Showing posts with label movie. Show all posts

සක්කාරං හොදම තේරීම කවුද?



ධර්මසේන පතිරාජ කලාකරුවානන්ගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ නවතම සිනමා නිර්මාණය ලෙස 'සක්කාරං' දැන් තිරගත වේ.එහි කතා අර්ථය වඩාත් ලාංකේය ජන සමාජයේ සිදු වූ විපර්යාසයන්ට19 වන සියවස වග කිව යුතු බවක් හගවයි.එය 'සොක්කන් ලොක්කන්වූ වගයි' පර්යේෂණ කෘතියේත් හෙළිදරව් කරතිබුණු කාරනයකි.එම කතාවට සමාන කතාවක් 'සුදු සෙවණැලි' සිනමා කෘතිය තුළින්ද මීට පෙර ලාංකේය සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත සමීප කොට තිබුණි.කතා අර්ථයේ කිසිදු ගැටලුවක් නැත.

මෙම සිනමා කෘතිය මගින් වර්තමාන සමාජ සන්දර්භය පිළිබදවත් නැවත වරක්  සිතන්නට ප්‍රේක්ෂකයා යොමු කරවන සුළුය.එහෙත් ගැටලුව සිනමා කෘතියේ කාන්තා චරිත නිරූපණය ලාංකේය යොවුන් සිනමා ප්‍රේක්ෂකාගාරය එක එල්ලේ වැළද ගනියිද යනුයි?ලාංකේය ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තුවන ප්‍රේමවන්තිය වූ 'රතී' ලිංගික හැගීම් උද්දීපනයට නම් දරාපු නිළියකගේ ස්වභාවයකි.ඒ සදහා නවක නිළියක යොදා ගැනීමේදී චන්න පෙරේරා කලාකරුවා/ජැක්සන් ඇන්තනි කලාකරුවා සිදු කළ පරිදි  විකල්පයන්ට යා යුතුව තිබුණිනම්(නිළියන්ගේ නම් සදහන් නොකරමි...හිස් තැන ඔබ පුරවා ගන්න මතකයට ඉඩ දී...)ලාංකේය  ප්‍රේක්ෂකාගාරය වැල නොකැඩී 'සක්කාරං' වැළද ගැනීමට ඉඩ  තිබුණි...

සංවාදයට විවෘතයි.......

ඉෂාර ලක්මිණ 













ආදරණීය කතාවක් - A melody of love


ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයක් ලෙස රිදී තිරයට එන ආදරණීය කතාවක් චිත්‍රපටයෙහි විශේෂ දර්ශනයක් පසුගිය (25දා) කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්විණි. ආදරණීයයන්ට ආදරණීය ආරාධනයක් ලෙස තේමාගත කොට ඇති චිත්‍රපටය වැඩි පිරිවැයක් සහිතව නිෂ්පාදනය කර ඇති බවක් බැලූ බැල්මටම පෙනෙයි. එහෙත් චිත්‍රපටය තුළ අධික ලෙස යොදා තිබූ සන්නාම ප්‍රචාරණයන් මියුසික් වීඩියෝවක ගතිලක්ෂණ පෙන්නුම් කළ බව සඳහන් කළ යුතුමය. එහෙත් ආදරණීයයන්ට වඩා සාධනීය රසාස්වාදනයක් වනු ඇතැයි හඟවන චිත්‍රපටයක් ලෙස එය දැක්විය හැකිය.

චිත්‍රපටයට පිවිසීමක් ලෙස සංස්කරණ කටයුත්ත සම්බන්ධයෙන් සඳහන් කළ යුත්තක් ඇත. බිමල් ජයකොඩිගේ චරිතයෙහි හඬ සහ රුව එකිනෙක මත නොපිහිටීම, ගීත තුළද එම සමතුලිත බව නොපිහිටීම වැනි අසමතුලිතතා හැරුණු කොට චිත්‍රපටයේ වර්ණ සංකලනයන් ගුණාත්මක මට්ටමක පැවතුණු බව සඳහන් කළ යුතුය. චිත්‍රපටයේ කැමරාකරණය සහ ආලෝකකරණය විශිෂ්ට මට්ටමක පැවතුණු බවද මෙහිලා සඳහන් කළ යුතුය. රංගනයේ සැමදා සුපුරුදු හැකියාවන් තබාගෙන බිමල් ජයකොඩි කැපී පෙනුණද, හේමාල් සිය හැකියාවන් වඩවාගන්නා බව දැකීම සිංහල සිනමාවේ ඉදිරිය වෙනුවෙන් ගුණාත්මක සාක්ෂියක් විය. අරුණි රාජපක්ෂ සහ උදාරි වර්ණකුලසූරියගේ රංගනයන් සම්බන්ධයෙන්ද මින් පෙර මෙම කාරණා දැකිය හැකි විය.

සිංහල සිනමාවට මෑතක එළඹුණු චිත්‍රපට කිහිපයකම මෙයාකාරයේ කතා තේමා දකින්නට හැකිවිය. තරුණයෙකු සහ පෙම්වතියන් දෙදෙනෙකු හෝ තරුණියක සහ පෙම්වතුන් දෙදෙනෙකු සහිත අදාළ තරුණියගේ හෝ තරුණයාගේ නිදන්ගත රෝගයක හදිසි මතුවීමක් සහිත කතා අපට දැකිය හැකි විය‍. චන්ද්‍රන් රත්නම්ගේ මේ වගේ ආදරයක් සහ නාලක විතානගේ නිර්මාණය කළ අනිත්‍යා වැනි චිත්‍රපටද මෙවන් ආරකම ගමන්ගත් බව ඔබ අප මෙන්ම ඔවුන්ද දන්නා බව පිළිගත යුතුය. මෙම රැල්ල එකෙකු අනෙකා කොපි කිරීමක්ද, එසේත් නොමැතිනම් සියල්ලන් එක ලෙස සිතීමක්ද යන්න තීරණය කිරීම ප්‍රේක්ෂක ඔබට බාරය.

ඒ වෙනුවෙන් ඔබ ආදරණීය කතාවක් නැරඹිය යුතුය. උක්ත සඳහන් කළ  දෑ පැවතුණද ආදරණීය කතාවක් යනු අවසානය තෙක් අලස බවකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයකි.චිත්‍රපටයේ ගීත වැඩි සංඛ්‍යාවක් අන්තර්ගත වීම නිසා චිත්‍රපටය මඳක් දුර ඇදුණු බව සඳහන් කළ යුතුය. එය චිත්‍රපටයට යම් බොලිවුඩමය හැඟීමක් ලබා දෙයි. එසේ වුවද අයෙකුට මෙය ගායකයෙකු සහ ගායනය සම්බන්ධ කතා තේමාවක ඇදෙන නිසා එසේ විය නොහැකිදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එක් එක් පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව එය තීරණය වුවද කසුන් කල්හාර ජයවර්ධන සහ කුෂානි සඳරේඛාගේ ගායනයේ සුවිශේෂත්වය හැරෙන්නට එම ගීත නිරන්තර වාදනය වීම ප්‍රේක්ෂකයා චිත්‍රපටය කෙරෙන් බැහැර කරවන සුලුය.

