Showing posts with label Life. Show all posts

දික්කසාදයකින් ඔබට හිමි - අහිමි දේවල් තීරණය වන්නේ මෙහෙමයි.


කාන්තාවන් සමාජය, සංස්කෘතිය තුළ නොයෙක් භූමිකාවන් නිරූපණය කරන අතර, ඒ තුළ ඇයට පැවරෙන වැඩ ප්‍රමාණයද එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. එමෙන්ම ඇය නීතියෙන් වුවද පුරුෂයා හා සමානව සැලකුවද, ඇතැම් සමාජීය, ජීව විද්‍යාත්මක හා ආර්ථික කාරණා මත නීතියෙන් සමාන ආරක්ෂණයක් ලැබුණද ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඇයට අසාධාරණයක් සිදුවේ. ඒ අනුව දික්කසාදය තුළ වුවත් ඇය මුහුණපාන ප්‍රශ්න රාශියකි. පුරුෂයා හා ස්ත්‍රිය දික්කසාදයකදී නීතියෙන් එක හා සමාන ලෙස සලකා නඩුවක් තීන්දු කළද තවත් බොහෝ කාරණා මත ඇය මහත් අසරණබවකට පත්වේ. මේ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පුද්ගල හා තුලනාත්මක නීති අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය රෝස් විජේසේකර මහත්මිය  සම්බන්ධ කර ගැනීමට අපි සිතුවෙමු.  

පෙරට වඩා වර්තමානයේ දික්කසාද වන ප්‍රමාණය වැඩියි. දික්කසාදයකට යෑම කියන තැනදී සාමන්‍යයෙන් කාන්තාව පොදු සිංහල සමාජය තුළ නීතිමය අංශයෙන් ඒ තරම් ප්‍රශ්නයකට භාජනය වෙන්නේ නැහැ. නමුත් මුස්ලිම් නීතියේදී එය කාන්තාවන්ට බලපාන්නේ පිරිමි පුද්ගලයෙකු දික්කසාද වීමේදී බලපාන නීති තත්ත්වය අනුව නෙමෙයි. ඒ නිසා ඒ දෙකෙහි ලොකු වෙනසක් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශයේදී නීතිමය අංශයෙන් සාමාන්‍ය සිංහල හා ද්‍රවිඩ දෙපිරිසටම ගත්විට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් පොදුවේ සිංහල හා ද්‍රවිඩ යන කාන්තාවන් දෙපාර්ශ්වයටම සමාජීය වශයෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදුවෙනවා. 

සාමාජීය හා ආර්ථික වශයෙන් මුහුණපාන ප්‍රශ්න වැඩියි

සිංහල හා ද්‍රවිඩ කාන්තාවන් දික්කසාද වීමේදී නීතිමය වශයෙන් ඔවුන්ට වෙනස්කමක් කිසිවක් සිදුනොවුණත් සමාජීය හා ආර්ථික වශයෙන් මේ අය මුහුණපාන ප්‍රශ්න විශාලයි. සාමාන්‍යයෙන් රැකියාවල නියුතු වන කාන්තාවන් විවාහ වන අවස්ථාවේදී ඇතැම් විට රැකියාවෙන් ඉවත් වීමට පෙළෙඹෙනවා. එමෙන්ම විවාහය තුළින් ඔවුන්ට දරුවන් සිටින්නට වුණත් පුළුවන්. ඒ නිසා ඇය දික්කසාද වන අවස්ථාවේදී බොහෝ විට ආර්ථිකමය වශයෙන් ස්වාමිපුරුෂයා තරම් ප්‍රබල අවස්ථාවේ ඒ වන විට නැහැ. එසේ වන විට නීතිය සමානව සැලකුවත් සමාජීය වශයෙන් ඇය දෙවැනි තැනක සිටින්නේ. ඇය නීතියට ප්‍රවේශ වීම කියන තැනදී පළමුව ලොකු ප්‍රශ්නයකට මුහුණපානවා.

නීතියේ සහාය ලබාගැනීමේදී මුදල් කියන දෙය ප්‍රබල දෙයක් කියලා අපි දන්නවා. නඩු ගාස්තු, නීතිඥ ගාස්තු වගේ දේවල්වලට ඇයට මුදල් යොදවන්න සිදුවෙනවා. නීතිඥ සහාය ලබාගැනීමේදී පිරිමි පාර්ශ්වයට මෙන් ප්‍රබල තත්ත්වයක් නොමැති නිසා බොහෝ වේලාවට නීතිඥ සේවයේත් ඇයට යම් යම් අඩු පාඩුකම් සිදුවෙන්නට පුළුවන්. 

පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ 

දික්කසාද නඩුවකදී නීතිමය ප්‍රශ්නවලට වඩා සිද්ධිමය ප්‍රශ්න ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් වෛවාහික වරදක් කර තිබෙනවා නම් පමණයි නීතියෙන් දික්කසාදයක් ඉල්ලන්න පුළුවන්. වෛවාහික වරදක් යනුවෙන් අදහස් කරන්නේ එක්කෝ විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබෙන්න ඕන. නැතිනම් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය අතහැර දමා තිබෙන්න ඕන. එසේත් නොමැති අවස්ථාවල එක් පාර්ශ්වයක් ලිංගික බෙලහීනතාවකට පත්වෙලා තිබෙන්න ඕන. මේ කියන කාරණා ත්‍රිත්වය මත පදනම් වෙමින් දික්කසාදයක් ඉල්ලීමේ හැකියාවක් තිබෙනවා. 

එවිට අනෙක් පාර්ශ්වයේ මෙවැනි වැරදි තිබෙන බව කියන කාන්තාව හෝ පුරුෂයා එනම් දික්කසාද නඩුවක් පවරන ඔහු හෝ ඇය ඒ කාරණාව ඔප්පු කර පෙන්වීමට අවශ්‍යයි. එය ඔප්පු කළ යුත්තේ මෙහෙමයි කියා නීතියේ පැහැදිලි කිරීමක් තිබෙනවා. නමුත් මේ යටතේ  හාරලා අවුස්සලා ගන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල්. බොහෝ අවස්ථාවන්වලදී පෞද්ගලික කාරණා හාරලා අවුස්සලා ගන්න ගියහම පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ. 

විවාහය කියන සංස්ථාව තුළ සමාජය කාන්තාවකගෙන් බලාපොරොත්තු වන දේවල් වැඩියි 

ද්වේෂ සහගතව සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමා යන තත්ත්වයකදී වුණත් සමාජයක් විවාහය තුළ පිරිමින්ගේන් අපේක්ෂා කරන දෙය හා කාන්තාවකගෙන් අපේක්ෂා කරන දෙය වෙනස් නිසා පිරිමි කෙනෙක් අත්හැර දමා ගියවිට සාධාරණ හේතුවක් නොමැතිව එක වෛවාහික වරදක්ය කියලා පෙනෙන දෙයට වඩා කාන්තාවක් අතහැරලා ගිය අවස්ථාවකදී ඒක වෛවාහික වරදක්ය කියා කියන දෙය ඔප්පු කරන්න පහසුයි. මොකද කාන්තාවකගෙන් විවාහය කියන සංස්ථාව තුළ සමාජය බලාපොරොත්තු වන දේවල් පිරිමි කෙනෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වන දේවලට වඩා ගොඩක් වැඩියි. එම නිසා නීතිය එසේ වුවත් සමාජයට  භාවිතයත් සමග එය අදාළ වීමේදී පිරිමි කෙනෙකුට අදාළ වෙන්නේ එක විදිහකට, ගැහැනු කෙනෙකුට අදාළ වෙන්නේ තවත් විදිහකට. 

විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබීම

අපි අනාචාරය කියන දෙය ගත්තත් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක් ඒක්ක රාත්‍රී කාලයේ කුමක් හෝ අවශ්‍යතාවකට ගියවිට තිබෙන වෙනසයි, විවාහක ගැහැනු කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන පිරිමි කෙනෙක් සමග රාත්‍රී කාලයේ අවශ්‍යතාවකට ගියවිට බලන ආකාරයයි දෙයාකාර ස්වරූපයක් ගන්නවා. ඇත්තෙන්ම එහිදී වැරැද්දක් යැයි හඳුන්වන දෙයක් නොතිබෙනවා විය හැකියි. විවාහක ගැහැනිය හා විවාහක පුරුෂයා කර තිබෙන්නේ එකම දේ වූ නමුත් මේ දිහා බලන ආකාරය වෙනස්. නීතියේ තිබෙන්නේ එකම කරුණ වුවත්, උසාවියක් තුළ සාක්ෂි විමසන අවස්ථාවේ  විනිශ්චකාරවරයාගේ සිටම නීතිඥවරයා මෙය උලුප්පා දක්වන ආකාරයෙන් කාන්තාව බරපතළ ලෙස වෙනස් තත්ත්වයකටයි මුහුණපාන්නේ. 

ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හි කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතියේ පූර්වේක්ෂණය 

දික්කසාදයක් වීම සඳහා බලපාන තවත් කාරණාවක් ලෙස ලිංගික බෙලහීනතාව හඳුනාගන්න පුළුවන්. අපේ නීතිය තුළින් විවාහයක් ඇතුළත සිදුවන ස්ත්‍රී දූෂණයක් කියා දෙයක් පිළිගන්නේ නැහැ. විවාහ වුණාට පසුව කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හිදී කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතිය පූර්වේක්ෂණය (උපකල්පනයක්) කරනවා. එනිසා තමයි කාන්තාවකගේ අකැමැත්ත මත සිදුවන ලිංගික සංසර්ගය විවාහයක් තුළ සිද්ධ වෙනවිට එය ස්ත්‍රී දූෂණයක් ලෙසින් පිළිගන්නේ නැත්තේ. 

විවාහක කාන්තාවක තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන අයෙකු සමග තමන්ගේ කැමැත්ත නැතිව ලිංගික සංසර්ගයක යෙදුෙණාතින් නීතිය අනුව එය ස්ත්‍රී දූෂණයක් වූවත්, ස්වාමිපුරුෂයා තමන්ගේ භාර්යාවගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙසින් සලකන්නේ නැහැ. එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ මැරිටල් රේප් (marital rape) යන නමින්. යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් දියුණු රටවල්, සිංගප්පූරුව වැනි රටවල් මෙම වෛවාහික දූෂණය පිළිගන්නවා. නමුත් ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල තවමත් ඒ තත්ත්වය පිළිගන්නේ නැහැ. 

ඒ නිසා කොන්දේසි විරහිතව ලිංගික අවශ්‍යතාවන් ඉටුකළ යුතු යැයි පිළිගන්නා තත්ත්වයක් තුළ කාන්තාවගේ යම් යම් ශාරීරික නොහැකියාවන් ලිංගික බෙලහීනතාව කියා අර්ථකථනය කිරීමේ අවදානමක් තිබෙනවා. ඇත්තෙන්ම නීතියේ ලිංගික බෙලහීනතාව කියා පදනමක් කර ගන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ යුතු තත්ත්වයක්. 

නමුත් ශාරීරික වශයෙන් කාන්තාවන් මුහුණදෙන ලිංගික චර්යා චක්‍රයයි, පිරිමි ලිංගික චක්‍රයයි වෙනස්. කාන්තාවන්ට දරුවන් ලැබෙනවා. ඒ වගේම ඔසප් වීම් සිද්ධ වෙනවා, ආර්ථභාවය සිදුවෙනවා. එවැනි ශාරීරික ක්‍රියාවන් නිසා ලිංගික වශයෙන් යම් යම් නොහැකියාවන්වලට වැඩි වශයෙන් භාජනය වන්නේ කාන්තාව. නමුත් නීතියේ බෙලහීනතාව කියා ලියා තිබෙන්නේ කාන්තාව හා පිරිමියාට එක හා සමානවයි. නමුත් මේ භෞතික කාරණා නිසා මෙය කාන්තාවන්ට වෙනස් ආකාරයකට බලපානවා. උසාවියකදී දික්කසාද නඩු ඔප්පු කිරීමේදී මේ වගේ දේවල් එළියට ගන්නවා. එහිදී සිදුවන්නේ ඇත්තෙන්ම කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා වගේ වැඩක්. 

ඔය කියන කාරණා තුනට හා සම්බන්ධ සිද්ධිමය දේවල් ප්‍රසිද්ධියේ උසාවියේ කියැවෙන අවස්ථාවේදී කාන්තාවක් අසීරුතාවකට පත්වෙන ආකාරයයි, පුරුෂයෙකු පත්වන අසීරුතාවයි අපිට සමාන කරන්න පුළුවන්ද? ඒ නිසා එතැනදීත් කාන්තාව අපහසුතාවට වෙනස්කමකට ලක් වෙනවා. 

පවුල් උපදේශනය තුළ කාන්තාව පත්වන අපහසුතාව
දික්කසාදයක් ගැනීමේදී පළමුවෙන්ම පවුල් උපදේශනය සඳහා යොමු කරනවා. මේ පවුල් උපදේශනයට යොමු කිරීම පිළිබඳවත් නොයෙකුත් ගැටලු මතු වී තිබෙනවා. මෙහිදී පිරිමි අය වැඩි වශයෙන් උපදේශකයන් ලෙස කටයුතු කරනවා. ඒ අය පුහුණු උපදේශකවරු තමයි. නමුත් පවුලේ ප්‍රශ්නයක් නිසා උපදේශනයට ගියාම කන්තාවන්ට බලපෑම් ඇතිවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

දික්කසාද වූ කාන්තාවකට සමාජයේ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න.

තීන්දුව ගත් පසු නැවතත් ඒ කාන්තාව තනි කෙනෙකු බවට පත් වෙනවා. මේ වන විට කාන්තාව හොඳ මූල්‍යමය තත්ත්වයක් දරන කෙනෙකු නම් මූල්‍යමය පැත්තෙන් ඉදිරි කාලය තුළ ජීවිතය ගෙවා දැමීම ඇයට එතරම් අපහසු කටයුත්තක් වෙන්නේ නැහැ. පිරිමි කෙනෙක් රැකියාවක නිරත වීම සුලභ දෙයක්. ඒ නිසා දික්කසාද වූ නිසා පුරුෂයාට එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දික්කසාද කාන්තාවකට සාමාන්‍යයෙන් අවිවාහක කාන්තාවකට වඩා සමාජයෙන් එන වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදුවිය හැකියි. 

නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථාවේ මූල්‍යමය අතින් අසරණ වන කාන්තාව

දික්කසාද වන විට දරුවන් සිටියා නම් ඒ දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ප්‍රශ්නත් මතුවෙනවා. එහිදී භාරකාරත්වය මවට හෝ පියාට නඩු තීන්දුවේදී ලැබෙන්න පුළුවන්. මව දික්කසාදයේදී නිර්දෝෂී පාර්ශ්වය වී ඒ මවට භාරකාරත්වය හිමිවුණෝතින් පියාටද තම දරුවන්ගේ නඩත්තුව ගෙවන වගකීම ගැනීමට සිදුවෙනවා. නමුත් ඇතැම්විට පියා දික්කසාදයෙන් පසු නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථා තිබෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඒ කාන්තාවට තමන්ගේ දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් නඩත්තු නඩු දමා උසාවි යන්නට සිදුවෙනවා. එසේ වූ විට ඇයට උසාවියේ නීතිඥ සේවය ලබාගන්න නැවතත් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට මාස්පතා උසාවිය ඉදිරියේ පෙනී සිටිමින් නඩත්තුව ඉල්ලා සිටින්නට සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී කාන්තාව අසරණ තත්ත්වයකට පත්වෙනවා. 

දික්කසාදයෙන් පසු දේපොළ හිමිකාරීත්වය

දික්කසාදයට පෙර භාර්යාවගේ නමින් යම් දේපොළක් තිබුණානම් එය අයිති වන්නේ ඇයටයි. නැතහොත් ස්වාමිපුරුෂයාගේ නමින් යම් දේපොළක් තිබුණා නම් එය ස්වාමිපුරුෂයාට අයිති වෙනවා. නමුත් භූමිය භාර්යාවගේ වී සෑදූ නිවසේ වියදම ස්වාමිපුරුෂයා දරා ඇති විටෙක ඔවුන් දික්කසාද වීමේදී ඉඩමේ අයිතියට ප්‍රමුඛතාව ලබාදෙනවා. නමුත් අසාධාරණයක් සිදු නොවන්න හානි පූරණයක් සිදුකොට සිදුවුණ අලාභයට යම්කිසි මුදලක් ගෙවා නිවසේ අයිතියද භාර්යාවට ගැනීමේ හැකියාව තිබෙනවා. 

දික්කසාදයේදී නිර්දෝෂි ඇයට හෝ ඔහුට ඇලිමලි දීමනා (එක්වර ගෙවීම)

ස්වාමිපුරුෂයා හා දික්කසාද වීමේදී ඇය නිර්දෝෂී නම් ස්වාමිපුරුෂයාගේ හැකියාව, ඇයගේ අවශ්‍යතාවය, නැතිවුණ දේවල්, වැරැද්ද යන කරුණු කාරණා පදනම්ව එකවර වන්දි මුදලක් පුරුෂයා විසින් ඇයට ගෙවන ලෙස උසාවිය තීරණය කරන්න පුළුවන්. එමෙන්ම ස්වාමිපුරුෂයා නිර්දෝෂී පාර්ශ්වය නම් ඇයට සිදුවෙනවා යම් කිසි මුදලක් ස්වාමිපුරුෂයාට ගෙවන්නට. එනිසා එතැනදී ලොකු අසාධාරණයක් කාන්තාවකට සිදුවෙන්නේ නැහැ. 
එක් පාර්ශ්වයක කැමැත්තකින් තොරව තම දරුවන් විදෙස් රටවලට ගෙන යා නොහැකියි

දරුවන් වෙනත් රටකට ගෙන යෑමේ අවශ්‍යතාවක් ඇති වූ විට උසාවිය ඉදිරිපත් වී අනෙක් පාර්ශ්වයෙන් අවසර ලබාදෙන බවට ලිඛිතව කැමැත්ත ලබාදෙන්න ඕන.

දික්කසාදයේ අවසන් තීන්දුවට ප්‍රථම තවත් විවාහයක් සිදුකරගත් විට බහු විවාහයකට වරදකරු වේ

දික්කසාද නඩුවකදී තීන්දුව ලබාදෙන්නේ පියවර දෙකකින්. පළමුව ලබාදෙන්නේ 'නෛයිසයි 'නඩු තීන්දුව. එම තීන්දුව ලබාදී අවම වශයෙන් මාස තුනක් පමණ ගිය විටදී අවසාන තීන්දුව ලබාදෙනවා. ඇතැම් අය මේ තත්ත්වය වරදවා වටහා ගනිමින් ඇතැම් විට 'නෛයිසයි' තීන්දුවෙන් පසුව විවාහ වෙනවා. එවැනි විවාහයන් නීත්‍යනුකූල වන්නේ නැහැ. එහිදී බහු විවාහයකට ඔහු හෝ ඇය වරදකරු වෙන්න පුළුවන්. 

ගබ්සාව

අපේ රටේ තවමත් තිබෙන්නේ මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවකදී හැර ගබ්සාවක් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් යනුවෙනුයි. යම්කිසි අවස්ථාවක ස්ත්‍රී දූෂණයකට ලක්වී ගැහැනු දරුවෙකු හෝ කාන්තාවක් ගැබ්ගෙන ඇති අවස්ථාවක සහ ශාරීරිකව හා මානසිකව කලලය මත සිටින දරුවා රෝගී තත්ත්වයකින්  පෙළෙන අවස්ථාවකදී යන සීමා සහිත අවස්ථාවන්වලදී ගබ්සාව සඳහා ඉඩ දෙන ලෙස ඉල්ලා නීති සංශෝධනයන් ඉදිරිපත් වුණා. තවමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් පවතිනවා. 

මුස්ලිම් නොවන වෙනත් අෙයකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ 

සිංහල කෙනෙකු ද්‍රවිඩ කෙනෙකු හා විවාහ වීමේදී එය සිදුකළ යුත්තේ සාමාන්‍ය නීතිය යටතේ. ඒ නිසා එම විවාහය දික්කසාද කළ යුත්තේද සාමාන්‍ය නීතිය යටතේයි. නමුත් මුස්ලිම් අයෙකු සිංහල හෝ ද්‍රවිඩ අයෙකු විවාහ කරගත් විට එවැනි නීතියක් සාමාන්‍ය නීතියක් යටතේ සිදුකරන්න පුළුවන්. නමුත් මුස්ලිම් නොවන වෙනත් අයෙකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ. මුස්ලිම් තරුණියක් එසේ වෙනත් ජාතියක කෙනෙක් සමග සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුවහොත් මුස්ලිම් නීතියෙන් ඇය තවදුරටත් පාලනය නොවේ. 

ප්‍රදේශයක කාතිවරයාට අවුරුදු 12ට අඩු ගැහැනු ළමයෙක් වුණත් වැඩිවියට පැමිණ තිබෙනවා නම් විවාහ කර දීමට අවසර ලබාදීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙය තවමත් නීතියේ තිබෙන තත්ත්වයක්. එය ඇත්තෙන්ම ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. මෙය බරපතළ ලෙස නරක ප්‍රතිඵල ඇති කරන තත්ත්වයක්.

