Showing posts with label Health. Show all posts

ආයූර්වේදයේ සදහන් මහත අඩු කරන ප්‍රතිකර්ම.


මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ. බර අඩුවෙන්නෙත් නෑ. මොකක්ද හේතුව? නිකම් මහත් වෙන්නේ නැහැනේ. හේතු හොයා ගත්තොත් නම් මහත අඩුකරන ප්‍රතිකර්මවලට යොමුවෙන්න පුළුවන්.

ඒ කොහොමද?
මේ තරබාරුවට හේතුව කුමක්ද?
හේතුව වෙලා තියෙන්නේ අපේ කාර්යබහුල ජීවන රටාවයි. මේ ජීවන රටාවත් එක්ක වැඩිදෙනෙක් කෙටි කෑමවලට හුරුවෙලා. තෙල්, පිටි, සීනි මිශ්‍රිත කෑම වැඩිපුර ආහාරයට එක්වෙනවා. ඒ වගේම අප කන ප්‍රමාණයට සාපේක්ෂව ව්‍යායාමයක් කරන්නේ නෑ. බොහෝ විට සිදු වෙන්නේ කාලා බීලා එක තැන ඉඳගෙන සිටීමයි. දැන් සෑම දෙයක්ම පහසුවෙන් කරගත හැකි උපකරණ තාක්ෂණය මඟින් ලැබී තිබෙන නිසා එහි අනිසි විපාකයක් හැටියට අප සිරුර වෙහෙසවන්නේ නෑ. අප සිරුරට ගන්නා පෝෂණ ප්‍රමාණයට සාපේක්ෂව එය සිරුරෙන් දහනය වීමක් සිදු නොවුණොත් එම සංඝටක ප්‍රමාණය අධික තරබාරුව කියන තත්ත්වයට පත්කරවන්න පුළුවන්.
මොකක්ද මේ තරබාරුව කියන්නේ?
තරබාරුව කියන එක කෙනකුගේ උස, වයස අනුව මිමි වෙනස් වනවා. සාමාන්‍යයෙන් කෙනකුගේ උස මීටර්වලින් ගෙන බර කිලෝග්‍රෑම්වලින් ගෙන තමන්ගේ උසේ වර්ගයෙන් බෙදූ විට එන අගය අප හඳුන්වන්නේ ශරීර ස්කන්ධ දර්ශකය නමින්. මෙම ශරීර ස්කන්ධ දර්ශකය සාමාන්‍යයෙන් 18 ක් 24.9 ත් අතර තිබිය යුතුයි. 24.9 වඩා වැඩිවන ඕනෑම කෙනෙක් අධික තරබාරු හෝ බර වැඩිවීම කියන තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ සෞඛ්‍ය ගැන සිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ බර, තමන්ගේ උස තම වයසට ගැළපෙන උස සහ බරට අනුව තිබෙනවාද යන්න ගැන බැලිය යුතුයි.
මෙම තරබාරුව නිසා අපට ඇතිවිය හැකි උපද්‍රව මොනවාද?
පළමුවැනි දේ නම් මේ පිළිබඳ මානසික වශයෙන් තමන්ගේ සිතේ ඇතිවන ගැටලුවයි. එයට වඩා මෙය බරපතළ කායික ගැටලුවක් බවට පත්වෙන්නට පුළුවන්. මෙම අධික තරබාරුවෙන් යුක්ත පුද්ගලයන්ට හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළයාම වෙනත් සංක්‍රමික නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. එමෙන්ම තරබාරු අයට සන්ධිගත රෝග, නහර ගැටගැසීම වැනි තත්ත්වයන් ඇති වීමේ ප්‍රවණතාවය ද වැඩියි. තරබාරුව නිසා බොහෝ විට සුළු උපද්‍රවයේ සිට ජීවිත හානි දක්වා වෙන පරාසයක් තුළ වුවද උපද්‍රව ඇතිවිය හැකියි.
ඇයි මේ තරබාරුව ඇති වෙන්නේ?
ආහාර විහරණ, ව්‍යායාම නොමැතිකම, එසේම තමා තුළ තිබෙන යම් යම් රෝගාබාධ, සමහරවිට ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, ආර්ථවහරණය සිදුවීම, ඇතැම් විට ආර්ථවහරණයත් සමඟ තරබාරුව කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව එක් එක් රෝග තත්ත්ව නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතා, තයිරොක්සින් අසමතුලිතතා, ප්‍රජනන හෝමෝනවල අසමතුලිතතා නිසා තරබාරුව ඇති වන්නට පුළුවන්.
මේ තරබාරුව කියන දේ වළක්වා ගතහැක්කේ කොහොමද?
තරබාරුව වළක්වා ගන්නට නම් බාහිරව අභ්‍යයන්තරව යන ආකාර දෙකටම අප ප්‍රතිකාර කළ යුතුයි. අභ්‍යන්තරව කරන ප්‍රතිකාර නම් තරබාරුවට හේතුව කුමක්ද කියා හඳුනාගෙන ඒ අනුව අභ්‍යන්තරික ප්‍රතිකාර සිදු කිරීමයි. ආයුර්වේද ඖෂධවලින් සිදුකළ හැකි සුවිශේෂී ප්‍රතිකර්ම රැසක් තිබෙනවා.
බාහිරව සිදුකෙරෙන ප්‍රතිකාර මොනවාද?
විශේෂයෙන් බාහිරව කෙරෙන තෛල අභ්‍යාංග. තෙල්වලින් සිදුකරන අභ්‍යංග ප්‍රතිකර්මවලින් සිදුකරනු ලබන්නේ මාංසපේශීවල තිබෙන මේද තට්ටු දිය කිරීමයි. ඉන්පසු සිදුකෙරෙන්නේ වාෂ්ප ස්වේදනයයි. වාෂ්ප ස්වේද මඟින් විශේෂිත ඖෂධ යොදාගෙන දියකරන ලද මේද තට්ටු ස්වේදය නැත්නම් දහදිය වශයෙන් පිටතට ගැනීමක් සිදු කරයි. තෙල් තට්ටු දිය කිරීමට චීන කටු ප්‍රතිකාර බොහෝ දුරට උපකාරී වෙයි. මෙහිදී එල්ලා වැටෙන සමට තානයක් නැත්නම් ටෝන් එකක් ලබාදීමට ද මෙය උපකාරි වෙනවා.
මේ සඳහා ගැනෙන සමහර පත්තු වර්ග ද තිබෙනවා. එම පත්තු වර්ග දමා ශරීරය තදින් ආවරණය කිරීම මඟින් එල්ලා වැටෙන සම, රැලි වැටුණු සම නැවත යථා තත්ත්වයට පත් කරලීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම තරබාරුව අඩු කරලීමට නිසි ව්‍යායාමයන් ද අවශ්‍යයි.
මේ සඳහා යෝග්‍ය වෙන්නේ මොන වගේ ව්‍යායාමද?
යෝග ව්‍යායාම, උදරය, කලවා බාහු ප්‍රදේශවල වැඩි වශයෙන් තෙල් තට්ටු තැන්පත් වනවාට ස්ථානිකව සිදු කරන ව්‍යායාම ඇතුළත් යෝග ප්‍රතිකාර තිබෙනවා. තරබාරු බව මැඩලීමට මේ යෝග ප්‍රතිකාර වැදගත් වෙනවා. එමෙන්ම ක්‍රමානුකූලව සිදු කරන්නා වූ ආහාර රටාවකට පුරුදුවීම ද වැදගත්. වෛද්‍ය අධීක්ෂණය යටතේ හෝ පෝෂණවේදියකු යටතේ නියමිත ආහාර රටාවකට හුරුවීමෙන් තමන්ගේ බර යම්කිසි මට්ටමකට අඩුකර ගත යුතුයි.


