Showing posts with label featured. Show all posts

පියුමිලාගේ ප්‍රශ්නය...


පියුමි හංසමාලිට පහරදීමට එරෙහිව අප ක්‍රියා කළ යුත්තේ කාන්තා හිංසනයටත් වඩා රටේ නීතියට එරෙහිව මානව හිංසනයේ යෙදීම සම්බන්ධවයි. එය කරපු උන් කවුරු වුවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පියුමිගෙ අවසරය අවශ්‍ය නෑ. එම අපරාධකරුවන්ට එරෙහිව අප ක්‍රියාත්මක විය යුත්තේ හුදෙක් පියුමිව බේරා ගැනීමට වඩා එහා ගිය රටේ නීතිය,සාමය සහ ශිෂ්ඨත්වය පවත්වාගැනිම උදෙසා ප්‍රචණ්ඩ සමාජයක් ව්‍යාප්තවීමට එරෙහිව වඩා පුළුල් අරමුණකින්. ඒ් අනූව පියුමි එපා කීයන්නේ නම් ඊට සහයෝගය දීම සම්බන්ධයෙන් ඇයවත් අත්අඩංගුවට ගත යුතුයි ! අපි ඒ් සිද්ධිය දැකිය යුත්තේ පියුමිගේ දෘෂ්ටිකෝණයට වඩා පුළුල් දෘෂ්ටිකෝණයකින්. 

නැවතත් මෙය ද හුදකලා සිදුවීමක් නෙමෙයි, ආබාධිතයින්ගේ ඉඳන් රැග් නමින් විශ්ව විද්‍යාල තුල සිදුවන හිංසනය දක්වාත් තවත් සමාජයේ ඉහලින් සිටින බලපුලුවන්කාරයින් බලයෙන් අඩු පහල ස්ථරවල සිටින මිනිසුන් මතත් මේ විදියටම ප්‍රසිද්ධියේ ප්‍රචණ්ඩත්වය මුදවා හිරින අතර ඒ්වා දැන් නීතිය ඉදිරියට ගෙනියන්නැති තරමට අපේ සංස්කෘතියේ අංගයන් වෙලා.

අවසානයේ පියුමි කියලා තිබ්බා තමාට පහරදුන් තම 'ආදරවන්තයා'ව නීතිය ඉදිරියට ගෙනියන් නැතිව හිත හදාගෙන නිහඬව ඔහුගෙන් ඉවත් වීමට තීරණය කළේ ඔහු ඇයට විවිධ උදව් උපකාර කරමින් ඇයව බලාගත්ත නිසා වැනි කතාවක්. මේක තමයි පිරිමි ග්‍රහණයට හසුවුන බොහෝ කාන්තාවන් අවසානයේ කියන්නේ. විශේෂයෙන් සාමාන්‍ය පන්තියේ කාන්තාවන්ගේ විශ්වාසයක් තියෙනවා සහ ඔවුන්ව නිර්මාණය කරල තියෙන්නේම පිරිමියෙකුගේ රැකවරණය ආරක්ෂාව නැතුව ස්වාධීනව යැපෙන්න පවතින්න බෑ කියලා. මේ නිසා තමයි ගැහැණියට විශාල වන්දියක් ගෙවන්න වෙලා තියෙන්නේ. කසාද බැන්දා හෝ නොබැන්දා පිරිමියෙකු හා ආදරයෙන් බැඳෙන්නත්, ලිංගිකව එකතු වෙන්නත් ඔහුගේ පාලනය යටතේ යැපෙන්න අවශ්‍ය නැති බව ‘පියුමිලා’ ඉගෙන ගත යුතුයි. සම්බන්ධයක් පැවතිය යුත්තේ ඊටවඩා සහජීවනයක් මතයි. බොහෝ විට පිරිමියාට ක්‍රමයෙන් තම ගැහැණිය මත ප්‍රචන්ඩත්වය මුදවාහරින්ට අවකාශ ලැබෙන්නේ මේ පාලනයට දෙන අවසරය හරහායි. පියුමිව හසුරවන්න හා පාවිච්චි කරන්න ඔහු පටන් ගන්නේ මෙතන්ට එන්ඩ බොහෝ කාලයකට පෙරයි.

පියුමිගෙ සිද්ධිය සම්බන්ධයෙන් මේ සමාජජාලා වල විශාල පිරිසක් පියුමිට එරහිව ඕකිට ඔහොම වෙලා මදි වැනි ලෙස අදහස් ප්‍රකාශ කරල තිබුනා. පොදුවේ, ඔවුන් කියන්නේ පිරිමියාට තියෙන ලිංගික හෝ සමාජ නිදහස එයාකාරයෙන්ම ගැහැණියට නොතිබිය යුතු බවත් පිරිමියා සේම ඒ නිදහස භුක්ති විඳින ගැහැණිය වේසාවියක් බවයි. එවැන්නියකට ඔ්නෑම පහත් ආකාරයකින් සැලකුවාට කමක් නැති බවයි. මේ අප අනේක වාරයක් කතා කරලා තියෙන අතිශය සම්මත පිරිමි අදහස බැවින් ඒ් ගැන මෙතන නැවත වරක් විවේචනය කිරීම අනවශ්‍යයි. දැනට අපේ පාසල්වල හොඳ ගැහැණු ළමයෙක් ඉන්න ඔ්නෙ විදිය ලෙසට උගන්වන වික්ටෝරියානු සදාචාරයට අනූව තමයි මේ පියුමිගේ පිරිමියා ඇයට පහර දුනනේත් එය අනිත් බොහෝ පිරිමි දැක්කේත්. නමුත් ඒ් පිරිමි අදහසට එරෙහිව අපගේ කෝපය හා විරෝධයට වඩා එහා ගිය පිළිතුරක් අවශ්‍යයි. එනම් පුලුල් සමාජ සංශෝධනයක් අවශ්‍යයි. එය ආරම්භ කිරීමේ හොඳම තැන ලෙසට අපට යෝජනා කරන්න තියෙන්නේ ඉතාම කුඩා කාලයේ සිට, විශේෂයෙන් පාසල් අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදී අදහස් ඉගැන්විය යුතු බවයි. විශේෂයෙන් අධ්‍යාපනය තුලට ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender Studies) පිලිබඳ අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. ඊට අනූව සදාචාරය සංස්කෘතිය හා ගැහැණිය දෙස බලන ආකාරය ගැන අවබෝධයක් සහ අභ්‍යාසයක් ගුරුවරුන්ටද ඇතුලුව ඉතාම කුඩා කාලයේ සිට පිරිමි ගැහැණු සියල්ලටම ලබා දියු යුතුයි.

- ධනංජය කරුණාරත්න

කාන්තා කෝච්චි පෙට්ටියේ නෑසුණු කතන්දර...


ලෝක කාන්තා දිනයට සමගාමීව කාන්තාවන් උදෙසා විශේෂ වැඩ සටහන් රැසක් ශ්‍රී ලංකාව පුරා ද ක්‍රියාත්මක විය. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කාගේත් අවධානය යොමුවූයේ ප්‍රධාන කාර්යාල දුම්රිය හතක කාන්තාවන් වෙනුවෙන් එක් කාන්තා මැදිරියක් බැගින් වෙන් කිරීමයි.

කාන්තා දුම්රිය මැදිරි වෙන් කිරීම ඇරැඹීමේ ඉතිහාසය අදින් වසර ගණනක් ඈතට දිව ගිය ද කල් යත්ම එය ක්‍රමයෙන් අභාවයට ගොස් ඇත. එහෙත් අදටත් සමුද්‍රදේවී දුම්රියේ එක් මැදිරියක් වසර ගණනක සිටම කාන්තාවන් වෙනුවෙන් වෙන්ව පවතී. එහෙත් අනෙක් ප්‍රධාන කාර්යාල දුම්රියන් හි එලෙස වෙන් කොට නැත.‍ පොදු ප්‍රවාහන සේවයේ යෝධයා ‍වන දුම්රිය සේවය එලෙස නව මුහුණුවරකින් කාන්තාවන් වෙනුවෙන් දුම්රිය මැදිරි වෙන් කිරීමේ සද්කාර්යය පිළිබඳ සමාජයේ පැසසුම් මෙන්ම ගැරහුම් ද ලැබෙන මොහොතක කාන්තා දුම්රිය මැදිරියක ගොස් ඒ ගැන අදහස් විමසා බලන්නට අපි කටයුතු කළෙමු.

විශ්‍රාමික විදුහල්පතිනියක වන නාගේන්ද්‍රන් මහත්මිය මාතලේ සිට නිතර කොළඹ පැමිණෙයි.

“ප්‍රධාන කාර්යාල දුම්රියවල කාන්තා මැදිරියක් වෙන් කිරීම ගැන මම සතුටු වෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේ කර තිබෙන්නේ කාලෝචිත වැඩක්. අද අපි මාධ්‍ය මඟින් නිතර දෙවේලේ කාන්තාවන්ට සිදු වන හිංසා පීඩා අහනවා. දකිනවා. විශේෂයෙන්ම මඟතොටේදී තමයි මේ දේවල් සිදු වෙන්නේ. දුම්රියේ ගමන් කරන්නේ හුඟක් වෙලාවට දුර සිට සේවයට වාර්තා කරන කාන්තාවන්. ඔවුන්ට ආරක්ෂාකාරීව වගේම පහසුවෙන් යුතුව කාන්තා මැදිරියක ගමන් කරන්නට හැකියාව ලැබෙනවා. කාර්යාල කෝච්චිවල වගේම සෑම කෝච්චියකමත් කාන්තා මැදිරියක් වෙන් කරනවා නම් එය සතුටක්. “ නාගේන්ද්‍රන් මහත්මිය පවසන්නේ එලෙසිනි.

සිරියලතා මදනායක මහත්මිය බත්තරමුල්ල සෙත්සිරිපායේ සේවයේ නියුතු වෙයි. ඇය වසර ගණනාවක සිටම දිනපතා මීරිගම සිට කොළඹට පැමිණෙන්නේ ද කොළඹ සිට මීරිගම බලා යන්නේ ද දුම්රියෙනි.

“කාන්තාවන් වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තා මැදිරි වෙන් කිරීම ගැන සතුටුයි. ඒත් යම්යම් දුර්වලතා තිබෙනවා කියා පෙනෙනවා. එකක් තමයි කාන්තා මැදිරිය බැලූ බැල්මට හඳුනා ගන්න අපහසුයි. එනිසා පිරිමි අය මේ මැදිරියට නොදැනුවත්ව ගොඩ වෙන අවස්ථා තිබෙනවා. එය කාටත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වන විදිහට පාටකින් හෝ යම් සලකුණකින් හෝ දක්වා තිබෙනවා නම් එය පහසුවක් වෙනවා. දෙවැනි සෙට් එකේ තමයි කාන්තා මැදිරිය තිබෙන්නේ.

දුර යන කාන්තාවන්ට නම් සාමාන්‍ය මැදිරිවල ගමන් කරන විට පිරිමියෙක් හෝ මඟදි නැගිටල ඉඩ දෙනවා. ඒ විදිහට මඟදි සීට් එක ෂෙයාර් කර ගන්නවා. එත් කාන්තා මැදිරියේදී එහෙම තියා දරුවෙක් කුසේ දරාගෙන ඉන්න ගැබිනි මවකටවත් සීට් එකක් දෙන්නේ නැහැ. මේ ළඟ දි දවසක ගැබිනි මවක් කාන්තා මැදිරියට ගොඩ වුණා. ඇයට කවුරුත්ම සීට් එක දුන්නේ නැහැ. කාන්තාවන් පිරිසක් ඒ අම්මට කියලා තියෙනවා ‘බබා ලැබෙන්න ඉන්න හින්දා එක්සසයිස් එකටත් එක්ක හිටගෙන යන්න‘ කියලා. එවිට එතැන සිටි තවත් කාන්තාවන් පිරිසක් ඔවුන්ට දොස් කියලා.“

කාෆ්රා අපට කොටුව දුම්රිය ස්ථානයේදී හමු වූ කාන්තාවක්. ඇයගේ පදිංචිය දෙහිවල. කාර්යාල සේවය නිමවා නිවෙසට යෑමට දුම්රියට නැඟීමට සිටිද්දියි ඇයව අපට හමුවුණේ.

“කාන්තාවන් වෙනුවෙන් මැදිරි වෙන් කිරීම ඉතා හොඳ පියවරක්. කාන්තාවන්ට කරදරයකින් තොරව ආරක්ෂිතව තමන්ගේ ගමන පාඩුවේ යන්න පුළුවන්. තවම මේ මැදිරි දාලා ලොකු කාලයක් ගත වෙලා නැහැ. මමත් කැමැති කාන්තා මැදිරිවල ගමන් කරන්න තමයි. තවම මේ මැදිරිවල විශාල තදබදයක් නැති වුණත් සැලකිය යුතු කාන්තාවන් පිරිසක් එනවා. යනවා. ඉදිරියේදී මේ මැදිරි කාන්තාවන්ගෙන් පිරී යාවි කියා හිතෙනවා.“

ඇය අපෙන් සුමගනිද්දී මහව බලා පිටත්ව යාමට නියමිත දුම්රිය දෙවන වේදිකාවට පැමිණියේය. බොහෝ කාන්තාවන් තමාගේ ජායාරූප ලබා ගන්නවාට අකමැත්ත ප්‍රකාශ කළ බැවින් ඔවුන්ගේ නම් පමණක් යෙදීමට අදහස් කළෙමු.

වසර තිහකට ආසන්න කාලයක සිට දුම්රියේ ගමන්කරන කොළඹ කොටුවේ ප්‍රධාන කාර්යාලයක සේවිකාවක වන ඉන්දු පෙරේරා ප්‍රකාශ කළේ, දුම්රියේ සේවයට පැමිණෙන ඇයට අත්දැකීම් රැසක් ඇති බවයි.

“කාන්තාවන්ට තරුණ ගැහැනු ළමයෙකුට තියා වැඩිහිටි කාන්තාවකට වුවත් දුම්රියේ දි සිදුවන හිරිහැර වැඩියි. ඒ නිසා මේ විදිහට කාන්තා මැදිරි ලබාදීම පිළිබඳව සතුටු වෙනවා.“

නම සඳහන් කිරීමට අකමැති වූ තවත් කාන්තාවක් කියා සිටියේ තමන් වසර පහළොවකට ආසන්න කාලයක් දුම්රියේ ගමන්කරන බවත් එම කාලය තුළ අවස්ථා කිහිපයක දී දුම්රියේ දී හිංසාවන්ට ලක්ව ඇති බවය. “හැමදාමත් වගේ එදත් කෝච්චියේ සෙනඟ පිරිලා ඉතිරිලා. මමත් තවත් බොහෝ කාන්තාවනුත් කිටි කිටියේ සෙනඟ අතර තෙරපෙමින් හිර වුණා. මේ අතර පාසල් දැරියකුත් සිටියා. මම දැක්කා ඒ හිරවීම අතර එක මිනිහෙක් මේ දැරියගේ පසුපස පෙදෙස අතගානවා. මම ඒ දෙස බලා සිටිනවා දැක ඒ මිනිසා ඔරවා බැලුවා. පසුව ඔහු ඉන්නොනැවතී මගේ ඇඟත් අත ගාන්න එනවා. එක විටම මම පැත්තකට ඇල වුණා. ඔහු වහාම අත ඉවතට ගත්තා. මිනිස්සු මේක දැක්කා. ඒත් සමඟ මරදාන නැවතුමේ දී ඒ මිනිහා බැස ගියේ මාත් එක්ක තිබුණු තරහට මගේ ඇගේ පැත්තක්ම අතගාගෙන. මේ වගේ කියන්න බැරි අනන්ත සිදුවීම් ප්‍රමාණයකට අපි මුහුණ පානවා. ඇත්තටම කාන්තා මැදිරියක් නෙමේ දෙක තුනක්ම කෝච්චියකට යොදනවා නම් ඒක ලොකු සතුටක්.