මුස්ලිම් කාන්තාවක් හෝ පිරිමියෙකුගේ විවාහය, දික්කසාදය, දරුවන් හදාගැනීම, දරුවන්ගේ භාරකාරත්වය, වගේ දේවල් සියල්ල නිරූපණය වන්නේ ඔවුන්ගේ මුස්ලිම් නීතිය හරහා. ඒ සඳහා සකස් වුණු වෙනම මුස්ලිම් නීති හා එහි තීන්දු ලබාදීම සඳහා කාති උසාවි පිහිටුවලා තිබෙනවා. 

මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ සීමිතයි

මේ කාති උසාවිවල සිටින කාතිවරුන් සම්පූර්ණයෙන් පිරිමි පුද්ගලයන්. ඒ නිසා මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ අඩුයි. මුස්ලිම් සමාජය අතිශයින් පුරුෂ මූලික සමාජයක්. ඒ අය ගැහැනු අය දෙස බලන්නේ එක්තරා විදිහකට. මුස්ලිම් නීතියේදී සාක්ෂිකරුවෙකු ලෙසින් මුස්ලිම් පිරිමි කෙනෙක් කියන දෙයක් පිළිගන්නා නමුත් කාන්තාවක් සාක්ෂිකයක් ලබාදුන්විට එය තහවුරු කිරීමට තවත් කාන්තාවක් සාක්ෂි ලබාදිය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ අපි කොහොමද කාන්තාවන්ට සමානාත්මතාවක් අපේක්ෂා කරන්නේ. 

විදෙස් රටවලදී බලපාන පෞද්ගලික ජාත්‍යන්තර නීතිය
අපේ රටේ අයෙකු වෙන රටකට ගිය පසුව එතැනදී අපේ රටේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැනදී ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතිය. අපේ රටේ අෙයකු වෙනත් රටක අපරාධයක් කළ විට එහිදී බලපාන්නේ ඒ අදාළ රටේ අපරාධ නීතිය. ලංකාවේ කාන්තාවක් ජපානයේ පුරුෂයෙකු විවාහ කරගත් විට කුමන රටක නීතියක් අනුවද විවාහ විය යුත්තේ කියා ප්‍රශ්නයක් මතුවෙනවා. ජපන් නීතිය යටතේ විවාහවී ශ්‍රී ලංකාවේද ලියාපදිංචි වුවහොත් එම විවාහය රටවල් දෙකම පිළිගත් විවාහයක් වෙනවා. නමුත් මේ දෙපළටම දරුවෙක් සිටින අවස්ථාවක වෙන් වී මව තම දරුවා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියහොත් ජපානයේ සිටින ස්වාමිපුරුෂයා කුමක්ද කළ යුත්තේ. එහිදී බලපාන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතියයි. 

පුරුෂයාගේ අවසරය නොමැතිව එසේ ලංකාවට දරුවා ගෙන ඒමේදී ලංකාවේ මහාධිකරණයේ මේ සම්බන්ධ විශේෂ නීතියක් තිබෙනවා. මහාධිකරණය, විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ දරුවගේ ප්‍රශ්නේ ඒ අධිකරණයේ විභාග කරන්නේ ලංකාවේ නීතියට අනුව නොව ඒ තිබෙන විශේෂ නීතියට අනුවයි. මෙවැනි ගැටලු ඇතිවන නිසා හැම රටකටම පොදු යම්කිසි නීතියක් තිබෙන්න ඕන. ඒ නිසයි එවැනි අවස්ථාවල පෞද්ගලික ජාත්‍යන්තර නීතිය වැදගත් වෙන්නේ. 

 ( ෂෙහානි දිල්රුක්ෂිකා )

රාගමින් දුම්රියට නඟින දූ‍වරුනි පරිස්සම් වන්න!


ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් කඳාන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වීය. චමරී මෙනිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩ වීමට කඳාන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6.30ට පමණය. රාගම දුම්රිය ස්ථානයට ඒ මොහොතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය ඒ වෙද්දී ද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් පන්සීයකට අධික මගී පිරිසක් එහි රැඳී සිටියහ. ඒ මැද්දේ චමරි ද සිට ගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩ වැදීමේ අපේක්ෂාවෙනි.

පාණදුර බලා දිවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6.45 ද පසුවී තිබිණ. චමරී ද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතැන වූයේ එකම තදබදයකි. කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුණේ පසුපසින් ඇගේ සිරුරට කෙනකු තෙරපෙන බවකි. මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහ ගත්ත ද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනුණෙන් චමරී ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රියේ පාපුවරුවට යන්තමින් පයක් තබා ගත්තාය. එහෙත් ඇය ගොඩ වීමට පෙර දුම්රිය පිටත් වීමට ආසන්න බව අඟවමින් නළාව නාද විය.

“කන්තෝරු යන්න පරක්කු වුණාට කමක් නෑ. අද්දන කෝච්චියට එහෙම නගින්න එපා ” මව හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට විය.

‍‍තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය බාරගෙන ‍පසෙකට වූවාය. ‍ඒ සමගම ඇයට දැනුණේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිලලක් මුසු වේදනාවකි. චමරි ඇඳ සිටි බ්ලවුසයට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුණේ ඇලෙන සුලු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය.

“දෙවියනේ, ලේ ... ලේ කොහෙන්ද?”

ඇඳ සිටි කලිසමද ‍තෙමා ගෙන රුධිරය ගලා යද්දී චමරී බියෙන් මුසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය.

“ තාත්තේ, මගේ කකුල සීරිලා ද කොහෙද ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ. මාව එක්ක යන්න එන්න”

සිදුව ඇත්තේ කුමක් දැයි කාටත් වැටහුණේ ඇය නිවෙසට විත් ඇඳුම් ගලවා බලද්දීය. ඇගේ කකුලේ නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙබිම තෙමී යයි. ලේ දැක චමරිත් ඇගේ මවත් විලාප නගද්දී පියා‍ වහාම නිවෙස අසල විසූ පෞද්ගලික වෛද්‍යවරයකු කරා දියණිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය.

“මේක කැපුම් තුවාලයක් මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනටම රෝහලකට අරන් යන්න”

එතැනින් ඔවුහූ වහාම රාගම ලීසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැහුම් දොළහක් යෙදිණි.

“ මේක දැළි පිහි පහරක්. කපනකොට දැනුණේ නැත්තේ ඒකයි” නොයෙක් දෙනා නොයෙක් දේ කීහ.

අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි. චමරි නව යොවුන් දැරියකි. ඇයට මේ දැළි පිහි පහරට ලක් වන්නට වූයේ ඇය කුමක් කළාටද?

පාපතර නරුමයකුගේ විකෘති ආශාවකට අවනත නොවූ ඇයට වන්දි ගෙවීමට සිදු වූයේ දැළි පිහි පහරකිනි. දැන් ඇය නිවෙසට වී වේදනාවෙන් කල් ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය. දුම්රියේ යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි.

අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියේදී ඇතැම් පිරිමින්ගෙන් විඳින්නට සිදුවන අකටයුතුකම් ‍බො‍හෝය.

තවත් පිරිමි ගැහැනියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති. අවාසනාවක මහත‍. පිරිමිකමට නිගා දෙන මෙවන්

සිද්ධි දැක දැක නිහඬවීමද නිවටකමකි.

