Showing posts with label young. Show all posts

මෙතුවක් කල් හද ගැස්මේ සුසුමක් පාසා හිතවත්කම් රඳවා සඟවා හැඟුමන් ආශා - කසුන් මහේන්ද්‍ර හීනටිගල ලියයි...


කසුන් මහේන්ද්‍ර හීනටිගල යනු,කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයෙන් උපාධි වරම් බලාපොරොත්තුවෙන් සිටින තමන්ටම ආවේනික චින්තයකින් හෙබි තරුණයෙක්.ඔහු විටක තිර පිටපත් රචකයෙක්/කවියෙක්/ප්‍රබන්ධකරුවෙක්/ජනමාධ්‍යවේදියෙක් සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගන සමාජ ක්‍රියාධරයෙක් ලෙස හදුන්වන්නටද හැකියි.


මේ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් ලියන ලද අලුත්ම ගීත රචනයයි.

මෙතුවක් කල් හද ගැස්මේ සුසුමක් පාසා
හිතවත්කම් රඳවා සඟවා හැඟුමන් ආශා
සැනසීම ඉවසීමයි කියා සැඟවුණා
මාගේ හදවත දවා...

නුඹෙ වුවනතේ මුදු ළවනතේ
ඇස බැඳුණා මත් වෙලා
මගෙ හදවතේ සං ප්‍රේමයේ
බස හඳුනාගත් සිනා

බස හඳුනාගත් සිනා
ඇස බැඳුණා මත් වෙලා...

යාවීද පාවී සුසුම්
බාධාම තැවරූ හැඬුම්
ආ ඉතින් සිප නොගත් මල්සරා
නිරාමිස කැල්මන් සෙවූ
දිලි දිලී තරු නෙතු නිවූ
මේ සා පෙමක් ගොළුයි බස් වහා...

නුඹෙ වුවනතේ මුදු ළවනතේ
ඇස බැඳුණා මත් වෙලා
මගෙ හදවතේ සං ප්‍රේමයේ
බස හඳුනාගත් සිනා

බස හඳුනාගත් සිනා
ඇස බැඳුණා මත් වෙලා...//


Lyrics | Kasun Mahendra Heenatigala
Vocals | Charith Abeysinghe


සටහන - ඉෂාර ලක්මිණ


ලංකාවට ආ යුතු රේඩියෝ ස්ටේෂන් 7ක්


ඉස්සරහට එන්න තියෙන එෆ්එම්වලට නම් නැතුව ඉන්නව කියල ආරංචි වෙච්ච නිසා අපි හිතුවා අනිවා ඒගොලොන්ට උදවු කරන්න ඕන කියලා. මේ එහෙම වැඩක්. ඕගොලොන්ටත් නමක් හිතුනොත් ඒ කට්ටියට සප් එකක් දෙන්න. හැබැයි ඉතිං කට්ටිය මේ නං ටික දායිද දන්නෙ නැහැ. එනිසා කලබලෙන් මේ රේඩියෝ අහන්න හොයන්න එපා!



1. බොරු FM

දැනුත් මොකද්ද මන්දා එෆ්එම් එකක් ඒකෙ යන හැම සින්දුවක මැද්දටම බොරු වගේ වචනයක් කියනවා. මං ගොඩක් කට්ටියගෙන් ඇහුවා. හැමෝම කියනව එගොල්ලො කරන්නෙ බොරුව වුනාට ඒ කියන්නෙ ‍බොරු කියන වචනෙ නෙමෙයි කියලා. ඒ හින්දා පොඩි බොරුවක් දාන චැනල් එකකට තාම ඒ නම ඉතුරුයි.



2. රේඩියෝ FM

මිනිස්සු සාමාන්‍යයෙන් කඩේකට ගිහිල්ල පත්තරේ ඉල්ලන්නෙ අද පත්තරයක් දෙන්න කියලයි. ඒ හින්ද අද පත්තරේ බිහිවුනා. මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නෙ ටීවී එක දාන්න කියලයි. ඒ හින්දා TV1 බිහිවුනා. ඒ විදියටම මිනිස්සු සාමාන්‍යයෙන් කියන්නෙ රේඩියෝ එක දාන්න කියලා නිසා අපි රේඩියෝ චැනල් එකකට රේඩියෝ FM කියන නම යෝජනා කරනවා.