උපදෙස් - වෛද්‍ය මිහිරානි සුලෝචනා සේනාරත්න 
චාම්මේ ආයූර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



තණකොළ බිමක සෙරෙප්පු නොදා ඇවිදීමේ වාසි.



ඇවිදීම කියන්නේ හරිම පහසු වගේම ප්‍රතිඵලදායක ව්‍යායාමයක්. ඒත් මේ ව්‍යායාමයෙන් සාර්ථකව ප්‍රතිඵල ලබා ගන්න නම් ඇවිදීමට සුදුසු මං තීරුවක් තෝරා ගත යුතුයි. ව්‍යායාම් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලු සහිත එබෙනසුලු ස්තරයකි. සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකියි.

නමුත් තණකොළ, වැලි බොරලු හෝ කොහු සහිත බිමක ඇවිදින ඔබට මෙවැනි වාසි කිහිපයක්ම අත් විඳින්න හැකි වෙයි.


1. ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙයි විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇඟ පණ නැති වන අයට වැදගත්ය.

2. දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති අයට යෝග්‍යයි

• වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට උපකාරී වෙයි.

• තාර මාර්ගයක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙනසුලු තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි.

• කොන්දේ ඇතිවන ආබාධද අවම කරයි.

• ශරීරය හැඩ කරයි.

• මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත් (කඳු ප්‍රදේශ බොරලු පාරක, මුහුදු තීරයක)

• නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලු තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි.

• එබෙනසුලු බව නිසා විළුඹේ ඇඟිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙයි.

• තණකොළ බිමකදී නම් ශරීරය අඟලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලුකර, බෙල්ල හා කොන්ද වැනි ප්‍රදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.

• ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.

• ආර්තවය සම්බන්ධ ගැටලු, වකුගඩු ගර්භාෂ හා හෝමෝන ආශි්‍රත රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වෙයි.


ශාලිකා රංගනී සමරදිවාකර
උපදෙස් : එක්සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



ගැබිනි මවට අත්‍යවශ්‍යම විටමින් ඩී.


ගර්භණී සමයේදී පෝෂණය ඉතාම වැදගත්. මව ගන්නා ආහාර දරුවාගේ වර්ධනය, බුද්ධිය සහ දරුවාගේ අනාගතය පවා තීරණය කරන සාධකයක් වෙන්න පුළුවන්.

ඒ, බී, සී, ඩී, ආදී වශයෙන් විටමින් වර්ග කීපයක් තිබෙනවා. ඒවා කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඉන් එක් වර්ගයක් ජලයේ දියවන විටමින් ලෙසත් අනෙක් වර්ගය මේදයේ දියවන ලෙසත් වර්ග කළ හැකියි. මින් විටමින් ඩී අයත් වන්නේ මේදයේ දියවන විටමින් කාණ්ඩයටය.

විටමින් ඩී සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්. එය ගර්භණී සමයේදී අත්‍යවශ්‍යම විටමිනයක් ලෙසත් සැලකෙනවා. විටමින් ඩී ස්වභාවිකව ලබාගත හැකි ක්‍රමයක් ලෙස සූර්යාලෝකය හඳුන්වන්න පුළුවන්. උදෑසන පතිත වන සූර්යාලෝකයෙන් සමට විටමින් ඩී ලබාදෙනවා.

සිරුරට විටමින් ඩී ලබාගත හැකි අනෙක් ක්‍රමවේදය විදියට විටමින් ඩී අඩංගු ආහාර පරිභෝජනය හඳුන්වනවා. ගර්භණී සමයේදී වෙනත් රටවල විටමින් ඩී පෙත්තක් විදියට ලබා දුන්නත් ලංකාවේ එවැනි ක්‍රමවේදයක් නැත. ඒ සූර්යාලෝකය හොඳින්ම තිබෙන නිසායි.

සාමාන්‍ය මනුෂ්‍යකුගේ ඇඟේ කැල්සියම්, පොස්ෆරස් ප්‍රශස්ත මට්ටමේ තබාගැනීමට විටමින් ඩී අවශ්‍යයි. අස්ථි, දත් සඳහා කැල්සියම් අවශ්‍ය වනවා. අම්මාගෙන් බබාට ලැබෙන විටමින් ඩී ප්‍රමාණය අඩු වුණාම කැල්සියම් හිඟ වීම නිසා අස්ථි හා දත් විකෘති විය හැකියි. ඒ වගේම අසාමාන්‍ය අස්ථි වර්ධනයත් එහි එක් අවස්ථාවක්. බර අඩු දරුවන් බිහිවීමටත් විටමින් ඩී හිඟවීම හේතුවනවා.

බාහිරින් අපේ සිරුරට එන විසබීජවලට එරෙහිව සටන් කරන්න, දියවැඩියාව, සමහර පිළිකා වර්ග වැළැක්වීමට සිරුර තුළින්ම නිපදවන ශක්තියට විටමින් ඩී අවශ්‍ය වනවා. මවක් ප්‍රසූතියෙන් පසුවත්, මවුකිරි දෙන කාලයේත් විටමින් ඩී ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.

විශේෂයෙන්ම මාළු අක්මා තෙල්වල, මෝරගුළි, බිත්තර, ධාන්‍ය, කිරිවල විටමින් ඩී තිබෙනවා. ඒ වගේම උදෑසන සිට වැටෙන සූර්යාලෝකයෙත් විටමින් ඩී බහුලයි.


හංසි ආටිගල.
උපදෙස් : විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න - ප්‍රසව හා නාරිවේදී.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



විද විඳ කරන බොඩි පියර්සිං.


ගතට තදින් සුළං වදිනවාටවත් අකැමැති නමුත් රූප සොබාවට හිත ගිය අපේ ලලනාවෝ හිසෙහි සිට පාදාන්තය දක්වා ඕනෑම තැනක් සිදුරු කර ආභරණ පැලඳීමට නම් මැළි නොවෙති. “බොඩි පියර්සිං” නමින් හඳුන්වන මේ කලාව අපේ කාන්තා පක්ෂය හිතින්, හදවතින් වගේ ම ගතින් ද වැලඳ ගෙන අවසන්ය. එහෙත් මේ විද ගැනීමෙන් බඹර, දෙබර විද ගැනීමකටත් වඩා උග්‍ර විසක් මාරාන්තික විසක් ශරීරගත විය හැකියි.

“බොඩි පියර්සිං” අද කාලයේ කලාවක් නොවෙයි. අනාදිමත් කාලයක සිට පැවත එන කලාවකි. රූසපුව කැපී පෙනෙන්නට ජනපි‍්‍රයතාවට, සමාජයේ තැනක් ගැනීමට අබරණ පැලඳීමට පෙලඹෙති. ජනපි‍්‍රය පුද්ගලයන් රැසක්ම “බොඩි පියර්සිං” කලාවෙන් බැබළීම ද බොහෝ දෙනකු එය වැලඳ ගැනීමට හේතුවකි.

මෙසේ පලඳන ආභරණ රත්තරන්, ටයිටේනියම්, නිකල් වැනි ලෝහවලින් තැනුවත් ඒවා ද අසාත්මික වෙයි. විශේෂයෙන්, නිකල් වැනි ලෝහ අසාත්මිකය. අබරණ පැලඳීමට යා යුතු රූපලාවණ්‍යාගාර බොහොමයක් ප්‍රමිතියකින් තොරයි. මේ නිසාම අසාත්මිකතා තුවාල ඇතිවීම වැනි ගැටලු ඇතිවීමේ ඉඩ ද වැඩියි.

