබා සෝදා හරින්න. මී පැණි, කුරුඳු කුඩු සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන්ද කුරුලෑ සුව කරගත හැකියි. මෙම මිශ්‍රණය මුහුණේ ගල්වා රැයක් තබා පසුදින උදයේ සිසිල් වතුරෙන් සෝදා හරින්න.


දන්තාලේප
දන්තාලේප දත් පිරිසුදු කිරීමට පමණක් නොව කුරුලෑවලට ප්‍රතිකාරයක් ලෙසද යොදා ගනියි. ජෙල් රහිත සුදු පැහැති දන්තාලේප මෙම සත්කාරයට වඩාත් සුදුසුයි. නිදා ගැනීමට පෙර කුරුලෑ කැලැල් මත දන්තාලේප ස්වල්පයක් ආලේප කරන්න. පසුදා උදෑසන ඒවා සෝදා ඉවත් කර ගන්න.


හුමාලය
හුමාලය ඔබේ සමට ප්‍රතිකාර කළ හැකි සුදුසුම ක්‍රමවේදයක්. හුමාලය සමට ඇල්ලීමෙන් සමේ රෝම විවර වෙයි. එවිට පිරිසුදු වාතය සමට හොඳින් ඇතුළු වීමට පහසුයි. එමෙන්ම කුණු දූවිලි හා සමේ තෙල් ගතියද ඉන් පහවයි. ජල බඳුනක් ළිප තබා එය රත්වූ පසු එහි හුමාලය මිනිත්තු කිහිපයක් මුහුණට වැදීමට සලස්වා පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. තෙත ගතිය ඉවත් වූ පසු තෙතමනය සුරකින ආලේපනයක් ගල්වා සමට ආරක්‍ෂාව සපයන්න.


සුදුලූනු
සුදුලූනු දිලිර බැක්ටීරියා මර්දනයට සුදුසුම ආහාරයකි. මෙනිසා සුදුලූනු කුරුලෑ සත්කාරවලටද යොදා ගනියි. සුදුලූනුවල අඩංගු සල්ෆර් මඟින් කුරුලෑ සුව කළ හැකියි. සුදුලූනු බිග් එකක් ගෙන දෙකට කපා කුරුලෑ මත මිනිත්තු 5ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. කරාඹුනැටි හා අමු සුදුලූනු, දෛනිකව ආහාරයට ගන්නේ නම් රුධිරය පිරිසුදුවීමේ ක්‍රියාවලියටද එය පහසුවකි.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

ඔබේ නිය ලස්සනට තියාගන්නේ මෙහෙමයි





රූපලාවණ්‍යයේ දී සම ගැන හිසකෙස් ගැන විතරක් නෙමෙයි. නියපොතු ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. හේතුව නිය කියන්නේ ද අපේ සමේම ඇතිවන කොටසක් නිසයි. නිය ගැන සඳහන් කළොත් නිය තිබෙන්නේ ආරක්ෂා වීමට සහ හැඩයක් ලබා දීමටයි. එමෙන්ම සෞඛ්‍යමය වශයෙන් ගතහොත් අපේ අභ්‍යයන්තරික ලෙඩ රෝග බොහෝමයක් අපේ නිය පරීක්ෂාකර බලා තීරණය කළ හැකියි. එමෙන්ම නියපොතු කෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිසුදුභාවය තීරණය කළ හැකි හොඳම සාධකයක් ලෙස ද සඳහන් කරන්න පුළුවන්.

  • නිය දෙස බලා කිවහැකි ලෙඩ රෝග මොනවාද?


විජලනය, සමහර හෘද රෝග, අක්මා රෝග, වකුගඩු රෝග, රක්ත හීනතාවය, චර්ම රෝග පිළිබඳ දළ අදහසක් අපට යම් පුද්ගලයකුගේ නියපොතු නිරීක්ෂණය කිරිමෙන් දත හැකියි. අද බොහෝ වෙලාවට ගෘහණියන්, දරුවන් සිටින මවුවරුන් තමන්ගේ රාජකාරී බහුල වීමත් සමඟ නියපොතු ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නෑ. විශේෂයෙන්ම මෙවන් ගෘහණියන් තමන්ගේ පවුල තුළ පණු රෝග වැනි රෝගයක් පැතිරවීමට වාහකයකු වෙයි.

