Showing posts with label Wedding Tips. Show all posts

ඇඳුම මහන්න ඕඩර් එක දුන්නට පස්සේ මනාලියන් කරන වැරැදි මෙන්න.


අද ලෝකය වේගවත් ය. ඒ දියුණු ලෝකයත් සමඟින් තාරුණ්‍යයේ හැඟීම් දැනීම් ද වෙනස් වී ඇත. එහෙත් මනාලියක වීමේ සිහිනය සෑම යුගයක ම තරුණියන්ගේ සිත්හි පවතින්නකි. මනාලියක වී පතිකුලයට යන දිනයේ  සැරසෙන මෝස්තර පමණක් කලින් කලට වෙනස් වේ. 

ගවුමෙන් සැරසී මනාලියක වන්නට අද බොහෝ යුවතියන් තුළ ඇත්තේ කැමැත්තක්. ගවුමෙන් සැරසී මනාලියක වන යුවතියන්ගේ සිහින සැබෑ කිරීමට උදවු වන තරුණයෙක් අපට හමු විය. සරසවියේ ඉගෙනුම ලබන ඔහු මනාලියන්ට අවශ්‍ය ගවුම් ආනයනය කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටියි.

නමින් සසිඳු පෙරේරා වන ඔහු සතු දැනුම හා අත්දැකීම් මනාලියක වීමට පෙරුම් පුරන ඔබට මහඟු අත්වැලක් වේවි.

* මනාලියකට ගවුමක් තෝර ගන්නකොට මොනවගේ කරුණු ගැන ද හිතන්න ඕනෙ...

තමන්ගේ ඇඟේ හැඩය, වර්ණය ගැන මූලිකව ම හිතන්න ඕනෙ. ගවුමක් වැඩියෙන් ම ගැළපෙන්නේ උස, සිහින් සිරුරක් තියෙන අයට. ඒත් ඕනෙම කෙනකුට තමන්ගේ ඇඟට ගැළපෙන විදියට ගවුම් තෝරා ගන්න පුළුවන්. ඉස්සර නම් චර්ච් වෙඩින්වලදී තමයි ගවුම් ඇන්දෙ. ඒත් දැන් ගොයින් අවේ, හෝම් කමින්වලදී මනාලියො ගවුම් අඳින්න ගොඩක් කැමැතියි.

ගොයින් අවේ එකකට ගවුමක් ගනිද්දී දෙවැනි මනාලියෝ, මල් කුමාරියො ගැනත් හිතන්න වෙනවා. එයාලගේ ඇඳුම්වලට කොහෙත් ම ගැළපෙන්නෙ නැති වර්ණවලින් ගොයින් අවේ ගවුම තෝර ගත්තම වෙඩින් එකේ උදේ ඉඳන් තිබුණු කලර් බැලන්ස් එක නැතුව යනවා. සමහර මනමාලියො ගවුමක් තෝර ගනිද්දී හිතන්නෙ තමා කැමැති වර්ණයත් තමා කැමැති ගවුම් මෝස්තරයත් ගැන විතරයි. ඒක තමන්ට කොයිතරම් දුරට ගැළපෙනවද කියලා හිතන්නෙ නෑ.

සාමාන්‍යයෙන් ඔයාලා අපහසුතාවට පත් වෙන, ගවුම් මිලදී ගන්න එන මනාලියො කරන වැරැදි මොනවද?

සමහර අය අපිට මාසෙකට විතර කලින් ඇවිත් ගවුම ඇණවුම් කරනවා. ඊට පස්සෙ සැරින් සැරේ ඇවිත් ඒකෙ වෙනස්කම් කරන්න කියනවා. සමහර විට මෙහෙම වෙනස්කම් කරන්න කියන්නෙ එයාගෙම ඕනෙකමටත් නෙවෙයි. යාළුවො, නැදෑයො කියන කියන විදියට. එහෙමත් නැත්නම් වෙන තැනක දැකපු ගවුමක මෝස්තරය තමන්ට ගැලපෙනවද කියලා හිතන්නෙත් නැතුව වෙනස් කරනවා. මෙහෙම කළාම අපිටත් ලොකු පීඩනයක් යටතේ තමයි මේ ගනුදෙනුව කරන්න වෙන්නෙ. අනිත් එක අන්තිමේදී ගවුමත් මුලින් තෝරපු එකට වඩා ගොඩක් වෙනස් වගේම මනාලියට ගැළපෙන්නෙ නැති එකක් වෙන්නත් පුළුවන්.