සිරුරේ විදීම් නිසා සමහර ස්ථානවල සිදුවන තුවාලවලින් නතර කළ නොහැකි තරම් රුධිරය ගලයි. තුවාලවලින් විසබීජ ඇතුළු වී “ටොක්සික් බැක්ටීරියා ආසාදනය වී රුධිරය විසවීමෙන් මේ තත්ත්වය ඇති වේ. එය මරු කැඳවන සෞඛ්‍ය ගැටලුවකි.

විසබීජහරණය නොකළ අබරණවලින් බොඩි පියර්සිං කිරීමෙන් පිටගැස්ම හටගැනීමේ අවදානමක් ද පවතී. එච්අයිවී, හෙපටයිටිස් බී, සී, ඇතිවිය හැකි අනිකුත් බරපතළ රෝගාබාධයි.

  • කනේ රුධිරය පිටවීමේ අවදානමක්
කන්වලට කරන බොඩි පියර්සිංවලින් කන් ඇදවී විකෘති හැඩයක් ගැනීමට පුළුවන. පියර්සිං කිරීමේදී බැක්ටීරියා ආසාදනය වීමෙන් විසප්පු, නගන හට ගනී.

කනේ තුවාලයක් සිදුවූ විට අධික ලෙස රුධිරය වහනය වීමේ අවදානමක් ද පවතී. සිදුරු කළ තැන මස් ලියැලීමෙන් කීලොයිඩ් නම් ගෙඩි ස්වභාවයක් ඇතිවේ.

පෙකණිය වටා විද ආභරණ පැලදීමෙන් ද කීලොයිඩ් හටගනී. ඒ වාගේම පෙකණිය අවට විදීම් නිසා ඇතිවන තුවාල සුවවන්නේ ප්‍රමාද වීලාය.

  • දිව දෙපළු වෙයි
දිවට අබරණ දැමීමේ භයානක විලාසිතාවේ ප්‍රතිඵල ද සතුටුදායක නැත. දිව සිදුරු කිරීමේදී රුධිරය අධික ලෙස වහනය වෙයි. පැහැදිලි උච්චාරණයට ද දිවට කරන “පියර්සිං” බලපායි. එපමණක් නොව කලකදී දිව දෙපළු වීමට අබරණ දැමීම හේතුවෙයි.

බොඩි පියර්සිංවලින් කාන්තා සිරුරේ තන පඩුවට පවා ගැලවීමක් නැත. තන පුඩු ද විද කරාබු දමයි. දරුවාට කිරි දෙන කාලයේදී තන පුඩු විද කරාබු දැමීම කිරිදීමට බාධාවකි. තන පඩුවල විදීම් සුව වීමට ද කාලයක් ගත වෙයි.

බැක්ටීරියල් එන්ඩොකාඩයිටිස් නමින් හඳුන්වන හෘද වස්තුවේ අභ්‍යන්තර බිත්තියේ ඇතිවන බැක්ටීරියා ආසාදන තත්ත්වයට ද බොඩි පියර්සිං මඟ පාදයි. ගැහැනු පිරිමි දෙපිරිසම රහස් අවයව සැරසීමට ද බොඩි පියර්සිං යොදා ගනියි. මෙයින් නැති ගැටලු රැසක් ඇතිවෙයි. ආසාදන ඉන් අංක එකේ ස්ථානය ගනී. මුත්‍රා මාර්ගය අවහිර වීම, මුත්‍රා පිට කිරීම අසීරු වීම ඇතිවන බරපතළ සෞඛ්‍ය ගැටලු කිහිපයකි.

උපත් පාලන ක්‍රම අනුගමනය කරන කාන්තාවන්ට නිසි ලෙස උපත් පාලනය සිදු නොවීමට ද මෙය හේතුවකි.

බොඩි පියර්සිං කොතැන කළත් ඒවා පැටලීමේ අවදානමක් පවතී. අබරණ පැටලී තුවාල වීමෙන් රුධිරය වහනය වීමට මෙන්ම ආසාදන ඇතිවීමේ ඉඩ කඩක් ද ඇත.

තොල් සිදුරු කිරීමේදී විශාල රුධිර වහනයක් සිදුවිය හැකිය. දිවේ පියර්සිං කිරීමේදී වාගේම තොල්වල පියර්සිං කිරීමේදී කථා කිරීමේ ගැටලු ඇතිවීමට පුළුවන. සියල්ලටම වඩා ආහාර ගැනීමේ ගැටලු ඇතිවිය හැකියි. තොල් අසාත්මිකතා වැඩිපුරම ඇතිවන ස්ථානයකි.



උපදෙස් - බලපිටිය මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



රාත්‍රී නින්දට පෙර කොකෝවා පානය කරන්න! අමතක නොවන වෙනසක් අත්විඳින්න!



රාත්‍රී නින්දට යන බොහෝ දෙනෙකුට නොයෙක් ප්‍රශ්න ඇතිවෙනව. ඒ නිසාම නින්දට යාමට පෙර නොයෙක් පුරුදු වලට ඇබ්බැහි වුණ ‍අති මහත් පිරිසක් ලෝකය පුරාම සිටිනව. මේ පිරිස් අතුරින් වැඩි දෙනෙක් රාත්‍රියට පානය කරන්නෙ මත්පැන්. තේ, කෝපි වගේ පානයන්ටත් ඇබ්බැහි වුණ පිරිස් සිටිනව. මේ සියල්ල අතරෙ තමයි කොකෝවා පානයේ මහිම කරලියට එන්නෙ.

රුධිර වහනය වැඩි වීම හේතුවෙන් ඇතිවන චිත්ත වික්ෂිප්තභාවය වළකන්න නින්දට පෙර ගන්න‍ා කොකෝවා (චොකොලට්) පානයට හැකියාවක් තියෙනව. ඒ වගේම වයසට යාමේදී ඇතිවන අමතකවීමේ ස්වභාවය මග හැරීමටද මේ කොකෝවා පානය හේතුවන බවයි පර්යේෂකයින් පවසන්නේ. ඒ වගේම වයස්ගත උදවියගේ මොළයේ කෘත්‍යයන් සඳහා මේ පානයෙන් උත්තේජනයක් ලැබෙනා බවත් පර්යේෂකයින් පවසනවා.

මේ පර්යේෂණය පවත්වා ඇත්තේ කොලාම්බියා විශ්ව විද්‍යාලයේ පර්යේශකයින් පිරිසක්.
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



සුරතල් සතුන්ගෙන් දරුවන්ට ලෙඩ ගොඩක්.


හුඟක් දෙනෙක් බල්ලෝ, පූසෝ තමයි වැඩිපුරම ඇති කරන්නේ. සමහර අවස්ථාවලදී ලව් බර්ඩ්ස්ලා, හාවෝ, වෙනත් කුරුල්ලන් වර්ග ඇති කරන අයත් ඉන්නවා. කෙසේ වෙතත් පුංචි දරුවෝ ඉන්න ගෙදරක සතුන් ඇති කිරීම කියන්නේ සැලකිය යුතු කරුණක්.

විශේෂයෙන්ම බඩගාන සහ ඇවිදින්න පටන් ගත්ත ගමන්ම පුංචි බබාලා ඉන්න ගෙවල්වල සතුන් සිටීම අනතුරුදායකයි. එයාලට එපා කිව්වට තේරෙන්නේ නැහැ. ඒ නිසා බබා බල්ලන්ගේ, පූසන්ගේ නැට්ටෙන් අදිනවා. එහෙම කළාම ඒ සතුන්ට රිදිලා සූරන්න, හපන්න පුළුවන්. ඒ නිසා බල්ලන්ට, පූසන්ට එන්නත් කරන්න අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දුන්නාම සතුන්ගෙන් සිදුවන අනතුරුවලදී බය වෙන්න අවශ්‍ය නැහැ.