එමනිසා අනිවාර්යයෙන්ම ගෙදර දොර වැඩ කරන ගෘහණිය, වෛද්‍ය වෘත්තියට සම්බන්ධ සහ සෞඛ්‍ය වෘත්තියේ සිටින පුද්ගලයන් රූපලාවණ්‍ය වෘත්තියේ සිටින සහ සම්බාහනකරුවන් හෝ ආහාර සකසන පුද්ගලයින් විශේෂයෙන්ම තම නියපොතු හොඳින් කපා සිටිය යුතුයි.



  • නිය ආශ්‍රීතව ඇතිවිය හැකි ලෙඩ රෝග මොනවද?


නිය, පොතු ලෙස ගැලවී යාම, නිය කැඩීයාම, නියමල පෑසවීම, නිය දුර්වර්ණ වීම, ලප, ඉරි ස්වභාවයන් ඇතිවීම, පාද පැලීම ආදී තත්ත්වයන් ඇති විය හැකියි.
  • එයට හේතුන් මොනවද?


නිය ආශි‍්‍රත ගල්වන ආලේපන, මෙහිදී සුදුසු නොවන ආලේපන ගල්වා තිබීම, නිතර නිතර ආලේපන ගැල්වීම, නියමිත කාලයේ දී ආලේපන ඉවත් නොකිරීම, අපවිත්‍රතාවය තුවාල සහ වෙනත් චර්ම රෝග, විශේෂයෙන්ම නොසැලකිලිමත්කම දැක්විය හැකියි.



  • මේ දේවල් වළක්වා ගන්නේ කොහොමද?

පළමුවැනි දේ නම් නිතරම අපේ දෑත් දෙපා පිරිසුදුකර තෙත රහිතව තබා ගැනීම. එමෙන්ම නිය පොතු සෑපීමෙන් වැළකිය යුතු අතර නිය කැපීමේ දී වුවත් ඉතාම ප්‍රවේශමෙන් නියමලට හානි නොවන සේ කිරීමට වගබලා ගත යුතුයි. නියමල පැසවා ඇත්නම් වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගැනීම කළ යුතුයි.

සෑම දිනකම පිරිසුදු කාරක යොදා අත්වල හා පාදවල නියපොතු සේදීම කළ යුතුයි. නිය පොතු දෙපස හෑරිම ද නොකළ යුතු ක්‍රියාවක්. තැවරූ ආලේපන දිගු කාලයක් තබා ගැනීමෙන් වැළකීමත් ආලේපන ඉවත් කරනවා නම් ඇසිටෝන් රහිත සැර අඩු රසායනික සංයෝගයකින් ඉවත් කිරීමත් ඉතා වැදගත්ය. සතියකට දෙවරක් පමණ ෆ‍්‍රට් සෝල්ට් එකක් හෝ එසේත් නැත්නම් සහිඳලුණු, ජෙලටින් මේස හැඳි දෙකක් මඳ උණුසුම් වතුරට දමා දෑත් දෙපා එහි දමාගෙන සිටීමෙන් ද ප්‍රතිකාරයක් ලබාදිය යුතුයි. ඊට අමතරව සහිඳ ලුණු, රසකිඳ හා ගොරකා තැම්බූ වතුරේ දෙඅත් හා දෙපා ඔබාගෙන සිටීමෙන් සැහැල්ලු බවත් දැනේ. දෙපාවල ඇතිවන වේදනාව සහ හිරි ගතියට මෙය කදිම විසඳුමක් ගෙන දෙයි. වාත රක්තය, විළුඹේ වේදනාව, කකුල් පැලීම ආදී රෝගාබාධ තිබේ නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.

අභ්‍යන්තර ඖෂධ, තෛල සම්බාහන ක්‍රම, පාෂාණ යොදා ගනිමින් කරනු ලබන සුවිශේෂී සම්බාහන ක්‍රම හෝ චූර්ණ යොදා ගනිමින් කෙරෙන සම්බාහනයන් ද මෙහිදී සිදු කෙරෙනු ඇත.


මංජුලා  මල්කාන්ති
උපදෙස් - සුලෝචනා මිහිරාණී සේනාරත්න
චාම්වේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න...