අනෙකුත් නළු නිළියන්ද සාර්ථක රංගනයක නියැළෙන අතර, සුළු චරිත කිහිපයක අධි රංගනයන් හැරුණු කොට චිත්‍රපටය සාර්ථක ලෙස නිමවී ඇති බව පැහැදිලිය. ආදරණීය කතාවක් සම්බන්ධ ඔබේ මතය ලබාදීමට නුදුරේදීම ප්‍රේක්ෂක ඔබට ඉඩ ලැබෙනු ඇත.


රන්බීර් දීපිකාගේ අලුත්ම චිත්‍රපටය අද එළියට. (Video)


ශාරුක් කාජල්ට පස්සේ බොලිවුඩයේ බිහිවු ගැළපෙනම ජෝඩුව රන්බීර් දීපිකා කියලනේ ගොඩක් අය කියන්නේ.

සැබැ ජිවිතයේ පෙම්වතුන් හැටියට වෙන්වුණාට පස්සේ මේ දෙන්නා මුලින්ම ර‍ගපෑවේ “යේ දිවානි හේ දිවානි“ චිත්‍රපටියේ. ඒක අති සාර්ථක වුණා.

රන්බීර් දීපිකා  ඊළ‍ගයට ර‍ගපාන තමාෂා ෆිල්ම්එක එළිදක්වන්නේ අද. ඒක ඊටත් වඩා සාර්ථක වෙයි කියලයි ගොඩක් අය හිතන්නේ.

මොකද රූගත කිරීම් පටන් ගත්ත දවසේ ඉදලම ෆිල්ම් එකට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණනේ. 

කොහොම නමුත් තමාෂා ෆිල්ම් එක ගැන වැඩිපුරම බලාපොරොත්තුවෙන් ඉන්නේ  රන්බීර් කපූර්. ඒ මීට කලින් ඔහු ර‍ගපෑ ෆිල්ම් දෙක තුනම වැරදුණ නිසා. 

වඩා වැදගත් ජීවත් වීමයි - No Escape


ඕනෑම රටක ගැටුමක් ඇරැඹුණු විට ඊට මැදිව විපතට වැටෙන්නේ අහිංසක සිවිල් වැසියන්ය. එය ලෝකයේ ඕනෑම කෙළවරකට පොදු වන සත්‍යයක් වන අතර ජනතා සුබ සිද්ධිය උදෙසා සටන් වදින්නේ යැයි පවසන පාර්ශ්ව පවා ගැටුමට එළඹුණු විට සිවිල් ජනතාව ගැන තැකීමක් කරන්නේ නැත. පසුගිය අගෝස්තු 26 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වූ ‘නෝ එස්කේප්’ සිනමා පටයෙන් පැවසෙන්නේ ද ඒ හා සමාන පුවතකි. එම නව ක්‍රියාදාම, සංත්‍රාසමය චිත්‍රපටය. ජෝන් එරික් ඩොව්ඩ්ල්ගේ අධ්‍යක්ෂණයකි. ‘නෝ එස්කේප්’ හී තිර රචනය ජෝන් එරික් ලියා ඇත්තේ තම සොහොයුරු ඩ්‍රිව් ඩොව්ඩ්ල් හා එක්වය.

එය ගිනිකොණදිග ආසියාවේ නමක් නොකියවෙන මනඃකල්පිත රටකි. එරට සන්නද්ධ සටන්කාමීන් පිරිසක් කුමන්ත්‍රණයක් දියත් කරන්නේ එරට අගමැති ඝාතනය කොට පාලන බලය සියතට ගනු පිණිසය. ඊට පැය 17 කට පෙර ඇමෙරිකානු ඉංජිනේරුවකු වූ ජැක් එරටට පැමිණෙන්නේ සිය බිරිය ඇනී හා දියණියන් දෙදෙනා වන ලුසී සහ බ්‍රීස් සමඟිනි. ජැක්ගේ අරමුණ වන්නේ එරට ඉංජිනේරු සමාගමක් අලුතින් පිහිටුවීමය.

එරටට පා තැබූ වහා ඔවුනට හැමන්ඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයකු මුණ ගැසෙයි. හැමන්ඩ්ගේ මිතුරු කෙනී ද ජැක් හා ඇසුරට පත් වෙයි. ඔවුන් හෝටලයට ළඟා වූ වහා දැනගන්නට ලැබෙන්නේ දුරකථන, රූපවාහිනී හා අන්තර්ජාල සබඳතා බිඳ වැටි ඇති බවය.

හැමන්ඩ් පුවත්පතක් මිලට ගනු පිණිස වීදියට යද්දී දකින්නේ සන්නද්ධ සටන්කාමීන් හා පොලීසිය අතර ඇතිවන ගැටුමකි. ඉන් මිදී පලා එන ඔහුට දැකගන්නට ලැබෙන්නේ සන්නද්ධ සටන්කාමීන් පිරිසක් හෝටලය ඉදිරිපිටදී ඇමෙරිකානු සංචාරකයන් කිහිප දෙනකු ඝාතනය කරන අන්දමයි. හැමන්ඩ් හෝටලයට ඇතුළු වෙද්දීම පෙනී යන්නේ සටන්කාමීන් එක් පසෙකින් හෝටලයට ඇතුළුව එහි සේවකයන් මරා දමමින් හෝටලයේ රැඳී සිටින සංචාරකයන්ගේ තොරතුරු එකතු කරන ආකාරයයි.

එතැන් සිට ජැක් හා පවුලේ අයගේත් හැමන්ඩ් හා කෙනීගේත් වීර චාරිකාව ඇරැඹෙයි. සටන්කාමීන් වෙතින් ගැලවී එරටින් පලා යාම ඔවුන්ගේ අරමුණ වෙයි.

ඕවන් විල්සන්, ලේක් බෙල්, පියර්ස් බ්‍රොස්නන්, ස්ටර්ලිං ජර්නිස්, ක්ලේයර් ජියර්, ස්පෙන්සර් ගැරටි, කැරන් ගෙමා බයිරන් විල්සන් සහ රසල් ජෙෆ්රි වැනි නළු නිළියන් රැසක් රඟන මෙම චිත්‍රපටය රූගත කර ඇත්තේ තායිලන්තයේය.

මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පට ප්‍රදර්ශනය වෙද්දීම ඊට කාම්බෝජයෙන් විරෝධය එල්ල වූයේය. එරට සංස්කෘතික අමාත්‍යාංශය කීවේ චිත්‍රපටයේ දැක්වෙන ආසියාතික රාජ්‍යයේ පොලිස් ලාංඡනය ලෙස දැක්වෙන්නේ එරට කමර් රූජ් පාලන සමයේ පොලිස් ලාංඡනය උඩු යටිකුරු කරමින් කියාය. කාම්බෝජය එරට ‘නෝ එස්කේප්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කළේය.