3. කොර FM


සින්දු ඇහුවම බඩ කොරවෙන චැනල් එකකට මේ නම ම‍රු. ඒ කියන්නෙ බොහෝවිට අලුත් සින්දු දාන්න හිතං ඉන්න චැනල් එකකට මේ නම මරු. මිනිස්සු අලුත් සින්දු යන රේඩියෝ චැනල් අහන එකක් නැති වුනාට දැන් හුඟක් අය සල්ලි දීලා තමංගෙ සින්දු දම්මගන්න නිසා මේ චැනල් එකටත් ලාභ වෙයි.



4. පස්ස FM



ඔය ඔළුවට සමාන නම් දාගෙන චැනල් කරන කට්ටියට තරඟයක් දෙන්න මේ නම මරු. මොකද මිනිස්සු ගොඩක් දෙනෙක් ඔළුව පාවිච්චි නොකරට පස්සනං පාවිච්චි කරනවනෙ. ඒ හින්ද රසිකයො ගොඩක් ඉඳීවි. අනික මොනවහරි වැරදුනත් පස්සෙන් කිවුවෙ කියල ෂේප් වෙන්න පුළුවන්නෙ.



5. ලොන්ඩරි FM



මේකනං හරියන්නෙ දේශපාලනේ කරන චැනල් එකකට. ලැජ්ජාවක් නැතුව තමංගෙ දේ කරගන්න මේ වගේ නමක් තියෙන චැනල් එකක් වටිනව. හැබැයි අවුලකට තියෙන්නෙ අහන්නෙ තනිකරම එක් පැත්තකට සපෝට් කට්ටිය විතරක් වීමයි. ඒකනං ඉතිං ඔය අපි අහන්නෙ ලොන්ඩරි FM කියන කට්ටියට දාහ ගානෙ දුන්නහම ගොඩදාගන්න පුළුවන්නෙ.



6. ෂොපින් FM



මේක හොඳ හුඟක් ඇඩ් දාන චැනල් එකකට. ඒගොල්ලොන්ට ෂොපිං ප්‍රෝග්‍රෑම් ටිකකුත් කරන්න පුළුවන්. නමත් ෂොපින් නිසා අසන්නන්ට චෝදනා කරන්නත් බැහැ. මොකද නමේම තියෙනවනෙ මේක ඇඩ් දාන චැනල් එකක් කියලා.



7. අනිවා FM



මේකනං ඉතිං සුපිරි චැනල් එකකට දාන්න වටින නමක්. නමත් අනිවා හින්දා ඉතිං අනිවා හිට් වෙයි. ඊටත් වඩා වෙන මොනවද? හැබැයි අනිවා අනිවා වෙබ් එක වගේම කියන දේ කරන්නත් ඕන. නැත්තං නම කොච්චර සුපිරි වුනත් වැඩක් නැහැ.



සමලිංගික සේවනය කාමයෙහි වරදවා හැසිරීමක්ද?.......


නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර යනු,සමකාලීන ලාංකේය දේශපාලන,සමාජයීය තත්වයන් පිළිබදව ගැඹුරු විග්‍රහයක යෙදෙන චින්තනයකින් සංනද්ධ පුද්ගලයෙකි. මේ ඔහුගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගත් සටහනකි.එය ඔබගේ දැනුවත් බව උදෙසා ගෙන ඒමට අපට අවසර!