බල්ලා සහ පූසා පශු වෛද්‍යවරයකුට නිතරම පෙන්වන්න. ඒ වගේම වසරකට වරක් ලබාදිය යුතු එන්නත් ලබාදීමත් ඉතාම වැදගත්. ඒ වගේම පූසෝ සූරනවා, මුහුණට පනිනවා. පූසා හරි කැමැතියි උණුසුමට. ඒ නිසා බබා නිදාගෙන ඉන්න තැනට ගිහිල්ලා ගුළි වෙලා නිදාගන්නත් කැමැතියි.

පූසන්ගේ මවිල්වලින් බබාට ඇදුම ආදී ශ්වසන රෝග සෑදෙන්න ඉඩකඩ තිබෙනවා. ඇදුම තිබෙන බබෙක් නම් ඇදුම රෝගය උත්සන්න විය හැකියි. ඒ වගේම පූසා බල්ලා ඇතුළු සතුන්ගෙන් ජල භීතිකාව සෑදුණොත් එය සුව කරන්න බැහැ.

සතුන් විසින් පිට කරන මල මුත්‍ර ආදියෙනුත් රෝග බෝ වෙනවා. පණු රෝග ඉන් ප්‍රධානයි. වැලිවලට සතුන් මල පිට කළාම වැලි සමඟ මිශ්‍ර වීමෙන් මලවල සිටින පණුවන් පසට එකතු වනවා. පුංචි බබාලා වැලි අනද්දී වැලි කටේ දා ගනිද්දී මේ පණුවන් ශරීර ගත වෙන්න පුළුවන්.

කොකු පණු රෝගය ඉන් එක් පණු රෝග අවස්ථාවක්. මෙම කොකු පණුවාට මිනිස් සිරුර තුළට රිංගන්න බැහැ. ඒ නිසා ඒ පණුව සම මතු පිටින් ඇතුළු වෙලා ඇඟ ඇතුළේ සම මතුපිටින් ගමන් කරවා. සමහර බබාලගේ සම පුරා ඉරි, ඉරි වගේ දක්නට ලැබෙන්නේ ඒ නිසා.

ලව් බර්ඩ්ස්ලා, පරවියන් වැනි කුරුල්ලන් ඇති කිරීමෙනුත් දරුවන්ට හානි සිදු වනවා. ප්‍රධාන වශයෙන් කුරුල්ලන් තටු ගසන විට පිටවන කුඩා මවිල් වැනි ද්‍රව්‍ය නිසා ශ්වසන ආබාධ මතුවිය හැකියි.

සාවුන්ගේ මැක්කන්ගෙන් ඇතිවන සමේ රෝග ආදිය නිසා සාවුන් ඇති කරද්දීත් දරුවන්ගෙන් ඉවත් කර තබන්න. මැක්කන් නිසා කැසීම් ඇතිවන අතරම නිතර නිතර සැර බිබිළි මතු වෙනවා. සම ආශි්‍රත බරපතළ ගැටලු ඇති වීමටත් එය හේතුවක්.

පුංචි බබාලා ඉන්න ගෙදරක සත්තු ඇති කරන්නට ඕනම නම් බබාගෙන් සතුන්ව අෑත් කරලා තියන්න. ඒ වගේම සතුන්ට නිසි එන්නත් හා ප්‍රතිකාර ලබා දීලා ඒ සඳහා අදාළ කාඩ්පත් සුරක්‍ෂිතව තබා ගැනීමටත් වැදගත්. වසරකට වරක් පශු වෛද්‍ය උපදෙස් මත සතුන්ට ප්‍රතිකාර කළ යුතුයි. ඒ වගේම බාබාටත් සතුන් ළඟට ළං වෙන්න නොදී පරෙස්සම් කරගැනීම මවුපියන් සතු වගකීමක්.


හංසි ආටිගල.
උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය මානෙල් ප්‍රනාන්දු 
උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



බෝවන ඉන්නන් ඇතිවෙන හැටි දැනගන්න.


හැට පැන්නත් වඳුරා බිමින් නොයනවාක් මෙන් වයස කීයක් වුණත් කාන්තා පක්ෂය රුව ගැන දක්වන උනන්දුව නම් අඩු වන්නේ නැත. ඇතැම් විට ඔවුන් නැති අඩුපාඩුවක් පවා සොයමින් පිළියම් සොයන්නේ මේ රුව ගැන ඇති ලෝබ සිත නිසාය.

රැලි වැටුණු සමෙහි ඇද ඇර තරුණ පෙනුමක් ලබා දීමේදී මුහුණ සම්බාහනය කිරීම, වාෂ්ප කිරීම, ආලේප ගැල්වීම ආදී විවිධ ක්‍රම උපයෝගී කරගනී. මෙහිදී භාවිත කරන ඇතැම් රසායන ද්‍රව්‍ය නිසා තෙල් සහිත ආලේපන නිසා, සුළු අතුරු ආබාධ ඇතිවිය හැකියි. සම රතුවීම, දැවිල්ලක් ඇතිවීම ඒ අතරින් ප්‍රධානයි. මේවා බොහොමයක් තාවකාලිකය. එහෙත් ප්‍රශ්නයක් මතු වන්නේ ගෙඩි මෙන් අතට අසුවන කුරුලෑ හට ගැනීම නිසයි. විශේෂයෙන් නිකට අවට තදින් ඇතිල්ලීමේදී, සම්බාහනය කිරීමේදී මෙවැනි කළු පැහැති ගැට මතු විය හැකියි.

කුරුලෑවලට අමතරව පිග්මන්ටේෂන් ලෙස හඳුන්වන තත්ත්වයට ද සම්බාහනය හේතු වෙයි.

මේ නිසා කුරුලෑ ඇත්නම් මුහුණු සම්බාහනය (ෆේෂල් මසාජ්) සුදුසුම නැත.

සම්බාහනයෙන් ගැට හා සමාන කුරුලෑ ඇතිවූ විට සුව කිරීම අසීරුය. ඒවා සුව කිරීමට රෙටිනොයිඩ් කාණ්ඩයේ ඖෂධ අවශ්‍යයි. කුරුලෑ, සම කළු වීමට අමතරව ඇති විය හැකි තවත් ගැටලුවක් වන්නේ හදිස්සියේ ඇතිවිය හැකි අසාත්මිකතායි. තද දැවිල්ලක්, රතු ගතියක් ඇතිවන්නේ අසාත්මිකතා නිසයි.

අනවශ්‍ය රෝම බොහෝ කාන්තාවන්ට ඇති බරපතළම ගැටලුවකි. ලප නැති සඳ මෙන් රෝම කූපයක් නැති සමකට ද කාන්තාවන් ඉතා කැමැතිය. සමේ රෝම ඉවත් කරන “ත්‍රෙඩිං ක්‍රමයෙන් සහ රෝමවල පැහැය සමට ගැළපෙන පැහැයට වෙනස් කරන “බිලීචිං” බරපතළ ආබාධ ඇති කරයි.

මේ ක්‍රමවේදයන්වලදී භාවිත කරන ඇමෝනියම් පර්සල්පේට් නිසා තොල් අවට රතු පලු හට ගනී.

උඩු තොලේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම, ඇහිබැමේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම නිසි අයුරින් සිදු නොවුණොත් නොපෙනෙන රෝම කූපයකට වඩා බෙහෙවින් කැපී පෙනෙන අනවශ්‍ය ගැටලු රැසක් මතු වෙයි. රෝම කූප ආශි‍්‍රතව එන ප්‍රදාහ තත්ත්ව ඒ අතරින් ප්‍රධානය.