තවත් දවසක් කෝච්චියේ යද්දී මනුස්සයෙක් කාන්තාවකගේ ඇඟට හේත්තු වෙලා. ඒ කාන්තාව ඔහුට කිව්වා ටිකක් අයින් වෙන්න කියලා. ඒ මනුස්සය කෝච්චි පෙට්ටියටම ඇහෙන්න කිව්වා ප්ලේන් එකක යන්න කියලා. මේක ඒ මනුස්සයා කිව්වා විතරයි හැමෝම බක, බක ගාලා හිනා වුණා. ඒ කාන්තාව ලොකු ලැජ්ජාවකට පත් වුණා. කිසිම කෙනෙක් ඇය වෙනුවෙන් කතා කළේ නැහැ. අන්තිමට ඇය ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා ගියා“

මීළඟට අපට හමු වූ ඇය තස්මිලා. ඇය වෘත්තියෙන් හෙදියක්. නිතර දුම්රියෙන් ඇය කොළඹ පැමිණෙන්නේ ඇගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහාය. මේ ඇගේ අදහස්ය.

“කාන්තාවන්ට හිමි විය යුතු දෙයක් තමයි මේ සිදු කළේ. මෙය මීට පෙර තමයි ස්ථාපිත කරන්නට තිබුණේ. දුම්රියේ ගමන් කරන කාන්තාවන්ට ලැබුණු ලොකු නිදහසක් ලෙස මෙය මම දකිනවා. ඒත් කාන්තා මැදිරියක් තිබෙන නිසා අනෙකුත් මැදිරිවල යන කාන්තාවන්ට කාන්තා මැදිරියටම නඟින්න කියා බලපෑම් හිරිහැර එල්ල වෙයි ද දන්නෙ නැහැ. ඒ ගැනත් වගකිව යුත්තන් සිතා බලන්න ඕන.” සිනා මුසු මුහුණින් ඇය පවසයි.

අපත් සමඟ කතාබහ කළ බොහෝ කාන්තාවන්ගේ අදහස වූයේ කාන්තා මැදිරි ඇති කිරීම සතුටට කරුණක් වන බවය. එය නොකඩවා ක්‍රියාත්මක වියයුත්තක් බවයි.

එලෙස කාන්තා මැදිරි වෙන් කිරීම පිළිබඳ දුම්රිය පාලනාධිකාරියෙන් ද අපි විමසා සිටියෙමු. එහි දී දුම්රිය සාමාන්‍යාධිකාරී ඒම්. ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, 'කාන්තාවන් හට නිතර නිතර පොදු ප්‍රවාහන සේවාවේදි සිදු වන අසීරුතාවන්ගෙන් හිංසනයන්ගෙන් බේරාගැනීම සඳහා ප්‍රවාහන අමැතිවරයා ප්‍රථම අදියර වශයෙන් මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

මෙහි ඇති සාර්ථකත්වය මත ඉදිරියේදි අනික් දුම්රියන් හිද කාන්තා මැදිරි යෙදවීමට අපි තීරණය කරනවා. කාර්යාලයට යෑමට ඒමට ලංකාවේ දුම්රිය සේවාව භාවිත කරන මගීන්ගෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් කාන්තාවන් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී මේ වන විට හෙළි වෙලා තිබෙනවා. ඒ සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. දුම්රිය මැදිරි තුළදී වයස් සීමාවන් නොතකා සියලුම කාන්තාවන් විවිධාකාරයේ මානසික සහ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන බව. එම තත්ත්වය සහ කාන්තාවන් හා කාන්තා සංවිධාන, කාන්තා කටයුතු ඇමතිනිය කළ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යතුමා ගත් සාධනීය පියවරක් ලෙස මම මෙය දකිනවා.”

“පිරිමි පාර්ශ්වයෙන් ‍යම් යම් චෝදනා මෙයට එල්ලවෙනවා නේද?” අප ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ “ඔව්. පැසසුම් වගේම චෝදනාත් එල්ල වෙනවා තමයි. ඒක ඉතින් ස්වභාවය. කොහොම වුණත් කාන්තාවන්ගේ විශාල කැමැත්තක් මෙයට තිබෙනවා. ඒ වගේම මවු පියන්ටත් මෙතැනදී වගකීමක් තිබෙනවා තමන්ගේ දියණිය ආරක්ෂා සහිතව කාන්තා දුම්රිය මැදිරියක ගමන් කරවීමට.”යැයි අදහස් දක්වමින් ඔහු පවසයි.

“මීට කලකට ඉහත දුම්රියේ ගමන් ගත් තරුණියකට වූ අනුවේදනීය සිදුවීමක් මට මතක් වෙනවා. ඇය සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගි වෙන්නට දුම්රියේ පැමිණ තිබෙනවා. දුම්රියේ මඟීන් අතර ගමන් කරන අතරවාරයේ එක්තරා පුද්ගලයෙක් ඇ‍ගේ ඇගට හේත්තු වෙන්න ඇවිත්. ඇය ඔහුගෙන් මිදිලා පැත්තකට වෙලා. කොහොම හරි ඇය මරදානෙන් බහින කොට ඇගේ කකුලින් ලේ ගලනවා. බලන කොට අර පුද්ගලයා ඇගේ කකුල දැලි පිහියකින් කපලා. ඇයට යන්නට සිදු වුණේ සම්මුඛ පරීක්ෂණයට නෙවෙයි අන්තිමේදි රෝහලටයි. එනිසා කාන්තාවන්ට ආරක්ෂිතව පීඩාවකින් තොරව ගමන්පහසුව සලසන්න මෙවැනි දෙයක් අරඹපු එක ගැන හැමදෙනාම සතුටු විය යුතුයි.” අප සමඟ අදහස් දක්වමින් දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න එලෙස ප්‍රකාශ ක‍ර සිටියා.

කාන්තා දුම්රිය මැදිරි යෙදවීම පිළිබඳ පුරුෂ පාර්ශ්වයෙන් ද විවිධ අදහස් යෝජනා චෝදනා එල්ල වෙන බැවින් ඔවුන්ගේ අදහස් ද විමසීමට අපි අමතක නොකළෙමු.

වේයන්ගොඩ බලා පිටත්ව යාමට සිටි මනීෂ ජයතිලක පවසා සිටියේ, කාන්තාවන් වෙනුවෙන් වෙන් කර ඇති දුම්රිය මැදිරියේ කොතරම් ඉඩ තිබුණ ද සමහර කාන්තාවන් අනෙක් මැදිරිවල ට ඇතුළු වන බවයි. එනිසා තදබදය වැඩි වී අනෙක් මැදිරිවල පිරිස් තෙරපෙමින් යන විට කාන්තා මැදිරිය හිස්ව තිබීම කනගාටුවට කරුණක් බවය.

“අප‍ රටේ ගොඩක් දේවල් කිරිබත් කාලා බැලුන් පුම්බලා පටන් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ බොහො ටික කාලයයි. මේ ආරම්භ කරපු වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් හොඳයි.“ ඒ කාන්තා මැදිරි පිළිබඳ පිරිමින්ගේ හඬයි.

[ තුෂාරි නේරංජා වික්‍රමසිංහ]

අන්සතු දුරකතනයක් භාවිත කළහොත් අනිවාර්යයෙන් නීතියේ රැහැනට : සහකාර පොලිස් අධිකාරි දමයන්ත.



[අමිල මලවිසූරිය]

වර්තමානයේ ජංගම දුරකථනය බොහෝ දෙනකුගේ ජීවිතයේ අත්‍යවශ්‍ය ම මෙවලමකි. ඇතැම්හු සිය ජංගම දුරකථනයේ දුර්ලභ දුරකථන අංක පමණක් නොව ජීවිතයේ වටිනා මො‍හොත සිහි කැඳවන ඡායාරූප ද තැන්පත් කොට තබා ගනිති. එවැනි ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය කෙතරම් පාඩුවක්ද දන්නෙ ඔවුන් ම පමණි.

එලෙස අස්ථානගත වන ජංගම දුරකථන අපරාධකාරයන් බොහෝ අපරාධවලට ද යොදාගන්නා බව මෑත කාලයේ ඇතැම් අපරාධ සිදුවීම්වලදී වාර්තා විය. ඒ අනුව අපරාධකාරයන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට යාමේදී සිදුකරන දුරකථන විශ්ලේෂණවලදී බොහෝ විට ප්‍රථමයෙන්ම අත්අඩංගුවට පත්වන්නෙ දුරකථනයේ නියම අයිතිකරුවන් වූ නිරපරාද පුද්ගලයන් ය.

එ් නිසා තම ජංගම දුරකථනය අස්ථානගත වුවහොත් ළඟ ම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කිරීම සිදුවිය යුත්තක් ම ය. එහෙත් ඇතැම් දෙනා පොලිසියට ගොස් රස්තියාදු වීමට තිබෙන මැළිකම නිසාවෙන් එලෙස පැමිණිලි කිරීමට ද අදිමදි කරයි. එහෙත් වර්තමානයේ ඒ සියලු දෙනාට ම කාර්යක්ෂම ව, කාලය, ශ්‍රමය ඉතිරි කරගනිමින් දවසේ ඕනෑම වෙලාවක ජංගම දුරකථනය අස්ථානගත වූ බවට පැමිණිල්ලක් කිරීමට අවැසි වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී අජිත් දමයන්ත මහතා උත්සුක වී තිබේ.

2012 වර්ෂය වන තෙක් මෙරට තුළ ජංගම දුරකථනයක් අස්ථානගත වුවහොත් එය සොයා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොතිබිණි. පසුව 2012 වර්ෂයේ සිට පැවැති ක්‍රමය වූයේ ජංගම දුරකථන අස්ථානගත වීම ගැන පොලිසියට ලැබෙන පැමිණිල්ල විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කිරීමෙන්, එම ආයතනය විසින් මෙරට ක්‍රියාත්මක වන සියලු ජංගම දුරකථන සමාගම් හරහා සොයා බැලීමයි.

එහෙත් 2014 වර්ෂයේදී පමණ ලැබෙන පැමිණිලි ඉහළ යෑම නිසා විදුලි සන්දේශ නියාමන කොමිසමේ කාර්ය මණ්ඩලයේ හිඟතාව හේතුවෙන් එම කටයුත්ත ප්‍රායෝගිකව සිදු කිරීම අපහසු බව පවසමින් හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාට ලිපියක් මඟින් දැන්වූයේ එම සේවය නතර කරන බව සඳහන් කරමිනි.

එහෙත් මහජනයාට අත්‍යවශ්‍ය කටයුත්තක් වන එ් ක්‍රමවේදය නතර නොකරන ලෙස පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයා වූ සහකාර පොලිස් අධිකාරි අජිත් දමයන්ත හෙට්ටිආරච්චි මහතා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ මහජන පැමිණිල් අංශයෙන් ඉල්ලීමක් කෙරිණි. අවසානයේ ඒ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 90ක් පමණ වැය වන බව සඳහන් විය. එසේම තවත් සමාගමක් විසින් කරනු ලබන එක් පැමිණිල්ලක් වෙනුවෙන් අවම රුපියල් දහයක මුදලක් අවැසි බව සඳහන් කර තිබිණි. ඒ අනුව විශාල මුදලක් වැය වන හෙයින් මහජනයාට අත්‍යවශ්‍ය සේවාවක් නතර කිරීමට ඉඩ නොතබා තිබූ ප්‍රායෝගික ක්‍රමවේදයට වඩා පහසු සහ කාර්යක්ෂමව ජංගම දුරකථන අස්ථානගත වූ විට අදාළ පුද්ගලයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට තනිවම ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි දමයන්ත මහතායි.

ඕනෑම මොහොතක ජංගම දුරකථන අස්ථානගත වූ විට පැමිණිලි කළ හැකි එම වෙබ් අඩවිය www.ineed.police.lk ය. එහි ක්‍රියාත්මක වීම නිල වශයෙන් පසුගියදා පොලිස් මූලස්ථානයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර සහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ ‍නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රැන්ක් ප්‍රනාන්දු, තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ අශෝක ධර්මසේන ඇතුළු විදුලි සන්දේශ නියාමන කොමිසමේ සහ මෙරට සියලු ජංගම දුරකථන සමාගම්වල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදු විණි.

රට තුළ සැරිසරන මිලියන 24ක් පමණ වන ජංගම දුරකථන අතුරෙන් දිනකට අස්ථානගත වීම් පිළිබඳව මහජන පැමිණිලි 800ත් 1000ත් අතර ප්‍රමාණයක් පොලිසියට ලැබෙමින් පවතී. 'මට පොලීසිය අවශ්‍යයි' යන තේමාවෙන් යුත් වෙබ් අඩවියෙන් මහජනයා සේවය ලබාගත යුත්තේ කෙසේද යන්න එහි නිර්මාණකරු සහකාර පොලිස් අධිකාරි දමයන්ත පවසන්නෙ මෙවැන්නකි.

"අන්තර්ජාලය තිබෙන දුරකථනයකින් වුවද මේ වෙබ් අඩවියට පිවිසිය හැකියි. මුලින්ම වෙබ් අඩවියට තම පෞද්ගලික නිවැරැදි දත්ත ඇතුළත්කොට ලියාපදිංචි විය යුතුයි. එහිදී දුරකථන අංකයක් සහ ඊමේල් ලිපිනයක් අත්‍යවශ්‍යයි. ඉන්පසු ලියාපදිංචි වන තැනැත්තාට නමක් (යූසර් නේම්) සහ මුරපදයක් (පාස් වර්ඩ්) ලබා දෙනවා. පසුව අස්ථානගත වූ ජංගම දුරකථනය හා සබැඳි පැමිණිල්ල යොමු කළ හැකියි. පැමිණිල්ල යුනිකෝඩ් මඟින් භාෂා තුනෙන්ම ටයිප් කරන්නත් පුළුවන්. එසේ නොමැතිනම් පැමිණිල්ල කොළයක ලියා ස්කෑන්කොට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඊමේල් ලිපිනයක් නොමැති අයකුට හිතවතකු මඟින් ලියාපදිංචි වී පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි. පැමිණිල්ල ලියද්දී සවිස්තරාත්මකව ලිවීම අත්‍යවශ්‍යයි. වෙබ් අඩවියේ ඒ පිළිබඳව සාම්පලයක් දී තිබෙනවා. විශේෂයෙන් ම දුරකථනයේ එමි අංකය ලිවිය යුතුමයි. ඒ නිසා ජංගම දුරකථන භාවිත කරන අය එමි අංකය ගැන සැලැකිලිමත් විය යුතුයි. එමි අංකය සොයා ගැනීමට ක්‍රම තුනක් තිබෙනවා. එක, දුරකථනය බහාලු පෙට්ටිය, දෙක, දුරකථනයේ බැටරියට පසුපස; තුන, *#06# යන බොත්තම් ඔබා එමි අංකය ලබාගත හැකියි. එම අංකය සටහන්කොට තබා ගැනීම දුරකථනයක් අස්ථානගත වූ විට සොයා ගැනීමට මනා පිටිවහලක්.