චමරිට වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණු කොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබිණ. ඒ ද රාගම දුම්රිය ස්ථානයේදීය. රාගමින් දුම්රියට ගොඩවූ තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතඹ ප්‍රදේශය කැපී තිබෙනු දුටුවේ දුම්රියෙන් බැස යද්දීය. වාසනාවකට ඇගේ සිරුර තුවාලවී නොතිබිණ. මින් අපට හැඟී යන්නේ දැළි පිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය. විශේෂයෙන්ම මගී තදබදය ඇති වෙලාවලය.

වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුම්වත් කිරීමට සැරසුණද චමරි ලජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය.

මවුවරුනි, වැඩිහිටියනි, මේ සටහන තැබෙන්නේ ඔබ වෙනුවෙනි. මෙවන් නරුම පුරුෂයන් අප අතර සිටින බවට ඔබේ දියණියන් ද දැනුම්වත් කරන්න. හැකිතාක් දුරට අවධානයෙන් සිටින ලෙසට අවවාද කරන්න. පොදු ප්‍රවාහන සේවාවල යන එන ඔබ සැම මෙවන් සිද්ධි ගැන දැනුම්වත් වීම අගනේය. එසේම එවන් සිද්ධි ඇස ගැසුණහොත් එයට විරුද්ධව නොබියව හඬ නගන්න.

- සේමාලි

හණමිටියක් උඩ තැබූ ගබ්සාව.


ගබ්සාව, මේ දිනවල සමාජයේ වැඩිම කතාබහකට ලක්වූ මාතෘකාවකි. එය ලොව සෑම රටකම පාහේ පවතින සමාජ ගැටලුවක් ලෙස පෙන්වාදීමෙහි වරදක් නැත. මන්ද ගබ්සාව නීතිගත වුවත් නැතත් එය ලොව පුරා පුළුල් වශයෙන් දැකිය හැකි තත්ත්වයක් වන හෙයිනි. 

ගබ්සාව පිළිබඳ මෙරට කතාබහ අලුත් වූයේ ගබ්සා නීතිය ලිහිල් කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවීමත් සමඟ ය. එනම් ලිංගික අතවරයක් නිසා සිදුවන ගැබ් ගැනීමකදී හෝ උපදින්නට සිටින දරුවා බරපතළ ආබාධ තත්ත්වයක් ඇතුව උපදින බව තහවුරු වීමකදී ගබ්සා කිරීමට නීතිමය ඉඩහසර ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ පිළිගත් වෛද්‍යරු දෙදෙනකුගේ නිර්දේශය යටතේ රජයේ රෝහලකදී පමණක් යනුවෙන් යැයි යම් සංවරණ තත්ත්වයක් ද සමඟිනි. එහෙත් එම තීරණය හමුවේ මේ වනවිට ශ්‍රී ලාංකික සමාජය තුළ සැලකිය යුතු ආන්දෝලනයක් හටගෙන ඇත.  

ශ්‍රී ලංකාව තුළ ගබ්සාව යනු නීති විරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් දරු උපතක් අතරතුර දරු ගැබ නිසා මවගේ ජීවිතය අනතුරට ලක්වන්නේ නම් පමණක් ගබ්සාවට අවසර දී තිබුණද ප්‍රතිපත්තියක් ලෙස ගබ්සාවට මෙරට නීතියෙන් අවසරයක් නැත. එවන් පසුබිමක වුව ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව ගබ්සා කිරීම් හයසියයකට වැඩි ප්‍රමාණයක් සිදුවන බව පර් යේෂණවලදී තහවුරු වී තිබේ.

මේ අතර දැඩි සාම්ප්‍රදායික සමාජ පරිසරයක් පවතින අසල්වැසි ඉන්දියාවේ පවා ගබ්සා නීතිය ඇත්තේ අපට වඩා ලිහිල් තැනක ය. එනම් දරු ගැබට සති 20ක් ඉකුත් වීමට පෙර එරටදී ගබ්සාවක් සිදුකළ හැක. බංග්ලාදේශයේ දරු ගැබට සති 10ක් ඉකුත් වීමට පෙර ගබ්සාවක් සිදුකරවා ගැනීමට නීතියෙන් බාධාවක් නැත. නමුත් අපේ රට තුළ ගබ්සාවක් කළ හැක්කේ මවගේ ජීවිතය එයින් අවදානමට ලක්වේ නම් පමණි. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ එසේ කියවෙන්නේ වසර  එකසිය තිස් හතරක් පැරැණි නීතියක් වන 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 303 වන අනු වගන්තිය යටතේ වීමය. 

ගබ්සා නීතිය ලිහිල් කිරීම ගැන නිර්දය විවේචනයක් එල්ල වන්නේ අගරදගුරුහිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාවෙනි. කැබිනට් තීරණය පිළිබඳ සිය අප්‍රසාදය පළකරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි. 

කතෝලික සභාව විශ්වාස කරන්නේ, කළලය පිළිසිඳගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත් ය. 

මේ අතර පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අතරතුරදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර සිටියේ සෑම මිනිස් ජීවිතයක්ම දේව කැමැත්ත අනුව සිදුවන්නක් වන බවත් දෙවියන් වහන්සේගේ ඇතැම් සැලසුම් මිනිස් අපට තේරුම් ගැනීමට අපහසු වන බවත් ය. උන්වහන්සේ එහිදී මෙසේ පවසා සිටියහ. 

ගබ්සා නීතිය ලිහිල් කරන්න, ඉස්සෙල්ලා හිටපු රජයත් උත්සාහ කෙරැවා. මේ ළඟදි ඉඳලා ඇහෙනවා මේ දැන් ඉන්න රජයත් ගබ්සා නීතිය ලිහිල් කරන්න හදනවා කියලා. ඊයෙ පෙරේදාත් පුවත්පත්වල තිබුණා ඒක. ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයට විරුද්ධව ප්‍රකාශ පවා ඉදිරිපත් වෙනවා. කතෝලික අපිට ජීවිතය වැදගත්. ජීවිතය උතුම්. ඒ නිසා දරුවෙක් අංග විකලව ඉපදුණා කියලා, බලාපොරොත්තු වුණු ප්‍රමාණයට වඩා දරුවො ලැබුණා කියලා ඒ දරුවා නැති කරදැමීම වරදක්!

කතෝලික සභාව එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ බයිබලයේ දස පනත අනුව යමිනි. එනම් දරු ගැබක් වුවද මිනිස් ජීවිතයක් ලෙස සැලකිය හැකි නිසා ගබ්සාව යනු මිනිස් ජීවිතයක් උදුරා ගැනීම බව කතෝලික සභාවේ ස්ථාවරය වී තිබේ. එම අර්ථයෙන් ගත් කළ කතෝලික සභාවේ අදහසෙහි කිසිදු වැරුද්දක් නැත. 

නමුත් කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම පාප් වහන්සේ ඉකුත් වසරේදී වතිකානුව තුළ ගබ්සාව සම්බන්ධයෙන් යම් ලිහිල් ප්‍රතිපත්තියකට ගමන්කොට තිබීම ද අමතක කළ නොහැක. එනම් ගබ්සා සිදුකළ කාන්තාවන්ට සමාව ලබාදෙන ලෙස සියලු කතෝලික පූජකයන්ගෙන් උන්වහන්සේ ඉල්ලීමක් කර සිටියහ. 