රෝම වගේම ඉන්නන් ද රූ සපුවට හිරිහැරයක් කරගෙන ඇත. සමහර ඉන්නන් මතු වීමට හේතුව වයස් ගත වීමයි. මීට අමතරව බෝ වන ඉන්නන් ද ඇති වෙයි. එක් අයකුගේ ඉන්නන් ඉවත් කිරීමට භාවිත කළ උපකරණ ජීවානුහරණය නොකර තවත් කෙනකුට භාවිත කිරීමේදී කලින් තැනැත්තාට තිබුණේ බෝ වන ඉන්නන් නම් අනෙක් තැනැත්තාට ද බෝවෙයි.

මේ නිසා ඉන්නන් ඉවත් කිරීමට යන ඔබ උපකරණ ජීවානුහරණයකර තිබෙනවාදැයි සැකහැර දැනගත යුතුය.

රෝම හිතට කෙතරම් වධ දෙන කාරණයක් වුවත් නිතර නිතර රෝම ඉවත් කිරීම නම් නුවණට හුරු නැත.

ඊට හේතුව නිතර ඉවත් කිරීමේදී පහසුවෙන් රෝම කූප බැක්ටීරියා මඟින් ආසාදනය වීමයි.

ඇසි පිය හෙළන දෙවඟනක් සේ පෙනෙන්නට කෙතරම් කැමැති වුවත් ඇසිපිය වර්ණ ගන්වන්නට යාමේදී බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. එක් අයකුට වර්ණ ගැන්වීමට භාවිත කරන පැන්සල, පින්සල තවත් අයකුට භාවිත කිරීම විසබීජ ප්‍රවාහනය වන හොඳම ක්‍රමයකි. සැෆයිලොකොකස් වැනි බැක්ටීරියා නිසාත් රෝම කූප ආසාදනය වීම සුලබය. ෆියුසේරියම් වැනි තරමක් දරුණු බැක්ටීරියා ද පැන්සල්, පින්සල් මඟින් පැතිරෙයි. මෙවැනි ක්‍රම මඟින් සියුඩොමොනාස් වැනි දිලීර ආසාදනය වී සදහටම ලස්සන දකින වරම අහිමිවී යා හැකියි.

ඇස් රතුවී, සැරව ගලා ආසාදනය වී සම්පුර්ණයෙන්ම කෙනකු අන්ධ වීමට පවා පුළුවන.

ගැහැනුන් වාගේම පිරිමින් ද රුව වඩන්න යාමේදී සැලකිලිමත් විය යුතුය.

රැවුල පිරිසුදු කරන උපකරණ පවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන් වශයෙන් තබා ගත යුතුය.



බලපිටිය මූලික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අජිත් කන්නන්ගර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



ගර්භිණී මවුවරුන්, පැරසිටමෝල් ගැනීමෙන් දරුවාට හානියක්.


ඇසිටමිනොෆෙන් (Acetaminophen) නමින් හඳුන්වන කොළ පැහැති පැරසිටමෝල් දියරය ඇතුළු පැරසිටමෝල් ඖෂධය ගැබ් දරන කාලයේ නිතර භාවිතයෙන් ගැබ තුළ වැඩෙන දරුවා 'පාලනය කිරීමට අපහසු ක්‍රියාකාරී දරුවෙක්' වී ඇටෙන්ෂන් ඩෙෆිසිට් හයිපර් ඇක්ටිවිටි ඩිසෝඩර් (Attention deficit hyperactivity disorder) නොහොත් AD HD රෝග තත්ත්වයට ගොදුරුවීමේ අවදානමක් ඇතැයි හෙළි වී තිබේ.

ඩෙන්මාර්කයේ ඩැනිෂ් නැෂනල් බර්ත් කෝට් පර්යේෂණායතනය විසින් ගැබිනි මවුවරුන් 64,000 ක් යොදාගෙන කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙය හෙළිදරව් වී තිබේ.

වෛද්‍ය නිර්දේශයකින් තොරව විවෘත වෙළෙඳ පොළින් ලබාගත හැකි තරමේ විශ්වසනීයත්වයක් තබා ඇති පැරසිටමෝල් වර්ගයේ ඖෂධ ගැබිනි සමයේ වෛද්‍ය නිර්දේශයින් තොරව ලොවපුරාම මවුවරුන් ලබාගන්නා ඖෂධයක් වන අතර, මෙම ඖෂධයට වැදෑමහ හරහා දරුවාට බලපෑම් කළ හැකි බව මේ පරීක්ෂණයෙන් තහවුරු කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.

මව මෙම අවධියේ අදාළ ඖෂධය නිතර නිතර ලබාගත්තේ නම් එම ගැබ තුළ සිටි දරුවා බිහි වූ පසු පළමු අවුරුදු හත තුළදී අධික ක්‍රියාකාරීත්වයකින් යුතුව හැසිරෙන ප්‍රචණ්ඩකාරී, අධික දඟකාරකමක් පෙන්වන, හික්මවීමට අපහසු දරුවෙකු බවට පත්කරන AD HD රෝග තත්ත්වය ඇතිවීමේ 30%ක අවදානමක් ඇති කරන බවද පර්යේෂණයෙන් හෙළි වී තිබේ.

මේ හැරෙන්නට මවගේ අක්මාවට හානි පැමිණවීමටද මේ ඖෂධයේ බලපෑමක් ඇතැයි තහවුරු වී තිබේ. ගැබ් නොගත් හා සාමාන්‍ය පුද්ගලයන් ඕනෑම කෙනෙකුට මෙසේ අක්මාව අනතුරට පත්කරවීමේ අවදානම පැරසිටමෝල් ඖෂධය භාවිතය නිසා තිබෙන බව පවසන වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා, එසේ අක්මාවට හානි ඇති වූ විට ආහාර අරුචිය, ආහාර ගැනීමට අපහසු වීම, වමනයට ඒම, වමනය යෑම සහ උදරය රිදීම වැනි රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ ඇතැයිද පවසයි.

ගර්භිණී මවුවරුන් මේ නිසා පැරසිටමෝල් අඩංගු ඖෂධ ගර්භිණී කාලයේදී වෛද්‍ය උපදේශයකින් හා නිර්දේශයකින් තොරව භාවිත නොකිරීම ගැටලු අවම කිරීමට හේතුවක් බවත්, ඩෙන්මාර්කයේ පිළිගත් පර්යේෂණ ආයතනයක් මවුවරුන් 64,000 ක් යොදාගෙන සිදුකරන ලද මෙම පරීක්ෂණයෙන් හෙළිකරගත් කරුණු අප රටේද අදාළ අංශවලින් නිසි පරීක්ෂාවකට ලක්කරන්නේ නම් එය අනාගතයේ ඇති විය හැකි බොහෝ ප්‍රශ්න වළක්වාගැනීමට උපකාරයක් විය හැකි බවත් රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි.
මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? - එහෙනම් අනිවාර්යෙන් කියවන්න.

ඔබත් නින්දෙන් ගොරවන කෙනෙක්ද? - එහෙනම් අනිවාර්යෙන් කියවන්න.


නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට සමහරැ එය සිනහවට කාරණයක් සේ සිතන තරම් ඉතාම බහුල දෙයක්. නමුත් නින්දෙන් ගෙරවීම සිනහවට කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නෙ පිරිමි අය.ඒ වගේම වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නත් පුළුවන්.