පසුව පැමිණිල්ල එසැණින් අදාළ පොලිසියට යොමු කෙරෙනවා. ඔවුන් පරීක්ෂාකොට එය විදුලි සන්දේශ නියාමන කොමිසමට යොමු කරනවා. ඔවුන්ගේද පරීක්ෂාවෙන් අනතුරුව මෙරට ක්‍රියාත්මක සියලුම ජංගම දුරකථන සමාගම්වලට යොමු වෙනවා. මේ සියලු දේ පරිගණක ආධාරයෙන් ක්ෂණිකව සිදු වෙන්නෙ රටේ පවතින නීති රාමුව ඇතුළතයි. ඔබට සියලු දේ ගැන දැනුවත් කරමින් ලිපියක් එවීමටත් කටයුතු කරනවා. ඒ වගේම නුදුරේදීම එස් එම් එස් මාර්ගයෙන් විටෙන් විට දැනුම්වත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එක්වරක් ලියාපදිංචි වූ විට ඔබට ඕනෑ තරම් පැමිණිලි කළ හැකියි. එහෙත් අපි ඒ ගැන සොයා බැලීමක් කරනවා. මොකද නැතිනම් මෙමඟින් ඇතැම් දෙනා මුදල් ගැරීමක් කරන්නත් ඉඩ තිබෙන නිසා."

මෙමඟින් ජනයාට කිසිදු පොලිස් ස්ථානයකට නොගොස් කාලය, ශ්‍රමය ඉතිරිකොට අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් ක්ෂණිකව සපුරාගත හැකිය.

මේ ක්‍රමවේදයට පෙර පැවැතියේ පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් කොට අනතුරුව නැවත දිනෙක පොලිසියට ගොස් එහි කොපියක් ගෙන විදුලි සන්දේශ නියාමන කොමිසමට යෑමයි. ඔවුන්ද පරීක්ෂා කොට දුරකථන සමාගම්වලට යොමු කෙරේ. එහිදී දුරකථන සමාගම් සියල්ලටම වෙන් වෙන්ව ලිපි මඟින් දැනුවත් කිරීමට සිදු වේ. එහෙත් වර්තමාන ක්‍රමවේදය අනුව ක්ෂණයෙන් සියලුම දුරකථන සමාගම්වලට එකවර යොමු කෙරේ. එසේම පෙර පැවැති ක්‍රමවේදය අනුව දුරකථන සමාගම් විසින් අස්ථානගත වූ දුරකථනය ගැන සොයා බලන්නේ එක්වරක් පමණි. ඒ සොයා බලන මොහොතේ දුරකථනය සිම්පතක් යොදා භාවිත කළහොත් පමණක් දුරකථන සමාගම්වලට හසු වේ. එසේ නොමැති වුවහොත් ජංගම දුරකථනය සදාකල් අන් සතු ය.

එහෙත් මේ වෙබ් අඩවිය මඟින් පැමිණිලිකරුට විටෙන් විට කලින් කලට පැමිණිල්ල යාවත්කාලීන කළ හැකිය. ඒ සෑම මොහොතකදීම දුරකථන සමාගම් සොයා බැලීම සිදු කරයි.

ඉදිරියේදී මේ වෙබ් අඩවිය මඟින් හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍ර සහ විදේශ ගමන් බලපත්‍ර අස්ථානගත වීම් පිළිබඳව පැමිණිලි පමණක් නොව තම දුරකථනවලට ලැබෙන අනවශ්‍ය කරදර පීඩා දෙන ඇමැතුම් අංක ගැනද පැමිණිලි කළ හැකි වේ. තවද උසාවි නියෝග මත පොලිස් නිලධාරීන් විසින් දුරකථන විස්තර වාර්තා (Detail Bill) ලබා ගැනීමට කොළඹට පැමිණ දින ගණන් රස්තියාදුව ද නතර වේ. ඔවුනට උසාවි නියෝගය අප්ලොඩ් කොට අදාළ පොලීසියේ සිටම එම කාර්යය සිදුකරගත හැකිය. එසේම මේ වෙබ් අඩවිය මඟින් හඳුන්වා දී තිබෙන තවත් අමතර වාසියකි; ඔන්ලයින් වෙළෙඳාම හෝ කිසිදු වගකීමක් නොමැති ලෙස වෙළෙඳාම් කරන දුරකථන පිළිබඳව සොයා බැලීම. එහිදී මිලදී ගන්නා අදාළ දුරකථනයේ එමි අංකය එසැණින් වෙබ් අඩවියට ඇතුළුකොට එය හොරකම් කරන ලද්දක්දැයි සොයාගත හැකිය.

මෙවන් විශාල සේවාවක් සැලැසිය හැකි වෙබ් අඩවියක් පමණක් නොව මිල ගණන් කැඳවීමේදී ලක්ෂ 140ක් පමණ වැය වෙතැයි සඳහන් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් පරිපාලනය වෙනුවෙන්ද වෙබ් අඩවියක් නිර්මාණය කර දෙමින් සහකාර පොලිස් අධිකාරිවරයා දිවා රෑ නොබලා පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව රටේ සමස්ත ජනයා වෙනුවෙන් ම විශිෂ්ට සේවාවක් සිදු කොට තිබේ.

ඉදිරියේදී කෙනකු අන් සතු දුරකථනයක් ලබාගෙන භාවිත කළහොත් අනිවාර්යයෙන්ම නීතියේ රැහැනට කොටු වන බව සියලු ජනයා මතක තබාගත යුතු ම ය. එම නිසා පොලිසිය ජනයාගෙන් ඉල්ලා සිටිනුයේ තම දුරකථනය අස්ථානගත වුවහොත් වෙබ් අඩවිය හරහා අනිවාර්යයෙන්ම පැමිණිලි කරන ලෙසයි. එය අන් සතු දුරකථන භාවිත කොට අපරාධ සිදු කරන අපරාධකාරයන් පහසුවෙන් ම නීතියේ රැහැනට කොටුකරගැනීමට මනා පිටිවහලක් වන බවයි.

සුදු වෙන්න හදන අයට “කළු” ආරංචියක්.


වර්තමානයේ බොහෝදෙනා උත්සාහ දරන්නේ තමන්ගේ සම පැහැපත් කරගන්නවාටත් වඩා සම සුදු කරගැනීමටය. නවීන විද්‍යාව දියුණුවීමත් සමඟම ලෝකයේ බොහෝ රටවල් සම සුදු කර ගැනීමට විවිධ ක්‍රම අත්හදා බලමින් සිටී. ඒවායින් ඇතැම් අත්හදා බැලීම් සාර්ථක වුවද ඇතැම් විට මිනිසාගේ සිරුරට අහිතකර, විවිධ අසාත්මිකතා ඇතිකරවන අවස්ථා මතු වේ. 

සුදුවීමට වැඩිපුරම උත්සාහ දරන්නේ පිරිමි පාර්ශ්වයටත් වඩා කාන්තා පාර්ශ්වය වීම සාමාන්‍ය දෙයකි. එය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටත් පොදු වූ කරුණකි. කෙනෙක් සුදුවීමට උත්සාහ දැරීම වැරැද්දක් ලෙස සැලකීමට නොහැක. විශේෂයෙන්ම ඕනෑම කාන්තාවක් උත්සාහ දරන්නේ තමන්ගේ ස්වභාවික රූප සම්පත්තියට වඩා සුන්දරත්වයත් මෙන්ම සුදක් එක්කර ගැනීමටය. ඒ සඳහා කෙනෙකුට හානියක් නොවී තම නිරෝගීභාවය ආරක්ෂා කරගනිමින්ම සුදුවන්නට ක්‍රමයක් ඇත්නම් එය අත්හදා බලා ක්‍රියා කිරීමෙහි වරදක් දැකිය නොහැක. ඕනෑම කෙනෙක් අන් අයට ආකර්ෂණය වන ලෙස ජීවත් වෙන්නට කැමතිය. එය කුඩා කල සිට මහල්ලා දක්වා පොදු වූ කරැණකි. නමුත් ඒ සඳහා මීට වඩා සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත්ය.

“අපි උත්සාහ කරගත යුත්තේ අපේ පැහැය නිරෝගිමත් වන ලෙස, නිවැරදි ලෙස වර්ණවත් කර ගැනීමටයි. එය අපි පැහැපත්කම ලෙස හඳුන්වනවා. අපේ සිරුරේ ඇති පැහැය එමඟින් වැඩිදියුණු කරගන්නවා. නමුත් අපිට මුණගැහෙන්න එන කවුරුවත් “අනේ මට නිරෝගිමත් පැහැපත් භාවයක් ලබාදෙන්න” කියල කියන්නේ නම් නැහැ. ඒ අය ඇවිත් අපිට කියන්නේ “අනේ අපිව සුදු කරන්න” කියලායි යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා ද සිල්වා මහත්මිය දේශයට පැවැසුවාය.

ආසියාතික මිනිසුන් ලෙස අපට පිහිටා ඇත්තේ දුඹුරු රන්වන් පැහැය මිශ්‍ර සමකි. ඇතැමුන් ලා දුඹුරු පැහැති සමකට හිමිකම් කියති. ඕනෑම කෙනෙකුගේ පැහැය ජානවලින් පවතින දෙයකි.

“කෙනෙකු සුදු හෝ කළු පැහැය ඇතිවන්නේ ඒ තැනැත්තාගේ ජානවල හේතූන් නිසයි. යුරෝපා රටවල සියල්ලන්ම සුදු පැහැයෙන් යුක්ත වුවත් ආසියාතික රටවල බොහෝ මිනිසුන් දුඹුරු හෝ ලා දුඹුරු වර්ණවලින් යුක්ත වෙනවා. රටවල්වල දේශගුණික බලපෑම් අනුවද මිනිසුන්ගේ වර්ණය වෙනස් වෙනවා. කාලාන්තරයක් තිස්සේ ඒ ප්‍රදේශවල ජීවත්වීමෙන් ඒවාත් ඒ ජානවලට එකතු වෙනවා. මේ නිසා කෙනෙක්ට බලහත්කාරයෙන් තම වර්ණය වෙනස් කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ. මීට අමතරව තවත් සමහරුන්ගේ ජානවල එම විකෘතිතා හේතුවෙන් සිරුර සුදු පැහැයක් ගන්නවා. ඇතැමුන්ගේ මෙම ජානවල විකෘතිතා හේතුවෙන් සිරුරේ තැනින් තැන සුදු පැහැයක් ගන්නවා. සුදු කළු භේදයට ප්‍රබලව බලපාන්නේ සමේ ඇති මෙළනින් වර්ණකය හේතුවෙනි. මෙම මෙලනින් වර්ණකය අඩු වූ විට සුදු පැහැයත් එය වැඩි වූ විට කළු පැහැයත් සිදුවෙනවා.” යැයි ආයුර්වේද විශේෂඥ වෛද්‍ය රූපලාවණ්‍ය උපදේශක ඒ.එච්. තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.

සුදුවීම වර්තමානයේදී කාලීන උමතුවක් වී හමාරය. බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ විවිධ හේතුන් නිසාවෙනි. ඒ අතරින් කාන්තාවන් වැඩිවශයෙන් සුදුවීමට උත්සාහ දරන්නේ පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගැනීමටය. විශේෂයෙන් විවාහ වීමට සූදානම් වන වයසේ පසුවන තරුණියෝ තම ආදරවන්තයාගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා සුදුවීමට විවිධ ක්‍රම අත්හදා බලති.

මීට අමතරව බොහෝ අය සුදුවීමට උත්සාහ දරන්නේ තමන් කැමැති පුද්ගලයන්ගේ සමට සමාන වීමටය. විශේෂයෙන් තමන් වඩාත් ප්‍රියකරන නළු නිළියන්ගේ වර්ණයට සමාන වර්ණයක් ලබාගැනීමට උත්සාහ ගනිති. මේ නිසා මෙවැනි අය රූපලාවණ්‍යාගාරයට ගොස් “මට මේ නිළිය වගේ සුදු වෙන්න ඕනේ” යැයි රූපලාවණ්‍ය ශිල්පිණියට ඇවිටිලි කරනා අවස්ථාද නැතිවා නොවේ. පාසලේදී හෝ රැකියා ස්ථානයේදී අන් අය ඉදිරියේදී තම සිරුරේ වරණය නිස කොන්වන බව සිතට දැනීම නිසාත් තව සමහරු තම වර්ණය වෙනස් කරලීමටත් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ තම සුන්දරත්වය පෙන්වීමටත් හැකිවන ලෙස සුදුවීමට උත්සාහ ගනිති.

මේ නිසා බොහෝ කාන්තාවන් තුළ සුදුවීමට ඇත්තේ දැඩි කැමැත්තකි. මේ බොහෝදෙනා සුදුවීම සඳහා විවිධාකාර ආලේපන වර්ග භාවිත කරති. ඇතැම්හු බ්ලිචින් ක්‍රීම් ආලේප කරති. සමහරු දැන හෝ නොදැන ඉක්මනින් සුදුවීමට රසදිය වැනි බොහෝ රසායනික ද්‍රව්‍යයන් අඩංගු ක්‍රීම්වර්ග පාවිච්චි කිරීමට උත්සාහ ගනිති. එමගින් සිදුවන්නේ මිනිස් සිරුරේ ඇති උඩු ස්ථරය යම් පිළිස්සීමකට ලක්වීමය. මෙම පැහැය පිළිස්සීම හේතුවෙන් සිරුරේ පවතින රෝම කූප ඇතුළු සියල්ල යම් සුදු පැහැයකින් දිස්වේ. ඇතැම්විට එය රත්රන් වර්ණකයකින්ද පෙනී යා හැක. මේ අවස්ථාවේදී බැලූ බැල්මට සුදු පැහැය දිස්වුවද පැහැපත් වුවද කාලයක් ගතවෙද්දී තිබෙන පැහැයද නැතිවී, ආසාත්මිකතා හටගැනීම හේතුවෙන් ඇතැම්විට රෝහල් ගතවීමට ද පුළුවනි. මේ තත්ත්වයන් හේතුවෙන් සමහරුන්ට ජීවිතය අහිමි වූ අවස්ථාද නැතිවාම නොවේ.