වීදුරු පෙට්ටියේ කතාව.


අලුත ඉපදුණ බබාලාගේ නිසි බර නැත්නම් වීදුරු පෙට්ටියේ දානවා කියලා හරිම ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. නමුත් බොහෝ දෙනකුට මේ ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ නිසාම හුඟක් මවුවරු බබාලා වීදුරු පෙට්ටියේ දානවට බයයි.

ඉන්කියුබේටරය හෙවත් වීදුරු පෙට්ටිය කුඩා දරුවන් වෙනුවෙන් තැනූවක්. එය ඕනම ළමා වාට්ටුවක දැක ගන්න පුළුවන්. අඩු බර සහිත ළදරුවන්, නොමේරූ ළදරුවන්, කහ පැහැ වූ ළදරුවන් ඉන්කියුබේටරය තුළ තබනවා.

සති 32කට අඩුවෙන් ඉපදුණු දරුවන් ඉතා නොමේරූ දරුවන් ලෙස සලකනවා. ඒ වගේම සති 37ට අඩු දරුවන් ද නොමේරූ දරුවන්. නොමේරූ ළදරුවන්ට සිරුරේ උෂ්ණත්වය රඳවා ගන්න බැහැ. සාමාන්‍ය ළදරුවෙක්ට නම් ඇඳුම් අන්දවා තිබ්බාම පරිසර උෂ්ණත්වයට අනුව සිරුරේ උණුසුම සැකසෙනවා.

නමුත් නොමේරූ ළදරුවන්ට එවන් හැකියාවක් නැහැ. ඒ නිසා ළදරුවන්ගේ සිරුරේ උණුසුම රැකදීම සඳහා සහ සිරුරට අවශ්‍ය උණුසුම කෘත්‍රිමව ලබා දෙනවා.

සමහර ළදරුවන්ට රුධිරයේ අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් රඳවා ගැනීමට හැකියාවක් නැහැ. එවිට වැඩිපුර ඔක්සිජන් ඉන්කියුබේටරය මඟින් ලබා දෙනවා. ඒ වගේම විවිධ හේතු මත ළදරුවන් කහ පැහැ ගැන්වෙනවා. මවගේ සහ දරුවාගේ රුධිරය සමාන නොවීම, ආරය නිසා ඇතිවන ගැටලු, උපතින් එන රුධිරගත ආබාධ නිසා රුධිර සෛල විනාශ වී ඇති ළදරුවන් කහ පැහැ විය හැකියි. එවැනි දරුවන්ට ඉන්කියුබේටරය තුළින් නිල් පැහැ ආලෝකයක් ලබා දෙනවා. එමඟින් ශරීරයේ ඇතිවුණු කහ පැහැය යථා තත්ත්වයට පත්වෙනවා. ඉන්කියුබේටරයක් තූළ දරුවන් තැබිය යුතු කාලය සීමාවක් නැහැ. දරුවා එහි තැබීමට හේතු වූ ගැටලුව යථා තත්ත්වයට පත්වන තුරු දරුවා ඉන්කියුබේටරයේ තබන්න වෙනවා.

සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් සිතනවා දරුවා ඉන්කියුබේටරය තුළ තැබූ විට සාමාන්‍ය පරිසරයට අධික ලෙස සංවේදී වනවා කියලා. නමුත් එහි කිසිම සත්‍යතාවක් නැහැ.

මේ කාලෙදී ගැටලුවක් ඇතිවන්නේ කිරි දීම සම්බන්ධව පමණයි. එවිට නාසය මඟින් ආමාශයට යවන බටයක් හරහා දරුවාට කිරි ලබාදෙනවා.



හංසි ආටිගල,

වෛද්‍ය පුණ්‍යානි බන්දුතිලක.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

අතට අත දෙනවාට වඩා සිපගැනීම සෞඛ්‍යාරක්ෂිතයි.


Science Of Kissing කෘතිය රචනා කරන ෂර්ලි කිර්ෂන්බෝම් සිපගැනීමට නව අර්ථකතනයක් දී තිබෙනව. එදා අපි හාදුවක් දුන්නේ ආදරයේ සංකේතයක් ලෙසයි. මව තම දරුවාට දුන් හාදුවෙත්, සැමියා බිරිඳට දුන් හාදුවෙත් , පෙම්වතිය පෙම්වතාට දුන් හාදුවෙත් සැඟවිල තිබුණේ ආදරයයි.