මෙය අපට මෙසේ වර්ග කළ හැකියි අවුරුදු 30 ට අඩු 10% ක් දෙනා ගොරවන විට වයස 60ට වැඩි අය 60%ක් ගොරවන අය ලෙසයි. කොහොම නමුත් තරුණ ගැහැණු අය ගොරවන ප්‍රමාණය අඩු වුවත්  වයස  60 ට වැඩි  අය 30- 40 % ත් අතර ප්‍රමාණයක් ගොරවන්නියන් සිටිය හැකියි. කොහොම නමුත් සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද ගොරවන්නන් පුළුවන්. 

කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතාවත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා.

සමහරු ගොරවන්නේ  යාන්තමින් . ඒ හඬ යාබද කාමරයට ඇසෙන්නේ නැතිවා මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාත් නැතිවිය හැකියි. දෙර වසා තිබුණත් යාබද කාමරයට හඬ ඇසෙන දේ තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම  ගෙරවීම සම්බන්ධයෙන් පවතින අනෙක් අවස්ථා දෙකයි.

 කෙසේ වෙතත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙයි. 

කෙසේ නමුත් හුස්ම ගැනීම සෑම තත්පර 10 ට අධික කාලයක් වරින් වර මේ නිසා නවත්වන අතර පැය හතක නින්දකදී  තිස් වතාවකට වඩා හුස්ම නවත්වයි නම් භයානක තතත්වයකි.  රෝගියා වරින් වර හුස්ම හිරවී  අවදිවෙයි.රුධිරයේ ඇතිවෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය  හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබයි.

එමෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිවිය හැකියි. මෙවන් අයට දිවා කාලයේදී තද නිදිමත ගතියක්ද ඇතිවෙයි. එමෙන්ම මෙවැනි රෝගීන් නින්දේදී වුවද මරණයට පත් විය හැකිය. එම නිසා නින්දෙන් ගෙරවීම නැවතීමට කන නාසය උගුර සායනයකට වහාම යන්න. 


ශ්‍රී ලංකා ජාතික රෝහලේ  කන නාසය උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



තිරිහන් වෙන්න විඳින දුකක්.


ගැහැනු ලස්සන වීමට නොයෙක් දේ කරති. පසුගිය කාලයේ වූ සිදුවීම් දෙස බැලීමේ දී රුව රැකගැනීමට දිවි පරදුවට තබමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

ස්වභාවිකවම ලා රතු පැහැයට හුරු දෙතොලක් හා කාල වර්ණ කේෂ කලාපයක් ශී‍්‍ර ලාංකික කාන්තාවන්ට උරුමව තිබේ. යුරෝපීය කතුන් තඹ හෝ සුදු පැහැති කේෂ කලාපයකට හිමිකම් කියන අතර ඔවුන්ගේ දෙතොල් ලා පැහැතිය. නියපොතු යට සුදු මැලිය මේ නිසා යුරෝපීය කාන්තාවෝ තම කොණ්ඩය පාට කළු කිරීමටත් තොල් හා නිය රතු කිරීමටත් වෙහෙසෙති. ඒ සියල්ල ස්වභාවිකව උරුමකැර ගත් අපේ කාන්තාවෝ ද තොල් පාට කරති. නියපොතු වර්ණ ගන්වති. ඔවුන් මේ සියල්ල සිදුකරන්නේ තම තරුණ බව පෙනුමෙන් රැක ගැනීමේත් වෙනත් අයගේ ආකර්ශනය දිනා ගැනීමේත් අපේක්ෂාවෙනි.

මේ සදහා රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියන් සිටින අතර ඊට අමතරව ශරීර අලංකාර කිෙරීමේ කටයුතු සදහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුද එක්ව සිටිති.

රුව සැකසීමේ දී බාහිරින් සිදුකරන ප‍්‍රතිකර්ම මෙන්ම සිරුරේ අභ්‍යන්තරයේ සිදුකරන ප‍්‍රතිකර්ම වශයෙන් කොටස් දෙකකි. මේ දෙකම ඇතැම් අවස්ථා වලදී ශල්‍යකර්ම දක්වා ම දිවෙන තත්ත්වයකි. මේ ක්ෂේත‍්‍රයේ නියැලී සිටින වෛද්‍යවරුන් පවා ස`දහන් කරන්නේ රුව රැකගැනීම සදහා සිදුකරන ප‍්‍රතිකාර ඉතා ඉවසිල්ලෙන් හා පරිස්සමෙන් කළ යුතු ඒවා බවයි.

සාමාන්‍යයෙන් රෝගියකුට වෛද්‍යවරයකු කරනු ලබන ප‍්‍රතිකාරයත් මේ ශල්‍යකර්මත් අතර විශාල වෙනසක් ඇත. සාමාන්‍ය රෝගියකුට වෛද්‍යවරයකු ශල්‍යකර්මයක් සිදුකරන්නේ හෝ ප‍්‍රතිකාර කරන්නේ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරුන් විසින් ගනුලබන තීරණයක් අනුවය. ඇතැම් අවස්ථාවලදී එවැනි ශල්‍යකර්මයක් සිදුවන බවට රෝගියා දන්නේ ද නැත.

එසේ වුව ද රුව රැකගැනීමට ශල්‍යකර්ම සිදුකරන්නේ මුළුමනින් ම පැමිණෙන පුද්ගලයාගේ අවශ්‍යතාව අනුව විනා වෛද්‍යවරයාගේ අවශ්‍යතාව හෝ හිතුමතය අනුව නොවේ. රුව රැකගැනීමට පැමිණෙන තැනැත්තා හෝ තැනැත්තියගේ අභිමතය පරිදි ප‍්‍රතිකාර කිරීම සිදුකරයි.

මේ ප‍්‍රතිකාර ශල්‍යකර්ම හා ශල්‍යකර්ම නොවන ප‍්‍රතිකාර යන දෙඅංශයටම අයත් වේ. වෛද්‍යවරුන් පවසන්නේ කවර ආකාරයේ ප‍්‍රතිකාරයක් වුව ද ඉතා පරෙස්සමෙන් සිදුකළ යුතු බවයි. මෙහිදී තමන්ට අවශ්‍ය පරිදි මුහුණේ හැඩය, ශරීරයේ හැඩය හා වර්ණය ද සිරුරේ ඇති ලප කැලල්, වෙනත් විකෘති වීම්, රෝම ඉවත් කිරීම් ආදී සියල්ල කැර ගැනීමට හැකිවේ.

රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ දී වඩාත් ජනපි‍්‍රය ප්ලාස්ටික් සැත්කමයි. ලොව මුල්ම ප්ලාස්ටික් සැත්කම සිදුකැර ඇත්තේ රූපය ආරක්ෂා කිරීමට වුව ද ඒ යුද්ධයේ දී තුවාල ලැබූ වෝල්ටර් සියෝ නමැති නාවිකයකුටය.

ඒ 1917 දී ය.

නූතන ප්ලාස්ටික් සැත්කමේ පියා ලෙස හදුන්වන්නේ නවසීලන්ත වෛද්‍යවරයකු වූ ලන්ඩනයේ සේවය කළ ශී‍්‍රමත් හැරල්ඞ් ජිලීස්ය. පළමු ලෝක යුද්ධයේ දී තුවාල ලබා විරූපී වී ගිය සොල්දාදුවන්ගේ මුහුණේ විරූපී බව නැතිකිරීමට ඔහු සැත්කම් ක‍්‍රම සංවර්ධනය කළේය.

ලෝකයේ කාන්තාවන් අතර ඉතාමත් බහුල හා වඩාත් ප‍්‍රචලිත රූපලාවන්‍ය ක‍්‍රමයක් වන්නේ ඇහිපිය සකස් කිරීමයි.