බොහෝ විචාරකයන් පවසා ඇත්තේ ගිනිකොනදිග ආසියාකරය අලළා මෙතෙක් හොලිවුඩයෙන් නිපැයි ඇති ක්‍රියාදාම චිත්‍රපටවල මිශ්‍රණයක් මිස අලුත් යමක් ‘නෝ එස්කේප්’ වෙතින් දැක ගන්නට ලැබෙන්නේ නැත කියාය.


-කුමාර සිරිවර්ධන

මේ වගේ ආදරයක් බලන්න අපිට පින නැද්ද? - Movie Review


ලංකාවේ සිනමාශාලාවන්ගෙන් පිටතට පැමිණෙන්නන් කොට්ඨාශ දෙකකි. 

එක වර්ගයක්, චිත්‍රපටියේ නළුවාගේ කඩවසම්කම, නිළියගේ ඇඳුම් ආයිත්තම් ගැන කතා කරමින් ශාලාවෙන් පිටතට පැමිණ රෑට කන්නේ කොහෙන්දැයි සිතමින් වාහනයට නැග පිටව යන පිරිසයි.


අනෙක් වර්ගය අතිශයින් අත්භුතය. කිසිදු අදහසක් පල නොකර ඉබේටම ශාලාවෙන් එළියට අවුත්, ඉබේටම පඩිපෙළෙන් බැස ඉබේම වාහනයට ගොඩ වී ඔහේ ගෙදර යන පිරිසයි. (උපතින්ම අත්භූතයින් නොවන බව කරුණාවෙන් සලකන්න.) 


පොදු අපට සිතෙන්නේ පළමු කොටස මාර විදිහට 'movie එක enjoy' කර ඇති බවය. කොහොමද film එක කියා ඇසු විට 'හොඳයි පොඩි change එකකට නේ ඉතින්' කියා කියන්නේ මොවුන් ය.


දෙවැනි කොට්ඨාශය මේ ප්‍රශ්නය හමුවේ 'හිරවේ'. ඔවුන්ට චිත්‍රපටියෙන් පසු කිසිවක් සිදු නොවුණා සේ හැසිරෙන්නට නොහැක. කඳුළුවලින් හෝ හදවතින් ඔවුන් හැඬු බව ඔවුන් පිළිගනී. නොඑසේ නම් සිනහවෙන් හෝ ආත්මයෙන් සතුටු වූ බව ඔවුන් පිළිගනී.


යම් චිත්‍රපටියක් සතුව දෙවැනි කොට්ඨාශයේ ප්‍රේක්ෂක පිරිසක් බිහිකිරීමේ හැකියාවක් පවතී නම් එය 'සාර්ථකය'. මේ වගේ ආදරයක් චිත්‍රපටිය තුළ පළමු අර්ධයේ එය සාමාන්‍ය සිද්ධි දාමයක් යැයි සිතෙන්නට ගත්තද, දෙවන අර්ධය ප්‍රේක්ෂකයාගේ මතකය, වේදනාවන් හෝ සංවේදනාවන් පාරයි.

සෑම ආදරයකටම happily ever after නැති විය හැක. අනපේක්ෂිතව ආදරයක ඉම කඳුළු කෙළවර වේදනාවේ ඉවුරක නතර විය හැක. 


තිරයේ සෙරීනාගේත් රොෂාන්ගේත් 'මේ වගේ ආදරයක්' දකින්නෝ කඳුළු සලන්නේ සෙරීනා හිටි හැටියේ ජිවීතයෙන් සමුගන්න නිසා ම නොව. නමුත් ඉතාම අංශු මාත්‍රයික  සිද්ධි අතරේ ඇති සියුම් සරල ආදරයක් අහිමි වී ඇති නිසා හෝ හිමි වී නැති නිසාය. නොහොත් වේදනාවට හෝ ඊරිසියාවටය.


ලංකාවේ චිත්‍රපටවලට බැන බැන සිටීමේ පලක් නැත. මන්ද සියල්ලෝම එක වගේ නොවන නිසා. ආදරයේ අපරිමිත කැපකිරීම් පරිත්‍යාග හා හැගීම් ඉඳහිට හෝ සිංහලෙන් බලන්නට අපට පුරුද්දක් නැත. 


මේ කතාවම හින්දියෙන් තනා, හින්දි නළු නිලියන් යොදා, ඉඳහිට දෑත් දෙපසට විහිදා සින්දුවක් දෙකක් කීව නම් මැතිවරණ ප්‍රතිඵල අතරේ පැය 12ක්  Happy New Year බැලුව සේ බලන්නට තරම්, අලුත් වුවත් අපූරු සුසංයෝගයක් වූ දිනක්ෂි - අනුජ් යථාර්ථය මේ වගේ ආදරයක් ඔස්සේ රඟපාද්දී 'ලංකාවේ බුද්ධිමත් ප්‍රේක්ෂකාගාරයට' පින නැතුවාද?


ලංකාවේ බහුතරයක් ලියවෙන්නේ විචාරයන් නොව විවේචනයන් හෝ අමු වන්දිභට්ට වර්ණනාවන්ය. හොඳ නරක ගුණාත්මකව විමසා බැලීම අමතක කොට දර්ශනයන් විවේචනය කරයි. විචාරයන්  නිසා අදාල කලාකෘතිය බැලීමට කුතුහලයක් හා උනන්දුවක් ඇති විය යුතුය. දැන් කල යුතුව ඇත්තේ ලංකා ප්‍රේක්ෂකයින් විවේචනය කරමින් කලාකෘති විචාරය කිරීමයි.   


කතාව, අධ්‍යක්ෂණය, නිෂ්පාදනයේ අඩුව ගැන මහා කලකිරීමෙන් කියවීමට වඩා ප්‍රේක්ෂකයාගේ රසාස්වාදයේ හීනවීම, රහක් විඳින්නට පිනක් නැති කම ලංකාවේ සිනමා කර්මාන්තයේ අභාග්‍ය වී ඇත. 'මේ වගේ ආදරයක්' අපේ සිනමා ශාලාවලින් ගැලවී යන්නේ enjoy කරන්නට වෙන කරන්නට දෙයක් නැති නිසා film 'දකින' උදවිය වැඩියෙනුත්, ජීවිතය කියවන්නට හිත සැහැල්ලු කරගන්නට සිනමාව 'විඳින්නවුන්' අඩුවෙමිනුත් යන නිසාය.



- අනුෂි හක්මනගේ 

ඓශ්වර්යාට අභියෝගයක් වන කැනේඩියානු ප්‍රියා.


ලොව වටිනාම සම්පත ලෙස සලකන්නේ දරු සම්පත බව බොහෝදෙනා දන්නා කරුණකි. විශේෂයෙන්ම මවකට තම දරුවා ඇගේ පණ හා සමානය. තම දියණිය මැර කල්ලියක් විසින් පැහැරගනු ලැබූ පසු ඇයව බේරා ගැනීමට මව දරණ උත්සාහයක් වටා නිර්මාණය වන ''Jazbaa'' සිනමා පටය හරහා වසර 05ක කාලයක් සිනමා දිවියට සමුදී සිටි ඓශ්වර්යා නැවතත් සිනමාවට ප්‍රවිෂ්ට වී සිටිනවා.

සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම සිනමාපටය ඔක්තෝම්බර් මස 09 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවනු ලබන්නේ ඉෆ්රාන් ඛාන්, ප්‍රියා බැනර්ජී සහ ශබානා අස්මිය. Jazbaa චිත්‍රපටය 2007 වර්ෂයේදී තිරගත වූ කොරියානු චිත්‍රපටයක් වූ ''සෙවන් ඩේස්'' චිත්‍රපටය නැවත හින්දි බසින් ප්‍රතිනිර්මාණය වීමක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Jazbaa හි තවත් සුවිශේෂත්වයක් වන්නේ කැනේඩියානු ජාතික නිළියක වන ප්‍රියා බැනර්ජී මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමයි. ඇයගේ හින්දි සිනමා දිවියේ පළමු රංගනය මෙය වන අතර ඇය මෙහි නිරූපණය කරන්නේ ශබානා අස්මිගේ දියණියගේ චරිතයයි. ඇය මීට ඉහතදී රංගනයෙන් දායක වී ඇත්තේ තෙලිඟු සහ දෙමළ චිත්‍රපට සඳහායි. ඇගේ පළමු චිත්‍රපටය ලෙස දායක වී ඇත්තේ තෙලිගු චිත්‍රපටයක් වන Kiss චිත්‍රපටයටයි. කැනේඩියානු ජාතික නිළියක් වන ප්‍රියා බැනර්ජී හේතුවෙන් ඓශ්චර්යාගේ ප්‍රතිරූපයට කිසියම් බාධාවක් ඇතිවේයැයි චිත්‍රපට විචාරකයෝ අදහස් පළකර තිබෙනවා. එයට හේතුව වන්නේ ප්‍රියාගේ රූපකාය ඓශ්යිචර්යාට අභියෝගයක් එල්ල කරන බැවිනුයි.

ප්‍රියා බැනර්ජී විසින් රංගනයෙන් දායක වූ පළමු තෙළිඟු චිත්‍රපටය සඳහා 3rd South Indian Internationl Movie Awards හිදී Best Telugu Female Actress සම්මානයට උරුමකම් කී ඇය මෙවරත් හින්දි චිත්‍රපට වන Jabaaz තුළින් සම්මානයන් සඳහා උරුමකම් කීමට හැකියාවක් ඇති බවටද දැනටමත් අදහස් පළ වෙනවා. කෙසේවුවද මෙම චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වා ඇති මෙහි අධ්‍යක්ෂක වන සන්ජේ ගුප්තා පවසා ඇත්තේ, මෙහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන ඓයිශ්වර්යා හා ප්‍රියා දෙදෙනා නිසාම මෙම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට යාමට හැකියාව ඇති බවයි. මේ වන විට Jazbaa චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලය වෙත මුදා හැර ඇති අතර, ඒ සඳහා විශාල ප්‍රතිචාරයක් හිමිව තිබෙයි. 




ඇට්ලැන්ටිස්හි කුමාරිකාව වූ Aiysha Hart.


මේ දිනවල BBC One මාධ්‍ය ජාලයේ සහ අප රටේද සමගාමීව විකාශය වන රූපවාහිනී කතා මාලාවක් වූ ඇට්ලැන්ටිස් රූපවාහිනී කතා මාලාවේ කුමරිය නොහොත් අරියාන්ඩි ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත් වී තිබේ. 

2013 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනු ලැබූ ඇට්ලැන්ටිස් හි පළමු කතාමාලාව කොටස් 13කින් යුක්ත විය. එමෙන්ම එහි දෙවැනි කතාමාලව කොටස් 11කින් යුක්ත වන අතර, එහි විකාශන ආරම්භ කරනු ලැබුවේ 2015 වර්ෂයේ මැයි මාසයේදීය. 

අයිෂා හාර්ට් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 2013 වර්ෂයේදී තිරගත වූ Djinn චිත්‍රපටය හරහාය. 2013 වර්ෂයේ 400 Boys ඇයගේ දෙවැනි චිත්‍රපටය වන අතර, එය අතරමගදී රූගත කිරීම් නතර කරන ලදී. ඉන්පසු ඇයගේ තෙවැනි චිත්‍රපටය ලෙස Honour සඳහා රංගනයෙන් දායක වූ අතර, එය මුදල් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක් ලෙස නම් කෙරුණි.

2013 වර්ෂයේ ඇය සිය පළමු රූපවාහිනී කතාමාලාව ලෙස BBC One මාධ්‍ය ජාලය විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'ඇට්ලැන්ටිස්' කතාමාලාවේ කුමාරිකාව ලෙස රංගනයෙන් දායක වෙයි.

මේ වනවිට වයස 26ක් සපිරි අයිෂා එංගලන්තයේ උපන්නියක වන අතර, ඇයට විවිධ භාෂා කතාකිරීමේ හැකියාවක් පවතී. ඇය වැඩි වශයෙන් භාවිත කරන භාෂා ලෙස හඳුන්වන්නේ ප්‍රංශ, ආරබි සහ ඉංග්‍රීසි භාෂාවයි. ඇගේ මව එංගලන්තයේ ලිවර්පූල් ප්‍රදේශයේ වන අතර, පියා සෞදි ආරාබි ජාතිකයෙකි. 

පසුගිය දිනෙක hungertv විසින් කරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවේදි ඇය පවසා තිබුණේ, තමන් කුමරියක් ලෙස හැඟෙන බවය. ඒ තරම්ම ඇය එම චරිතයට ආදරය කරන බවට පවසා තිබුණි. කෙසේවෙතත් BBC මාධ්‍ය ජාලය මෙම රූපවාහිනි කතාමාලාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ මෙහි ප්‍රසිද්ධම චරිතයේ හිමිකාරිනිය ඇය බවයි. 


විශාකාගේ පියයුරු ලස්සනයි කී රසිකයාගෙන් ඇය කළ ඉල්ලීම් තුන.


'Fukrey' චිත්‍රපටය නිසා ජනාදරයට පත්වූ කොලිවුඩ් නිළි විශාකා සිං ෆේස්බුක් ඔස්සේ ඇගේ රසිකයෙකුට ලබා දුන් ප්‍රතිචාරයක් මේ වන විට ඉන්දීය මාධ්‍යවල ආන්දෝලනයට ලක්ව තිබේ. 

ඩෙනිම් කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසී සිටින ඡායාරූපයක් ඇගේ නිල ෆේස්බුක් පිටුව වෙත එක් කිරීමෙන් පසුව මුස්ටාකිම් සයිෆි නම් පුද්ගලයෙකු එයට ප්‍රතිචාර දක්වමින් "Nice looking & nice boobs" යැයි පවසා ඇති අතර එයට ප්‍රතිචාර ලෙස විශාකා  විසින් එම රසිකයාගෙන් ඉල්ලීම් තුනක් සිදුකොට තිබේ. එම ඉල්ලීම් තුන පහත වේ. 