මෙතෙක් අපි හාදුවක දුටුවෙ ආදරය පමණක් වුණාට දැන් දැන් හාදුවක තව බොහෝ අරුත් වටිනාකම් සැඟව ඇති බවයි පැවසෙන්නෙ.

දෙතොල් සිපගැනීමකදි බැක්ටීරියා මිලියන ගණනක් දෙදෙනා අතර හුවමාරු වෙනව. මේ බැක්ටීරියා ශරීරයේ ප්‍රතිශක්තීකරණ ශක්තිය වැඩි වීමට හේතුවක් බවයි Science Of Kissing කෘතියෙන් පෙන්වා දෙන්නේ.

ආදරය පිළිබඳ හැගීම් උනන්දුව අඩු කරන හෝමෝන නිපදවීම අඩාල කරන්නත් හාදුවකට හැකියාව තියෙනව. ඒ වගේම සිපගැනීම තුළින් දරුවන්ට රෝග හා සටන් කරන්නට ශක්තියක් ලැබෙන බවත් ඇය පවසනවා. මේ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්ය වරියක් වන ෂර්ලි කිර්ෂන්බෝම් සිප ගැනීමක ඇති වැදගත් කම ගැන ‍තව බොහෝ කරුණු මෙහි අවධාරණය කර තිබෙනව. ඒ නිසයි අතට අත දී යමෙකු පිළිගන්නවාට වඩා සිපගැනීමකින් අයෙකු පිළිගැනීම වඩාත් උචිත බව ඇය පවසන්නෙ.


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



සෑම කාන්තාවකටම වැලඳෙන රෝගයක් - කැන්ඩිඩා.


කාන්තාවන්ට බහුලවම වැලඳෙන දිලීර ආසාදන අතර කැන්ඩිඩා රෝගයටත් වැඩි අවධානයක් යොමු වෙනවා. මෙය අප හඳුනා ගන්නේ උල්ලෝගම් ආසාදනය නමිනි. කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද ඇතිවිය හැකි නමුත් මෙහි වැඩි ප්‍රවණතාව පවතින්නේ කාන්තාවන්ටයි.

  • දිලීර ආසාදන
කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන මෙම දිලීර ආසාදනයට වැඩි අවධානයක් යොමු කළ යුතුමයි. කාන්තාවකගේ ජීවිත කාලයේ කිනම් හෝ අවධියකදී බොහෝවිට ඇයට මෙම තත්ත්වයට මුහුණපෑමට සිදුවෙයි. යෝනි මාර්ගය ආශ්‍රිතව පමණක් නොව සම මත, දිව හා මුඛය ආශ්‍රිතව, උගුර, ගලනාලය ආශ්‍රිතව පවා මෙම දිලීර ආසාදනය ඇතිවිය හැකියි. නමුත් මේවා නිතරම දැකීමට අපහසුයි. මෙය බහුලවම ඇතිවන්නේ සම මත හා යෝනි මාර්ගය ආශ්‍රිතවයි.

  • ඇතිවීමට බලපාන හේතු
සම මත සිටින දිලීරයක් කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි. තම ශරීරයේ ප්‍රතිශක්තිකරණය හීන වීම හා දිගටම ප්‍රතිජීවක ඔෟෂධ ගැනීමෙන් බැක්ටීරියා විනාශ වී දිලීර වර්ධනය වීම වැනි හේතූන්ද කැන්ඩිඩා ඇතිවීමට බලපෑම් කරයි.

එච්.අයි.වී. ආසාදිත රෝගීන් හා දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසාත් නිතරම ප්‍රතිජීවක ඔෟෂධ ගැනීමත් කැන්ඩිඩා ඇතිවීමට හේතු වෙයි. උපත් පාලන පෙති ගැනීමෙන් ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්වීමත් මෙයට අදාළ හේතූන්ය. තෙතමනය සහිත යට ඇඳුම් භාවිතය හා නිතර දහදිය දැමීමෙන්ද දිලීර ආසාදන තත්ත්ව ඇතිවිය හැකියි.