“බොහෝ කාන්තාවන් වර්තමානයේදී සුදුවන්නට උත්සාහ දරන්නේ එන්නත් ක්‍රම මගින්. එසේත් නැත්නම් ලේසර් ක්‍රම මගින්. මෙම එන්නත් මඟින් ග්ලුටෝ පයෝන් ශරීරයට එන්නත් කරගන්නවා. ග්ලුටෝ පයෝන් අප ශරීරයේ සාමාන්‍ය ප්‍රමාණයක පවතින දෙයක්. මෙය අප ශරීරයේ වැඩිපුර පවතින දෙයක් නොවේ. ශරීරයට පිටතින් එන්නත් ක්‍රම මඟින් ග්ලුටෝ පයෝන් ඇතුළු කරගැනීමටත් වැඩිවන මෙළනින් නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ග්ලුටෝ පයෝන් පාලනය කරගන්නවා. එවිට ප්‍රබලතම ප්‍රතිඔක්සිකාරකයන් සමඟ පාලනය වීමත් සමඟ යම්කිසි පැහැයක් ඇතිවෙනවා. නමුත් මෙම එන්නත් ක්‍රමය හිතුමතේට පාවිච්චි කරන්න බැහැ. එයටම සුවිශේෂී වූ විශේෂඥ වෛද්‍යවරැන්ට පමණයි මෙම එන්නත් ලබාදිය හැකි වන්නේ.” යැයි ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී නදීශා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

සුදුවීමට පමණක් නොව වර්තමානයේදී බොහෝ කාන්තාවෝ තම රූපය සුන්දර කර ගැනීමට විවිධ නවීන ක්‍රම අත්හදා බලති. විශේෂයෙන් මුහුණේ රැලි වැටීම තාවකාලිකව හෝ වළක්වා ගැනීමට, පපු ප්‍රදේශය විශාල කර ගැනීමට, දෙතොල විශාල කර ගැනීමට උත්සාහ ගනිති. නමුත් මේ සියල්ලම කළ යුත්තේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් හා අනුමැතිය ඇතිව පමණි. අද බොහෝ රූපලාවණ්‍යාගාර තුළදීද මෙවැනි එන්නත් ක්‍රම සිදුකරයි. හතු පිපෙන්නා සේ රූපලාවණ්‍යාගාර බිහිවන්නා සේ ඒ හා සමානවම එවැනි ආයතනවලින් රූපයට යම් හානියක් සිදුවීමෙන් රෝගී වූ අවස්ථාද නැතිවාම නොවේ. ඇතැමුන් මෙම එන්නත් තමන් විසින්ම එන්නත් කරගනී. එය ඉතා භයානක තත්ත්වයකි. එන්නත් කිරීම යනු ඉතා වේදනාකාරී අවස්ථාවකි. සුදුවීමට ඇති බලවත් ඕනෑකම නිසාම මෙම අධික වේදනාව වුවද විඳදරා ගැනීමට මොවුහු පෙළඹෙති.

වර්තමානයේ කතුන් සුදු කරන විශාලම මාෆියාව වන්නේ ආලේපන වර්ගයි. මේ වනවිට නොයෙකුත් වර්ගයේ ක්‍රීම් වර්ග වෙළෙඳපොළේ ඇත. ඇතැම් ක්‍රීම් රූපලාවණ්‍යාගාරවලම නිෂ්පාදනය කෙරේ. වෙළෙඳපොළට ගොස් ආලේපන වර්ගයක් ආලේපනය කරද්දී සොයා බැලිය යුතු කරුණු කාරණා රාශියකි. “හිතුමතේට ආලේපන වර්ග මිලදී ගන්න එපා. තව කෙනෙකු පාවිච්චි කරන, ක්‍රීම් ආලේපන වර්ගයක් තමන් හිතුමතේට ආලේප කරන්න එපා. වෙළඳපොළේ ඉතා සාර්ථක, ඉතා උසස් ආලේප වර්ගද පවතී. ඒවා මිලදී ගන්න. යම් ආලේපන වර්ගයක් මිලදී ගනිද්දී එහි වෙළෙඳ නාමය, නිෂ්පාදිත රට, එහි අන්තර්ගතව ඇති ද්‍රව්‍යයත්, ආනයනය කරන සමාගම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය හා ඒ සම්බන්ධව ඇති තත්ත්ව සහතිකය පිළිබඳව අවධානය යොමුකරන්න.” යැයි මේ පිළිබඳ බොහෝ විශේෂඥයෝ අවවාද කරති.

වෙළෙඳ පොළ විවෘතය. නමුත් පාරිභෝගිකයා බුද්ධිමත් විය යුතුය. ජීවත්වීමට විශාල කාලයක් නොමැත. ඒ කාලය තුළ සුන්දරව ජීවත්වන්නට ඕනෑම කෙනෙකු කැමැතිය. එහි කිසිදු වැරැද්දක් නැත. නමුත් හිතුමතේට වෙළෙඳ පොළේ ඇති ආලේපන මුහුණේ ආලේප කිරීමත් අඩු මුදලට වෙළෙඳ පොළේ ඇති ආලේපනවලට රැවටීමත් හානිකර ප්‍රතිඵල උදාකරයි. ඇතැම් ආලේපනවල අලුතින් ස්ටිකරයක් අලවා තිබීම දක්නට ලැබේ. ඒ කල් ඉකුත් වූ දිනය වෙනුවට නව දිනයක් ආදේශ කරමින්ය. මෙවැනි ආලේපන භාවිතයෙන් අසාත්මිකතා ඇතිවේ. ඇතැම්හු මේ පිළිබඳව තව කෙනෙකුට කීමට පවා මැලිවෙති. මේ තත්ත්වයට වැඩිපුරම මුහුණ දෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවය. මුදල් හදල් ඇති අය වැඩිපුර මුදලක් වියදම් කොට විදෙස් රටකට ගොස් ඉහළ ප්‍රමිතියකින් යුත් එන්නත්, ආලේපන, මඟින් සුදුවීමට උත්සාහ ගනිති. නමුත් මාසේ වැටුපෙන් යම්තමින් ජීවත්වෙන කුඩා සැෂේ පැකට්ටුවක් ගෙන ලස්සන වෙන්නට උත්සාහ ගන්නා අප රටේ තරුණ තරුණියන් බහුතරයකට සුදුවන්නට ගොස් තිබෙන ලස්සනත් නැති කරගෙන ඇතැම් විට ජීවිතෙන්ම වන්දි ගෙවන්නට සිදුවීම කොයිතරම් නම් අවාසනාවන්තද...?

►දිශානි ජයමාලි කරුණාරත්න

'මගේ හීනය වුණේ නිළියක් වෙන්න' : ගීත්මා බණ්ඩාර

මේ වසරේ පැවති ‘හිරු’ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනූ ගීත්මා බණ්ඩාර සමගින් අද තරු කතා බහ අපි මෙළෙස දිග හැරියේමු. රංගන ශිල්පිණියක් ලෙස දිගු ගමනක් යන්නට උත්සාහ කරන ගීත්මා මේ වනවිටද කලා නිර්මාණ බොහෝමයකට සිය දායකත්වය ලබා දී තිබේ.

ක්ෂේත්‍රයට ඔබ පිවිසෙන්න ‘හිරු’ අවුරුදු කුමරිය හරහා?

ඔව්, මේ වසරේ තිබුණ ‘හිරු’ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එහි දෙවැනි තැනට මාව තේරුණා. ඒ හරහා තමයි මට කලාවට එකතු වෙන්න වාසනාව ලැබුණේ.

ඔබ දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?

‘හිරු’ අවුරුදු කුමරිය වෙන්න කළින් ඉඳලම මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. ‘හිරු’ අවුරුදු කුමරිය තරගයෙන් පසුව ‘හිරු’ රූපවාහිනි නාළිකාවෙ මේ වනවිට විකාශනය වෙන ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ මම රංගනයෙන් දායක වෙනවා. ඉදිරියේදි ප්‍රදර්ශනය වෙන්න නියමිත සිනමා නිර්මාණ කිහිපයකටත් මම දායකත්වය ලබා දෙන්න දැනට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිළියක් වෙන්න පුංචි කාලේ හීනයක් ඔබට තිබුණද?

මම කලාවට ගොඩක් ආදරය කරන කෙනෙක්. පුංචි කාලෙ ඉඳලා මගේ හීනය වුණේ නිළියක් වෙන්න. ඒත්, ඒ වෘත්තියට මාව ගැළපෙයිද කියලා බයකුත් මට තිබුණා. මොකද, කොච්චර ආස වුණත් වැඩක් නැහැ ඒ කලාවේ රැඳිල ඉන්න තරම් දක්ෂතාවයක් නැතිනම්. ඒත්, අද වනවිට මට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ ආදරණිය චරිතයක් වන්නත් මට අද වෙන කොට හැකි වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි මට ඒ ගැන.

කලාව පැත්තෙන් ඔබට තියෙන ඉලක්ක මොනවද?

මේ ආපු ගමන හරීම කෙටියි. මට තව ඉගෙනගන්න දේවල් හුගාක් තියෙනව. ඒකට මට ප්‍රවීණයන්ගේ නොමද සහයෝගය ලැබෙනවා. ක්ෂේත්‍රය තුළ තමාගේ ප්‍රතිරූපය ගොඩනගා ගත යුත්තේ තමාමයි. මේ ක්ෂේත්‍රයට මම ගොඩක් ආසයි. ඒ හින්දා දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න තමයි අදහස.

සිනමාවට ඔබෙන් ලැබෙන දායකත්වය?

දැනට චිත්‍රපට කිහිපයක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. සමහරක් ඒවා තවමත් සාකච්ඡා මට්ටමින් තියෙනවා. හොඳයි කියලා හිතෙන නිර්මාණවලට මම දායක වෙනවා. මම හිතනවා පුංචි තිරේට වඩා සිනමා නිර්මාණ හරහා විශාල රසික පිරිසක් මට එකතු වේවි කියලා.

උදව් කරපු අය ගැන කිව්වොත්?

මේ ගමනේ මට උදව් කරපු අය බොහෝමයි මගේ අම්මා තමයි මගේ හැම දේකම ශක්තිය වුණේ. ඒ වගේම ‘හිරු’ රූපවාහිනි නාළිකාවේ මට උදව් කරපු වචනෙකින් පවා මාව දිරිමත් කරපු මට ශක්තියක් වුණ හැම දෙනාටම මගේ ස්තුතිය පිරිනැමෙන්න ඕනා.










'මම රංගන ශිල්පි­නි­යක් නොවු­ණා ­නම් බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි' : විනූ සිරි­ව­ර්ධන


කාලෙකින් සිනමාවත් එක්ක සම්බන්ධ වුණේ නැද්ද විනූ?

මේ අවුරුද්දේ අලුත් නිර්මාණයක් භාර ගත්තේ නැහැ. නමුත් ගිය අවුරුද්දේ කරපු නිර්මණයක් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතව තියෙනවා. තිර ගත වෙන්න තියෙන චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.

විනූ කියන්නේ ?

ගොඩක් හොඳ කෙනෙක්.

වෘත්තිය විදියට කරන්නේ?

මේ වනකොට රංගන ක්ෂේත්‍රයේ තමා නියැලිලා ඉන්නේ.

ඒ කියන්නේ නිළියක් විදියටයි වැඩ කරන්නේ?

රංගන ශිල්පිනියක්.

රංගන ශිල්පිනියක් නොවුණා නම් අද විනූ කවුද ?

බැංකු ක්ෂේත්‍රයේ ඉඳීවි.

ඇයි ඒ ක්ෂේත්‍රය තෝර ගන්නේ?

මම උසස් පෙළ හැදෑරුවේ වානිජ අංශයෙන්. ඉතින් මේ වෙනකොට සමහර විට බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරයි මම.

ඇයි ඒ හීනයට යන්න බැරි වුණේ?

ඒ හීනෙට යන්න බැරි වුණේ නැහැ. මම ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලයකට උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබලා තිබුණේ. නමුත් ඒ වෙනකොට මම හිටියේ චීනයේ Miss Tourism International තරඟාවලියට සහභාගී වෙලා. ඉතින් විශ්ව විද්‍යාල ප්‍රවේශයේ මුලික තෝරාගැනීමේ පරීක්ෂණයට මට සහභාගී වෙන්න බැරි වුණා. ඊට පස්සේ මම වැඩිපුර අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයත් එක්ක සම්බන්ධ වුණා. පස්සේ මට මේ ක්ෂේත්‍රයට එන්න Miss Sri Lanka කිරුළ ලැබුණා. ඒ හරහා මට රංගන ක්ෂේත්‍රයට එන්න දොරටු විවර වුණා. ඒ ලැබුණු දේ සතුටින් භාර ගත්තා.

පොඩි කාලේ ආසාව තිබුණේ ?

පොඩි කාලේ නම් වෛද්‍යාවරියක් වෙන්න ආසාව තිබුණා. ඒත් A/L කරද්දී ඒ ආසාව වෙනස් වුණා. පස්සේ ඉතින් අහඹු ලෙස මේ ක්ෂේත්‍රයට වාසනාව ලැබුණා.

කලාව ඇතුළේ වැඩිපුරම විනූ ඉන්න කැමැති ක්ෂේත්‍රය?

ඔයා මගෙන් කලින් වෘත්තිය ගැන අහද්දී මට එක වෘත්තියක් කියලා නියෝජනය කරන්න බැහැ. මොකද මම වෘත්තීන් කිහිපයක් නියෝජනය කරන කෙනෙක්. රංගන ක්ෂේත්‍රය වගේම නිරූපණ ක්ෂේත්‍රයේ කිරුළක් සමඟින් එන නිසා ක්ෂේත්‍ර ගණනාවක දොරටු විවෘත වුණා. වැඩිපුරම කාලය වෙන් කරන්නේ රංගන ක්ෂේත්‍රයට. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කෙරෙන්නේ. ඒ දේවල් එක්ක බැලුවොත් මම වැඩිපුරම කැමැති සිනමාවට. මම කරන වැඩටික සමබරව කර ගෙන යනවා.

විනූ ට වඩාත්ම ගැළපෙන චරිතය ?

මට ගොඩක්ම ලැබිලා තියෙන්නේ පෙම්වතියක් විදියට රංගනයෙන් දායක වෙන්න. වෙනස් චරිතයක් විදියට දායක වුණේ ජැක්සන් ඇන්තනී මහතාගේ සී රජ ටෙලි නාට්‍යෙය් සීගිරි අප්සරාවක් විදිහටයි. මටත් වඩා මගේ මව ගොඩක් කැමැතියි‍ ‍ඓතිහාසික කතා පුවත් වලට රංගනයෙන් දායක වෙනවට. සීගිරි අප්සරාවී කියන ස්වරූපයට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

වැරැදිලාවත් විනූ දේශපාලනයට අවොත් පක්ෂයක් විදියට තෝරා ගන්නේ ?

දේශපාලනය ගැන අදහසක් නැත.

විනූ fashion කරන්නේ කාටවත් ඕන විදියට ද.. නැත්නම් තමන්ට ගැළපෙන විදියට ද?

මම කරන්නේ මට ගැලපෙන විදියට. කාගෙවත් වුවමනාවට කියලා fashion කරන්නේ නැහැ. මම fashion කරද්දී මගේ මව අනුමත කරන fashion විතරයි මම කරන්නේ.

විනූට ජනප්‍රියත්වය වැඩි කර ගන්න අවස්ථාව ලැබුණොත්, ඒ සඳහා තෝරා ගන්න මාධ්‍ය ?

මම මේ වෙනකොට ක්ෂේත්‍රයේ යම් කිසි නමක් හදා ගෙන ඉන්නවා වගේම හොඳ තැනක ඉන්නවා. ඉතින් ඒ තැන ගැන ගොඩක් සතුටුයි. ජනප්‍රියත්වය වැඩි කර ගන්න කියලා මට අමුතු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මම හැමදේම කරන්නේ මගේ ආත්ම ගරුත්වය රැකගෙන. මට ඉදිරියේදී නැවත ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා හෝ ඈත් වෙලා හරි, නැවත ක්ෂේත්‍රයට එන්න අවශ්‍යතාවක් තිබුණත්, එහෙම කියලා මට අමුතුවෙන් මම කවුද කියලා වෙනත් අයට අලුත් නමක් හදාගෙන එන්න ඕන කියලා හිතන්නෙ නෑ . මම හිටපු තැන ඒ ආකාරයෙන්ම නැවැත්තුව තැනින් පටන් ගන්න කෙනෙක් මම.

විනූ ගේ ජනප්‍රියත්වයේ රහස?

මම ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිය කෙනෙක් (චරිත හරහා). තිරයෙන් පිටුපසින් ගත්තත් මම ඕනෑම කෙනෙක් එක්ක හරිම සමීප කෙනෙක්. කතා බහින් ගත්තත් එහෙමයි. ඉතින් ඒ දේවල් එක්ක ගොඩක් අය මට ආදරෙයි.