1)කරුණාකරලා ඔබගේ ප්‍රොෆයිල් පින්තූරය ලෙස යොදා තිබෙන අහිංසක දරුවාගේ ඡායාරූපය ඉවත් කරන්න

2)ධෛර්යක් තියෙනවානම් ඔබගේ ඇත්ත ඡායාරූපයක් ප්‍රොෆයිල් පින්තූරය ලෙස යොදාගන්න 

3)හොඳ පියයුරු....මම දන්නවා මම ගැහැණියක්..මේ ඔබගේ සාමාන්‍ය දැනගැනීමට කියන්නේ..ඔව් හැම ගැහැණියකටම පියයුරු තිබෙනවා...ඔබගේ අම්මට, සහෝදරියට,ආච්චිට, දුවට..වගේ හැමෝටම..ඔයා ඒගොල්ලෝ ගාවටත් ගිහින් "හොඳ පියයුරු" කියලා කියනවද? ඔබ ගැන දුකයි..ඕක මගේ මුනට කියන්න හයියක් තියනවද? එහෙම නැත්තනම් මගේ පිටුවෙන් යන්න.



දකුණු ආසියානු සිනමා උළෙලේ (SAARC) කිරුළ ශ්‍රි ලංකාවට.


05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙලේදී, හොඳම සිනමාපටය හා හොඳම අධ්‍යක්ෂක යන ප්‍රධාන සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ සමීර රංගනගේ සිනමා අධ්‍යක්‍ෂණයක් වූ මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබුවා. 

පටිභාන (Perception) සිනමාපටය අධ්‍යක්‍ෂණය වෙනුවෙන් රබින් චන්ද්‍රසිරි උළෙලේ හොඳම අධ්‍යක්‍ෂක ලෙසත් සම්මානයට පාත්‍ර වුණා. මෙම සිනමාපට ද්විත්වයම අදාල සිනමාවේදීන් දෙපළගේ කුළුදුල් සිනමා නිර්මාණයන් වීම විශේෂත්වයක් වනවා. 

ඉහත සම්මාන ද්විත්වයට අමතරව ජූරියේ විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීමට 'Dreams,Weavers & Viewers' නම් කෙටි සිනමාපටය අධ්‍යක්‍ෂණය කල නයනි සන්ධ්‍යා චන්ද්‍රසිංහ සමත් වුණා.
උළෙලේ විශිෂ්ටතම සිනමාපටය ලෙසට පිදුම් ලැබු මෝටර් බයිසිකල් (Motor Bicycle) සිනමාපටය,දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර ඇතුළු ප්‍රවීන හා යොවුන් රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වයෙන් සිනමාපටය හැඩ ගැන්වෙනවා.
  
2011 වර්ෂයේ ආරම්භය සනිටුහන් කල සාර්ක් සිනමා උළෙලේ, ශ්‍රි ලංකාව හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව මෙය වනවා.
2011- පළමු අදියර - බඹර වළල්ල (අතුල ලියනගේ)
2012- දෙවන අදියර- ආකාස කුසුම් (ප්‍රසන්න විතානගේ)
2014- සිව්වන අදියර- සුවිසි විවරණ (සරත් ධර්මසිරි)
2015- පස්වන අදියර- මෝටර් බයිසිකල් (සමීර රංගන)

එසේම හොදම අධ්‍යක්‍ෂණය උදෙසා වූ සම්මානයෙන් ශ්‍රි ලංකාව පිදුම් ලැබූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා.
2014- සිව්වන අදියර- සරත් ධර්මසිරි (සුවිසි විවරණ)
2015- පස්වන අදියර- රබින් චන්ද්‍රසිරි (පටිභාන)

ඊයේ නිමාව දුටු පස්වන අදියරත් ඇතුළුව සාර්ක් සිනමා උළෙල ඉතිහාසයේ (2011-2015) පිරිනමන ලද මුළු සම්මාන සංඛ්‍යාව 36 ක් වන අතර , ඒ අතුරින් සම්මාන සංඛ්‍යාව 13කට හිමිකම් කීමට ශ්‍රි ලංකාව සමත් වීම කැපී පෙන්නවා.

හැට අට වසරක ශ්‍රි ලාංකේය සිනමා ඉතිහාසයේ , දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Feature Length Films) උදෙසා ශ්‍රි ලංකාව ලද 188 වැනි සහ 189 වැනි අන්තර්ජාතික සිනමා සම්මානයන් ලෙසත්, 2015 වර්ෂයේදී ශ්‍රි ලංකාව ලද දෙවන හා තෙවන අන්තර්ජාතික සිනමා ජයග්‍රහණයන් ලෙසත්, ඊයේ රාත්‍රියේදී ශ්‍රි ලංකාව ලද සාර්ක් සම්මාන ද්විත්වය වාර්තා පොත් අතරට එක් වනවා.

2015 වර්ෂයේදී ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට ලද අන්තර්ජාතික සම්මානයන් පහතින් බලන්න.

1. රෝයල් රීල් සම්මානය- මංගල ගමන- නන්දන හේවාපන්න- 09වැනි කැනඩා අන්තර්ජාතික සිනමා උළෙල (වැන්කුවර්- කැනඩාව)
2. හොඳම අධ්‍යක්‍ෂක- රබින් චන්ද්‍රසිරි- පටිභාන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) 
3. හොඳම සිනමාපටය- මෝටර් බයිසිකල් -සමීර රංගන- 05 වැනි සාර්ක් සිනමා උළෙල (කොළඹ -ශ්‍රි ලංකාව) 

ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලා පරිශ්‍රයේදී 05 වන දකුණු ආසියාතික (සාර්ක්) සිනමා උළෙල පෙරේදා නිමාවට පත් වුණා.


සරාගී නිළි ශ්‍රද්ධා කපුර්ගේ මීළඟ පිම්ම. (Videos)


ඉන්දියාවේ සිනමා ප්‍රේක්ෂකයෝ අතර වඩාත් ජනප්‍රිය වූ ABCD (ANY BODY CAN DANCE) චිත්‍රපටයේ දෙවැන්න තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතයි.

නර්තනයේ දෙවියන් ලෙස හඳුන්වන ප්‍රභුදේවා මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර අශිකි චිත්‍රපටියෙන් ජනප්‍රිය වූ ලාබාල සුරූපී නිළි ශ්‍රද්ධා කපුර් ද මෙහි ප්‍රධාන චරිතයකින් සිය දායකත්වය ලබා දෙයි.

මිට අමතරව තරුණ කඩවසම් නළු වරුන් දවාන්ද මෙහි තවත් ප්‍රධාන චරිතයකට පණ පොවනු ලබයි.

නර්තනයට ප්‍රිය කරන සිනමලොලින් වෙනුවෙන් නිර්මාණය වූ ABCD 2 චිත්‍රපටිය ඉන්දියාවේ සිනමාවේ තවත් හැරවුම් ලක්ෂයක් වෙනු ඇතැයි සිනමා විචාරකයින් පවසයි.