ගර්භණී සමයේ සිටින කාන්තාවන්ගෙන්ද මෙවැනි ආසාදන තත්ත්ව දැකිය හැකි වන්නේ එම කාලයේදී හෝමෝනවල වෙනස්කම් ඇතිවන නිසයි.


  • රෝග ලක්‍ෂණ
කාන්තාවන්ට බහුලවම වැලඳෙන කැන්ඩිඩා යෝනි මාර්ගය ආශ්‍රිතව ඇති වුවහොත් එම ප්‍රදේශයේ කැසීමක් ඇතිවීම දැකගත හැකියි. මීට අමතරව

• සමේ රතු පැහැගැන්වීම

• බිබිලි ඇතිවීම
• කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් තද සුදු පැහැයට (මුදවපු කිරි පැහැති) ශ්‍රාවයක් පිටවීම
• මුත්‍රා කිරීමේදී දැවිල්ල ඇතිවීම වැනි ලක්‍ෂණද පෙන්නුම් කරයි. යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන තත්ත්වයක් නිසා මෙය ලිංගික චර්යාවන්ට පවා බාධා ඇති කරන අවස්ථා පවතියි.

  • ප්‍රතිකාර
ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ ඔබට පවතියි නම් වහාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරු හෝ ලිංගාශ්‍රිත රෝග සායන වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න. මුඛය ආශ්‍රිතව රෝග මතු වුවහොත් නිසි දන්න වෛද්‍යවරයකු වෙත ගොස් හෝ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියි.
කැන්ඩිඩා දිලීර රෝගයක් නිසා මෙයට විවිධ ප්‍රතිකාර ක්‍රම පවතියි. මේ සඳහා ආලේපන ඔෟෂධ හෝ වෙනත් පෙතිද නිර්දේශ කළ හැකියි. සමේ ඇතිවන ආසාදනයක් නම් සුදුසු ආලේපනද වෛද්‍ය නිර්දේශයෙන් ලබාගත හැකියි.

  • වරින් වර ඇතිවීම
කාන්තාවන්ගෙන් 10%ත් 20%ත් අතර පිරිසකට ලිංගිකව සක්‍රිය වන කාලයේදී මෙම රෝගය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වයි. රෝග ලක්‍ෂණ නැතිව වුවත් එය ශරීරය තුළ පැවතීමට හැකියි. කලින් සඳහන් කළ ආකාරයට ප්‍රතිකාර කළද නැවැත නැවැතත් කැන්ඩිඩා ඇතිවන අවස්ථා ඇත. මෙවැනි අවස්ථාවක ඔබ විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. එවැනි අය තද යට ඇඳුම් ඇඳීමෙන්, නයිලෝන් ඇඳුම් භාවිතය හා සැර සබන් ආදිය භාවිතයෙන් අෑත්විය යුතුයි.


ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍ය සමින්ද්‍රා රණසිංහ


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

කෑම අඩු කළත් මහත අඩුවෙන්නේ නැද්ද?


තරබාරුකම පාලනය කරන්න බොහෝ දෙනා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ආහාර පාලනය හා ව්‍යායාමවලට මින් වැඩි අවධානයක් යොමු වෙනවා. ශරීරය තුළ ක්‍රියාත්මක වන හෝර්මෝන හා එන්සයිමත් මේ ක්‍රියාවලියට දායක වෙනවා. තරබාරුකම පාලනය කළ හැකි මේ සරල ක්‍රම කිහිපය ඔබටත් වැදගත්ය.
  • ආහාර පාලනය හා මේදය දහනය
සිරුරේ තැන්පත් වන මේදය නිසි ලෙස දහනය නොවුණහොත් ඒවා උදරය, කලවා ආදී ස්ථානවල තැන්පත්වෙයි. ශරීරයේ මේදය තැන්පත් කිරීමට හා දහනය කිරීමට හෝමෝන රාශියක් බලපාන බව සැබෑවකි. ශරීරයේ ඉන්සියුලින් වැඩි වූ විට මේද දහනය වීමේ ක්‍රියාවලිය නැවතී යයි. මේදය තැන්පත් කරන එන්සයිම මඟින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ නංවයි.