ගබ්සාව දෙයාකාරය. එනම් ස්වභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙන් කොටස් දෙකකි. මින් ස්වභාවික ගබ්සාව ලෙස හැඳින්වෙන්නේ දරු ගැබ නිසා මවගේ ජීවිතයට යම් හානියක් සිදුවේය යන පදනමින් නිත්‍යනුකූල වෛද්‍යවරු විසින් සිදුකරන ගබ්සාවකි. එමෙන්ම එහි තවත් පැත්තක් තිබේ. මවගේ ශරීරය තුළ හටගන්නා යම් රෝගී තත්ත්වයක් නිසා හෝ දරු ගැබේ ශක්තිමත් භාවය නොමැතිවීම ආදී ස්වභාවික හේතුවක් මත දරු ගැබක් කුස තුළදී ඉබේටම විනාශ වී යාම ද ස්වභාවික ගබ්සා තත්ත්වයක් ලෙස හඳුනා ගැනේ. 

සාපරාධී ගබ්සාව ලෙස සලකනු ලබන්නේ හිතාමතාම දරු ගැබ විනාශ කිරීමේ පරමාර්ථයෙන්ම සිදුකරන ගබ්සාවකි. එය සාපරාධී ලෙස හඳුන්වන්නේ ද එනිසා ම ය. නීති විරෝධී ගබ්සා කිරීම් ලෙස හඳුන්වන්නේත් එම තත්ත්වය ය. 

එහෙත් වර්තමාන සමාජ වටපිටාව විසින් නීතිවිරෝධී ගබ්සාවන්ට යොමුවීම සඳහා කාන්තාවන්ට බල කෙරෙමින් තිබේ. ස්ත්‍රී දූෂණ හේතුවෙන් සිදුවන ගැබ්ගැනීම් සඳහා පිළියමක් ලෙස ගබ්සාව ජනප්‍රිය වී තිබෙන්නේ සෑහෙන කලක පටන් ය. ලිංගිකත්වය යන විෂයේදී කාන්තාව බොහෝවිට තැලෙන පොඩිවන මෙරට සමාජ පරිසරයේදී නීති විරෝධී ගබ්සාව දිනෙන් දින වර්ධනය වන්නේ එනිසා ය. ගබ්සාව නීතිගත කළ යුතු නැතැයි පුරුෂ පක්ෂයේ ඇතැමුන් පවසන්නේ එවැනි අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීමක් වුවහොත් එම බර දැනෙන්නේ ස්ත්‍රියට පමණක් නිසා විය හැක. ස්ත්‍රිය පමණක් බඩදරු වීම නිසා මේ ඊනියා සුචරිතවාදීහු ගබ්සාවට විරෝධය පළකරති. 

නමුත් මේ කාරණය අප සැලකිය යුත්තේ වඩා විවෘත සංවේදී මනසකිනි. ස්ත්‍රී දූෂණයකට බඳුන් වූ කාන්තාවකට අපේ සමාජය තුළ උරුම වන්නේ යුක්තිය නොව සමාජ හුදෙකලාකරණය බව කීමට පැකිළිය යුතු නැත. අධිකරණය ඉදිරියේ පිරිමියා වරදකරු වුවද සමාජ අධිකරණය හමුවේ දඬුවමට බඳුන් වන්නේ පීඩාවට පත් කාන්තාවම ය. අවසානයේ දරු ගැබක් නිසා එකී පීඩාව තම ජීවිත කාලය පුරාවම ලැබුණු දඬුවමක් සේ සලකා ජීවත් වීමට ඇයට සිදුවීම ඇගේ අවාසනාවක් සේ සලකා ඉවත බැලීමට නොහැකිය. මන්ද ඈට එසේ සිදුවන්නේ අප ජීවත්වන අපුල සහගත සමාජ වටපිටාව නිසාවෙන් වීමය. 

මෙනිසා ගබ්සා නීතිය ගැන ඝෝෂා කිරීමට පෙර කාන්තාවන්ට අදාළව ගබ්සා නීතියේ ඇති සංවේදී පැතිකඩ විවර කරගත යුතුය. ගබ්සාව නීතිගත කළ යුතුද යන්න ගැන සමාජයේ විසංවාද පවතින විට ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුය. නමුත් අපේ රටේ විවෘත හා සාධාරණ ප්‍රවේශයක් තුළ නොකෙරෙන්නේත් ඒ සංවාදයමය. අපේ සමහරුන්ට අනුව ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම පවා සදාචාරයට පටහැනි ය.

එහෙත් අද තරුණ පරම්පරාව ලාංකික සමාජය ඒ විවෘත භාවය දෙසට කැඳවාගෙන යමින් තිබේ. මෙහිදී තරුණ පරම්පරාව ලෙස හඳුන්වන්නේ වයස අවුරුදු විස්සේ තිහේ පසුවන සියලුදෙනා නොව නූතන ලෝකය හා බද්ධ වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලෝකය පුරා සිදුවන දෑ පිළිබඳ විමසිලිමත් පරම්පරාවයි. ඔවුන් ගබ්සාව ගැන කතාකරන්නේ තම ආගමික වාර්ගික විශ්වාසයන් පසෙක ලා විවෘත මනසකිනි. එය සුභවාදී ලක්ෂණයක් බව නොකියා බැරිය. 

කෙසේ වෙතත් ගබ්සාව නීතිගත කිරීමට පෙර හෝ අඩුම තරමේ එවැන්නකට සමගාමීව කළ යුතු කාර්යයන් රැසක් තිබේ. ගබ්සාවක් කිරීමට කාන්තාවන් යොමුවන සමාජ හේතු සාධක අවම කිරීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  ස්ත්‍රී දූෂණ අවම කිරීම සඳහා අපේ රට තුළ ලිංගික නිදහස මීට වඩා පුළුල් කළ යුතුව ඇතැයි යන්න එක් අදහසකි. ඉන් අදහස් කරන්නේ, මහපාරේ එකිනෙකා සිප වැළඳ ගැනීම නොවුණත් නිදන කාමරයේ අඩ අඳුරට පමණක් අපේ රටේ ලිංගිකත්වය සීමා කළ යුතු නැති බවය. ලිංගිකත්වය හා බැඳුණු කාරණා තවදුරටත් ගූඪ ධර්මතා ලෙස දොර මුල්ලේ නොතියා විවෘතව ඒ ගැන කතාබහ කළ යුතුය. 

එමෙන්ම උපත් පාලන ක්‍රමවේද සහ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ නිසි දැනුමක් ජනතාවට ලබාදීම තවත් පියවරකි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල තවමත් පවුල් සැලසුම් ක්‍රමවේද ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන්නේ නැති බව තමන්ගේ පවුල් ආර්ථිකයට දැරිය නොහැකි තරමින් දරුවන් හදනා ගැමි පවුල් දෙස බැලූ විට පෙනී යයි. ග්‍රාමීය ආර්ථිකයේ දුබලතාවට ද එය එක් හේතුවකි. 