බොලිවුඩ් චිත්‍රපට හා දුම්රිය දර්ශන.


බොලිවුඩ් චිත්‍රපට 10 ක් ගත් විට ඉන් චිත්‍රපට 09 ක ම පාහේ දුම්රියක විශේෂී දර්ශනයක් ඇතුළත් ව තිබීම දැක ගත හැකි ය. කෙසේ වුව ද විටෙක එය ප්‍රේක්ෂක හාස්‍යසට ලක් වුව ද අදාල ජවනාකාව රසික සිතට කා වදින ලෙස චිත්‍රපයට ඇතුළත් කර ඇති බවක් දක්නට ලැබේ.

දුම්රිය ගමන් කරන අතර වාරයේ අවසානයේ නළුවා හෝ නිළිය දුම්රියට ගොඩවන අවස්ථාව මෙහි දී බොහෝ විට නිරූපණය කරයි. දුම්රියට ඇතුළුවීමට දොරටු කොපමණ පැවතිය ද යන දුම්රිය සමග දුව ගොස් නළුවා හෝ නිළිය සිටින දොරටුවෙන් ම ඇතුළුවීමට උත්සාහ කිරීම විටෙක හාස්‍යට කරුණක් වී ඇත. 

එය ඇතැම්විට අතාත්වික දර්ශණයක් විය හැකි වුව ද ඊට ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමේ විශේෂත්වයක් ඇති බව සඳහන් කළ හැකි ය. ඊට කදිම නිදසුනවන්නේ එදාමෙදා තුර බිහි වූ චිත්‍රපට සියල්ලෙහිම මෙන් දුම්රිය දර්ශනයක් අන්තර්ත කර තිබීමයි.     

එලෙස දුම්රිය දර්ශන ඇතුළත් චිත්‍රපට අතරින් ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් දායක වූ චිත්‍රපට දෙස අවධානය යොමු කිරීමේ දී, දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිට චෙන්නයි එස්ප්‍රස් දක්වා ශාරුක්ගේ බොහෝ චිත්‍රපටවල දුම්රිය සම්බන්ධ වූ දර්ශන ඇත. එයින් සමහරක් ඉන්දීය සිනමාවේ අමතක නොවන දර්ශන වේ.

1) දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ-සිමිරන් දුවගෙන ඇවිත් රාජ්ගේ අතේ එල්ලීම.


  

2) දිල් සේ-චයියා චයියා ගීතය.



 3) කුච් කුච් හෝතා හේ-අංජලී දුම්රියේ සිට රාහුල්ට සමුදීම.



  
4) දේව්දාස්-පාරෝ බැලීමට අන්තිම ගමන දුම්රියෙන් යෑම.




5) කල් හෝ නා හෝ- නේනා සහ රෝහිත් මිතුරු කිරීමට අමන් නිව්යෝක් දුම්රියපලේ සිට හිස් දිනපොතක් කියවීම.




 6) මේ හූ නා - මේජර් රාම් දුමිරියපොළේ සිට පැමිණීම.



  
7) ස්වදේශ් - මෝහන්ගේ දුම්රිය ගමන.


  

8) වීර් සාරා - වීර් සාරාට තම ආදරය දුම්රියපොළේලේ දී ප්‍රකාශ කිරීම. දෝපල් රුකා ගීතය.



  
9) රා වන් - ජී වන් දුම්රිය බේරා ගැනීම.


  

10) ජබ් තක් හේ ජාන් - සමර් මීරාට ලන්ඩන් දුම්රියපොළේ දී ආදරය ප්‍රකාශ කිරීම සහ බෝම්බයක් නිශ්ක්‍රීය කිරීම.


  

11) චෙන්නයි එස්ප්‍රස්- මීනමිමා රාහුල්ගේ අතේ එල්ලී දුම්රියට ගොඩවීම.



මීට අමතරව චමත්කාර් චිත්‍රපටයේ දුම්රියක ගීතමය ජවනිකාවක් ඇත. Happy New Year චිත්‍රපටයේ රේල් පාරක මනවාලා ගීතයේ දර්ශනයක් ඇත. තිරගතවීමට නියමිත Fan චිත්‍රපටයේත් දුම්රිය දර්ශනයක් ඇති බව වාර්තා වේ.


කන්ගනා ජාතික සම්මානයෙන් පිදුම් ලබයි.


2015 ඉන්දීය ජාතික සම්මාන උළෙලේදි හොඳම නිළිය සම්මානය දිනා ගැනීමට කන්ගනා රනවුත් සමත්ව තිබෙනවා. ඒ කන්ගනා රඟපෑ කුයින් චිත්‍රපටය සඳහායි.  

කන්ගනා සම්මානය දිනූ කුයින් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින් බලන්න....


මැරි මැරී උපදින ජීවිත ගැන අපට කියන බොරදිය පොකුණ.


ඇය ගාර්දිවසම් දෝන පද්මා ආරියලතා නොහොත් ගෝතමියයි. සත්‍යජිත් මාඉටිපේගේ බොරදිය පොකුණ චිත්‍රපටයේ කතා නායිකාව ඇයයි. ඇය සමාජ සම්මතයට අනුව කිසි පෙනුමක් නැති කටකාර යුවතියකි. ඇය හා මනා රූ සපුවක් හිමි මංගලාද, තැන්පත් චාම් ගතිගුණවලින් හෙබි සුවනීතාද ( සමාජ නීර්ණයන්ට අනුව) එකම ස්ථානයක රැකියාව කරන අතර, එකම බෝඩිමක වෙසෙයි. ඔහු විපුලය. පත්තිනි හේවාරාලලාගේ විපුලය. ඔහු යුද හමුදාවේ සේවය කරයි. මාඉටිපේ බොරදිය පොකුණ කේන්ද්‍රගත කරන්නේ මෙම චරිත හරහාය. මෙයින් මගේ මනස කළඹන්ගේ ගෝතමීය. ගෝතමීව මුලින්ම අපට හමුවන්නේ පාසලෙන්  ප්‍රතික්ෂේප වන දර්ශනයකිනි. මෙතැන් පටන් ඉතා සංවේදී ලෙස ඇය මාගේ සිත තුළ ඇති කරන්නේ දරුණු හිස් බවකි. 

අප බලාපොරොත්තු වන ආදරය, පිළිගැනීම, තේරුම්ගැනීම අපට නොලැබෙන තැන අපට ඇතිවන්නේ දරාගත නොහී දුකකි. කුඩා කාලයේ අපේ බලාපොරොත්තු ඉතා අහිංසකය. ඒවා සීමාසහිතය. නමුත් එවැනි අහිංසක ආශාවක්වත් කුඩා කාලයේදී අපට නොලැබෙද්දී අප හඬනවා හැරෙන්නට වෙන මොනවා කරන්නද? නමුත් වයසින් මුහුකුරා යද්දී සමාජය හා උරෙනුර ගැටෙද්දී අප ශරීරයෙන් වර්ධනය වෙද්දී කුඩා කල ඇට, මස්, ලේ නහරවලට නොදැනෙන ප්‍රේමයෙන්, ලිංගිකත්වයෙන් අපේ සිත පිරෙද්දී, ඒ දේවල් අපට බලාගන්නට බැරි කාලකණ්ණිකමක් අප තුළ තිබේ නම් කළයුත්තේ කුමක්ද? ඒ අපට උරුම වූවක්ද? උරුම කර දුන්නක්ද? 