ගවුමක් අඳින්න තෝරා ගන්න මනාලියකට ලැබෙන වාසි මොනවද?

ගොඩක් සිහින් මනාලියකට සාරියක් ඇන්දත් තමන්ගේ සිහින් බව මකාගන්න හරිම අමාරුයි. ඒත් ගවුමක් තෝරා ගැනීමේ දී සිහින් බව නොපෙනෙන්න තරමක් පිම්බුණු ගවුමක් තෝරගන්න පුළුවන්. එහෙම අයට ගවුම ඇන්දම ගොඩක් ලස්සනයි.

ඒ වගේම ගවුම් ඇන්දම ආභරණ දාන්න වෙන්නෙත් අඩුවෙන්. ගොඩක් මනාලයෝ අඳින්නෙ ෆුල් සූට් එක නිසා මනාලිය ගවුම ඇන්දම එතන හොඳ ගැළපීමක් තියෙනවා.

මනාලියන්ගේ අලුත්ම ගවුම් විලාසිතාව මොකක්ද?

දැන් ටික කාලෙකට කලින් සිරුරේ ප්‍රමාණයට ම තියෙන දිග ගවුම් විලාසිතාව ජනපි‍්‍රය වුණා. ඒත් දැන් වැඩියෙන් ම ජනපි‍්‍රය. පිම්බුණු සාය සහිත ගවුම් විලාසිතාව. මේ ගවුම්වලට බක්‍රම් එකක් අඳින්න ඕනෙ. එතකොට තමයි ගවුම ලස්සනට පිම්බිලා පේන්නේ.

ඒ වගේම කර කපපු විලාසිතාවලට වඩා දැන් ජනපි‍්‍රය හයිනෙක් කර තියෙන ගවුම්. එතකොට මනාලියට ආභරණ පලඳින්න වෙන්නෙත් අඩුවෙන්.

අපේ සංස්කෘතියට අනුව තමන්ගේ සුන්දරම දවස ලස්සන කරගන්න කියල තමයි මම කියන්නේ. මොකද එක එක රැලි ආවට අපි ඒ රැලි පස්සෙම දුවන්න ඕනෙ නෑ. තමන්ට ගැළපෙන, අපේ සංස්කෘතියට ගැළපෙන විදියට ලස්සන ගවුමක් ඇඳලා සුන්දර මනමාලියෙක් වෙන්න හැමෝටම පුළුවන්.

දැන් ඔයාගෙ විස්තරත් කියන්නකෝ... කොහොමද තරුණයෙක් මනාලියන්ගෙ ගවුම් ව්‍යාපාරයක් පටන් ගත්තේ...

මම දැනට මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් තමයි කරන්නෙ. මට ඇඳුම් ඩිසයින් කිරීමේ හැකියාවක් තිබුණා. ඉතිං මම මුලින් ම පාටි ෆ්‍රොක් ඩිසයින් කරන්න පටන් ගත්තා. ඒක වැඩි දියුණු වෙලා තමයි මේ බිස්නස් එක පටන් ගත්තෙ. දැන් මම මනාලියන්ගෙ ඇඳුම් විකුණන ව්‍යාපාරයක හිමිකරුවෙක්. ඉදිරියට මම මේ ව්‍යාපාරය පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔහු අපේ තරුණියන්ටත් ආදර්ශයක් සපයන තරුණයෙක්. තමාගේ හැකියාව මත රැකියාව සපයා ගත් ඔහු අනාගතයේ දී දක්ෂ ව්‍යාපාරිකයකු වීමේ සලකුණු පෙන්වන්නෙකි. ඔහුගේ ගවුම් නිර්මාණවලින් යුතු අලුත් ව්‍යාපාරික ආයතනයක් ඇරඹීම ඔහුගේ බලාපොරොත්තුවයි. එම බලාපොරොත්තුව ඉටු වේවායි “තරුණී” ද මෙලෙසින් සුබ පැතුම් එක් කරන්නීය.

maxifashionhouse (facebook) යන ෆේස්බුක් පිටුවෙන් ඔබට බ්‍රයිඩ්ල් ෆ්‍රොක් විලාසිතා තෝරා ගැනීමටත් පුළුවන්. ඒ වගේම ඔබට මනාලියක වීමට ගවුම් තෝරා ගැනීමේ දී නොමිලේ උපදෙස් ලබා දීමටත් ඔහු සූදානම්.

0112618204/0770876260 යන අංකයෙන් ඔබට ඔහු ඇමතිය හැකියි.