නිරුවත මාකට් කිරීම ගැන ඔබේ අදහස?

මම ඒ දේ තුළ කිසිම හොඳක් දකින්නේ නැහැ. මට ඒ ගැන අදහසක් කියන්න අමාරුයි. මම ඒ දේ අනුමත කරන්නේ නෑ.

රංගන ශිල්පිනියක් විදියට තමන්ව මාකට් කරන්න පුළුවන් හොඳම විදිය ?

මම දකින්නේ ගොඩක් අය මාකට් කර ගන්න හදන්නේ තමා පිළිබඳ ජනතා ප්‍රසාදයක් නැති වුණොත් තමා වෙනත් මාර්ගයන් වලින් ප්‍රසිද්ධ වෙන්න බලන්නේ. නමුත් මගේ ජිවිතේ ප්‍රසිද්ධියට වඩා ජනප්‍රියත්වයටයි තැන තියෙන්නේ. ප්‍රසද්ධ වෙන්න නම් ඕන තරම් විදි තියෙනවා නමුත් ජනතාවගේ ආදරය දිනා ගන්න නම් ජනතාව ප්‍රිය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනෑ.

තාමත් විනූ ගේ ආදරේ ගැන මාධ්‍යට කියන්න අකැමැති ඇයි?

අවශ්‍ය වේලාවේදී ඒ ගැන මාධ්‍යට කියනවා. මේ ඒකට සුදුසු කාලය නෙමෙයි.

[නිලු­පුලි සඳ­කැ­ලුම් | රසඳුන]

'මගේ ඇඳුමටයි නැටුමටයි බණින්නේ අසහනකාරයෝ' : ටීනා


ටීනා... මේ දවස්වල සමහරු අතර ජනප්‍රියයි වගේම තවත් සමහරු අතර හරි ප්‍රසිද්ධයි...?

ඇත්තටම මම ජනප්‍රියයිද නැද්ද කියලනම් මම දන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන ඔය වගේ දේවල් කරන්න මට අවශ්‍යතාවයක් නෑ. මම ගියේ පාටියකට. ඒකෙ හොඳම සරාගී නර්තනය තේරීමේ තරගයක් තිබුණා. ඒකට අවශ්‍ය විදිහට තමයි මම ඒ නර්තනය කළේ. එතැනට ආපු පිරිස තමයි ඒ අපේ නර්තනය ෆොටෝ අරගෙන වීඩියෝ කරගෙන ඔය විදිහට එළියට දාලා මඩ ප්‍රහාර දුන්නෙ. ඉතින් කමක් නෑ.. ඒවා මොඩ්ල්ස්ලාට, නළු නිළියන්ට සාමාන්‍ය දේවල්. ඒ නිසා මම ඕවා වැඩිපුර හිතට අරගෙන දුක්වෙන චරිතයක් නෙමේ. ඒවා සුළු දේවල්. ලංකාවේ කතාවෙන්න අවශ්‍ය දේවල් තියෙද්දී මගේ නැටුමයි මගේ ඇඳුමයි මේ රටේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වුණා.

ඔය දේවල් වීඩියෝ කළේ ෆොටෝ ගත්තෙ බොහෝවිට උත්සවයට ආපු අයමයි නේද..?

ඔව්.. එතැනට ආපු පිරිසගෙන් තමයි ඔය දේවල් එළියට ගියේ. එහෙම අපි නටද්දී එහෙම වීඩියෝ දාන්න ස්ටේජ් එක යට ඉඳලා කැමරා සවිකරලා තියෙන්න ඕනෙ. නමුත් එහෙම කැමරා සවිකරලා තිබුණේ නෑ. අපේම අය තමයි එයාලගේ ෆෝන් කැමරාවලින් මේ විදිහට හරව හරවා ෆොටෝ අරගෙන, වීඩියෝ කරගෙන තිබුණේ. සමහර ඒවා එඩිට් කරලා දාලත් තිබුණා. ලංකාවේ ඒ වගේ මානසික තත්ත්වවල ඉන්න පිරිසක් ඉන්නවා. එයාලට අනිත් අයගේ දේවල්වලින් සතුටුවෙන අසහනකාරී මානසිකත්වයක් තමයි තියෙන්නෙ. ඇත්තටම එච්චර දෙයක් කතා කරන්න තරම් මහ ලොකු වරදක් අපි කරලා නෑ. නමුත් අපි මිනීමරලා වගේ තමයි සමහරු අපි දිහා බැලුවේ.

ඔය දේවල් එක්ක ටීනා කලකිරුණේ නැද්ද...?

ඇත්තටම අනිවාර්යයෙන්ම කලකිරුණා. පාටියකට ගිහින් නටන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. මේ රටේ ඔය විදිහට සල්ලි වියදම් කරපු, ඔය විදිහට ලස්සනට ඇඳුම් ඇඳගෙන ගිය එකම පාටිය ඕක විතරක් නෙමේ. මේ රටේ ලොකු ලොකු හෝටල්වල ඔය වගේ උත්සව අනන්තවත් තියෙනවා. හැබැයි ඒවා ගැනවත්, ඒවාට ඇඳගෙන ගිය ඇඳුම් ගැනවත්, ඒවායේ කරපු නැටුම් ගැනවත් කවුරුවත් දන්නෙ නෑ. දැනගත්තත් කතා වෙන්නෙ නෑ. හැබැයි ජනප්‍රිය කෙනෙක් එහෙම ගියොත්නම් කවුරු කවුරුත් ඒවා ගැන කතාවෙනවා. එතැන ප්‍රධානම මාතෘකාව වුණේ මමයි පියුමියි, එහෙමත් නැත්නම් අමායා. අපි තුන්දෙනා ගැන තමයි මේ දවස්වල ලොකුවට කතා වෙන්නෙ. අපි මොඩ්ල්ස්ලා. අපි කැමති විදිහට අපි අඳිනවා. එදා මම ඇඳගෙන ගිය ඇඳුමට බොහෝ දෙනෙක් ලස්සනයි කිව්වා. මම නිරූපණ ශිල්පිනියක්. මම කැමති ඇඳුමක් අඳින්න මට අයිතියක් තියෙනවා. මම ෆැෂන් කරන්න කැමති කෙනෙක්. ඉතින් ඒවා කරන්න බැරි ඒවාට ඉරිසියා කරන, ෆැෂන් ගැන දන්නෙ නැති, ලෝකෙ ෆැෂන් ගැන දන්නෙ නැති පිරිසක් මාව විවේචනය කරනවා. ඇත්තටම මේ විවේචනය කරන්නෙ, ඒවාට නරක comment දාන්නෙ බොහෝ වෙලාවට ලංකාවේ ගෑනු අයමයි. කමක් නෑ. කර්මය කියන දේ හැමෝටම පලදෙනවා. කවදාහරි දවසක ඒ අයටත් ඒ දුකම දැනේවි. මට ඇතිවුණු කලකිරීම, හිත් වේදනාව, මඩ ගැසීම දවසක පලදේවි. මිනීමැරුමක් කළ කෙනෙක් දිහා බලනවටත් වඩා දරුණු විදිහට අද සමහරු මම දිහා බලනවා. කමක් නැහැ.. මේ තරුණ වයසට නිරූපණ ශිල්පිනියක් විදිහට මේ කාලේ විලාසිතා කරන්නෙ නැතුව වයසට ගියාට පස්සෙ කරන්න බැහැනෙ.

සමාජ ජාලා වෙබිඅඩවිවල, මුහුණු පොතේ මෙහෙම ඔබව විවේචනය කරද්දී මඟතොටේදී ලැබෙන ප්‍රතිචාර කොහොමද...? 

අනේ... පාරෙදීනම් මට කවුරුවත් එහෙම බණින්නේ නෑ. ඕන කෙනෙක් දැක්කොත් මාත් එක්ක හිනාවෙනවා. මම ළඟට ඇවිත් ඔයා ටීනා නේද.. කියලා කතා කරනවා. මාත් එක්ක ෆොටෝස් ගන්නවා. මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ අය ඔය ගොසිප් එකක් ආපු පලියට මට මඩ ගහන්නෙ නෑ. එදා අපිට කළගෙඩි නැටුමක්වත්, ලීකෙළි නැටුමක්වත් නටන්න තිබුණේ නෑ. අපිට සරාගී නර්තනයක් තමයි නටන්න තිබුණේ. ඒකට හරියන්න මමයි මාෂියි අමායයි නැටුවා. ඉතින් ඔය ගොසිප් ගහන අය විශේෂයෙන් ස්තූති කරන්න, කොහොමහරි සති කිහිපයක්ම අපිව ඉත්තන් කරගෙන ඒ අය ලොකු ප්‍රචාරයක් ලබාගත්තා.

නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ඔබ දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් රංගනයටත් එකතු වුණා. වැඩියෙන්ම කැමති නිරූපණ ක්ෂේත්‍රයටද.. රංගන ක්ෂේත්‍රයටද...?

තවමත් මම කැමති මොඩ්ලින් ජීවිතයට තමයි. මම නිළියක් කියලා කියන්න ඇත්තටම තවමත් කැමති නෑ. මම අදටත් ටීනා කියන්නෙ මොඩ්ල් කෙනෙක් කියනවට තමයි ආස. මම තවමත් රඟපෑවේ දේදුනු ආකාසේ චිත්‍රපටයේ විතරයි. නිළියක් විදිහට ක්ෂේත්‍රයට එන්න මට ඒ සම්බන්ධව තව ඉගෙන ගන්න ඕනෙ. ඒ නිසා තවමත් මම මොඩ්ල් කෙනෙක්. මේ වෙනකොට මට තව සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙන්නෙ. ලබන මාසේ මගේ දෙවැනි චිත්‍රපටයේ රූපගත කිරීම් පටන් ගන්නවා. ඒක මගේ පළමු සිනමා නිර්මාණයට වඩා හාත්පසින්ම වෙනස් නිර්මාණයක්.

රංගනය සම්බන්ධව හැදෑරීමක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද...?

මේ දවස්වල රංගනය හදාරන්න මට ලොකු වෙලාවක් නෑ. හැබැයි මට රංගනය හදාරන්න ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම නිර්මාණවලට දායක වෙලාම ඒ දේවල් ඉගෙන ගන්න මගේ ලොකු කැමැත්තක් තියෙනවා. මොඩ්ලින්වලදී වුණත් මේ ක්ෂේත්‍රයට ආපු ටීනා නෙමෙයි දැන් ඉන්නෙ. ඉස්සර දකිනවාට වඩා මම මොඩ්ලින් කරද්දී ඇවිදින විදියෙන්, ඇඳුමෙන්, ෆොටෝවලට කැමරාවට මුහුණදෙන විදියෙන් වෙනස්. ඉතින් කට්ටිය ටීනා ඉස්සරට වඩා හොඳයි කියලා කියනවා. ඒ වගේම රංගනයෙනුත් නිර්මාණවලට දායකවෙලාම ඒ වැරදි හදාගන්න පුළුවන් වේවි. එක චිත්‍රපටයක රඟපෑව පලියට අපි නිළියෝ වෙන්නෙ නෑ. තව ඉගෙන ගන්න ඕනෙ. නිරූපණ ක්ෂේත්‍රයට වඩා රංගනයේදී ඉගෙන ගන්න දේවල් තියෙනවා. දෙබස් කියන විදිහ, මුහුණේ ඉරියව් ආදිය වෙනස් වෙනවා. පළමු රංගනයේදී මම මහේන්ද්‍ර අයියගේ ක්ලාස් එකට ගියා. හැබැයි වැඩිදුර මට ඒකට යන්නත් බැරිවුණා. කොහොමහරි ඉදිරියේදී රංගනය ඉගෙන ගන්න වෙලාව වෙන්කරගන්න ලොකු වුවමනාවක් මට තියෙනවා.

► Text – Dishan

අපිට කලින් චීනය දැකගත් අනුෂ්කා උදයංගනී...

ඇගේ රංගනය පළමුවරට දුටුවේ චීනයේ ප්‍රේක්ෂකයෝය. ඒ එරටේ වෙළෙඳ දැන්වීමකට ඇය හා හා පුරා කියා පෙනී සිටිය බැවිනි. අනතුරුව නිර්මාණ කිහියක්ම ඔස්සේ මේ සුරූපිනිය සිය දස්කම් විදහාලීය.

අනුෂ්කා උදයංගනී

මොහොතක් කතාබහක නියැළෙමු ඇය සමඟ.

කොහොමද චීන වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්නට ඔබට අවස්ථාව උදා වුණේ?

රඟපාන්නට ඇති ආසාව නිසා මම ස්ක්‍රීන් ටෙස්ට්වලට සහභාගි වුණා. එහෙම ගිය අවස්ථාවකදී මට යාළුවකුගේ මාර්ගයෙන් තමයි මේ චීන දැන්වීමට රඟපාන්න ආරාධනය ලැබුණේ. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා ඒ ලැබුණු අවස්ථාවට.

ඉන් පසුව ඔබ දායක වූ නිර්මාණ පෙළ ගැනයි මං ඊළඟට අහන්නේ?

ටෙලි නාට්‍ය නම් කිහිපයක්ම කළා. ඒ අතරින් හඳයා ටෙලි නාට්‍යය විශේෂයි. මං එහි සී. අයි. ඩී. චරිතයක් කළේ. හුඟක් මිනිසුන් අතරට ගියා ඒ චරිතය. ඉකුත් දිනවලදී ඉලන්දාරියෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ ඉතාරාට පණ පෙව්වා. උදුම්බරා නැමැති චිත්‍රපටයක මේ දිනවල ෂූටිං. මං එහි උදුම්බරාගේ අක්කා.

 ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තිබෙනවාද?

මට වුෂු පුළුවන්.ඒ හින්දා සටන් කලාව හා සැබැඳි චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා.

ඔබ නිළියක් වුණේ ඇයි?

කලා නිර්මාණ නිරන්තරයෙන් මං රස විඳින කෙනෙක්. කලාකරුවන්ටත් හරි ආදරෙයි. එයාලා වගේ ජනප්‍රිය කෙනෙක් වෙන්න වුවමනාව තිබුණා. ඒක නිසා රඟපාන්න ආවේ.

ක්ෂේත්‍රය සුන්දරද?

ඇත්තම කිව්වොත් හිතන තරම් සුන්දර නැහැ.

ඇයි එහෙම කියන්නේ?

නිර්මාණකරුවන්ගෙන් බොහොමයක් හොඳ අය නෙවෙයි. ඇතැම් විට අපට වැඩකට කතා කරන්නේ අයුතු යෝජනාකුත් සමඟයි. ප්‍රධාන චරිත ලැබෙන්නට තිබිලා ඔන්න මෙන්න මගෙන් ගිලිහිලා තියෙනවා. ඒ මං අර යෝජනාවලට එකඟ නොවූ නිසා.

මෙහෙම පුද්ගලයින් දිගින් දිගටම කරදර කරද්දී ඔබ මොකද කරන්නේ?

එහෙම කිහිප දෙනෙකෙªගේ නම්බර්ස් මං බ්ලොක් කරනවා. වෙන වෙන අංකවලිනුත් මට කතා කරනවා. බොහොම අමාරුවෙන් කියලා කියලා ඔවුන්ගෙන් ගැලවෙනවා.

ඔබ හිතනවද ඔබ ආකර්ෂණීය චරිතයක් කියලා?

කොහෙත්ම නැහැ. මට තියෙන්නේ සාමාන්‍ය ලස්සනක්.