ඉෂාර ලක්මිණ


ථෙරවාදී බුදු දහමෙහි කිසිදු කාම සේවනයක් වර්ණනා කෙරෙන්නේ නැත. ඇස, කන,දිව,නාසය,කය,මනස යන ආයතන වලින් ගන්නා අරමුණු වල සැප ඇති ස්වභාවයන්(කාම) තණ්හාවෙන් උපාදානය කිරීම, එනම් "මගේ කර ගනුවස්" දැඩිව සිතින් අල්ලා ගැනීම පෘතග්ජනයන්ගේ ස්වභාවයයි. පෘතග්ජනයෙකු ලෙස කාමයන් උපාදානය කොට, වැඩි වැඩියෙන් කාම සේවනයට හිත යොමු කිරීම දුක් සහිත සසරට බැදී යාමට හේතුවකි. මාරයාගේ තොණ්ඩුව ගෙල පැලදීමකි. ප්‍රධාන පෙළේ අමුම අමු මෝඩකමකි. දැලි පිහියෙන් කිරි කෑමකි. ගිලී වැනසෙන බව දැන දැන කුහුබුවෙකු ලෙස පැණි හැලියට පැනීමකි.
මේ ගැටලුවට විසඳුම සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීමයි. එවිට සතර අපායෙන් නිදහස් වන නිසා කාමයන් සේවනය කලද කමක් නැත. දැලි පිහියෙන් කිරි කෑවද දිව කැපෙන්නේ නැත. පැණි බොන්නේ නලපාන ජාතකයේ නුවණැති වදුරා මෙන්, බටයකින් මිස, දිය රකුරා ඉන්නා දියට පැන නොවේ. සෝතාපන්න මාර්ග ඵලය සාක්ෂාත් කිරීම සමහරුන්ට ලේසිය. සමහරුනට අමාරුය. අමාරු අය වීරියෙන් සීල,සමාධි,ප්‍රඥා දියුණු කළ යුතුය. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම ඒ අරමුණ උදෙසා වන, ගිහි පංච සීලයේ කොටසකි. කාමයේ වරදවා හැසිරීම යනු කුමක්දැයි සාලෙය්යක සූත්‍රයේ විග්‍රහ කොට තිබේ. ඒ විග්‍රහය කෙටියෙන් කිවහොත්, පිරිමියෙකුට නම්,
1.දෙමව්පියන් විසින් හෝ වෙනත් අයෙකු විසින් රකින දැරිවියක, 2.විවාහක හෝ විවාහ ගිවිසගෙන සිටින ස්ත්‍රියක, 3.සදාචාර ධර්මයන් උල්ලංගනය කරමින් යමෙකු සමග (උදා; ස්ත්‍රී දූෂණය) , කාම සේවනයේ යෙදුන හොත් කාමයෙහි වරදවා හැසිරීමේ අකුසලය සිදු වේ. මෙහි සදාචාර ධර්මයන් උල්ලංගනය යන්නට සමලිංගික සේවනද ඇතුලත් විය හැක. අනිත් අතින් සමාජය පිරිහවන කරුණක් ලෙස බුදුන් සඳහන් කරන "විෂම රාගය" යන්නට, සමලිංගික සේවනය, ළඟම ඥාතීන් අතර කාම සේවනය(ව්‍යභිචාරය/incest ) , හා තිරිසන් සතුන් හා කාම සේවනය අන්තර්ගත බැවු ඇතැම් බෞද්ධ විශාරදයන්ගේ මතයයි. එම මතයට මම පෞද්ගලිකව එකඟ වෙමි. එනමුත් යමෙකු සමලින්ගිකයෙකු වූ පමණින් ඔහු තැලීම,පෑගීම, හෝ සමච්චලයට ලක් කිරීම, බුදු දහමෙහි මූලික සදාචාර අවවාදය වන "කරුණාව ඇති කර ගැනීම"ට ප්‍රතිවිරුද්ධ බවද මෙහිලා සඳහන් කරමි.
සටහන - නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර

~ මගේ ඇස අග කියවීම ~ කසුන් මහේන්ද්‍ර හීනටිගල විසිනි...


පළවෙනි කාරණාව මේ ‘ඇගේ ඇස අග’ කියවීම නෙමෙයි. මේ ‘මගේ ඇස අග’ කියවීම.

‘අශෝක හඳගම’ කියන නිර්මාණකරුවා මට සෙට් වෙන්නෙ මම බට්ටෙක් කාලෙදි. ඒ ‘සින්තටික් සිහින’ හරහා. මට මතකයි ඒ කාලෙ ඉවක් බවක් නැතුව ගේ පුරා දුවන්නෙත් හරියට වචනවත් ගළපගන්න බැරුව ‘කොම්බුවක් තරං ඇතී අපේ ලව් බිංදුවේ...සමන්තී’ කිය කිය. කොහොම හරි කාල අවකාශ තත්පර කල්පයක් ගෙවෙනකොට බට්ටා මුහුකුරා ගිය සහෘදයෙක් වෙනවා. මේ ඒ සහෘද සටහන.