-ලිව්වේ  අයන්ති උඩුගම්පල


Photos චාරිත්‍ර වාරිත්‍රවලට වැඩියෙන් වැදගත්ද?


නව වසරේ මල් මංගල්‍යය සමය උදා වෙලා. සෙනෙහසේ දෑඟිලි බැඳෙන සොඳුරු විවාහ මංගල්‍යයක සිහිනය දකින්න ඔබත් අතැඟිලි ගණිනවා ඇති. පිරූ පෙරුම් පැතූ පැතුම් සැබෑවෙන මේ දිනය හා බැඳි සම්ප්‍රදායික චාරිත්‍ර හා වාරිත්‍රත් බොහෝයි.  

පෙම්වතකු පෙම්වතියකව සිටි ඇය/ඔහු අද යුවතිපතීන් වෙනවා. විවාහයකදී මේ දෙපොළට ලොකු වගකීම් යුතුකම් සමුදායක් භාර වෙනවා. ඒ සියල්ල සාර්ථක කරගත හැකි වනුයේ පෙර කී චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දී කටයුතු කළොත් පමණි. 

විවාහයක් කියන්නේ අර්ථය, ධර්මය, කාමය, මෝක්ෂය යන අංග සතර සම්පුර්ණ වීමයි. සැබෑවටම මිනිසෙක් පරිපූර්ණත්වයට පත් වන්නේ විවාහයෙනි. විවාහයේ රාගය, ආශ්වාදය කියන කාරණා තිබුණත් මිනිසෙක්ට හරි මඟ කියා දෙන්නේ විවාහයෙනි.

සිංහල බෞද්ධ ජන සමාජයේ චාරිතානුකූලව කාන්තාවක් හා පිරිමියෙක් විවාහ විය යුත්තේ එක් වරකි. මේ සඳහා සීහෙන නැකැත් පරීක්ෂාවක් සිදු කෙරේ. මේ උපයෝගී කරගන්නා නැකැත් ශාස්ත්‍රය යුවතිපතීන්ගේ කායික, මානසික සැපය උදෙසාත් අනාගත අභිවෘද්ධිය උදෙසා සියලු බලාපොරොත්තු සපලකර ගැනීමටත් එක හෙළා බලපානු ලැබේ. ඒ නිසාමයි විවාහ මංගල්‍යයකදී “නැකැත” ට මුල් තැන හිමිවනුයේ. එතරම්ම මංගල කටයුත්තේ දී නැකැත ප්‍රබල සාධකයක් වේ.

 තරුණයෙක් හා තරුණියක් විවාහයකට මුණ ගැසෙන විධි දෙකකි. එකක් පේ‍්‍රම සම්බන්ධතාවක් මඟින් විවාහ වීම, අනෙක යෝජිත විවාහයයි. මේ කුමන එකක් වුවත් මුලින්ම විවාහ අපේක්ෂිත දෙදෙනාගේ ජන්ම පත්‍ර පරීක්ෂාවක් සිදු කරනවා. සුදුසු දිනයක් තෝරා ගැනීමේ දී එදින දෝෂ නැති නැකැත් ඇති දිනයක් විය යුතුයි. එනම්, ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්‍යාධි, සාධක, වද, මෛත්‍රී, පරම මෛත්‍රී යන නැකත්වලින් සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී නැකත් සුබ ලෙස දෙදෙනාටම ගැළපෙන සේ ගන්නවා.

මේ අයුරින් බලන කල විවාහ මංගල්‍යයක මුල්ම නැකැත වන්නේ “නැකැත් පත්‍රය පිළිගැන්වීමයි.” එහි අයිතිය ඇත්තේ මනාලයාගේ පාර්ශවයටයි. මේ නැකැත් පත්‍රය කවි කොළයක ලියා මනාලියගේ නිවෙසට භාර දීමත් චාරිත්‍රයකි. එහිදී ඒ නැකැත අක්ෂර වින්‍යාසය ශබ්ද නගා කිව හැකි යහපත් චරිතයකින් යුත් වැඩිහිටියකු දෙපාර්ශවයටම ඇසෙන්නට කියවිය යුතුය. මෙය නැකත් ගෙන යාමේ චාරිත්‍රය ලෙස ද සැලකේ.