රඟපාන්න ගිහින් කටු කෑව අවස්ථා මොනවාද?

එක්තරා රජ කාලෙ චිත්‍රපටයක මට රජ ඇඳුම් ඇඳගෙන පැය විසි හතරක් විතර ඉන්න වුණා. මහ පාන්දරම ඇඳුම් අන්දලා දවසම ඒ ඇඳුම පිටින් ඉඳලා රෑ තමයි ෂූට් එක පටන් ගත්තේ. පහුවෙනිදා වෙනකම්ම ෂූටිං තිබුණා. හරියාකාරව කන්න බොන්න වුණෙත් නැහැ එදා.

නිළියක් වුණාම කටකතා හැදෙනවා ඔබත් එයට සූදානම්ද?

ඔව්. කටකතා සාමාන්‍යයි. මේ ක්ෂේත්‍රයට නොහැඳුනානම් තමයි පුදුමෙ.

ඔබ මේ වන විට පෙම්වතියක්ද?

ඔව්.

පෙම්වතා ගැන විස්තර කියමු?

ඔහු කසුන්. විදෙස් ගත වෙලා ඉන්නේ.

පෙම්වතා කැමැති ද ඔබ රඟපානවට?

නැහැ. නමුත් උදවු කරනවා. කසුන් ඉස්සර මොඩ්ලිං කළා. ඒත් දැන් ඒවා කරන්නෙත් නැහැ.

ඔබේ ගෙවල් කොහෙද තියෙන්නේ?

මගේ උපන් ගම කුරුණෑගල. වර්තමාන පදිංචිය ගල්කිස්ස.

උපන් දිනය?

1993. 08. 13.

ඉගෙන ගත් පාසල?

කුරුණෑගල මලියදේව විදුහල.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවහොත්?

කාටවත්ම කරදරයක් නැති අවිහිංසක චරිතයක්.

[සටහන - ප්‍රසාද් සමරතුංග]

දික්කසාදයකින් ඔබට හිමි - අහිමි දේවල් තීරණය වන්නේ මෙහෙමයි.


කාන්තාවන් සමාජය, සංස්කෘතිය තුළ නොයෙක් භූමිකාවන් නිරූපණය කරන අතර, ඒ තුළ ඇයට පැවරෙන වැඩ ප්‍රමාණයද එකිනෙකට වෙනස් ස්වරූපයක් ගනී. එමෙන්ම ඇය නීතියෙන් වුවද පුරුෂයා හා සමානව සැලකුවද, ඇතැම් සමාජීය, ජීව විද්‍යාත්මක හා ආර්ථික කාරණා මත නීතියෙන් සමාන ආරක්ෂණයක් ලැබුණද ඇතැම් කාරණා සම්බන්ධයෙන් ඇයට අසාධාරණයක් සිදුවේ. ඒ අනුව දික්කසාදය තුළ වුවත් ඇය මුහුණපාන ප්‍රශ්න රාශියකි. පුරුෂයා හා ස්ත්‍රිය දික්කසාදයකදී නීතියෙන් එක හා සමාන ලෙස සලකා නඩුවක් තීන්දු කළද තවත් බොහෝ කාරණා මත ඇය මහත් අසරණබවකට පත්වේ. මේ පිළිබඳ සාකච්ජා කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පුද්ගල හා තුලනාත්මක නීති අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය රෝස් විජේසේකර මහත්මිය  සම්බන්ධ කර ගැනීමට අපි සිතුවෙමු.  

පෙරට වඩා වර්තමානයේ දික්කසාද වන ප්‍රමාණය වැඩියි. දික්කසාදයකට යෑම කියන තැනදී සාමන්‍යයෙන් කාන්තාව පොදු සිංහල සමාජය තුළ නීතිමය අංශයෙන් ඒ තරම් ප්‍රශ්නයකට භාජනය වෙන්නේ නැහැ. නමුත් මුස්ලිම් නීතියේදී එය කාන්තාවන්ට බලපාන්නේ පිරිමි පුද්ගලයෙකු දික්කසාද වීමේදී බලපාන නීති තත්ත්වය අනුව නෙමෙයි. ඒ නිසා ඒ දෙකෙහි ලොකු වෙනසක් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශයේදී නීතිමය අංශයෙන් සාමාන්‍ය සිංහල හා ද්‍රවිඩ දෙපිරිසටම ගත්විට ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. නමුත් පොදුවේ සිංහල හා ද්‍රවිඩ යන කාන්තාවන් දෙපාර්ශ්වයටම සමාජීය වශයෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණපාන්නට සිදුවෙනවා. 

සාමාජීය හා ආර්ථික වශයෙන් මුහුණපාන ප්‍රශ්න වැඩියි

සිංහල හා ද්‍රවිඩ කාන්තාවන් දික්කසාද වීමේදී නීතිමය වශයෙන් ඔවුන්ට වෙනස්කමක් කිසිවක් සිදුනොවුණත් සමාජීය හා ආර්ථික වශයෙන් මේ අය මුහුණපාන ප්‍රශ්න විශාලයි. සාමාන්‍යයෙන් රැකියාවල නියුතු වන කාන්තාවන් විවාහ වන අවස්ථාවේදී ඇතැම් විට රැකියාවෙන් ඉවත් වීමට පෙළෙඹෙනවා. එමෙන්ම විවාහය තුළින් ඔවුන්ට දරුවන් සිටින්නට වුණත් පුළුවන්. ඒ නිසා ඇය දික්කසාද වන අවස්ථාවේදී බොහෝ විට ආර්ථිකමය වශයෙන් ස්වාමිපුරුෂයා තරම් ප්‍රබල අවස්ථාවේ ඒ වන විට නැහැ. එසේ වන විට නීතිය සමානව සැලකුවත් සමාජීය වශයෙන් ඇය දෙවැනි තැනක සිටින්නේ. ඇය නීතියට ප්‍රවේශ වීම කියන තැනදී පළමුව ලොකු ප්‍රශ්නයකට මුහුණපානවා.

නීතියේ සහාය ලබාගැනීමේදී මුදල් කියන දෙය ප්‍රබල දෙයක් කියලා අපි දන්නවා. නඩු ගාස්තු, නීතිඥ ගාස්තු වගේ දේවල්වලට ඇයට මුදල් යොදවන්න සිදුවෙනවා. නීතිඥ සහාය ලබාගැනීමේදී පිරිමි පාර්ශ්වයට මෙන් ප්‍රබල තත්ත්වයක් නොමැති නිසා බොහෝ වේලාවට නීතිඥ සේවයේත් ඇයට යම් යම් අඩු පාඩුකම් සිදුවෙන්නට පුළුවන්. 

පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ 

දික්කසාද නඩුවකදී නීතිමය ප්‍රශ්නවලට වඩා සිද්ධිමය ප්‍රශ්න ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් වෛවාහික වරදක් කර තිබෙනවා නම් පමණයි නීතියෙන් දික්කසාදයක් ඉල්ලන්න පුළුවන්. වෛවාහික වරදක් යනුවෙන් අදහස් කරන්නේ එක්කෝ විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබෙන්න ඕන. නැතිනම් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය අතහැර දමා තිබෙන්න ඕන. එසේත් නොමැති අවස්ථාවල එක් පාර්ශ්වයක් ලිංගික බෙලහීනතාවකට පත්වෙලා තිබෙන්න ඕන. මේ කියන කාරණා ත්‍රිත්වය මත පදනම් වෙමින් දික්කසාදයක් ඉල්ලීමේ හැකියාවක් තිබෙනවා. 

එවිට අනෙක් පාර්ශ්වයේ මෙවැනි වැරදි තිබෙන බව කියන කාන්තාව හෝ පුරුෂයා එනම් දික්කසාද නඩුවක් පවරන ඔහු හෝ ඇය ඒ කාරණාව ඔප්පු කර පෙන්වීමට අවශ්‍යයි. එය ඔප්පු කළ යුත්තේ මෙහෙමයි කියා නීතියේ පැහැදිලි කිරීමක් තිබෙනවා. නමුත් මේ යටතේ  හාරලා අවුස්සලා ගන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල්. බොහෝ අවස්ථාවන්වලදී පෞද්ගලික කාරණා හාරලා අවුස්සලා ගන්න ගියහම පිරිමි කෙනෙකුගේ චරිතයක් ඝාතනය කරනවට වඩා වෙනස් ආකාරයටයි කාන්තාවගේ චරිතයක් ඝාතනය වීම උසාවිය තුළ සිදුවන්නේ. 

විවාහය කියන සංස්ථාව තුළ සමාජය කාන්තාවකගෙන් බලාපොරොත්තු වන දේවල් වැඩියි 

ද්වේෂ සහගතව සාධාරණ හේතුවක් නොමැතිව අතහැර දමා යන තත්ත්වයකදී වුණත් සමාජයක් විවාහය තුළ පිරිමින්ගේන් අපේක්ෂා කරන දෙය හා කාන්තාවකගෙන් අපේක්ෂා කරන දෙය වෙනස් නිසා පිරිමි කෙනෙක් අත්හැර දමා ගියවිට සාධාරණ හේතුවක් නොමැතිව එක වෛවාහික වරදක්ය කියලා පෙනෙන දෙයට වඩා කාන්තාවක් අතහැරලා ගිය අවස්ථාවකදී ඒක වෛවාහික වරදක්ය කියා කියන දෙය ඔප්පු කරන්න පහසුයි. මොකද කාන්තාවකගෙන් විවාහය කියන සංස්ථාව තුළ සමාජය බලාපොරොත්තු වන දේවල් පිරිමි කෙනෙක්ගෙන් සමාජය බලාපොරොත්තු වන දේවලට වඩා ගොඩක් වැඩියි. එම නිසා නීතිය එසේ වුවත් සමාජයට  භාවිතයත් සමග එය අදාළ වීමේදී පිරිමි කෙනෙකුට අදාළ වෙන්නේ එක විදිහකට, ගැහැනු කෙනෙකුට අදාළ වෙන්නේ තවත් විදිහකට. 

විවාහයෙන් පසුව අනාචාරයේ යෙදී තිබීම

අපි අනාචාරය කියන දෙය ගත්තත් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක් ඒක්ක රාත්‍රී කාලයේ කුමක් හෝ අවශ්‍යතාවකට ගියවිට තිබෙන වෙනසයි, විවාහක ගැහැනු කෙනෙක් තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන පිරිමි කෙනෙක් සමග රාත්‍රී කාලයේ අවශ්‍යතාවකට ගියවිට බලන ආකාරයයි දෙයාකාර ස්වරූපයක් ගන්නවා. ඇත්තෙන්ම එහිදී වැරැද්දක් යැයි හඳුන්වන දෙයක් නොතිබෙනවා විය හැකියි. විවාහක ගැහැනිය හා විවාහක පුරුෂයා කර තිබෙන්නේ එකම දේ වූ නමුත් මේ දිහා බලන ආකාරය වෙනස්. නීතියේ තිබෙන්නේ එකම කරුණ වුවත්, උසාවියක් තුළ සාක්ෂි විමසන අවස්ථාවේ  විනිශ්චකාරවරයාගේ සිටම නීතිඥවරයා මෙය උලුප්පා දක්වන ආකාරයෙන් කාන්තාව බරපතළ ලෙස වෙනස් තත්ත්වයකටයි මුහුණපාන්නේ. 

ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හි කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතියේ පූර්වේක්ෂණය 

දික්කසාදයක් වීම සඳහා බලපාන තවත් කාරණාවක් ලෙස ලිංගික බෙලහීනතාව හඳුනාගන්න පුළුවන්. අපේ නීතිය තුළින් විවාහයක් ඇතුළත සිදුවන ස්ත්‍රී දූෂණයක් කියා දෙයක් පිළිගන්නේ නැහැ. විවාහ වුණාට පසුව කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයාට සියලුම ලිංගික අවශ්‍යතාවන් සියලු අවස්ථාවන්හිදී කොන්දේසි විරහිතව ඉෂ්ට කළ යුතුයි කියා නීතිය පූර්වේක්ෂණය (උපකල්පනයක්) කරනවා. එනිසා තමයි කාන්තාවකගේ අකැමැත්ත මත සිදුවන ලිංගික සංසර්ගය විවාහයක් තුළ සිද්ධ වෙනවිට එය ස්ත්‍රී දූෂණයක් ලෙසින් පිළිගන්නේ නැත්තේ. 

විවාහක කාන්තාවක තමන්ගේ ස්වාමිපුරුෂයා නොවන අයෙකු සමග තමන්ගේ කැමැත්ත නැතිව ලිංගික සංසර්ගයක යෙදුෙණාතින් නීතිය අනුව එය ස්ත්‍රී දූෂණයක් වූවත්, ස්වාමිපුරුෂයා තමන්ගේ භාර්යාවගේ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙසින් සලකන්නේ නැහැ. එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ මැරිටල් රේප් (marital rape) යන නමින්. යුරෝපයේ රටවල්, ආසියාවේ ඇතැම් දියුණු රටවල්, සිංගප්පූරුව වැනි රටවල් මෙම වෛවාහික දූෂණය පිළිගන්නවා. නමුත් ඉන්දියාව, ශ්‍රී ලංකාව වගේ රටවල තවමත් ඒ තත්ත්වය පිළිගන්නේ නැහැ. 

ඒ නිසා කොන්දේසි විරහිතව ලිංගික අවශ්‍යතාවන් ඉටුකළ යුතු යැයි පිළිගන්නා තත්ත්වයක් තුළ කාන්තාවගේ යම් යම් ශාරීරික නොහැකියාවන් ලිංගික බෙලහීනතාව කියා අර්ථකථනය කිරීමේ අවදානමක් තිබෙනවා. ඇත්තෙන්ම නීතියේ ලිංගික බෙලහීනතාව කියා පදනමක් කර ගන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කළ යුතු තත්ත්වයක්. 

නමුත් ශාරීරික වශයෙන් කාන්තාවන් මුහුණදෙන ලිංගික චර්යා චක්‍රයයි, පිරිමි ලිංගික චක්‍රයයි වෙනස්. කාන්තාවන්ට දරුවන් ලැබෙනවා. ඒ වගේම ඔසප් වීම් සිද්ධ වෙනවා, ආර්ථභාවය සිදුවෙනවා. එවැනි ශාරීරික ක්‍රියාවන් නිසා ලිංගික වශයෙන් යම් යම් නොහැකියාවන්වලට වැඩි වශයෙන් භාජනය වන්නේ කාන්තාව. නමුත් නීතියේ බෙලහීනතාව කියා ලියා තිබෙන්නේ කාන්තාව හා පිරිමියාට එක හා සමානවයි. නමුත් මේ භෞතික කාරණා නිසා මෙය කාන්තාවන්ට වෙනස් ආකාරයකට බලපානවා. උසාවියකදී දික්කසාද නඩු ඔප්පු කිරීමේදී මේ වගේ දේවල් එළියට ගන්නවා. එහිදී සිදුවන්නේ ඇත්තෙන්ම කිළිටි රෙදි ප්‍රසිද්ධියේ සෝදනවා වගේ වැඩක්. 

ඔය කියන කාරණා තුනට හා සම්බන්ධ සිද්ධිමය දේවල් ප්‍රසිද්ධියේ උසාවියේ කියැවෙන අවස්ථාවේදී කාන්තාවක් අසීරුතාවකට පත්වෙන ආකාරයයි, පුරුෂයෙකු පත්වන අසීරුතාවයි අපිට සමාන කරන්න පුළුවන්ද? ඒ නිසා එතැනදීත් කාන්තාව අපහසුතාවට වෙනස්කමකට ලක් වෙනවා. 