ඔබේ ආහාර පාලනයද මෙයට බලපෑම් කරන නිසා කාබොහයිඩේ්‍රඩ් අඩු, ප්‍රෝටීන් වැඩි ආහාර වඩාත් සුදුසුයි.
ශුද්ධ කළ ආහාර, සීනි සහිත ආහාර, කාබෝහයිඩේ්‍රට් අඩංගු ආහාරවලින් හැකි තරම් වැළකී සිටින්න.

බතල, ආටා පිටි, එළවළු, නිවුඩු හාල් වැනි ආහාර ඔබේ ආහාර වේලට එක්කර ගන්න.
  • අඩ නින්දත් තරබාරුවට බලපායි
ඔබ කාර්යබහුල වීම හෝ වෙනත් මානසික වියවුල් තත්ත්වයන් නිසා නින්දට බාධා ඇතිවිය හැකියි. මෙය ඔබේ තරබාරුකමට අහිතකර ලෙස බලපානවා. ඔබ සුව නින්දක් නොලැබීම නිසා කෝටිසෝල් හෝමෝන ක්‍රමිකව වර්ධනය වෙයි. එම හෝමෝනය වර්ධනය වූ විට ඉන්සියුලින්ද පහළ බසියි. එවිට සීනි සහිත ආහාරවලට වැඩි රුචිකත්වයක් ඇතිවෙයි.

පර්යේෂණ මඟින් පෙන්වා දෙන්නේ සුව නින්දක් නොලැබීම අධිකව බර අඩුවීමටත් බලපාන බවයි.
සෑම රාත්‍රියකම පැය 8ක සුව නින්දක් ලබා ගන්න.

නින්දට යෑමට පෙර කෝපි වැනි පාන ගැනීමෙන් වළකින්න. එය ඔබේ සුව නින්දට බාධා කිරීම මෙයට හේතුවයි.
ඊස්ට්‍රජන් හෝමෝනයේ සමතුලිත බව මේද දහනයට පහසුවකි.
ශරීරයේ මේද දහනයේ හිතකර හා අහිතකර බවටත් ඊස්ට්‍රජන් හෝමෝනය බලපෑම් ඇති කරවයි.
ඊස්ටජන් මට්ටම ඉහළ ගිය විට මේදය දහනය වීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ඉණ, කලවා ආදී ස්ථානවල මේදය දහනයට උපකාරී වන්නේද එයයි.



ශාලිකා රංගනී සමරදිවාකර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

උදේ පාන්දර දෙහි යුෂ වීදුරුවක් බීමේ වාසි.


උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරුවක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහත් ප්‍රබෝධයක්. ඒ වෙනුවට උදෑසනම දෙහි යුෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප්‍රතිඵල රැසක්ම හිමිවන බව නම් කිව යුතුමයි.

  • ආහාර දිරවීම පහසු කරවයි
මඳ රස්නෙ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වන අතරම දෙහි යුෂවලටත් ආමාශය පිරිසුදු කරමින් ආහාර දිරවීම පහසු කිරීමේ විශේෂ ගුණයක් පවතියි. දෙහිවල අඩංගු අම්ල ගුණය නිසා ආහාර දිරවීම මෙන්ම ඒවා බැහැර කරවීමද පහසු කරයි.

  • සිරුරේ ප්‍රතිශක්තිකරණයට උපකාරි වෙයි
පැඟිරි සහිත පලතුරක් වන දෙහිවල විටමින් ඛ් අන්තර්ගතයි. එය සිරුර අභ්‍යන්තරයේ අම්ල සමඟ ප්‍රතික්‍රියා කරමින් ප්‍රතිශක්තිකරණය ලබා දෙයි.

  • විස නැසීමේ ගුණය
දෙහි යුෂ පානය මුත්‍රා පිටවීම පහසු කරවන ඔෟෂධීය පානයක්. ශරීරයේ ඇති විස ද්‍රව්‍ය සෝදා හැරීමේ විශේෂ ගුණයක්ද මෙය සතුයි. මෙහි අඩංගු සිට්රික් අම්ලය මඟින් එන්සයිම වර්ධනය කර අක්මාවේ උත්තේජනයක් ඇති කරවයි.