ඊළඟ නැකැත උදා වන්නේ “මංගල්‍යයට බුලත් දීමටයි” එය නැකැත් ආරාධනා යනුවෙන් ද හඳුන්වයි. මනාලියගේ මව සහ පියාත් මනාලයාගේ මව සහ පියාත් තම තමන්ගේ පාර්ශවයේ තෝරා ගත් පුද්ගලයකුට නැකතට බුලත් දීමේ චාරිත්‍රය සිදු කරයි. මෙය දෙපාර්ශවයම එක් දිනක සුබ නැකැතකට සිදු කරනවා නම් වඩාත් සුබයි. නැකැතට බුලත් දීමේ චාරිත්‍රයට තෝරා ගනු ලබන පුද්ගලයා විවාහ වී සැමියා හෝ බිරිය ජීවත් ව සිටින දරු මුනුබුරන් ඇති යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නකු විය යුතුය. තවද මානුෂික ගුණදම් ඇති, කාරුණික ප්‍රසන්න පුද්ගලයකු, ප්‍රසිද්ධියක් දරන්නකු වගේම ඔබට ළෙන්ගතු වන්නකු වීමත් විශේෂයි. ඔබේ සාර්ථකත්වය ඔහු/ඇය එක හෙලාම ප්‍රාර්ථනා කරන්නකු විය යුතුයි.

ඉන්පසුව උදා වන්නේ “තෙල් තාච්චි ළිප තැබීමේ” නැකැතයි. සුබ හෝරාවක් බලා යහපත් ආකාරයට මේ කර්තව්‍ය සිදු කළ යුතුය. අම්මා, නැන්දා විසින් තෙල් තාච්චිය ළිප තැබීමේ චාරිත්‍රය සිදු කරයි. කැවුම් ඉවීමෙන් ඇරඹෙන මේ චාරිත්‍රයේ බලාපොරොත්තුව මංගල්‍ය පුරාවට කෑම බීම හිඟයක් ඇති නොවී බව භෝගයෙන් පිරී කිසිදු අඩුවක් නොමැතිව මංගල්‍ය කරගැනීමට හැකි වීමයි. “බල සුබ නිමිති පෙර මඟ” අරුත් ගන්වන්නේ මෙයමයි.

 දැන් මංගල දිනයයි. එදින මනාලියට මංගල ඇඳුම ඇන්දවිය යුත්තේ සුබ නැකැතකිනි. ඇය මනා... ලියක් වන්නේ මඟුල් වස්ත්‍රයෙනි.

මඟුල් වස්ත්‍රය වන්නේ තැල්ල හෝ වේල් එකයි. මෙය හරිහැටි නොදන්නා අය මනාලියගේ සාරිය හෝ යට ඇඳුම් නැකැතට අන්දවයි. එහෙත් එය නිවැරැදි නොවේ. ඇය මනාලිය වන්නේ කුමකින් ද එය මඟුල් වස්ත්‍ර පැලඳවීමේ නැකැතයි. මෙම චාරිත්‍රය මනාලියගේ මව විසින් සිදු කරයි. තම දියණිය නිවෙසින් පිටවන දා ලස්සනට හිඳීමත් ඇය වෙනත් ගෙදරක සිරි දෙව්දුව වීමට හැඩ කිරීමත් මෙම චාරිත්‍රයේ අරමුණයි. මනාලයාගේ මංගල වස්ත්‍රය වන්නේ පලඳන මල හෝ මුල් ඇඳුමයි. මනාලියට හා මනාලයාට මංගල වස්ත්‍රාභරණ ඇන්දවීමේ දී තුන් සුත්‍රය ශබ්ද නගා කීම හෝ ඇසෙන්නට සැලස්වීමත් සිදු කිරීම සුබ ගෙන දේ.

මනාලියත් මනමාලයාත් තම තමන්ගේ නිවෙස්වලින් පිටවීමට පෙර “කෑම මේසය ඉඳුල් කරනු ලැබේ. එය ඔවුන් දෙදෙනා හෝ මව, පියා විසින් සිදු කළ යුතුයි. නැතිනම් පිරිසුදු, චරිතවත් ඔවුන්ට ළැදියාවක් ඇති අයකු “මංගල මේසය ඉඳුල් කළ යුතු වේ.” මංගල්‍ය පුරාවට ඥාති සංග්‍රහය පී‍්‍රතිමත්ව අඟ හිඟකමින් තොරව කරගන්නට ලැබීම ඉන් අපේක්ෂා කෙරේ.

මනාලිය හා මනාලයා තම නිවෙස්වලින් පිටවීම පිටත් වීමේ නැකැතින්, සිදු කෙරේ. එම හෝරාවේ චන්ද්‍රයා 8, 12 නොසිටි යුතුය. ගුරු, සිකුරු හෝරාව සුබයි. විශේෂයෙන් ගුරු හෝරාව සුබ ගෙන දේ.