පවුල් උපදේශනය තුළ කාන්තාව පත්වන අපහසුතාව
දික්කසාදයක් ගැනීමේදී පළමුවෙන්ම පවුල් උපදේශනය සඳහා යොමු කරනවා. මේ පවුල් උපදේශනයට යොමු කිරීම පිළිබඳවත් නොයෙකුත් ගැටලු මතු වී තිබෙනවා. මෙහිදී පිරිමි අය වැඩි වශයෙන් උපදේශකයන් ලෙස කටයුතු කරනවා. ඒ අය පුහුණු උපදේශකවරු තමයි. නමුත් පවුලේ ප්‍රශ්නයක් නිසා උපදේශනයට ගියාම කන්තාවන්ට බලපෑම් ඇතිවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. 

දික්කසාද වූ කාන්තාවකට සමාජයේ මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න.

තීන්දුව ගත් පසු නැවතත් ඒ කාන්තාව තනි කෙනෙකු බවට පත් වෙනවා. මේ වන විට කාන්තාව හොඳ මූල්‍යමය තත්ත්වයක් දරන කෙනෙකු නම් මූල්‍යමය පැත්තෙන් ඉදිරි කාලය තුළ ජීවිතය ගෙවා දැමීම ඇයට එතරම් අපහසු කටයුත්තක් වෙන්නේ නැහැ. පිරිමි කෙනෙක් රැකියාවක නිරත වීම සුලභ දෙයක්. ඒ නිසා දික්කසාද වූ නිසා පුරුෂයාට එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දික්කසාද කාන්තාවකට සාමාන්‍යයෙන් අවිවාහක කාන්තාවකට වඩා සමාජයෙන් එන වැඩි ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙන්න සිදුවිය හැකියි. 

නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථාවේ මූල්‍යමය අතින් අසරණ වන කාන්තාව

දික්කසාද වන විට දරුවන් සිටියා නම් ඒ දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ප්‍රශ්නත් මතුවෙනවා. එහිදී භාරකාරත්වය මවට හෝ පියාට නඩු තීන්දුවේදී ලැබෙන්න පුළුවන්. මව දික්කසාදයේදී නිර්දෝෂී පාර්ශ්වය වී ඒ මවට භාරකාරත්වය හිමිවුණෝතින් පියාටද තම දරුවන්ගේ නඩත්තුව ගෙවන වගකීම ගැනීමට සිදුවෙනවා. නමුත් ඇතැම්විට පියා දික්කසාදයෙන් පසු නඩත්තු ගෙවීම් පැහැරහරින අවස්ථා තිබෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඒ කාන්තාවට තමන්ගේ දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් නඩත්තු නඩු දමා උසාවි යන්නට සිදුවෙනවා. එසේ වූ විට ඇයට උසාවියේ නීතිඥ සේවය ලබාගන්න නැවතත් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඇතැම් විට මාස්පතා උසාවිය ඉදිරියේ පෙනී සිටිමින් නඩත්තුව ඉල්ලා සිටින්නට සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී කාන්තාව අසරණ තත්ත්වයකට පත්වෙනවා. 

දික්කසාදයෙන් පසු දේපොළ හිමිකාරීත්වය

දික්කසාදයට පෙර භාර්යාවගේ නමින් යම් දේපොළක් තිබුණානම් එය අයිති වන්නේ ඇයටයි. නැතහොත් ස්වාමිපුරුෂයාගේ නමින් යම් දේපොළක් තිබුණා නම් එය ස්වාමිපුරුෂයාට අයිති වෙනවා. නමුත් භූමිය භාර්යාවගේ වී සෑදූ නිවසේ වියදම ස්වාමිපුරුෂයා දරා ඇති විටෙක ඔවුන් දික්කසාද වීමේදී ඉඩමේ අයිතියට ප්‍රමුඛතාව ලබාදෙනවා. නමුත් අසාධාරණයක් සිදු නොවන්න හානි පූරණයක් සිදුකොට සිදුවුණ අලාභයට යම්කිසි මුදලක් ගෙවා නිවසේ අයිතියද භාර්යාවට ගැනීමේ හැකියාව තිබෙනවා. 

දික්කසාදයේදී නිර්දෝෂි ඇයට හෝ ඔහුට ඇලිමලි දීමනා (එක්වර ගෙවීම)

ස්වාමිපුරුෂයා හා දික්කසාද වීමේදී ඇය නිර්දෝෂී නම් ස්වාමිපුරුෂයාගේ හැකියාව, ඇයගේ අවශ්‍යතාවය, නැතිවුණ දේවල්, වැරැද්ද යන කරුණු කාරණා පදනම්ව එකවර වන්දි මුදලක් පුරුෂයා විසින් ඇයට ගෙවන ලෙස උසාවිය තීරණය කරන්න පුළුවන්. එමෙන්ම ස්වාමිපුරුෂයා නිර්දෝෂී පාර්ශ්වය නම් ඇයට සිදුවෙනවා යම් කිසි මුදලක් ස්වාමිපුරුෂයාට ගෙවන්නට. එනිසා එතැනදී ලොකු අසාධාරණයක් කාන්තාවකට සිදුවෙන්නේ නැහැ. 
එක් පාර්ශ්වයක කැමැත්තකින් තොරව තම දරුවන් විදෙස් රටවලට ගෙන යා නොහැකියි

දරුවන් වෙනත් රටකට ගෙන යෑමේ අවශ්‍යතාවක් ඇති වූ විට උසාවිය ඉදිරිපත් වී අනෙක් පාර්ශ්වයෙන් අවසර ලබාදෙන බවට ලිඛිතව කැමැත්ත ලබාදෙන්න ඕන.

දික්කසාදයේ අවසන් තීන්දුවට ප්‍රථම තවත් විවාහයක් සිදුකරගත් විට බහු විවාහයකට වරදකරු වේ

දික්කසාද නඩුවකදී තීන්දුව ලබාදෙන්නේ පියවර දෙකකින්. පළමුව ලබාදෙන්නේ 'නෛයිසයි 'නඩු තීන්දුව. එම තීන්දුව ලබාදී අවම වශයෙන් මාස තුනක් පමණ ගිය විටදී අවසාන තීන්දුව ලබාදෙනවා. ඇතැම් අය මේ තත්ත්වය වරදවා වටහා ගනිමින් ඇතැම් විට 'නෛයිසයි' තීන්දුවෙන් පසුව විවාහ වෙනවා. එවැනි විවාහයන් නීත්‍යනුකූල වන්නේ නැහැ. එහිදී බහු විවාහයකට ඔහු හෝ ඇය වරදකරු වෙන්න පුළුවන්. 

ගබ්සාව

අපේ රටේ තවමත් තිබෙන්නේ මවගේ ජීවිතයට හානියක් වන අවස්ථාවකදී හැර ගබ්සාවක් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් යනුවෙනුයි. යම්කිසි අවස්ථාවක ස්ත්‍රී දූෂණයකට ලක්වී ගැහැනු දරුවෙකු හෝ කාන්තාවක් ගැබ්ගෙන ඇති අවස්ථාවක සහ ශාරීරිකව හා මානසිකව කලලය මත සිටින දරුවා රෝගී තත්ත්වයකින්  පෙළෙන අවස්ථාවකදී යන සීමා සහිත අවස්ථාවන්වලදී ගබ්සාව සඳහා ඉඩ දෙන ලෙස ඉල්ලා නීති සංශෝධනයන් ඉදිරිපත් වුණා. තවමත් ඒ පිළිබඳ සාකච්ඡා වෙමින් පවතිනවා. 

මුස්ලිම් නොවන වෙනත් අෙයකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ 

සිංහල කෙනෙකු ද්‍රවිඩ කෙනෙකු හා විවාහ වීමේදී එය සිදුකළ යුත්තේ සාමාන්‍ය නීතිය යටතේ. ඒ නිසා එම විවාහය දික්කසාද කළ යුත්තේද සාමාන්‍ය නීතිය යටතේයි. නමුත් මුස්ලිම් අයෙකු සිංහල හෝ ද්‍රවිඩ අයෙකු විවාහ කරගත් විට එවැනි නීතියක් සාමාන්‍ය නීතියක් යටතේ සිදුකරන්න පුළුවන්. නමුත් මුස්ලිම් නොවන වෙනත් අයෙකු සමග සිදුකරන විවාහයන් මුස්ලිම් නීතිය පිළිගන්නේ නැහැ. මුස්ලිම් තරුණියක් එසේ වෙනත් ජාතියක කෙනෙක් සමග සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුවහොත් මුස්ලිම් නීතියෙන් ඇය තවදුරටත් පාලනය නොවේ. 

ප්‍රදේශයක කාතිවරයාට අවුරුදු 12ට අඩු ගැහැනු ළමයෙක් වුණත් වැඩිවියට පැමිණ තිබෙනවා නම් විවාහ කර දීමට අවසර ලබාදීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙය තවමත් නීතියේ තිබෙන තත්ත්වයක්. එය ඇත්තෙන්ම ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක්. මෙය බරපතළ ලෙස නරක ප්‍රතිඵල ඇති කරන තත්ත්වයක්.

මුස්ලිම් කාන්තාවක් හෝ පිරිමියෙකුගේ විවාහය, දික්කසාදය, දරුවන් හදාගැනීම, දරුවන්ගේ භාරකාරත්වය, වගේ දේවල් සියල්ල නිරූපණය වන්නේ ඔවුන්ගේ මුස්ලිම් නීතිය හරහා. ඒ සඳහා සකස් වුණු වෙනම මුස්ලිම් නීති හා එහි තීන්දු ලබාදීම සඳහා කාති උසාවි පිහිටුවලා තිබෙනවා. 

මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ සීමිතයි

මේ කාති උසාවිවල සිටින කාතිවරුන් සම්පූර්ණයෙන් පිරිමි පුද්ගලයන්. ඒ නිසා මුස්ලිම් කාන්තාවකට කාති උසාවියක් තුළ සාධාරණයක් වීමේ ඉඩකඩ අඩුයි. මුස්ලිම් සමාජය අතිශයින් පුරුෂ මූලික සමාජයක්. ඒ අය ගැහැනු අය දෙස බලන්නේ එක්තරා විදිහකට. මුස්ලිම් නීතියේදී සාක්ෂිකරුවෙකු ලෙසින් මුස්ලිම් පිරිමි කෙනෙක් කියන දෙයක් පිළිගන්නා නමුත් කාන්තාවක් සාක්ෂිකයක් ලබාදුන්විට එය තහවුරු කිරීමට තවත් කාන්තාවක් සාක්ෂි ලබාදිය යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ අපි කොහොමද කාන්තාවන්ට සමානාත්මතාවක් අපේක්ෂා කරන්නේ. 

විදෙස් රටවලදී බලපාන පෞද්ගලික ජාත්‍යන්තර නීතිය
අපේ රටේ අයෙකු වෙන රටකට ගිය පසුව එතැනදී අපේ රටේ නීතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතැනදී ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතිය. අපේ රටේ අෙයකු වෙනත් රටක අපරාධයක් කළ විට එහිදී බලපාන්නේ ඒ අදාළ රටේ අපරාධ නීතිය. ලංකාවේ කාන්තාවක් ජපානයේ පුරුෂයෙකු විවාහ කරගත් විට කුමන රටක නීතියක් අනුවද විවාහ විය යුත්තේ කියා ප්‍රශ්නයක් මතුවෙනවා. ජපන් නීතිය යටතේ විවාහවී ශ්‍රී ලංකාවේද ලියාපදිංචි වුවහොත් එම විවාහය රටවල් දෙකම පිළිගත් විවාහයක් වෙනවා. නමුත් මේ දෙපළටම දරුවෙක් සිටින අවස්ථාවක වෙන් වී මව තම දරුවා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියහොත් ජපානයේ සිටින ස්වාමිපුරුෂයා කුමක්ද කළ යුත්තේ. එහිදී බලපාන්නේ පෞද්ගලික ජාත්‍යන්තර නීතියයි. 

පුරුෂයාගේ අවසරය නොමැතිව එසේ ලංකාවට දරුවා ගෙන ඒමේදී ලංකාවේ මහාධිකරණයේ මේ සම්බන්ධ විශේෂ නීතියක් තිබෙනවා. මහාධිකරණය, විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ දරුවගේ ප්‍රශ්නේ ඒ අධිකරණයේ විභාග කරන්නේ ලංකාවේ නීතියට අනුව නොව ඒ තිබෙන විශේෂ නීතියට අනුවයි. මෙවැනි ගැටලු ඇතිවන නිසා හැම රටකටම පොදු යම්කිසි නීතියක් තිබෙන්න ඕන. ඒ නිසයි එවැනි අවස්ථාවල පෞද්ගලික ජාත්‍යන්තර නීතිය වැදගත් වෙන්නේ. 

 ( ෂෙහානි දිල්රුක්ෂිකා )

රාගමින් දුම්රියට නඟින දූ‍වරුනි පරිස්සම් වන්න!


ඒ පසුගිය අනෝරා වැසි වැටුණු දිනයකි. කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ගසක් කඩා වැටීම හේතුවෙන් කඳාන දුම්රිය ස්ථානයෙන් කොටුව බලා යන දුම්රිය ධාවනය ප්‍රමාද වීය. චමරී මෙනිසා සුපුරුදු ලෙසින් දුම්රියට ගොඩ වීමට කඳාන දුම්රිය ස්ථානයට නොපැමිණ රාගමට ගියාය. ඇය රාගම දුම්රිය ස්ථානයට පැමිණෙද්දී වෙලාව පෙරවරු 6.30ට පමණය. රාගම දුම්රිය ස්ථානයට ඒ මොහොතේ ළඟාවීමට නියමිත වූ දුම්රිය ඒ වෙද්දී ද ළඟා වී නොතිබිණි. දුම්රිය බලාපොරොත්තුවෙන් පන්සීයකට අධික මගී පිරිසක් එහි රැඳී සිටියහ. ඒ මැද්දේ චමරි ද සිට ගත්තේ කෙසේ හෝ දුම්රියට ගොඩ වැදීමේ අපේක්ෂාවෙනි.

පාණදුර බලා දිවෙන මන්දගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී පෙරවරු 6.45 ද පසුවී තිබිණ. චමරී ද දුම්රියට පොරකන සෙනඟ අතරට මැදි වූවාය. එතැන වූයේ එකම තදබදයකි. කාගේත් අපේක්ෂාව කෙසේ හෝ දුම්රියට ගොඩවීමය. සෙනඟ අතරේ පොරකන අතරේ චමරිට දැනුණේ පසුපසින් ඇගේ සිරුරට කෙනකු තෙරපෙන බවකි. මගී තෙරපුම අතරේ එය නොතකා හැරීමට උත්සාහ ගත්ත ද මේ පුද්ගලයාගේ තෙරපුම අසාමාන්‍ය බවක් දැනුණෙන් චමරී ඔහු තල්ලු කරමින් ඔහුගෙන් ඉවත්ව වෙනත් පැත්තකින් දුම්රියේ පාපුවරුවට යන්තමින් පයක් තබා ගත්තාය. එහෙත් ඇය ගොඩ වීමට පෙර දුම්රිය පිටත් වීමට ආසන්න බව අඟවමින් නළාව නාද විය.

“කන්තෝරු යන්න පරක්කු වුණාට කමක් නෑ. අද්දන කෝච්චියට එහෙම නගින්න එපා ” මව හැමදාම පවසන වදන් චමරිගේ දෙසවන යළි ඇසෙන්නට විය.