හඳගමට මං කැමති ඔහු පොදු නිර්මාණකරුවන් අභිබවා යන ‘ඕල්රවුන්ඩ’ කෙනෙක් නිසා. එහෙම මිනිස්සු මේ දූපතේ අඩුයි. මොකද අපි දන්න හඳුනන සිනමා අධ්‍යක්ෂකවරු බහුතරේට වෙන පොදු කෙළවීම තමයි කතාවෙ පිටපත ඇතුළෙ චරිත විහිදීම එකක් , අදියුරුගෙ හැඟවීම එකක්, එළියට කැපෙන්නෙ තව එකක් වීම. ඒවා බැලුවට පස්සෙ ප්‍රේක්ෂකයා තෝන්දු මාන්දුයි. හඳගම තනි නිර්මාණශීලී ඒකාධිපතිත්වයක් ඇතුළෙ තමන්ගෙ වැඩේ තනියම කරනවා. පිටපතත් මනුස්සයගෙ , කතාවත් මනුස්සයගෙ , අදියුරුත් මිනිහා, සින්දු ලියන්නෙත් මිනිහා. ඒ වගේම ‘වේදිකා පන්නරයෙන්’ රත් වෙලා ප්‍රාසාංගිකව දැනෙන්න වැඩ කරපු ලංකාවෙ අවසන් කිහිප දෙනා අතරෙ හඳගම ඉන්නෙ අතිශය ඉදිරිගාමී තැනක.

අදටත් ලංකාවෙ වෘත්තිමය වශයෙන් ගීත රචකයො යයි කියාගන්න කිසිදු කෙනෙකුට හිතා ගන්නවත් බැරි මට්ටමේ පට්ට රොමෑන්ස් එකක් හඳගම අපිට ඉතුරු කරනවා. මං ආස ඒකට. මේ ‘අතීත කාමය’ ඇතුළෙ කැමති කෙනෙකුට , කැමති විදිහට ප්‍රේමය විසුරවන්න පුළුවන්.

‘ ඔබේ තොල්පෙති වැදී
මගේ නළලේ කොනක
කේශනාලිකාවක් පිපිරුණා
දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරේ කරනු මිස...’

ඊට පස්සෙ මගෙ නව යොවුන් විය මතකෙ ‘අක්ෂරය.’ ඒ කාලෙ එෆ් බී , සයිබර් අදහස් තියා ෆෝන් කට්ටක්වත් නැතුව ගෙදට්ට හොරෙන් කැෆේ යන කාලෙ. ඒ කාලෙ තමයි කාලේ! කොහොමහරි ඉතාම අපහසුවෙන් ‘හොර කොපියක්’ තැරැව්කාරයෙක්ගෙන් හොයාගෙන යාළුවො සැට්ටෙකත් එක්කම අක්ෂරය බැලුවා. ‘ඊඩිපස් කම්ප්ලෙක්ස්’ තියා ‘කාජුරාඕ’වත් නොදන්න රටක ඒ වගේ වැඩක් ආයෙ වෙන් නෑ !

සිනමා නිර්මාණ ඇතුළෙ මුසුවෙන හඳගම ලකුණ තියන ගීත වලට වඩා මට සැට් වෙන්නෙ ඔහුගෙ ප්‍රාසාංගික ගීත. මතකෙ නිවැරදි නං ‘මේ පාරෙන් එන්න’ ටෙලියෙ කපිල පූගලආරච්චි කියන ‘සමනලී’ ගීය ඒ වින්දනය මතක් කිරීමක්. සින්දු සාහිත්‍යයට ලව් කිරීමක්.
මගේ ඇස අග , ‘ඇගේ ඇස අග’ දකින්නෙ ප්‍රයෝගික තලයෙන්. එහෙම නැත්නං නිර්මාණය එළියට ආවට පස්සෙ වෙච්ච දේවල් ඇතුළෙ.
මුලින්ම එහි රඟන ‘රීතිකා’ කියන නිළිය සාකච්ඡාවකදි කියල තිබ්බෙ ‘ඇගේ ඇස අග තුළ නිරුවත් වුණේ ඇය නෙමෙයි’ කියල. මට අනුව ඒ කතාවම මේ ජෙනරේෂන් එකේදි ‘නිරුවත් වීමට වඩා භයානකයි’. එතකොට එතැනදි රීතිකාට වඩා ස්ත්‍රී පෞරුෂයක ‘තනි තටුවෙන් පියාඹන්න’ අනෝමට ගටයි - කටයි තිබුණා නේද කියල අපිට මතක් වෙනවා. ඇත්තටම පුහු සාරධර්ම කරපින්නාගත්ත කුහක පසුගාමී සමාජෙක ඈ සදාචාර වලට වැටිය යුතු නැහැ යන්නයි මගේ හැඟීම. රීතිකාගෙ රංගන කුසලතා වගේම ‘බොඩි ලැන්වේජ් ස්කිල්ස්’ හදාගන්න චුට්ටක් ‘රිචා චඩ්ඩා’ වගේ ‘සමාජ ගින්නට බය නැති ඉන්දීය නිළියක්’ දිහා බලන්න කියල මං යෝජනා කරනවා.