“පෝරුවේ මස්තකාරූඪ” කිරීමේ නැකැත මංගල්‍යයේ ප්‍රබල නැකැත් අතරින් එකකි. දෙවියන් ඉදිරියේ යුවතිපති බැම්ම ඇති වන්නේ පෝරුවේ චාරිත්‍රයෙනි. නියම විවාහයක් ලෙස ගැනෙන්නේ පෝරුවේ චාරිත්‍ර ඉටු කළ විවාහයකි. යශෝදරා සිද්ධාර්ථ පෝරුමස්තකාරුඪ වීම පටන් අද දක්වාම පෝරුව පැවත එනු ඇත. පෝරුවේ චාරිත්‍ර සිදු කිරීම සඳහා හොඳ පවුල් ජීවිතයක් ගත කරන, පංච ශීලය රකින, ධාර්මිෂ්ඨ, ආධ්‍යාත්මික ගුණ සපිරි, මත් පැන්වලින් තොර පුද්ගලයකු තෝරා ගත යුතුයි. ඔහු විසින් අෂ්ඨක සියල්ලක්ම ගායනා කළ යුතු වේ. මනාලියත් මනාලයාත් දේවත්වයට පත් කිරීම පෝරුවේ චාරිත්‍රයේ දී සිදු කෙරේ.

මෙහිදී මනාලියත් මනාලයාත් නැකැතට පෝරුවට නැග්ගවීම මාමාවරුන් අතින් සිදුවේ. පෝරුවෙන් බැසීමේ නැකැතේ දී මනාලියගේ මාමා විසින් පොල් ගෙඩිය බිඳිනු ලබයි.

මංගල පහන් දල්වා මංගල කේක් කපා අවසන්ව “නීත්‍යානුකූල විවාහය අත්සන් කිරීමේ” නැකැත උදා වේ. මීළඟට දෙපාර්ශවයේ නැදෑයින් හිතවතුන් හඳුනා ගැනීම සිදු කෙරේ. අනතුරුව ඥාති සංග්‍රහය සිදු වේ. මනාලියත් මනාලයාත් යන දෙදෙනාම එක් අයකු වී “පිටත් වී යාමේ” නැකැතයි ඊළඟට උදා වන්නේ. කිසිදා වෙන් නොවෙනා ප්‍රාර්ථනයෙන් දරු මල්ලො හදාවඩා ගෙන පරම්පරාව ඉදිරියට ගෙන යන්නට මේ නැකත සුබ විය යුතුය. බ්‍රහස්පති, ගුරු, සිකුරු, චන්ද්‍රයා යන නැකැත්වලින් පිටත්වීම සුබය.

 විවාහ මංගල්‍යයක බැලිය යුතුම නැකැත අද බොහෝ දෙනා අතින් මඟ හැරී යයි. එනම් “සයන නැකැතයි”. ධර්පදාන නක්ෂත්‍රයට අනුව සෑදෙන මේ නැකැතින් මනාල යුවළ අඹු සැමියන් සේ එක්වීම සිදු විය යුතුයි. එය සිකුරු හෝරාවේ හෝ චන්ද්‍රයා + සිකුරු හෝරාවේ නම් ගැහැනු දරුවන් ද ගුරු හෝරාවේ නම් පිරිමි දරුවන් ද ලබයි. අඹු සැමි යුවළට කායික, මානසික සම්පත්තිය පිහිටවීම මේ නැකැතින් සිදු වේ.

දෙවැනි ගමනේ දී මනාලිය අලුත් ඥාති පිරිසක් වෙත යයි. නැන්දම්මා සහ මාමණ්ඩිය සමඟ සමගියෙන් සතුටින් සිටිය හැකි නැකැතත් ඒ සඳහා තිබිය යුතුයි. මේ සඳහා අවස්ථානුකූලව තත්කාලය බැලිය යුතුවේ. මනාලයාගේ මව චන්ද්‍රයාගෙනුත් පියා රවි ග්‍රහයාගෙනුත් නියෝජනය කෙරේ. මේ සියල්ලට ගැළපෙන සේ “මනාලිය මනාලයාගේ නිවෙසට කැන්දාගෙන ඒමේ” නැකැත සැකසිය යුතුයි.