‍‍තෙරපෙන සෙනඟ තමාත් ඇදගෙනම දුම්රියට නැගීමට පෙර ඇය දුම්රියට නැගීමේ සටනින් පරාජය බාරගෙන ‍පසෙකට වූවාය. ‍ඒ සමගම ඇයට දැනුණේ ඇගේ නිතඹ ප්‍රදේශයේ දැවිලලක් මුසු වේදනාවකි. චමරි ඇඳ සිටි බ්ලවුසයට යටින් නිතඹට අත තබා බැලුවාය. අතට දැනුණේ ඇලෙන සුලු බවකි. වේදනාව දරුණු වෙද්දී ඇය තමාගේ අත ඇලෙන්නේ මන්දැයි බැලුවාය.

“දෙවියනේ, ලේ ... ලේ කොහෙන්ද?”

ඇඳ සිටි කලිසමද ‍තෙමා ගෙන රුධිරය ගලා යද්දී චමරී බියෙන් මුසපත් වී පියාට දුරකථන ඇමතුමක් දුන්නාය.

“ තාත්තේ, මගේ කකුල සීරිලා ද කොහෙද ලේ එනවා. මෙහෙම කන්තෝරු යන්න බැහැ. මාව එක්ක යන්න එන්න”

සිදුව ඇත්තේ කුමක් දැයි කාටත් වැටහුණේ ඇය නිවෙසට විත් ඇඳුම් ගලවා බලද්දීය. ඇගේ කකුලේ නිතඹ ප්‍රදේශය හරහා කැපුම් තුවාලයකි. ඉන් වැගිරෙන ලෙයින් ගෙබිම තෙමී යයි. ලේ දැක චමරිත් ඇගේ මවත් විලාප නගද්දී පියා‍ වහාම නිවෙස අසල විසූ පෞද්ගලික වෛද්‍යවරයකු කරා දියණිය කැටුව ගියේ තුවාලයට බෙහෙත් දැමීමටය.

“මේක කැපුම් තුවාලයක් මට බෙහෙත් දාන්න බැහැ. ඉක්මනටම රෝහලකට අරන් යන්න”

එතැනින් ඔවුහූ වහාම රාගම ලීසන්ස් රෝහල කරා ගියහ. එහිදී තුවාලයට මැහුම් දොළහක් යෙදිණි.

“ මේක දැළි පිහි පහරක්. කපනකොට දැනුණේ නැත්තේ ඒකයි” නොයෙක් දෙනා නොයෙක් දේ කීහ.

අපේ රටේ සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා ආරක්ෂිතය යන්න කාගේත් පොදු මතයයි. චමරි නව යොවුන් දැරියකි. ඇයට මේ දැළි පිහි පහරට ලක් වන්නට වූයේ ඇය කුමක් කළාටද?

පාපතර නරුමයකුගේ විකෘති ආශාවකට අවනත නොවූ ඇයට වන්දි ගෙවීමට සිදු වූයේ දැළි පිහි පහරකිනි. දැන් ඇය නිවෙසට වී වේදනාවෙන් කල් ගත කරන්නීය. ගතේ වේදනාවටත් වඩා ඇගේ සිතේ වේදනාව බලවත්ය. දුම්රියේ යෑමට දැන් ඇගේ සිතේ ඇත්තේ බලවත් බියකි.

අද අපේ රටේ කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී විශේෂයෙන්ම දුම්රියේදී ඇතැම් පිරිමින්ගෙන් විඳින්නට සිදුවන අකටයුතුකම් ‍බො‍හෝය.

තවත් පිරිමි ගැහැනියක එවන් අතවරයකට ලක්ව ඊට විරුද්ධ වෙද්දී නෑසූ කන්ව සිටිති. අවාසනාවක මහත‍. පිරිමිකමට නිගා දෙන මෙවන්

සිද්ධි දැක දැක නිහඬවීමද නිවටකමකි.

චමරිට වූ මේ අවාසනාවන්ත සිදුවීම හැරුණු කොට තවත් මෙවැන්නක් අපට අසන්නට ලැබිණ. ඒ ද රාගම දුම්රිය ස්ථානයේදීය. රාගමින් දුම්රියට ගොඩවූ තරුණියක සිය ඩෙනිම් කලිසමේ නිතඹ ප්‍රදේශය කැපී තිබෙනු දුටුවේ දුම්රියෙන් බැස යද්දීය. වාසනාවකට ඇගේ සිරුර තුවාලවී නොතිබිණ. මින් අපට හැඟී යන්නේ දැළි පිහියක් ගත් නරුමයකු රාගම දුම්රිය ස්ථානය අවට ගැවසෙන බවය. විශේෂයෙන්ම මගී තදබදය ඇති වෙලාවලය.

වැඩිහිටියන් මේ පිළිබඳව රාගම දුම්රිය ස්ථානාධිපතිවරයා හෝ පොලිසිය දැනුම්වත් කිරීමට සැරසුණද චමරි ලජ්ජාව නිසා එයට විරුද්ධ වූවාය.

මවුවරුනි, වැඩිහිටියනි, මේ සටහන තැබෙන්නේ ඔබ වෙනුවෙනි. මෙවන් නරුම පුරුෂයන් අප අතර සිටින බවට ඔබේ දියණියන් ද දැනුම්වත් කරන්න. හැකිතාක් දුරට අවධානයෙන් සිටින ලෙසට අවවාද කරන්න. පොදු ප්‍රවාහන සේවාවල යන එන ඔබ සැම මෙවන් සිද්ධි ගැන දැනුම්වත් වීම අගනේය. එසේම එවන් සිද්ධි ඇස ගැසුණහොත් එයට විරුද්ධව නොබියව හඬ නගන්න.

- සේමාලි

හිරු Super Dancer 'තිනේ­ශිකා නිසල්යා' කිව්ව කතාව...


පසුගියදා හිරු නාළිකාව පුංචි නැට්ටුවන් පිරිවරා ගනිමින් ප්‍රසාංගික රියැලිටි අත්දැකීමක අවසාන මහා තරගය ‘හිරු Super Dancer‘ අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. එහිදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිනේශිකා නිසල්යා (ජින්නා) සමත් වුණා. හිරු Super Dancer උණුසුම යන්න කලින්ම මේ පුංචි තරුව එක්ක සිය සතුට බෙදා ගන්න අපි තීරණය කළා. මේ මොහොතේදී ඇය සමඟ ඇයගේ නර්තන ගුරුවරයාත් අපිත් එක්ක එකතු වුණා.

ජින්නා ඔබට දැනෙන සතුට වචන වලට පෙරළමුද?

ගොඩාක් සතුටුයි.

හැමෝම ජින්නා කියලා කතා කරන්නේ ඇයි?

මට එහෙම කියන්නේ ආදරේට. මම තිනේශිකා නිසල්යා. වයස අවුරුදු 13 යි. මම ඉගෙන ගන්නේ බප/කැල. විහාර මහාදේවී බාලිකා විද්‍යාලයේ 9 වසරේ. තාත්තා රැකියාව විදියට මාළු බිස්නස් කරන්නේ. අම්මා ගෙදර ඉන්නේ. මට මල්ලි කෙනෙක් ඉන්නවා.

මේ ගමනේ ආරම්භය ගැන මතක් කරමු?

අම්මාට කලින් වැඩිපුරම මේ තරගයට මාව යොමු කළේ ලොකු අම්මයි, අක්කයි. අක්කා තමා හිරු Super Dancer තරගයට අයදුම්පත් දැම්මේ. දහස් ගාණක් අතුරින් තේරී පත් වුණාට පස්සේ මුලින්ම මාව පළමුවැනි වටේට පුහුණු කළේ බාස්කර් සර්. දෙවැනි වටේට මගේ සර් ධනුෂ්ක සර් පුහුණු කළේ. පළමුවැනි වටේට මාගේ සර් හිටියේ නැහැ. ඊට පස්සේ ලලිත් සර්, ධනුෂ්ක සර් මට පුහුණුවීම් කරන්න උදවු කළා.

ජින්නා නර්තනයට යොමු වෙන්නේ කොහොමද?

මම පොඩි කාලේ ඉඳන්ම නර්තනය කළා. තාත්තා ජිම්නාස්ටික් කරපු කෙනෙක්. ඒ නිසා තාත්තා තමා මාව නර්තනය පැත්තෙන් ඉදිරියට යැව්වේ.

මීට පෙර නර්තනය පැත්තෙන් වෙනත් තරග සඳහා සහභාගී වෙලා තියෙනවද?

හිරු Super Dancer මගේ පළමුවැනි තරගය. හැබැයි මම 2016 අවුරුද්දේ දෙරණේ Little star තරගයට ගියා. එතැනදී මම 48 න් කැපුනා.

හිරු Super Dancer තරගයේදී ඔබ විවිධ අවදානම් සහිත නර්තනාංග ඉදිරිපත් කළා. ඒ දේවල් ඉදිරිපත් කරද්දී බයක් දැනුණේ නැද්ද ?

සර් විශ්වාස නිසා බයක් දැනුණේ නැහැ.

ඔබව මේ තැනට ආවේ ඔබගේ ගුරුවරයා නිසා කියලා කිව්වොත්.

ඔව්. ලලිත් සර් කියන්නේ මට තාත්ත කෙනෙක් වගේ. ඔහු ගොඩක් මහන්සි වුණා මාව මේ තැනට ගෙනෙන්න. මේ වේලාවේදී මාගේ සර් ට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

මේ තරගාවලියේදී වැඩිම Golden Medals ප්‍රමාණයක් දිනා ගන්න ඔබට හැකි වුණා?

ඔව්. සතුටුයි ඒ ගැන. හොඳ තරගයක් දීලා නේ ගත්තේ.

ජින්නාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා. අනාගතය ගැන මොනවගේ බලපොරොත්තුවක් ද තියෙන්නේ?

මම ආසයි ජාත්‍යන්තර තරගයකට මුහුණ දෙන්න. හැබැයි තනියම නෙමෙයි සර් එක්කයි යන්න බලාපොරොත්තුව. දැනට විදෙස් ප්‍රසංග තුනකට ආරාධනා ලැබිලාත් තියෙනවා.

මේ මොහොතේදී ඔබට ලොකු පිරිසක් සහයෝගය දෙන්න ඇති. ඒ අයව මතක් කරමු නේද ?

ඔව්. මාව මේ තැනට ගෙන්න, මට උදවු කළ ලංකාවාසී ලෝකවාසි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එයාලා නිසා තමා මම මේ තරගය දින්නේ. විශේෂයෙන් මාගේ පවුලේ සියලු දෙනාට, ලලිත් සර් ඇතුළු කණ්ඩායමට සහ හිරු නාළිකාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


ඊළඟට අපි කතාවට එකතු කර ගත්තේ ජින්නාගේ ගුරුවරයා වූ ලලිත් පැරකුම් ව

ජින්නාගේ පුහුණුකරු විදියට දැනෙන සතුට මොනවගේද?

වචන වලින් කියන්න බැරි තරම් සතුටුයි. මේ ජීවිතයේ ලබන ලොකුම සතුට අත්විඳින ගමන් ඉන්නේ.

ඔබට ජින්නා ව තරගකාරියක් විදියට මුණ ගැසෙන්නේ කොහොමද?

හිරු Super Dancer පළමු වටයේ තරග සඳහා මගේ පන්තියේ ළමයිනුත් ගියා. එතැනදී මම ජින්නගේ පළමුවැනි ඉදිරිපත් කිරීම දැක්කා. මම එයාව අධ්‍යයනය කළා. මම ඒ වෙලාවේ දැන ගත්තා මේ ලෝකේ කාටවත්ම කරන්න බැරි දේවල් ඇයට කරන්න පුළුවන් කියලා. ඇත්තටම ජින්නා වැනි දක්ෂයෙක් හම්බ වෙනතුරු මම බලාගෙන හිටියේ.

අවදානම කියන් දේ ජින්නාගේ නර්තනය තුළ වැඩිපුරම දකින්න ලැබුණු දෙයක්.

ඔව්. හැමදේටම තියෙන ආත්ම ශක්තිය ජින්නා ළඟ තිබුණා. මම ජින්නට හැමවෙලාවෙම කිව්වා දෙයක් 'අපි සාමාන්‍ය නර්තනයක් කරලා වැඩක් නැහැ, සාමාන්‍ය නර්ත ශිල්පිනියක් වෙලත් වැඩක් නැහැ ' කියන එක. අපි මේ දේ වෙනස් කරන්න ඕන. මිනිස්සු අතරට යන්න නම් වෙනස් දෙයක් කරන්න ඕන කියලා මම එයාට කිව්වා. මම හැමදෙයක්ම එයාට ඉගැන්නුවේ ප්‍රමිතියකට ඉගෙන ගෙනයි. කේබල් ඩාන්ස් පවා මම හොඳට ඉගෙන ගෙන තියෙනවා. ඔයාට මම තව දෙයක් කියන්නම්, මම තමයි ආදරේට 'ජින්නා' කියලා නම දැම්මෙත්. අපි ගොඩක් අඩුපාඩුකම් යටතේ ඉගෙන ගත්තේ.

අද ජින්නා ඉන්න තැන ඔබ ට දැනෙන හැඟීම මොනවගේද?

මම බය නැතුව කියනවා කේබල් ඩාන්ස්, ට්‍රැඩිෂනල් ඩාන්ස්, හිපොප් ඩාන්ස් මේ කියන ඕනෑම ස්ටයිල් එකේ ඩාන්ස් කරන්න පුළුවන් ලෝකයේ ඉන්න එකම ඩාන්සර් ජින්නා කියලා. අද මට දුකක් නැහැ අද මම ජින්නව හම්බවෙන්න යන නිසා. නමුත් හෙට ඉඳන් මට ජිවත් වෙන විදිය හිතා ගන්න බැහැ. හැමදාමත් මම ජින්නාට ආදරෙයි. හැමෝම හිතන්නේ ජින්නයි මමයි තාත්තයි දුවයි කියලා. ඉතින් මම හැමවෙලාවෙම ජින්නා ව දැක්කේ ,මගේම දරුවෙක් විදියට ජින්නා වෙනුවෙන් පිටිපස්සේ ඉඳන් පණ වුණත් දෙන්න මම ඉන්නවා. ජින්නා කියන්නේ මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. දැනටමත් රටවල් කිහිපයකින්ම ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ජින්නත් එක්ක පිටුපසින් එයාට හයියක් වෙලා මම හැමදාම ඉන්නවා.

ලලිත් ඔබ ට හිරු Super Dancer වේදිකාව ලැබෙන්නේ කොහොමද?

අපි කොච්චර දක්ෂ වුණත් අපිට ලංකාවේ තැනක් තිබුනේ නැහැ. මම හිරු මෙගා ස්ටාර් වේදිකාවේ සහය නර්තන ගුරුවරයෙක් විදියට ඉගැන්නුවා. පසුව විරාජ් සර්,දමිත් සර් මාව දැකලා මට කතා කළා. ඒ අය මට කිව්වා, පුතා හිරු Super Dancer තරගයක් තියෙනවා කියලා. විරාජ් සර් ගේ කතා කිරීම මත තමයි මම Super Dancer තරගයට ඇතුළු වුණේ. හිරු එකෙන් දීපු මේ අවස්ථාව නිසා තමා අද අපි මෙතැන ඉන්නේ නැත්නම් අපි කොච්චර දක්ෂ වුණත් අද මෙතැනට එන්න බැහැ.