ඊළඟට හුඟක් ‘දේශපාලනික මිනිස්සු’ කිව්වෙ හඳගම දර්ශනවාද ඔප්පු කරන්න , හරියට නිගාමී ප්‍රවේශ වල ඉන්නවා වගේ නිර්මාණ කරනවා කියල. මං ඒ කතාවට විරුද්ධයි. මොකද සියල්ලෝම කරන්නෙ ඒ දේ තමයි. දැන හෝ නොදැන තමන් අදහන දැක්ම හෝ ඔළුවෙ තියෙන යුතෝපියාව එළියට ගේන්න හදන එක. එතැනදි ගොන් පාට් වලට ආස ඔළු ගොන් ජෝක් සමාජගත කරනවා. පෙම් පාට් වලට ආස හිත් පෙම් පාට් සමාජගත කරනවා. රජ කතා වලට සහ පාලක වන්දනයට කැමති කොඳු රජ කතා නිර්මාණය කරනවා. අරෙහෙ ‘මජීඩ් මජිඩි’ලා දරුවො අරන් වැඩිහිටියන්ට පවා කඳුළු එන නිර්මාණ කරද්දි මෙහෙ වැඩිහිටි නිර්මාණකරුවො ‘දමිළ ප්ලොට් අරන් පොඩි ස්කෙච් එකක් ගහල’ නිර්මාණ කරල සම්මාන ගන්නවා. මේ හැමදෙයක් අස්සෙම ‘අශෝක හඳගම’ නිර්මාණය තුළ තමන් රැඩිකල් කියල තහවුරු කරන්න හදනවා. ඒක සුන්දර වැඩක්! නමුත් මට දැනෙන විදිහට එතැන තියෙන්නෙ වෙන අවුලක්.

ඒ තමයි සම්ප්‍රදායට ඕකේ වෙලා (විවාහය - පූර්ව කුටුම්බය - සමාජ සම්මත නිලධාරී රැකියාවක්) නඩත්තු කරන ගමන් මේ නිර්මාණකරුවා හැමදාම නිර්මාණ ස්ක්‍රීන් ඇතුළෙ ‘සමාජ සම්ප්‍රදායට පයින් ගහනවා.’ මං කියන්නෙ ඒ පා පහර ක්‍රමයට රිදෙන්න දැනෙන්න නං තව තවත් ලයිෆ් ස්ටයිල්ලෙක ඇතුළෙ නිර්මාණය කරන මනුස්සයා අවංක විය යුතුයි. සියලු කෙලෙස් නැසිය යුතු නැහැ - නමුත් ‘අදහන පරමාදර්ශ වල නියැලෙන - කියන දේ ජීවිතෙන් පෙන්වන’ පුරුද්ද තිබිය යුතුයි. උදාහරණයක් හැටියට ලංකාවෙ වමට කෙළවුණේ 1930 ඉඳන් ඔන්න ඔය ‘දේශපාලන කෑල්ල’ නොතිබුණ හින්දා.

අනික් කාරණේ මට 'ස්වර්ණා' කියන සුදක්ෂ නිළියගෙ මේ ඇස අග රංගනය හැරෙන හැරෙන හැම වෙලේම ඒක ඇතුළෙ ‘ජනාදරී’ව දර්ශනගත වීම. ඒක එක්කො මගේ අවුලක්. එහෙම නැත්නං ඇගේ හෙයා ස්ටයිල් එකේ හරි දෙබස් උච්චාරණ විදිහෙ හරි තියෙන සමානත්වයක්. කොහොම වුණත් මගෙ යෝජනාව හඳගම තව තවත් වෙනස් ස්ත්‍රී හැඩතල , නූතන ලලිත කලා ශරීර ගැන අප්ඩේට් විය යුතු බව. එතකොට මේ මොහොතට සැට් වෙන්න ෆ්‍රෙෂ් පිට සෙක්ස් ෆික්ස් කරගන්න පුළුවන්.