එහි දී ඇස් වටා ඇති රැළි ඉවත්කර ඇසි පිය යම් තරමක් ඉහළට කර සාදයි. ඇතැම් විට ඇසිපියෙහි ඇති රෝම මුළුමනින්ම ඉවත්කර කෘතිම ඇහි පිහාටු ඇදීම සිදුකරයි. ඇහේ සම වටා ඇති මේදය ඉවත් කර ඇසේ ඇති තද බව නැති කැර දැමීමේ හැකියාව ද ඇත. මෙය සිදුකරන්නේ එන්නත් භාවිත කරමිනි. ඒ සදහා දින ගණන් රෝහල්ගත වීමට අවශ්‍ය නොවන බව රූපලාවන්‍ය ශිල්පීහු කියති.

සැත්කමට දින කිහිපයක් රෝහල් ගත වී සිටීමට අවශ්‍ය වන්නේ නැත. එන්නත් භාවිත කරමින්ද මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සිදු කරයි.


තවත් බහුලව සිදුකරන රූපලාවන්‍ය ක‍්‍රමයක් වන්නේ මුහුණේ ඇති විකෘතිතා ඉවත් කිරීමයි. මෙය ඉතා සංකීර්ණ කි‍්‍රයාදාමයකි. දත්වල විකෘතිතා සැකසීම, හනුවල වෙනස්වීම් යළි සැකසීම, ඇතැම් පුද්ගලයන්ගේ මුහුණේ අස්ථි ඇතුළට ගිලී ගොස් ඇත්නම් ඒවා සැකසීම, හිස් කබලේ හැඩය නිසි පරිදි සැකසීම වැනි සංකීර්ණ ශල්‍යකර්ම ද මේ සදහා යොදා ගනී. ඒවා පළපුරුදු වෛද්‍ය කාර්ය මණ්ඩලයකගේ මෙහෙයවීමෙන් ශල්‍යාගාරයක දී නිර්වින්දනය කර සිදුකරන ශල්‍යකර්ම වේ. මෙවැනි ශල්‍යකර්මවලදී අස්ථි බද්ධ කිරීම ද සිදුකරයි. වෛද්‍යවරුන් පවසන්නේ මෙවැනි සැත්කම් වැඩිපුරම සිදුකරන්නේ නාසය අවට ප‍්‍රදේශයේ බවයි.

විදෙස් කාන්තාවන් අතර වඩාත් ජනපි‍්‍රය සැත්කමක් වන්නේ පියයුරු ආශි‍්‍රත සැත්කම්ය. පියයුරු විශාල කිරීම, කුඩා කිරීම හා එල්ලා වැටීම වැළැක්වීම සදහා මේ සැත්කම් සිදුකරයි. පියයුරු විශාල කිරීමේ දී පියයුරුවලට පහළින් පැල්මක් යොදා එතුළින් සිලිකන්වලින් නිර්මාණය කරන ලද උපකරණයක් පියයුරු මාංශපේෂිවලට යටින් තැන්පත් කිරීමෙන් ඒවා වඩාත් විශාල කරයි.

පියයුරුවල ඇති මේදය, වඩාත් විශාල වූ මාංශ පේෂි හා සමේ කොටස් ඉතා පරෙස්සමෙන් ඉවත්කිරීම මගින් පියයුරු කුඩා කිරීම වෛද්‍යවරු සිදුකරති. මේ අනවශ්‍ය කොටස් ඉවත්කිරීමෙන් පසු පියයුරුවල අලංකාරය වැඩිවන ආකාරයට හැඩයට සැකසීම සිදුවේ. මෙය ශල්‍යාගාරයක නිර්වින්දනය කැර සිදුකළ යුතු සැත්කම් වන අතර ඒවා මිල අධික සැත්කම් ද වේ.

මෙහිදී සැත්කම් සිදුකළ කැළල දිගටම පවතින නමුත් එය පියයුරුවලට යටින් පිහිටන බැවින් එළියට පෙනෙන්නේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ මේ සදහා වයස්ගත කාන්තාවන් ද විශාල වශයෙන් පැමිණෙතත් වයස්ගත වූ විට එවැනි සැත්කමකින් සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම අපහසු බවයි. එමෙන් ම වයස්ගත වී සැත්කම කළහොත් අතුරු ආබාධ ඇතිවීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව ඔවුහු පෙන්වා දෙති.

පියයුරු වඩාත් පෘෂ්ඨිමත් කිරීමේ දී එල්ලා වැටෙන පියයුරුවල පේශි තද කිරීමෙන් දැඩි බවක් ලබා ගැනීමේ හැකියාව පවතී. එහිදී බොහෝ විට පියයුරේ පහළින් ඇති පේශි හා මේදය ඉවත්කිරීම සිදුවේ. මෙහි දී වැඩි වශයෙන් ම ඉවත්කරන්නේ තන පුඩුව ආශි‍්‍රත පේශි කිහිපයකි. එය සිදුකරන්නේ පළමුව තන පුඩුව අවට ප‍්‍රදේශය විවෘත කැර පේශීන් ඉවත් කිරීමෙනි. පසුව සම එකතුකැර නැවත තනපුඩුව බද්ධ කරනු ලබයි.

මෙමගින් පියයුරුවලට වඩාත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකිවේ. මේ සැත්කම් සදහා අවශ්‍ය වුවහොත් සිලිකන්වලින් නිපද වූ උපකරණ ද භාවිත කරයි.

නිරූපිකාවෝ විශේෂයෙන් ම තමන්ගේ පිසුපස තට්ටම් ප‍්‍රදේශය ද විශාල කැර ගැනීමේ සැත්කම් කරවා ගනිති. මෙහිදී සිදුවන්නේ මේදයට අමතරව තට්ටම් ප‍්‍රදේශයේ සිලිකන් තැන්පත් කිරීමයි. එමගින් වඩාත් පිටුපසට නෙරා ආ තට්ටම් සාදා ගැනීමේ හැකියාව පවතී. ඇතැම් අය තට්ටම්වල පිරී ඇති මේදය ඉවත්කරගෙන තට්ටම් සදහා සුදුසු හැඩයක් ලබා ගැනීම ද සිදුකරයි.

මුහුණේ කැළල් ඉවත්කර මුහුණ යළි සැකසීම ද බහුලව දක්නට ලැබෙන රූපලාවන්‍ය ක‍්‍රමයකි. මුහුණේ ඇති කැළල් හා ලප ඉවත්කිරීමට අමතරව ඇතැම් අවස්ථාවල දී සිරුරේ වෙනත් ස්ථානයකින් සම ගෙන බද්ධ කිරීම ද සිදුකරයි.

රැළි ඉවත්කිරීම බහුලව සිදුකරන්නේ කම්මුල් හා ගෙල අවට ප‍්‍රදේශයේ ය. ඒ අවට රැළි සහිත පේෂි ඉවත්කැර පහළට ඇදීම මගින් මෙය සිදුකරයි. රෝහල්ගත වී නිර්වින්දන තත්ත්වයෙන් සිදුකළ යුතු සැත්කමකි.

කැළල් ඉවත්කිරීමේ සැත්කම් කළ ද සැබැවින් ම එහිදී සිදුකරන්නේ තිබූ කැළල මතුපිටින් තවත් කැළලක් ඇති කිරීමයි. මෙවැනි කාර්යයක දී වැරදීමක් වුවහොත් කැළල මගින් මුහුණ හෝ ශරීරය මුළු මනින්ම විරූපී වීමට වැඩි ඉඩකඩක් ඇත. මෙහිදී කැළල් වැසෙන පරිදි සම බද්ධ කිරීම හෝ වළ ගැසුණු කැළැල් ඉවත් කිරීමේ දී එන්නත් භාවිත කිරීම සිදුවේ.