ගෝතමීගේ ජීවිතයේ ඇති ඛේදවාචකය මා දුටුවේ සමස්ත සමාජයේම ඛේදවාචකයක් ලෙසයි. අප සමාජයේ බොහෝ සුන්දර මිනිසුන් ලෙස ජීවත්වෙමු. කුටුම්භය තුළ ඒ සඳහා අපට හිමිවන්නේ සුවිශේෂී තැනකි. නමුත් ඇතුළාන්ත ජීවිතය ගත් කල ගෝතමීගේ ජීවිතයට සමාන වූ ද, එසේ නැත්නම් වෙනස් මනෝලිංගික සංකීර්ණතාවලින් හෙම්බත් වී මළ මිනිසුන් වී ඇත්ද?

නමුත් බොහෝවිට එය ලොවට නම් රහසකි. මෙවැනි පරිසරයක් මත දිගහරින ගෝතමීගේ චරිතය අපට සමීප කරගැනීම බලෙන් සිද්ධවන්නක් නොව එය අපේ සිතුවිලි හා සමග නිරායාසයෙන් සිද්ධවන්නකි. විපුල හෝ වේවා වෙනයම් කාගේ හෝ වේවා ලිංගික සන්තර්පණයක් බලාපොරොත්තු වන ගෝතමී බලෙන් ලිංගික සුවය ලබද්දී මම එය සාධාරණීකරණය කළෙමි. 

සමාජ සම්මතයට අනුව එය නොහොබිනා ක්‍රියාවක් ලෙස දැකීමට පුළුවන. නමුත් ප්‍රේමය හා ලිංගිකත්වය ජීවිතේ උපරිම වශයෙන් ලබන මංගලා වැනි චරිත හමුවේ ප්‍රේමය, ලිංගිකත්වය, පිළිගැනීම මේ කිසිත් නොලබන ගෝතමී කොයිතරම් නම් දැඩි මානසික ආතතියක ඇතිද? එහෙයින් ඒ හැඟුම් කෙසේ හෝ නතු කරගැනීමට වෙර දැරීම කිසිවෙකුටවත් බැහැර කළ හොහැක. 

ඉරිතලා ගිය පොළොවකට වැස්සක් හෝ නොලැබෙද්දී පොළොව කුමක් කරන්නද? එය අහසේ වරදක්ද? වැස්සේද නැත්නම් කර්කශ පොළොවේද? අපේ වහරින් කියන පිරිමි පුළුටක් හෝ ඇගේ ඇඟේ දැවටෙන්නට, ඇයව පිළිගන්නට අකමැති සමාජ සංස්ථාවේ සම්මත ලකුණු ක්‍රමයේ ඍණ අගයක් ඇයට උරුම කර දී ඇති නිසාද? ගෝතමීගේ උතුම් හදවත ගැන මිනිසුන්ට නොදැනෙන්නේ ඇයි?

ගෝතමීට නැති වී තිබෙන අයිතීන් දිනාදීමට මගේ සිත හා උත්සාහ දරන්නේ ගෝතමීගේ චරිතයේ සුවිශේෂීත්වය හරහා මගේ ප්‍රතිබිම්භය මා ගෝතමී තුළින් දකින නිසා පමණක් නොවේ. හැම මිනිස් ජීවිතයකම ලොවට නොපෙන්වන අඳුරු පැතිකඩක් අප හැම තුළම පවතින හෙයිනි. නමුත් එය කඩතිරවලින් වසන් කර තබමු. කෙසේ හෝ වේවා ඇතුළාන්ත ජීවිතය හෙළිකරන කළ ගෝතමීලා නැතිවෙන්නට බැරිය. අවාසනාවට රූපය සඳහා වැඩිපුර ලකුණු ලබාදෙන මූලධර්මයේදී හදවත හා මිනිස්කම වැනි ආත්මීය සාධක සඳහා අඩු අගයක්, නැත්නම් අවතක්සේරුවක් ලබාදීම කොතරම් හීනමානද? එම සාධක තීරණය කරනු ලබන්නේ හදවත නැති මිනිසුන් නම් කම් නැත. නමුත් හදවත්වලට දොරගුලු දා, සමාජ පොදු සාධක දොහොත් මුදුනින් පිළිගනිමින් තම හදවතේම කොතරම් මානුෂීය කාරණා වළදමා තිබේ ද?  

විපුල හා මංගලා ලිංගික සුවය හා ඒ මොහොතේදී ජීවිතය විඳීම බලා ඉන්පසු තම කාමරයේ ස්වයංවින්දනයේ යෙදෙන ගෝතමී පිළිබඳව මසිතේ ඇතිවන්නේ දැඩි අනුකම්පාවකි. ලස්සන ගැහැනු හා පිරිමින් නටන දෙස බලා අහිංසක සතුටක් ලබන්නට ඇයට ඉතිරි වීම ඇගේ වරදක් නොවේ. ඇයට සමාජය කෙරෙහි වෛරයක්, කුහකකමක්, පිළිකුළක් ඇතිවීම අරුමයක්ද?

තමා සේවය කරන තැන අඹරැල්ලා ගෙඩිය රසවිඳින ගැහැනු අවසානයේ ගෝතමීට ඉතුරු කරන්නේ අඹරැල්ලා ඇටය පමණි. පසුව ආයතනයේ නිලධාරිනියගෙන් බැණුම් අසන්නේද ඇයයි. ඉදින් ඇය එම දුක තුනී කරන්නට දරන උත්සාහය සාර්ථක වූ පසු අහිංසකව සතුටු වීම ඉමහත් සාධාරණය. මේ ක්‍රියා ඉතාමත් පොදුය. 

විපුල හා එක්වීමට පසුත් ගෝතමී විපුල සොයායන්නේ හුදු ලිංගිකත්වය පමණක් අපේක්ෂා කරන නිසාද? නැත්නම් මාතෘත්වයේ අපේක්ෂාව හිත ඇතුළේ හටගෙන ඇති නිසාද?

කෙසේ හෝ විපුලට දාව උපදින දරුගැබ හමුවේද ඇය අන්ත අසරණ ගැහැනියක වෙයි. දරුගැබ විනාශ කිරීම සඳහා විපුලගේ මිතුරන් බල කරන නිසා සියල්ල හැරදා යන ගෝතමී දරුවා ප්‍රසූත කර දුම්රිය පොළක දමා යන්නේ ඇය තුළ මාතෘත්වයේ අගය නැති නිසා නොවේ. ඇය හුදු වීරවරියක් නොවන්නේ එහෙයිනි. 