අනික මං ඉතාම කැමතියි හඳගම සතු ඉවසීමට. මල් ඒ වගේම ගල් මොන මොනවා වැදුණත් මනුස්සයා තව කාලෙකින් තව නිර්මාණයක් කරනවා. ඒක ඇතුළෙ ඊට පස්සෙ නව කතාබහක් හැදෙනවා. අලුත් මුහුණු කල එළි බහිනවා. හරසුන් වැඩ වලින් පායලා පායලා කාෂ්ටක වෙච්ච දූපතට මේ මනුස්සයා තෙමෙන්න හරි, යටවෙන්න හරි, ගංවතුරෙ ගිලෙන්න හරි සිනමා නිර්මාණයක් කරනවා. මං හඳගම කියන නිර්මාණකරුවට ආදරේ ඒකයි !

පොට පටලවාගෙන , පැරණි ඇරියස් කවර් කරන්න හදන ප්‍රශස්ත විචාරකයන්ට දුහුනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපි සෙවිය යුත්තෙ ඇගේ ඇස අග මාට්ටුද , ඇලජික් ද කියල නෙමෙයි , ලංකාව තව දුරටත් ලංකා සිතියමේ ප්‍රමාණෙට තියාගන්නවද කියන එක. හඳගම කාලෙකට කලින් ලස්සන කතාවක් කියනව.
‘අපි යන්නෙ වෘත්තයක. ඒ නිසා වෘත්තයක සරන විට පසුකර ගිය දේ නැවත හමුවිය හැකියි.’

මේ නිසා කලබල වෙලා ගල් කැට ගහනවට වඩා නිර්මාණයට අකමැති නං ආයෙ ආයෙ ඒකම අත පත ගෑම , එහි කැටයම් රවුම්ද කියා බැලීම අර්ථ විරහිතයි කියලයි මට හිතෙන්නෙ.

සිනමා නිර්මාණයක් ලියනවට වඩා , අධ්‍යක්ෂණය කරනවට වඩා, රඟපානවට වඩා ලංකාවෙ අමාරුම දේ ඒ නිර්මාණය ප්‍රදර්ශනය කරන එක බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ තාවකාලික ගැප් එකක් අස්සෙ හඳගමට ‘මරාගෙන මැරෙන්න’ තීරණේ කරන්න වෙන්නෙ ඒකයි. අපි සහෘදයො විදිහටත් , විචාරකයො විචාරකයො හැටියටත් , නිර්මාණකරුවො නිර්මාණකරුවො හැටියටත් මුලින්ම ෆයිට් කරන්න ඕනි ‘සමස්ත නිර්මාණ වෙනුවෙන් සාධාරණ ප්‍රදර්ශන අවකාශයක් හදාගන්න.’

‘ඇහැරෙන්න’ නෙමෙයි මං නං කියන්නෙ හුස්ම වැටෙන හැමෝටම මේ නිර්මාණය හුස්ම ගන්න ළඟම සිනමාහලෙන් සීරුවෙන් ‘හැරෙන්න’ කියල !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල












අපි මුලින්ම අපේ කිළිටි සෝදා ගනිමු! - කණිෂ්ක මීගස්මුල්ලගෙනි...

අද දවසේ ෆේස් බුක් සටහන් පරීක්ෂා කරගෙන යන අතරේදී හිරු මාධ්‍ය ආයතනයේ සහෝදර මාධ්‍යවේදී 'කණිෂ්ක මීගස්මුල්ල' සතු ෆේස් බුක් පිටුවේ බොහොම වැදගත් කාලීන සටහනක් තිබුණා...එය ඔබේ රසවින්දනය සදහා මෙලෙස ගෙන ඒමට අවසරයි!

ඉෂාර ලක්මිණ



අලූ‍‍ත විවාහ උන යුවලක් නව නිවසක පදිංචියට ගියා. තරුණ බිරිය තරමක් කටකාර වූ අතර සැමියා බොහොම නිවුනු පුද්ගලයකු උනා. පසුදා උදෑසන මේ යුවළ උදෑසන ආහාර ගනිමින් සිටින විට අසල්වැසි කාන්තාව රෙදි සෝදා වැලේ දමමින් සිටියා. මේ දසුන වසා තිබූ ජනේලයේ වීදුරුව අතරින් දුටු තරුණ බිරිය අසල්වැසි කාන්තාව රෙදි සේදීමට නොදන්නා බවත් ඇය සෝදා වැනීමට ගෙනවිත් තිඛෙන රෙදි සියල්ලේම කුණු එසේම පවතින බවත් පවසමින් අසල්වැසි කාන්තාවට අවමාන කරන්නට වුනා.