 අද දවසේ මංගල්‍යකදී ඇඳුම් පැලඳුම්, ඡායාරූපකරණයට මුල්තැන දුන්නත් යහපත් යුග දිවියකට වඩා වටින්නේ සම්ප්‍රදානුකූල නැකැත් හා සිරිත් විරිත්ය. මේ වැටහීම තිබුණොත් හොඳ විවාහ මංගල්‍යයක අසිරිය ඔබටත් ලැබේ.

උපදෙස් - ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී
චින්තා වික්‍රමසිංහ 

බඳින්න මාස 16 යි! - Plan your wedding with SHII.


විවාහයක් කරගන්න යද්දී දැන් කලාවක් බවට පත් වෙලා තියෙන්නේ Event Planning කරන ආයතනයකට මේ සියලු වැඩ කටයුතු බාරදීලා, එදාට ගිහින් දෙයියනේ කියලා ගිහින් 'කසාදේ' කරගෙන එන එකයි. හැබැයි විවාහය කියන්නේ ඔබේ ජීවිතේ වැදගත්ම දවසනම් එදා දවස ඔබ ඔබට උවමනා විදිහට සැලසුම් කරන්න. Event Planner කෙනෙක්ගේත් අදහස් අරගෙන ඔබට වුවමනා ඔබ කැමති විදිහට වැඩේ කරන්න එයාලට බාරදෙන්න.

එහෙම නැතුව කවදාවත් එයාලට උවමනා විදිහට තමන්ගේ විවාහය කරන්නෙපා. හැබැයි කෙනෙක් හිතනවනන් ඒ ගැන තමන්ට කිසිම අවබෝධයක් නැහැ කියලා - මෙන්න එකට හොඳම උදවුව 'SHII' අපෙන්. හේතුව - ඔබ ඔබම නිසා.

Wedding එකට මාස 16 - 9 ත් අතර කාලය 

  • විවිධ මාතෘකා ගැන ලියවුනු Magazine එහෙම කියවන්න. - මේවා Wedding සම්බන්ධ ඒවම වෙන්න ඕනේ නැහැ. ගැහැනියක් විදිහට පුංචි පුංචි සුන්දර දේවල් එකතු කරගන්න පුළුවන් වෙයි.

  • වියදම (Budget) තීරණය කරන්න - ණය වෙලා කසාද බඳින්න වෙන්නේ මෙහෙම එකක් නැති උනාම තමයි.

  • ආරාධනා කරන ලැයිස්තුව අනුමාන කරන්න - බොහෝ දෙනෙක් හිතන්නේ මේක අන්තිමට කරන්න. හැබැයි ඉස්සෙල්ලම හිතන්න තමන් ආරාධනා කරන්නේ කාටද කියලා මොකද විවාහ උත්සවය සැලසුම් කරද්දී ඔයාට බහුතරයක් සහභාගී වෙන්නේ මොන වගේ අයද කියන එක වැදගත් වේවි.

  • ආරාධිත ලැයිස්තුව හදන්න - VIP අය, නෑදැයෝ, මිත්‍රයෝ අත්‍යවශ්‍ය හැම කෙනෙක්ම එක්ක කලින් ඔයා අනුමාන කරපු Target එකට අනුගත වෙලාම වැඩ කරන්න බලන්න. හේතුව වැඩි වෙන හැම කෙනාම ඔයාගේ සාක්කුවේ හිල වැඩි කරන නිසා.
  • Wedding Planner කෙනෙක් හොයාගන්න - මේ ඇයට පුළුවන් ඔයාට ගත කරන්න වෙන කාලය අඩු කරන්න වගේම පිළිවෙලට හැමදේම ලෑස්ති කරලා දෙන්න. ඒ විතරක් නෙවි ඔයාලට හොඳම වට්ටම් හොයල දෙන්නත් එයාලට පුළුවන් වේවි. මේ අය තෝරාගනිද්දී  නමට වැඩ එයාලට ඔයාගේ බලාපොරොත්තු තෙරුන් ගන්න පුළුවන් ප්‍රමාණය මත තීරණය ගන්න.

  • තැන සහ වේලාව තීරණය කරන්න. - අවුරුද්දකට කලින් කොහොමත් ලංකාවේ hotels වෙන් කරගැනීම නුවණට හුරුයි. වේලාව කෙමති ඕනෑම විදිහකට ඔයාලගේ සංස්කෘතිය අනුව තීරණය කරගෙන ඔයාලගේ plannerට කියන්න.