අනෙක් අතට නීති විරෝධී ගබ්සාව නිසා කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සෞඛ්‍ය ගැටලු ද සලකා බැලීම වටී. නීතිවිරෝධී ගබ්සා කිරීම් වෙනුවෙන් බොහෝවිට පෙනී සිටින්නේ හොර වෙද්දු ය. කම්බි කූරු ගර්භාෂයට රිංගවීම වැනි අතිශය අනතුරුදායක හා ප්‍රතික්ෂේපිත ක්‍රමවේද භාවිතාව හේතුවෙන් අදාළ කාන්තාවට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැක. විශේෂයෙන්ම ගර්භාෂයේ තුවාල, ප්‍රජනන පද්ධතියට සිදුවන හානි මෙන්ම නීතිවිරෝධී ගබ්සාව නිසා ඇතිවන මානසික පීඩාව ආදිය එම කාන්තාවන්ගේ අනාගතයට ඍජුව බලපෑම් එල්ල කරන බව තහවුරු වී තිබේ. 

එනිසා අප කළ යුත්තේ සමාජ සංවේදී බව මත පිහිටා ගබ්සාවට යම් ලිහිල් බවක් ලබාදෙන අතරේදීම ගබ්සාවට තුඩු දෙන සමාජ හේතු එකිනෙක සමාජයෙන් පලවා හැරීම ය. එවන් දියුණු සමාජයක් තුළදී ගබ්සාව තවදුරටත් සමාජ මාතෘකාවක් ද නොවනු ඇත. 

 රජිත ජාගොඩ ආරච්චි

Stress අඩු කරන්න ලේසි ක්‍රම.


මානසික ආතතිය අද සමාජයේ බහුලම දෙයකි. ආතතියට හේතුවන සිද්ධියකට මුහුණ දීමෙන් පසු මිනිස් මොළය වසර හතරකින් වයසට යන බව දැන් සොයාගන තිබේ. ආතතිය පසුකාලීන අමතක වීමේ රෝග හෙවත් ඩිමෙන්ෂියාවන්ටද හේතුවකි. ඒ නිසා ආතතිය දුරලන පහසු ක්‍රම කිහිපයක් ගැන කියවමු.

01. ඔබේ දෑත් තදින් මිට මොළවාගෙන ඉන්පසු අත්ල තුළට මිට මෙළවූ දෑත් තෙරපවා පසුව අත හරින්න. ආතති බලය ඉවත් වී අතේ මස්පිඬු ලිහිල්වන ආකාරය ඔබටම දැනේවි.

02. නළල රුළිගන්වාගෙන මුහුණ හැකිතරම් හකුළුවා ගන්න. ඔබට තවදුරටත් එසේ සිටිය නොහැකි බව දැනෙන තෙක්ම එම ඉරියව්වේ හිඳ, ඉන්පසු එක්වරම මුහුණේ මස්පිඬු ලිහිල් කරන්න.

03. ලොකු ආ අකුරක් සෑදෙන පරිදි මුව හැකිතරම් විවර කරන්න. ඉන්පසු මුව වසාගන්න. මුහුණේ මාංශ පේශීන් රිලැක්ස් වන ආකාරය හෙවත් ලිහිල්වන ආකාරය අත්විඳින්න.

04. බිත්තියක් මත ඔබේ අත්ල තබන්න. ඉන්පසු අත්ලෙන් බිත්තිය තල්ලු කරන්න. කළ නොහැකි මේ දෙය තේරුමක් නැති දෙයක් මෙන් පෙනුණත්. දෑත් වේදනා දෙන විට තමන් රිලැක්ස් වී තිබෙන බව ඔබටම දැනේවි.

05. බිම වැතිරී දෙපා ඉහළට ඔසවා, හිසට ලැබෙන ලේ සැපයුම ක්‍රමයෙන් වැඩිවන අයුරු දැනෙනවාදැයි බලන්න.

06. බිම හොඳින් වැතිරී ශරීරයේ හැම කොටසක්ම සිතා මතාම ලිහිල් කරගන්න. ඔබේ ශරීරයේ මස්පිඬු කෙතරම් ආතතියකින් යුක්තද යන්නත්, ඒවා ලිහිල් කර ගැනීමෙන් කොතරම් සුවයක් ලැබේද යන්නත් ඔබට අත්දැකීමට හැකිවනු ඇත.

07. පෙර පරිදිම බිම වැතිරී සෙමෙන් සහ ගැඹුරැ ලෙස නාස් පුඩුවලින් හොඳින් හුස්ම ඉහළට ගන්න. උදරය බැලුමක් මෙන් එයට අනුගාමී ලෙස රිද්මයානුකූලව පිම්බෙන ආකාරයත් දැනෙන්නට හරින්න. ඉන්පසු ඉහළට ගත් හුස්ම මුවෙන් පිට කරන්න. ඒ සමඟම බැලුනයකින් වාතය හිස්වන්නාක් මෙන් උදරය පැතලි වන ආකාරයක් දැනෙන්නට හරින්න. නැවුම් ජීවයෙන් පිරි ශක්තියක් ඔබේ ශරීරය තුළට ඇතුළුවන බව හුස්ම ඉහළට ගන්නා විට සිතන්න.

08. බිම වැතිර සිටින අතරතුර, ජීවිතයේ ඔබ දකින්නට වඩාත්ම කැමති ධනාත්මක සිහිනයක් සිතෙන් මවාගන්න. ඔබ සමගම සතුටෙන් සිනාසෙන්න.

09. ඔබේ දෑත් මුලින් තිරස් ලෙසත්, ඉන්පසුව සිරස් ලෙසත් දිග හරින්න. මේ සෑම අවස්ථාවකදීම හැකිතරම් වේලා එසේ දිග හැරෙගෙන සිටීමෙන් පසු, දෑත් පහළට දමා ශරීරයට දැනෙන සැහැල්ලුව මෙනෙහි කරන්න.

දෙදරු මවක් වූ සොනාලි ලෝකය දිනපු හැටි [Photos]


මේ ඉන්නේ ඉන්දියාවේ සොනාලි ස්වාමි.

ඇය 42 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනකුගේ මවක්.

සෙනාලි මෙවර WBPF තරගාවලියේ Best physique model ඇතුලුව පසුගිය වසර කිහිපයේම විවිධ තරග ජයග්‍රහනය කල ක්‍රීඩිකාවක්.

ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්…









ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල රෝඇනාගේ කතාව.


දැන්කාලේ ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්නේ ටැටූ එකක් කියන්නේ.

ගොඩක් අය මේ විලාසිතාව කරන්න කැමතියි.

ඒත් කෙල්ලෙක් තමන්ගේ ඇගේ කොහේ හරි ටැටූ එකක් කරනවා කිව්වත් ටැටූ ආර්ටිස් කෙනෙක් වෙනවා කිව්වත් මිනිස්සු දකින්නේ මහා අමුතු විදියට. ඒ මේ සමාජය හැදිලා තියෙන හැටි.

ඒ සමාජයට බයේ තමන්ගේ හිත් වල හැංගිච්ච ආසාවල් එහෙම්ම තියාගෙන ඉන්න කෙල්ලෝ ඕනි තරම් ඉන්නවා. ටැටූ හීනෙත් ඒ වගේ.

ඒත් මේ හීනේ හැබෑ කරගත්තු කෙනෙක් තමයි රොඇනා කියන්නේ. ඩිමු ෆ්‍රනෑන්ඩුගේ ටැටූ ආර්ට් ස්ටුඩියෝ එකේ තමයි මෙයා ඉන්නේ. කොටින්ම කිව්වොත් ටැටූ ආර්ටිස්ට් කෙල්ලෙක්.