මෙවැනි සංකීර්ණ මනෝභාවයන් ඉතා සියුම් ලෙස අධ්‍යයනය කර බොරදිය පොකුණ හරහා ගෙනෙනා මාඉටිපේ මේ හැම චරිතයකින්ම ඉතා සියුම් ලෙස සමාජ හා ජීවිත විග්‍රහ කරයි. එසේම මිනිස් හැසිරීම් රටා හා එහි සංකීර්ණතා හඳුනාගන්නටද ඉතා සූක්ෂ්ම ලෙස ඔහු සමත් වී ඇත.

 එසේම ගෝතමී ඇතුළු සෙසු චරිත හරහාද විවිධ සමාජීය පසුබිම් විවරණය කරන්නට, අපූර්වත්වයෙන් හසුකරගන්නට ඔහු සමත් වී ඇත. ගෝතමී විශේෂයෙන් හැම හදවතකම විශේෂයෙන් ලැගුම්ගන්නේ එම චරිතයේ ඇති ජීවමාන බව නිසාය. ඒ සමාජ යථාර්ථයයි. එය අපට  වසන් කර සුදු හුණු ගා වසා දැමිය නොහැක. 

ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය ලොවට රහසකි. එය හැංගිය යුතු විවෘතව කතාකළ යුතු නැති පටු මායිම් ඇති කාරණයකි. නමුත් මෙවැනි මනෝලිංගික සංකීර්ණතා විවෘතව කතාකළ යුතු දෙයක් මිස බැහැර කළ යුතු දෙයක් නොවේ. එය අතිශය මානුෂීය කාරණාවකි.

එය ඇතමුන් හුදු අසංවර ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමට පුළුවන. නමුත් එය එසේ කළයුත්තක් නොවේ. අප යථාර්ථය සඳහා මුහුණදීමට මෙතරම් අකමැති මන්දැයි අප විසින්ම තේරුම්ගත යුත්තකි. 

ඒ දරුවා දුම්රියපොළක දමා රට හැරයන ගෝතමී නැවත තම රටට පැමිණෙන්නේ කුටුම්භයක් තුළ තම ජීවිතය මනා ලෙස ගෙනයාම සඳහායි. නමුත් කර්මය නිතැතින් ඇය පසුපස හඹාඑන්නේ දරුණු ලෙසය. ගෝතමීට ඩෙස්මන් (පසුව විවාහ වන ස්වාමිපුරුෂයා) මගින් ලැබෙන්නට සිටින දරුවා ස්වාභාවික ගබ්සාවකින් මියයන්නේ ඇයට ඇගේ ජීවිතය පිළිබඳ තවත් ප්‍රශ්න ගොනු කරමිනි. විපුල විසින් තමාට දාව උපන් දරුවා දමාගිය හෙයින් මෙවන් අන්ත දුකකට ගෝතමියට ජීවිතයම නියඟයක් කරන්නේ කාගේ පවකටද? තම පවුල හොඳින් ගොඩනඟන්න වෙරදරන ඩෙස්මන්ගේ කලින් බිරිඳ හා දරුවා ඔහුට ළංවෙන්නට යන බව දැන එය දරාගන්න බැරිව ගෝතමී නිවසින් පිටවී යාම වරදක් නොවන්නේ ඇයට අහිමිව ගිය දේවල් නැවත ලැබෙන විට එම සබඳකම් උපන්ගෙයිම මියැදෙන්නට උත්සාහ දරන නිසාවෙනි. 



තමා හැරදා ගිය දරුවා සොයායන ගෝතමීට දරුවා සොයාදෙන්නට වෙහෙස දරන කාන්තාව "ඔයාට ඔය දරුවා ලැබුණේ දූෂණයකින්ද? නැත්නම් පෙම්වතා දාල ගියාද?" කියා අසන කල පොළොව පවා උහුලාගත නොහී දුකකින් "මට වදදෙන්න එපා" කියා ඇය හඬන්නේ මා තුළ ඇය කෙරෙහි වැඩුණු දුක තව තවත් සනාථ කරමිනි. ඇය මැරුණා නම් එය අවසානය. විඳවීම අවසානය. එය ඊට වඩා යහපත් නොවේ ද? 

තමාට ලැබුණු ප්‍රේමය, ලිංගිකත්වය, සුරක්ෂිතභාවය, පිළිගැනීම තම ජීවිතයට ලැබෙන්නට පටන්ගත් කල  කර්මය ඇයට මෙතරම් බලපෑම් කිරීම මසිතේ ඇති කළේ දරුණු කනස්සල්ලකි. මම ඇයව මගේ සිත තුළ සුරක්ෂිත කළෙමි. මෙතැන ඇත්තේ ගැහැනුකම පිරිමිකම පිළිබඳ ප්‍රශ්නයක් නොව මනුෂ්‍යත්වය හා ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි. 

ජීවිතයේ නිරතුරුවම දිනුම අපේක්ෂා කළත් කොතරම් නම් අප පරාජය වෙමු ද? සුන්දර බව ඇතුළේ කොතරම් කර්කශ බවක් ඇත්ද? ජීවිතයේ අන්ත දුක් වින්ඳ ගෝතමී පසුව ජීවිතය පියවරින් පියවර ගොඩනගාගනිද්දී සුන්දර සැප හිමි වී තිබූ මංගලාට අවසානයේ ලැබෙන දුක සමාජය උඩු යටිකුරු කරයි. අප ජීවිතයේ සියලු දේ ලැබේවායි පැතුවද අප තුළ කොතරම් දරුණු හිස් බවක් ඇත්ද?

ප්‍රේමය, ලිංගිකත්වය හා විවාහය යන ත්‍රිවිධ කාරණා හමුවේ ගොඩනගා ඇති බොරදිය පොකුණ චිත්‍රපටය අවසානයේ මා තුළ ඇති කරන්නේ දැඩි කම්පනයකි. අප ජීවිතයේ මොනතරම් නම් අන්ත අසරණ වෙමුද?  මෙවන් රළු සමාජ දේශපාලන රටා අප මනසින් බැහැර කළ හැකිද? 

ගාර්දිවසම් දෝන පද්මා ආරියලතා නොහොත් ගෝතමී හරහා මම මගේ ලෝකයට එබිකම් කළෙමි. එහෙයින් මම මගේ ජීවිතය හරහා ගෝතමීට බද්ධ වීමි. බොරදිය පොකුණ සෑම තත්පරයක් පාසා මම ජීවිතය කියෙව්වෙමි. ජීවිතයේ මූසල පැතිකඩක් හඳුනාගතිමි. ජීවිතය ගළපන්න දුක, අඳුරු, ගුප්ත, සියුම් මානයන් සොයන්නට වෙහෙස ගත්තෙමි.  අවසානයේ සමස්ත චිත්‍රපටයම මට මගේ ජීවිතය මෙන් විය. 


ඉන්ද්‍රජිත් මහවඩුගේ.