  • ශක්තිය ලබා දෙයි
කෝපි පානයෙන් ඇඟට ප්‍රබෝධයක් ගෙන දෙන බව බොහෝ දෙනා දන්නා මතයක්. එවැනි ප්‍රබෝධයක් දෙහි යුෂ පානයෙන්ද ලබා ගත හැකියි. ජලය සමඟ දෙහි යුෂ මිශ්‍ර වී සාදන දියරයෙන් රුධිර සංසරණයටද උත්තේජනයක් ලබාදීම මෙයට හේතුවයි.

  • සම පැහැපත් කරයි
නිදන්ගත විජලන රෝග තත්ත්ව නිසා ඔබේ සම අඳුරු පැහැ ගැන්විය හැකියි. නමුත් දෙහි යුෂ පානයකින් දවස ආරම්භ කරන ඔබට නම් මෙය ගැටලුවක් නොවේවි. එහි අඩංගු විටමින් ඛ් ඔබේ සම නිරෝගීමත් කිරීමට උපකාරි වන බවත් කිව යුතුමයි.



ශාලිකා රංගනී සමරදිවාකර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

අලුත් බබාගේ සනීපාරක්‍ෂාව.



පුංචි බබෙක් ඉපදුණු ගමන්ම හුඟක් අම්මලාට දරුවා පිළිබඳ ලොකු දැනුමක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට හුඟක් වැරැදි අනතුරුදායක දේවල් සිදුකරනවා. ඒ වගේම නොසැලකිලිමත් දේත් ඔවුන් අතින් සිදුවිය හැකියි.

  • මව්කිරි
දරුවා බිහිවුණු පසුව එන පළමු කාරණය තමයි මවුකිරි දීම. රෝහලේදී මවුකිරි දීම ගැන උගන්වනවා. නමුත් යම් මවකට මවුකිරි දීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් ළදරු මිතුරු රෝහල් සංකල්පය ක්‍රියාත්මක වන රෝහල්වල තිබෙන මවුකිරි කළමනාකරණ මධ්‍යස්ථානවලින් උපදෙස් ගන්න පුළුවන්.

පෞද්ගලික රෝහල්වලදී දරුවන් බිහිකරන අම්මලාටත් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් බොහෝ මවුවරුන් මේ ගැන දැනුම්වත් නැහැ. මවුකිරි සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් රජයේ රෝහලට ඇවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකියි.

  • අම්මාගේ පිරිසුදුකම
වැදගත්ම කරුණ වන්නේ පිරිසුදුකමයි. බබා වගේම අම්මත් පිරිසුදුව සිටිය යුතුයි. සමහර අම්මලා දරුවා ලැබිලා සතියක් විතර යනකල් නාන්නේ නැහැ. එවිට අම්මාගේ ඇඟේ දහදිය, කුණු නිසා ඇතිවන විසබීජ නිසා බබාට ආසාදන ඇතිවෙනවා. ඒ නිසා ඉකිලි, කිහිලි සෝදලා පියයුරු හොඳින් පිරිසුදු කර ගැනීම ඉතාම වැදගත්.

  • බබාගේ පිරිසුදුකම
ඒ වගේම බබාගේ කිහිලි, ඉකිලි හොඳින් සෝදන්න. බබා මුත්‍රා සහ මල පිට කළාම එම ප්‍රදේශය හොඳින් සේදිය යුතුයි. තෙත පුළුන් කැබැල්ලක් හෝ පිරිසුදු කපු රෙදි කැබැල්ලක් තෙමලා පිරිසුදු කරන්නට පුළුවන්.

  • නොකළ යුතුම දෙයක්
ඉපදුණු ගමන් ගැහැනු දරුවන්ගේ පියයුරු තරමක් වර්ධනය වෙලා තිබෙන්නේ. හුඟක් වෙලාවට ගල් කිරි ඉවත් කරනවා කියලා මේ කිරි මිරිකලා ඉවත් කරන්න අම්මලා උත්සාහ කරනවා. එය සුදුසු නැහැ. ඉන් පියයුරුවල තිබෙන සියුම් පටකවල තැළීම් ඇතිවෙලා තුවාල සහ සැරව ගෙඩි එනවා. පසු කාලයක සැත්කම් සිදුකිරීමට තරම් දුරදිග යන්නත් පුළුවන්. මෙය හෝර්මෝන වෙනසක් නිසා සිදුවන දෙයක්. එයට බිය විය යුතු නැහැ.