  • Photographers, Bands, Florists වගේ දේවල් හොයන්න - මෙතැනදී ඔයාලට විශාල සහයක් දෙන්න ඔයාගේ plannerට පුළුවන්. හොඳම මිල ගණන්වලට එයාලත් එක්ක එකතු වෙලා ඔය කැමති දේ තෝරාගන්න.
මාස 9ක් වෙනකන් ඔයාට ඔයාගේ planner එක්ක එකතු වෙලා මේ වැඩ කොටස කරන්න පුළුවන්. ඊට පස්සේ ටික ටික දින ලං වෙනකන් කිසි කලබලයක් නැතුව, හිතේ නිදහසේ ඔයාට ඉතුරු හැමදේම සැලසුම් කරන්න පුළුවන්.

කිසි දෙයක් අඩු නැතුව ඉතුරු මාස 9 ගැනත් අපි ඊළඟ ලිපි පෙළින් ඔයාට කියලා දෙන්නම්.


අනුෂි හක්මනගේ  



කොහොමද සාරියක් හරියට අදින්නේ?


අපි දන්නවානේ fashion ලෝකෙට හැමදාම වගේ අලුත් විලාසිතා එකතු වෙනවා කියලා. කොච්චර විලාසිතා වර්ග එකතු වුනත්, ලංකාවේ අපිට නම් "සාරි විලාසිතාව" එපා වෙන්නේ නෑ නේද? විශේෂ උත්සව වලට, කාර්යාලයේ විශේෂ දිනයන් වලට, අපේ තරුණියන් සාරියකින් සැරසෙන්න ගොඩක් කැමතියි කියලා අපි දන්නවා. හැබැයි, අද කාලේ ඉන්න ගොඩක් ගෑණු ළමයි කොහොමද සාරියක් අදින්නේ කියලා හරියට දන්නේ නෑ. ඉතින් ඒක නිසා අපි හිතුවා, "කොහොමද සාරියක් අදින්නේ" කියලා ඔයාලට කියා දෙන්න. 

සාරිය අදින්නට පෙර, අවශ්‍ය කරන සියල්ල ලං කරගෙන ඉන්න එක ඔයාලට ලේසියි. 

අවශ්‍ය දෑ: සාරි හැට්ටය, සාරියට අදින යට සාය, සාරියට පළදින සපත්තු, ආභරණ. කොණ්ඩ මෝස්තරයට අවශ්‍ය දෑ, බොබී පින් සහ අනෙකුත් කටු

සාරියක් ඇඳීමේ පියවර: 

පියවර 01: මුලින්ම සාරි හැට්ටය සහ යට සාය ඇඳ ගන්න. (මෙහිදී, සාරි හැට්ටය ඔයාගේ ඇගට හරියට match වෙන්න ඕනා වගේම, යට සාය ඔයාගේ සාරි එකේ පාටට match වෙන්න ඕනි.යට සායද හොදින් හිර වෙන්න ඇද ගන්න.) 

පියවර 02: සාරිය අදින්න කලින්, ඔයා සාරියට පළදින්න ඉන්න සපත්තු දෙක පැළද ගන්න. සාරියේ උස ප්‍රමාණය දැන ගන්න ඒක ගොඩක් වැදගත්.

පියවර 03: දැන් සාරියේ කොණකින් අල්ලා, සාරි පොටට එන මෝස්තරය කොයි පැත්තේද කියලා හොදින් බලා ගන්න. 

පියවර 04: දැන් "සාරි පොටට එන පැත්ත නොව සාරියේ අනිත් කොණ (උඩ කොණ)" ගෙන ඔයාගේ යට සායේ දකුණු පැත්තට වන්න හොදින් ගසා ගන්න. ඉන්පසු එක්වරක් සාරිය ඔයාගේ ඉනවටා ඔතා ගන්න (එයද ඉනට හොදින් fix කර ගන්න). 

පියවර 05: නැවත වරක් සාරිය ඉනවටා ඔතා ගන්න (නමුත් මෙවර එය ඉනට ගසා ගන්න එපා). ඒ වගේම සාරියේ පොටට එන කොටස දැන් ඔයාගේ වම් උරහිසට දමා ගෙන ඔයාට අවශ්‍ය උසට සාරි පොට ගෙන එය උරහිසෙන් fix කරගන්න (ඔයාට කැමති නම් සාරියේ පොට රැළි කල හැකියි, නැත්නම් සාරි පොට කඩා වැටෙන්නත් දැමිය හැකියි). 

පියවර 06: උරහිසෙන් සාරි පොට ගසා ගත් පසු, එතැන් පටන් ඉනට වනතෙක් සාරිය අවශ්‍ය පරිදි ගෙන, ඉනේ මැදට අඟල් 3-4ක් වමට වෙන්න, සාරි රෙද්ද ඇඟට හොදින් තද වන ලෙස ගසා ගන්න. 