හිස ඔසවා ඒ දෙස බැලු සැමියා කිසිත් නොකියා නැවතත් තමන් කරමින් සිටි කර්තව්‍යයේ නිරත වුනා.

එතැන් සිට ගත උන සෑම උදෑසනකම මෙම තරුණ යුවල උදෑසන ආහාර ගනිද්දි අසල්වැසි කාන්තාව සේදූ රෙදි වැලේ දැමීමට පැමිනි අතර ඒ සෑම අවස්ථාවකම මේ තරුණ බිරියගේ නිර්දය විවේචනයට ලක් වීමට අසල්වැසි කාන්තාවට සිදු විය.

—එයා රෙදි හෝදන්න දන්නේ නෑ. බලන්න අර සුදු ඇඳුම් ඔක්කොම මඩ පාටයි. අර රෝස පාට ඇඳුම උනත් ඔයිට වැඩිය හොඳට හේදුවනම් ඔයිට වඩා එළිය වැටෙනවා˜ ආදී වශයෙන් විවේචනය කරන අතර රෙදි සේදීමට තමන්ට ඇති සමත්කම ගැනද වර්ණනා කර ගැනීමට ඇය අමතක කළේ නෑ.

මේ ආකාරයට මාසයකට ආසන්න කාලයක් අසල්වැසි කාන්තාවගේ රෙදි සේදීමේ අසමත්කම සහ රෙදි සේදීමට තමන් තුල ඇති දක්ෂතාවය පිළිබඳව තමා ගැනම කරගන්නා ආත්ම වර්ණාව මැද මේ තරුණ යුවළගේ උදෑසන කෑම මේසය නිමාවට පත් උනා. ඒ සෑම දිනකම බිරියගේ විවේචන අසා සිටියා හැරෙන්නට තරුණ සැමියාගේ කටින් කිසිවක් පිට වුනේ නෑ.

දිනක් සුපුරුදු පරිදි මේ යුවළ උදෑසන ආහාර ගනිමින් සිටියදී අසල්වැසි කාන්තාවද තමන් සේදූ රෙදි වැළට දැමීමට රැගෙන ආවා. එකවරම ඒ දෙස පුදුමයෙන් බලා සිටි තරුණ බිරිය,
—පුදුමයි අද නමි අරයා හොඳට රෙදි ටික හෝදලා තියෙනවා. කවුද දන් නෑ එයාට ඔය විදිහට රෙදි හෝදන්න කියලා දුන්නේ. නැත්නම් එයා එකත් එකටම මොකක් හරි අලූ‍‍ත් සබන් කුඩු ජාතියක් පාවිච්චි කරන්න පටන් අරන් ඇති. කමක් නෑ කොහොම හරි දැන්වත් ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ට ලැජ්ජා නොවී ඇඳුමක් ඇඳන් පාරේ බැහැල යන්න පුළුවන් වෙයි ˜
ආදී වශයෙන් හෑල්ලක් කියවාගෙන ගොස්,
— ඒයි මේ පොඩ්ඩක් ඔලූ‍‍ව උස්සල බලන්නකෝ. කොහොමද අර පුදුමේ උනේ කියලා ˜ යනුවෙන් සැමියාට පැවසුවා.

— ආ... අද මම අපේ ජනෙල් ටික පිහදාල දැම්මා ˜ තරුණ සැමියා ඒ දෙස නොබලාම පැවසුවා.

අද අපි ජීවත් වෙන සමාජ් බොහෝ දෙනාත් කිළිටු වෙච්ච ජනේල වීදුරු අතරින් අනුන් දිහා බලනවා. නමුත් අපි නොහිතුවට ඒ කිළිටු වෙච්ච ජනෙල් අතරින් අපිට අනුන්ගේ වගේ පේන්නේ අපේම කිළිටු බව නේද? එතකොට අපි ඉස්සෙල්ලාම පිරිසිදු කරගන්න ඕනෙත් අපේම කිළිටු බව නේද?