රෝඇනා ලංකාවේ වෘත්තිමය වශයෙන් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙච්ච එකම කෙල්ල. එතැනයි විශේෂත්වය. මේ ඇය සමග කළ කතාබහක්.

අවුරුදු 7 දී ඇමරිකාවට යන රෝඇනා ආයේ ලංකාවට එන්නේ අවුරුදු 18. ඉතින් ඇයට ඩිමුව හමුවෙනවා. ඇයගේ ජීවිතය වෙනස් වෙන්නේ එතැනින්. අවුරුදු 18 දී ඩිමුගේ පලවෙනි ටැටූ එක කරන රෝඇනා ඊට පස්සේ ටැටූ ගැන ඉගෙන ගන්න පටන් ගන්නවා. ඇයගේම වචන වලින් ඇය ඒක කියන්නේ මෙහෙම.

ඩිමුයි මායි හොද යාළුවො. ඩිමු තමයි මට මේක ඉගෙන ගන්න ට්‍රයි කරන්න කිව්වේ. ඩිමු විතරක් නෙවෙයි. තවත් ගොඩක් මගේ යාළුවො මට කිව්වා ඔයා මේ ටැටූ ගැන ඉගෙන ගන්න ඔයාගේ ඇගේ එකට තියෙන ආසාව හැකියාව තියෙනවා කියලා. ඉතින් ටික කාලයක් ටැටූ ගැන ඉගෙන ගෙන මන් ආයේ ඇමරිකාවට ගියා අවුරුදු 19දී එහෙ ගිහින් මන් ආයේ ටැටූ ගැන ඉගෙන ගත්තා. Touch of Ink කියලා ටැටූ ෂොප් එකක අවුරුදු දෙකක් විතර වැඩ කරා. ඊට තමයි ලංකාවට ආවේ. මට මේ රට දාලා දැන් නම් කොහෙවත් යන්න ඕනි නැහැ. පුංචි කාලේ ඉදන් මට ඕනි උනේ ලංකාවේ ඉන්න. ඇමරිකාවේ ඉද්දිත් මන් මගේ අම්මලට කියනවා මාව ලංකාව ට යවන්න යවන්න කියලා. මොකද මන් මේ රටට ගොඩක් ආදරෙයි. හැබැයි මේ ලංකාවේ කෙල්ලෙක් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙනවා කියන එක හරි අමුතු දෙයක්. හැමෝම බලන්නේ හරි වෙනස් විදියට. සමහරු මාව දැක්ක පාරේදී වුනත් මග හරිනවා. මගේ ගෙදරින් වුනත් මුලදී කැමති උනේ නැහැ. එයාල කිව්වේ කෙල්ලෙක්ට ඒක ලස්සන නැහැ. කවුරුත් ඔයාව කසාද බදින එකක් නැහැ මේ විදියට ඇග පුරාම ටැටූ තිබුනොත් වගේ දේවල්. මන් වුනත් කවදාවත් හිතුවේ නැහැ මන් මේ වගේ වෙයි මේ තරම් දුරක් එයි කියලා. නමුත් මන් අද ගොඩක් සතුටු වෙනවා මන් ඉන්න තැන ගැන. ඉස්සර ඉදන් මන් චිත්‍ර වගේ දේවල් අදින්න ආස කරා. හැබැයි මන් ඉගෙන ගත්තේ පයිලට් කෙනෙක් වෙන්න. අවුරුදු දෙකක් විතර ඉගෙන ගද්දි මට තේරුනා. මගේ ජිවිතේ සතුට තියෙන්නේ මෙතැන නෙවෙයි මට මේක රස්සාවක් විදියට කරන්න ඕනි නැහැ කියලා. මගේ ආත්මයේ සතුට තිබුනේ ටැටූ වල. මට අවශ්‍ය වුන මානසික භෞතික සහ මුල්‍යම හැම සතුටක් ම මට ලැබුනා මේ ක්ෂේත්‍රය හරහා.

ගොඩක් මිනිස්සු හිතන්නේ මේක පිරිමින්ගේ රස්සාවක් පිරිමින්ගේ වැඩක් කියලා. ඒත් ගෑනුන්ටත් ටැටූ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි ගෑනුන්ට ටැටූ කරන්නවත් බැහැ කියන්නේ. මගේ ඇගේ වුනත් මේ වෙද්දී ටැටූ 50 කට වැඩිය තියෙනවා. මිනිස්සු හිතන්නේ ටැටූ ආර්ටිස්ට් කෙනෙක් කිව්වම ඩ්‍රග්ස් ගන්න නරක කෙනෙක්. එකම ඉදිකටු පාවිච්චි කර කර වැඩ කරන පිළිවලක් නැති කෙනෙක් කියලා. එහෙම නැහැ.. එහෙම අය ඉන්නවා නැතිව නෙවෙයි. නමුත් ගොඩක් අය එහෙම නැහැ. අපි එක්කෙනාගෙන් එක්කෙනාට හැම දෙයක්ම මාරු කරනවා. මොකද මිනිස්සු අපි ගාවට එන්නේ ලොකු විශ්වාසෙකින්. ඒ විශ්වාසෙ අපි රකින්න ඕනි. අපි හරි විදියට වැඩ කරනවා නම් ඒ ගරුත්වය රකිනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ලේ එක්ක කරන සෙල්ලමක් වගේ. විහිළුවක් නෙවෙයි යු ටියුබ් එකෙන් බලලා ටැටූ ඉගෙන ගන්න බැහැ. මමත් කැලිෆෝනියාව රෙජිස්ටර් වෙලා ටැටූ ගැන සැහෙනන ඉගෙන ගත්තා. තව ගොඩක් ඉගෙන ගන්නත් තියෙනවා. වෙනස් ටැටූ ආර්ටිස්ට් ලා එක්ක වැඩ කරලා අත්දැකීම් අරගන්න ඕනි. මොකද හැමෝගෙම ස්ටයිල් එක වෙනස්. ඩිමු, රොබී ඕටිස් සහ විකාස් මලානි තමයි මගේ ගුරුවරු. ටැටූ ගැන වගේම නියම විදියට ටැටූ රිමුව් කරන්නේ කොහොමද උපකරණ මොනවා ද කියලත් මන් ඉගෙන ගත්තා. ලබන අවුරුද්දේ ඉදන් ලේසර් වලින් ටැටූ රිමුව් කරන්න පටන් ගන්නත් මන් හිතාගෙන ඉන්නවා. ලගදීම දවසක ලංකාවේ මිනිස්සු ටැටූ ගැන තියෙන තමන්ගේ ආකල්පය වෙනස් කර ගනීවි. ටැටූ කියන්නේ තමන්ගේ ආත්මය තමන් කවුද කියලා ප්‍රකාශ කරන මාර්ගයක්. මට උනත් ගොඩක් නරක කාල ඇවිත් තියෙනව් . ඒ වෙලාවට ටැටූ කරා මට මාව අලුත් වෙනවා මාව ශක්තිමත් වෙනවා ප්‍රශ්නේ ඉවරයි වගේ හැගීමක් දැනෙනවා. ටැටූ තමයි මට ජීවිතය දුන්නේ. මන් දවසක බෙල්ලෙ ඉදන් මගේ යටි පතුල් දක්වා ටැටූ කරන්නත් හිතාගෙන ඉන්නවා