පියවර 07: දැන් සාරියේ ඉතිරි වී තිබෙන මැද කොටසින්, අවශ්‍ය සාරි රැළි ටික (සාරි රැළි 5-6ක් පමණ) සාදා ගන්න. 

පියවර 08: දැන් රැළි ටික හොදින් ඉනට ගසා ගන්න. 

පියවර 09: දැන් සාරියට ගැළපෙන සේ අවශ්‍ය ආභරණ, make-up දමා ගන්න. 


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



විවාහ ගිවිසගන්න රතු රෝසමලින් හැඩ කළ හදවත්.

විවාහ ගිවිසගන්න රතු රෝසමලින් හැඩ කළ හදවත්.

කේක් එක හැඩකරන සුදු හංස යුවළ හරිම අපූරුයි. ඒකටම එකතු වුණු රෝස මල් කලඹ නිසා කේක් එකට නවතාවයක් එක්වෙලා. ඒ වගේමයි මෙහි තිබෙන සරල සුන්දරත්වය මේ කේක් ආකෘතිය විවාහ ගිවිස ගන්නා දිනකට නම් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය -
ෆොන්ඩන්ට් අයිසිං කිලෝ 3 ක්
රෝයල් අයිසිං ග්‍රෑම් 500 ක්
අඟල් 5 ක් උස අඟල් 8, 12, 16 ප්‍රමාණවලින් හාට් හැඩැති ඩම් 3 ක්

සාදන ක්‍රමය

පළමුව ඩමි තුන ගෙන ෆොන්ඩන්ට් අයිසිං මඟින් කවර් කරගන්න. ඉන්පසු මෙහි උඩම තට්ටුව ඡායාරූපයේ පරිදි මැදින් වෙන්කරගන්න. දැන් එසේ වෙන්කරගත් කොටස් දෙක අතරට රතු පාට පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් රෝස මල් කීපයක් රඳවාගන්න. මෙහි උඩින්ම දැක්වෙන හංසයින් දෙදෙනා පාච්මන්ට් අයිසිංවලින් සකසා ගත යුතුයි. දැන් රතු පැහැති පාච්මන්ට් අයිසිං ගෙන කඹයක් ආකාරයට සාදා උඩම ඩමියෙහි වටේට තබාගන්න. (හංසයින් දෙදෙනා මැදිවන ලෙසට)

ඉන්පසු උඩම ඩමියෙහි වටේට රතු පැහැති පාච්මන්ට් අයිසිංවලින් කටර් භාවිතකර කපාගත් හාට් අලවා අලංකාර කරගන්න. දැන් දෙවැනි ඩමියෙහි මැදින් දමා ඇති රතු පැහැති මෝස්තරය දැමීම කලර් ෆ්ලෝ ක්‍රමයට කළ යුතුයි.

එහිදී පළමුව මෝස්තරය ඩමියට පිටපත්කර ඒ වටේට රතුපාට රෝයල් අයිසිං භාවිතකර නොම්බර 3 නොසලයෙන් එම මෝස්තරය මත ඇඳගන්න.

දැන් එලෙසින් දැමූ අවුට් ලයින් එක පින්සලක් භාවිතකර එම මෝස්තරය මැදට එන සේ ෂේඩ් කරන්න. පසුව එම ඩමි එක වටේටම රෝයල් අයිසිංවලින් නොම්බර 2 හෝ 3 නොසලය භාවිතකර සෝටා මෝස්තරය දමාගන්න.

පහළ ඩමියෙහි ද එම මෝස්තරය ඒ ආකාරයටම දමාගත යුතුය. දෙවැනි හා තෙවැනි ඩමි දෙක අතරට රතු පාට රෝයල් අයිසිං භාවිතකර සෝටා මෝස්තරය දමාගන්න.

මෙම කේක් එක තැබීමට භාවිත කරන බේස් බෝඩ් එක මත ද එම මෝස්තරය දමා ගත හැකියි.


මෙම කේක් සාදා ගැනීමේ දී ගැටලුවක් ඇතිවුවහොත් 0778340411 අංකයෙන් ශිල්පිනිය ඇමතිය හැකිය.

  • උපදෙස් - කේක් නිර්මාණ ශිල්පිනී නදීකා දිල්රුක්ෂි.
  • නදී කේක් ක්‍රියේෂන්, ගොරකාන, මොරටුව.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....