සටහන - කණිෂ්ක මීගස්මුල්ල








modern stylish අපිත් classic වෙන වෙලාවල් එනවා




ජීවිතේට ප්‍රශ්න එන්න ගත්තම එන්නේ දෙයියනේ කියලා එක පිට එක වැල නොකැඩි...... හැගීම් දැනීම් වලට වහල් වෙලා හැමදේම නැති කරගන්න වර්තමාන යෞවනය යෞවනියන් ගොඩට අපිත් වැටිලා.....

සාම්ප්‍රධායික තරුණ පරම්පරාවට අපි අයිති නැහැ කියල කොච්චර කෑගහලා උදම් ඇනුවත් ජීවිතේ එක්තරා වෙලාවකදී අපිත් ඒ සාම්ප්‍රධායික ගොඩට වැටෙනවා. හැබැයි අපි දන්නෙත් නැහැ අපි ඒ ගොඩට වැටිලා කියලා..........

ආදරය ගැන ප්‍රශ්න ආවම කොච්චර රැඩිකල් ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ  උනත් සාම්ප්‍රධායික මානසිකත්වයකින් හිතන්න ගන්නවා...... බොලද වැඩ කරන්න ගන්නේ හරියට තුන හතර වසරේ පන්ති වල ඉන්න පොඩි එවුන් වගේ....

ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අදහස් හණමිටි අදහස් කියලා ගණන් නොගන්න ,  අපිට අපේ වැඩ තනියෙන් කරගන්න පුළුවන් කාගේවත් උදව් ඕනේ නැහැ කියලා කෑගහන ගොඩක් කෙල්ලොන්ට කොල්ලොන්ට පොට වැරදුනාම තමා ගෙදර ඉන්න අම්මාව තාත්තව මතක් වෙන්නේ. හොට බිම ඇනුනම තමා තේරෙන්නේ දෙමව්පියන්ගේ හණමිටි අදහස් වල සත්‍යතාව 100% කියලා.

ගෙවල් වල ඉන්න අහිංසක අම්මා තාත්ත ගෙන් opinions ගන්න එක youth generation එකේ අපිට මදිකමක් කියලා හිතෙනවා ඇති.  චුට්ටක් හිතලා බලන්න ලී බඩුවක උනත් වටිනාකම වැඩි වෙන්නේ modern designs වලට වඩා classic designs වල නේද කියලා.....පණ්ඩිතකමට තනි තීරණ අරගෙන අපි කොච්චර නම් දුක් විදින අවස්ථා තියෙනවද. 

නැවතිලා හිතලා බැලුවම වෙලාවකට modern youth generation ඒක කියන්නේ modern විදියට දුක් විදින ජාතියක්.

හිතට බරක් දැනෙන ප්‍රශ්නයක් ආවහම ගිහිල්ලා නතර වෙන්නේ ගමේ පන්සලේ බෝ ගහ යට. ඇත්ත බෝ ගහ යට ඉද්දි හිතට මහා සැනසිල්ලක් දැනෙනවා තමයි. පන්සල් යන්න ඕනේ කියලා අම්මලාට කිව්වම එයාලා හිතන්නේ අපි එකත් කරන්නේ style එකට කියල. එහෙම නෙමේ modern stylish අපිත් classic වෙන වෙලාවල් එනවා.

තරුණ අපේ ජිවිත වෙලාවකට පාවෙන සරුංගල් වගේ.....අරමුණක් නැතුව ඔහේ පාවෙවී තියෙනවා. අරමුණක් හදාගෙන ඉස්සරහට යන්න උත්සහ කරද්දී අපේ කකුල් වලින් අදින කල්‍යාණ මිත්‍රයෝ මේ සමාජයේ අනන්තයි අප්‍රමාණයි. එහෙමයි කියලා අපි නවතියිද ? නැහැ. 
එන ඕනෙම ප්‍රශ්නෙකට කෙලින් මුහුණ දීල අම්මලා තාත්තලාගේ හිත නොරිදා අපේ අරමුණු වලට යන එකයි තරුණ අපේ ඉලක්කය.... 

වපර ඇස් වලින්ම අපි දිහා නොබලා යහපත් දෘෂ්ටි කෝණයකිනුත් අපි දිහා බැලුවොත් සමාජයට නරකක් වෙන එකක් නැහැ !

සමාධි සංකල්පනා මලලවීර

2016 / 01 / 06