ඒ වගේම ඉපදුණු ගමන් ගැහැනු දරුවාගේ මුත්‍රා මාර්ගයෙන් ඔසප් වෙනවා සේ රුධිර පිටවුමක් විය හැකියි. එයත් ඉහත මෙන්ම හෝර්මෝන වෙනස් වීම නිසා සිදුවන්නක්. නමුත් ඒ පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත් වෙනවා.

  • පෙකණිවැල
බබා ඉපදුණු ගමන්ම පෙකණිවැල ඉවත් කළත් එහි කොටසක් ඉතිරි වනවා. එය ඉවත් වීමට දින 10ක් පමණ ගතවිය හැකියි. නමුත් උථඡතඪජචත ට්පචදභතධථච නම් රෝග තත්ත්වයක් තිබෙනවා. එයට හේතුව පෙකණිවැල වැටුණු පසු තුවාලය සුව නොවීමයි. වතුර, සැරව හෝ රුධිරය පිටවීම සිදුවනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්. නමුත් පෙකණිවැල වැටුණු විට යම් ගඳක් පිටවීම සාමාන්‍ය තත්ත්වයක්. එය සති දෙකක් පමණ අසාමාන්‍ය ලෙස දක්නට ලැබේ නම් වෛද්‍ය උපදෙස් ගන්න.

සමහර අවස්ථාවල පෙකණිවැල තිබූ තැන රෝස පැහැයට කොස්සක් (පුරුවක්) වගේ දකින්නත් ලැබෙනවා. එය වැවිලා උඩට වගේ එන්නත් පුළුවන්. එවැනි අවස්ථාවල වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වනවා.

  • කැසීම් හා ආසාත්මිකතා
ඒ වගේම බබාලගේ ඇස්, ඇඟ, නාසය ආසන්නයෙන් ආපස්සට කඳුළු ගමන් කරන නාළයක් තිබෙනවා. එය අවහිර වීම නිසා කඳුළු ඇස අග එකතු වෙලා කබ වගේ හැදෙන්න පුළුවන්. නමුත් විසබීජ ආසාදන නිසාත් එසේම වෙන්න ඉඩ තිබෙනවා.

බබාගේ සිරුර හොඳින් සෝදලා පිහදාද්දි නැවෙන තැන් හොඳින් තෙත මාත්තු කරන්න. ඉකිලි, කිහිලි, යටිබඩ, දණහිස පිටුපස, අත්වැළමිට වගේ තැන් නැවිලා තිබෙන නිසා දහදිය රැඳිලා කැසීම් සහ ආසාදන ඇති වනවා.

කන් පිරිසුදු කරද්දී කොට්න් බට්න් දාන්න එපා. බබා එහෙට මෙහෙට හැරෙද්දි කනේ ඇනිලා කන් බෙරයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පහන් තිරයක් වතුරෙන් පොඟවලා කන පිරිසුදු කරන්න.

  • පවුඩර් සහ ක්‍රීම්
බේබි කොලොන්, පවුඩර්, ක්‍රීම් වගේ දේවල් ගාන්න අම්මලා හරිම උනන්දුයි. නමුත් ඒ දේවල් අත්‍යවශ්‍යම නැහැ. සම වියළීමක් තිබෙනවා නම් පමණක් සුමුදු මොයිස්චරියිස් ක්‍රීම් එකක් ගාන්න. බබාගේ සිරුරේ නැවුම්වල ක්‍රීම්, පවුඩර් ඉතිරි වෙලා තිබෙනවා නම් ඒවා ඉවත් කරන්න. නැත්නම් දහදිය එකතු වෙලා දිලීර ආසාදන මතුවන්න පුළුවන්.
  • රතගාය
රතු පැහැති බිබිළි මතුවීම පුංචි බබාලට ඇතිවන තවත් ගැටලුවක්. සමහර බබාලගේ එය සිරුර පුරාම පැතිරිලා යනවා. නමුත් දින 10කින් පමණ සුව වන නිසා බියවෙන්න අවශ්‍ය නැහැ. රතගාය ලෙස හඳුන්වන මෙය රෝගයක් නොවේ.


හංසි ආටිගල.
 උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....