කෙනෙකුගේ නිකටේ ස්වභාවය ඔවුන්ගේ පෞරුෂයට සෘජුවම බලපායි. මේ නිසා විදෙස් කාන්තාවෝ තම නිකට ගැන විශේෂයෙන් සැළකිල්ලක් දක්වති. නිකටේ හැඩය වෙනස් කිරීම සදහා අනවශ්‍ය මේදය ඉවත් කිරීම් හා එන්නත් ලබා දීම ද සිදුකරයි.

සිරුරේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කරමින් උදරය නිසි පරිදි සකසා ගැනීම තට්ටම් නිසි පරිදි සකසා ගැනීම බහුලව සිදුවන්නකි. මේ ක‍්‍රමයේ දී සිදුකරන්නේ සිරුරේ එක්තුවී ඇති මේදය බටයක් යොදාගෙන ඉවත්කිරීමයි. චූසන උපකරණයක් යොදාගෙන වැඩිපුර ඇති මේදය ඇද දමයි. උදරය, තට්ටම්, උකුල, කළව, අත්, මුහුණ හා පපුව ආශි‍්‍රතව මෙලෙස මේදය ඉවත්කිරීම සිදුවේ.

ඇස්වල වර්ණය ශී‍්‍ර ලාංකිකයන්ගේ කළු හෝ තද දුඹුරු පැහැතිය. විදේශිකයන්ගේ ඇස් වල පැහැය ලා දුඹුරු, නිල්, කොළ ආදී විවිධ පැහැ ගනී. මේ ඇස්වල පැහැයෙන් මුහුණට වෙනස් පෙනුමක් ලබාගත හැකි බැවින් බොහෝ කාන්තාවෝ විවිධ වර්ණයේ කාච පළදිමින් ඇස්වල වර්ණය වෙනස්කැර ගනිති. කාච ලබා ගැනීමෙන් පසු එය තමන් විසින්ම පැළදීමේ හැකියාව ඇති බැවින් එය සංකීර්ණ කි‍්‍රයාදාමයක් නොවේ.

කාන්තාවෝ තම කොණ්ඩය ද විවිධ ආකාරයෙන් සකසා ගනිති. මෙය ඉතා සරළ හා ඕනෑම අයකුට කළ හැකි රූපලාවන්‍ය ක‍්‍රමයකි. ඊට අමතරව සිරුරේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීම ද තමන්ට වුව ද සිදුකළ හැකි රූපලාවන්‍ය කාර්යයකි.

නියපොතු සැකසීම, කොණ්ඩය, තොල් හා නිය පාට කිරීම ද රූපලාවන්‍ය කටයුතු වුව ද ඒ සදහා වෛද්‍යවරුන්ගේ සහය අවශ්‍ය නැත. තමන්ටම කැරගත හැකි රූපලාවන්‍ය කටයුතුය.

කෙසේ වෙතත් දැන් ලොව පුරා කාන්තාවෝ ලස්සන වීම සදහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් සැත්කම් පවා කරවා ගනිති. මේ ආකාරයේ සැත්කම් කරගැනීමට ගොස් මිය යන අය ද සිටිති. පසුගිය දා බම්බලපිටියේ දී වෛද්‍යවරියක මිය ගියේ ද එවැනි රූපලාවන්‍ය කාර්යයක දී ය.

නිර්වින්දනය කර සිදුකරන සැත්කමක් කොතරම් අවදානම් වුව ද කාන්තාවෝ පමණක් නොව රුව ගැන සැළකිලිමත්වන පිරිමි ද කී‍්‍රඩකයෝ ද තම සිරුරේ හැඩය සකසා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරති.

දැන් දැන් යුරෝපයේ මෙන් ම ආසියාවේ ද තරුණ වීමේ සැත්කම් වඩාත් ජනපි‍්‍රය වෙමින් පවතී. චීනය, ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් බොහොමයක මේ වෙළදපොළ නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම පියයුරු වර්ධන සැත්කම් මේ අතර ප‍්‍රධාන වේ. තායිලන්තයේ දී තම පියයුරු සාදා ගැනීමට ඕස්ටේ‍්‍රලියාවේ හා යුරෝපයේ කාන්තාවෝ එහි පැමිණෙති.

ඔබ යම් හෙයකින් අන්තර්ජාලයේ “butt enhancement” යැයි සටහන් කර සොයා බැලූවහොත් ඔබට විවිධ වූ ක‍්‍රමවේදයන් සොයා ගැනීමට හැකි වනු ඇත. ඔබ එවැනි ප‍්‍රතිකාරයක් කරගැනීමට අපේක්ෂාකරනවා නම් ඒ ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. මේ ප‍්‍රතිකාරය යම් ආකාරයකින් වැරදී ගියහොත් සිදුවන්නේ ලස්සනවීම වෙනුවට විරූපී කැත පුද්ගලකු බවට පත්වීමයි.

කාන්තාවකට තම තට්ටම් ප‍්‍රදේශය විශාල හා වටකුරු කර ගැනීමට අනිවාර්යයෙන් ම ව්‍යායාම වල යෙදිය යුතුය. එය නොමිලේම සිදු කරගත හැකිවේ. එහි කිසිදු අනාරක්ෂිත බවක් හෝ අන්තරායකාරී බවක් නැත. තට්ටම් පෙදෙස විශාල කර ගැනීමට එහි පේෂි සඳහා ව්‍යායාම කිහිපයක්ම පවතී. මේ ව්‍යායාම මගින් විශාල වීම පමණක් සිදු නොවේ. එමගින් තරබාරුව අඩුකැර ගැනීම, එල්ල වැටීම වළක්වා ගැනීම හා සිරුරට නිසි හැඩයක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.

සැත්කමක් මගින් තම අවයව විශාල කරගන්නේ නම් ඒ සදහා ඇති එක් ක‍්‍රමයක් වන්නේ මේදය ඇතුළු කිරීම හෝ මේදය තැන්පත් කිරීමයි. මෙය ව්‍යායාම කිරීමෙන් තට්ටම් ලොකුකැර ගැනීමට වඩා ඉක්මන් ක‍්‍රමයකි.

මෙහි දී වෛද්‍යවරයා විසින් සැත්කමට ලක්වන පුද්ගලයාගේ ශරීරයේ වෙනත් ස්ථානවල තිබෙන අමතර මේදය ඉවත් කර එම මේදය තට්ටම් ප‍්‍රදේශයට ඇතුළත් කර හැඩය සකසයි. බොහෝ කාන්තාවන් මේ ක‍්‍රමයට කැමැත්තක් දැක්වන්නේ වැඩිපුර මේදය ඇති තැනින් මේදය ඉවත්කිරීම හේතුවෙන් සිහින් බව ලැබී තමන්ට අවශ්‍ය පරිදි වෙනත් තැනක් විශාල කැර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.

මේ සිලිකන් උපකරණ ඝන තත්ත්වයට ආසන්න ද්‍රව්‍යයකින් රබර් ගුණයට සමාන ලෙස සකස් කරන ලද්දකිය. එය කැඞී යාමක් හෝ කාන්දුවීමක් සිදුවන්නේ නැත. මේවා බද්ධ කරනු ලබන්නේ කොදු ඇට පෙළේ පහළම කෙළවර ආසන්නයේ මාංශ පේෂි අතරට හෝ ඊට යටිනි. මේ නිසා උපකරණයක් බද්ධ කර ඇති බව පිටතට පෙනෙන්නේ නැත. වෛද්‍යවරුන් පවසන්නේ තට්ටම් විශාලකැර ගැනීමට සිලිකන් උපකරණ යොදා ගැනීම දීර්ඝකාලීන ආයෝජනයක් බවයි.